ඔටුනු සුනුවිසුනු කළ ඔටුනු පළන් රෝගය | සිළුමිණ

ඔටුනු සුනුවිසුනු කළ ඔටුනු පළන් රෝගය

කොරෝනා වයිරසය නමින් චීනයේ උපත ලබා කොවිඩ් -19 ලෙස යුරෝපයේ දී බෞතිස්ම වුණු මේ මාරක වසංගතය නිසා ලොව පුරා බිලියන ගණනාවක ජනතාව දැන් පසුවන්නේ දැඩි භීතියකින්. බොහෝ රටවල ආසාදිතයන්ගේ ප්‍රමාණය එන්න එන්නම වැඩි වෙනවා. මළ සිරුරු ගොඩ ගැහෙනවා. ජීවත්වීමේ ආශාව කවදාවත් නැති විදියට හිතට දැනෙනවා. ඒත් සියල්ල දෛවයට බාර දෙනවා හැරෙන්නට කළ හැකි අන් කිසිවක් නැහැ.

ඇය යන්න ගියා නොකියා...

හැම ජීවිතයක්ම වසංගතයට බිළි වෙන්නේ නැහැ. කොවිඩ් -19 ආසාදනය වූ පමණින් මරණය අත වනන්නේ නැති බව කවුරුත් තේරුම් ගත යුතුයි. නමුත් ආසාදිතයන් දැඩි කම්පනයට හා භීතියට පත්වෙනවා. ඒ අතරතුර බොහෝ සංවේදී හිත් පීඩනය දරාගත නොහැකිව කොවිඩ් බිල්ලට හසුවීමට පෙර ජීවිතයෙන් පලා යනවා.

ඉතාලියේ මොන්සා නගරයේ සෑන් ජෙරාඩෝ රෝහලේ සේවය කළ හෙදිය, 34 හැවිරිදි ඩැනියෙලා ට්‍රෙසීට සිදුවූයේත් ඒ ටිකමයි. ඇය රෝහල් කාර්ය මණ්ඩලයේ කාගෙත් සිත් දිනාගත් ඉතා ආකර්ෂණීය කාන්තාවක්. කැපවීමෙන් යුතුව සේවය කළ ඩැනියෙලා පසුගිය මාස දෙකක කාලයම කැප කළේ කොවිඩ් ආසාදිතයන් වෙනුවෙන්. සෙසු හෙදියන් හා එක්ව දිවා රෑ නොබලා වෛද්‍ය කාර්ය මණ්ඩලයට පුදුමාකාර සහයෝගයක් ලබා දුන් මේ දිරිය හෙදියටත් අවසානයේදී කොවිඩ් ආසාදිතයකු බවට පත්වෙන්නයි සිදුවුණේ.

ඇය සේවය කළේ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ. රෝහල පිහිටා ඇත්තේ ඉතාලියේ කොවිඩ් වසංගතයෙන් වැඩිම හානියක් සිදුවුණු ලොම්බාඩි පළාතේ. ජීවිත අවදානම කාටත් තිබුණා. නමුත් රෝගීන් වෙනුවෙන් තම යුතුකම් කොටස නොපිරිහෙළා ඉටු කිරීමයි කාගෙත් එකම අරමුණ වුණේ. කොවිඩ් වයිරසය තමාවත් ගොදුරු කරගත් බව තහවුරු කරගැනීමෙන් පසුව ඩැනියෙලා දැඩි භීතියට පත්වුණා. ඇයට තිබුණේ තම ජීවිතය ගැන බියක් නෙවෙයි. ඇයට තිබුණේ තම රෝගීන් හා කාර්ය මණ්ඩලය ගැන භීතියක්.

‘මට ඇති එකම බය මේ වෛරසය මගෙන් තව කාට හරි පැතිරේවි කියලයි‘ ඇය සිය සමීපතම හෙදියන් සමග එසේ කීවා.

ඇයට වුවමනා වුණේ රෝහලේ සෙසු කාර්ය මණ්ඩලයටත්, සෙසු රෝගීන්ටත් තමාගෙන් වයිරසය පැතිර යාම වළක්වා ගැනීමටයි. කාගෙත් මතකයට වේදනාබර සිදුවීමක් ඉතිරි කර සිය දිවි හානි කරගෙන ඇය ජීවිතයෙන් සමුගත්තා.

අවාසනාවන්ත රජ කුමරිය...

කොවිඩ් වයිරසය කියන්නේ කිසිදු ජාති, ආගම් භේදයකින් වගේම පන්ති භේදයකින් තොරව අනාරාධිතව මිනිස් සිරුරට ගොඩ වදින මාරකයක්. එය සමාන්‍ය පවුල්වලට වගේම රාජකීය පවුල්වල සාමාජිකයන්ටත් පොදුයි. මේ වයිරසය ආසාදනය වීමෙන් පසුගියදා ජීවිතයෙන් සමුගත් ස්පාඤ්ඤයේ මරියා තෙරේසා රජ කුමරිය කොවිඩ් වසංගතයට හසුවුණු රාජකීය පරපුරේ පළමු ගොදුරයි. 86 හැවිරිදි වියේ පසුවුණු මේ රජ කුමරිය අවසන් ගමන් ගියේ පැරිස් නුවරදියි. ස්පාඤ්ඤයේ අරන්ජූයෙස් හී ආදිපාදවරිය ඇයයි. ස්පාඤ්ඤ රජු 6 වැනි පිලිප් කුමරුගේ සමීපතම ඥාතියෙක්.

වසර 1933 ජූලි මාසයේ 28 දා උපන් මේ කුමරිය අධ්‍යාපනය ලැබුවේ ප්‍රංශයේ. ඇය සෝබෝන් විශ්ව විද්‍යාලයේ මහාචාර්යවරියක් බව බොහෝ අය දන්නේ නෑ. ඒ වගේම ඇය ස්පාඤ්ඤයේ මැඩ්රිඩ් නුවර විශ්ව විද්‍යාලයේත් මහාචාර්යවරියක්.

ඇය ගැන දන්නා කවුරුත් කියන්නේ ඇය ඉතා නිහතමානී, ඒ වගේම සාමාන්‍ය ජනතාවට අසාමාන්‍ය විදියට ආදරය කළ පුදුමාකාර කුමරියක් බවයි. එවැනි කුමාරිකාවන් රජපවුල්වල දකින්න ලැබෙන්නේ කලාතුරකිනුයි. ඇගේ මේ අපූරු මානුෂික ගුණධර්ම නිසා කවුරුත් ඇය ආමන්ත්‍රණය කරන්නේ ‘රතු කුමරිය‘ කියලයි.

මුදල් ඇමැති දුම්රියට පනී...

කොවිඩ් වසංගතයෙන් ආර්ථිකය දැඩි පසුබෑමකට ලක්වීම නිසා දිවි හානි කරගත්තේ ජර්මනියේ හෙසී ප්‍රාන්තයේ මුදල් ඇමැතිවරයා ලෙස කටයුතු කළ තෝමස් ෂූෆර්. ඒක එක්තරා අන්දමක අසාමාන්‍ය මරණයක්. එහෙම පිටින්ම ඛේදවාචකයක්.

54 හැවිරිදි වියේ පසුවුණු මේ ඇමැතිවරයාගේ මළ සිරුර ෆ්‍රැන්ක්ෆර්ට් අධිවේගී දුම්රිය මාර්ගයේ තිබී පොලීසිය සොයාගත්තේ පසුගිය සෙනසුරාදා. අමාත්‍යවරයාගේ මරණය ගැන පරික්ෂණ කළ පොලිස් නිලධාරීන් එය සිය දිවි නසා ගැනීමක් බවයි විශ්වාස කරන්නේ.

මේ මරණය කාගෙත් විමතියට හේතුවක්. ඒ වගේම ප්‍රාන්ත ප්‍රධාන ඇමැති වොල්කර් බවුෆීර්ගේ පවා ඇහි බැම රැළි ගැන්වූ කාරණාවක් වුණා.

ඒ වෙද්දී රටක ආර්ථික කඩා වැටීමක් හමුවේ ජීවිතය හානි කරගන්නා ඇමැතිවරු ගැන කවුරුත් අහලා තිබුණේ නෑ. තෝමස් තමයි පළමුවැන්නා.

ජර්මනියේ චාන්සලර් ඇන්ජෙලා මර්කල්ගේ පක්ෂයේ උග්‍ර සාමාජිකයකු වන තෝමස්ට තිබුණේ කීර්තිමත් දේශපාලන ඉතිහාසයක්. දශකය පමණ කාලයක් පුරා ඔහු හෙසී ප්‍රාන්තයේ මුදල් ඇමැති ධුරයේ කටයුතු කරමිනුයි සිටියේ. මේ වසංගතය පැතිර යාමෙන් පසුව දිවා රෑ නොබලා කටයුතු කරමින් සිටි තෝමස්ට වුවමනා වුණේ ආර්ථිකය ගොඩ නැගීමට බවයි ප්‍රධාන ඇමැතිවරයා කීවේ. තෝමස් වගේ කෙනෙක් සොයා ගැනීම අසීරු වේවි කියලත් ඔහු කියනවා.

නීතිඥවරයෙක් විදියටත් කටයුතු කරන තෝමස් විවාහකයෙක්. ඔහුගේ දරු දෙන්නාත්, බිරියත් තවමත් පසුවන්නේ දැඩි කම්පනයකිනුයි.

ජීවමාන දෙවිවරු...

එක අතකට ජීවකයන් කියන්නේ ජීවමාන දෙවිවරුන්. මේ දිනවල ඔවුන් දිවා රෑ නොබලා රැකියාවේ නිරතවන්නේ ජීවිත අවදානම ගැනවත් නොසිතායි. කොවිඩ් වසංගතයට ගොදුරුවුණු ජිවිත සුවපත් කරගන්න ඔවුන් හා සමීපව කටයුතු කරන්නේ අවදානම දැන දැනමයි.

හැම වෛද්‍යවරයෙක්ම උසස් සේවයක් ජනතාවට ලබා දෙන බව සහතිකයි. ඒ අතරිනුත් ඉහළින්ම කැපී පෙනුණු ලොව විශිෂ්ටතම වෛද්‍යවරු දෙදෙනකු ඊයේ පෙරේදා කොවිඩ් වසංගතයේ ගොදුරු බවට පත්වීම කනගාටුදායක සිදුවීමක්.

ඉන් එක් වෛද්‍යවරයෙක් බද්ධ නිවුන් දරුවන් වෙන් කිරීමේ එසේත් නැතිනම් දෙබිඩි දරුවන් වෙන් කිරීමේ සැත්කම් ගණනාවක් සාර්ථක කිරීමෙන් අතිශය කීර්තියට පත් අමෙරිකාවේ ස්නායූ ශල්‍ය වෛද්‍ය ජේම්ස් ටී. ගුඩ්රිච්. අනෙක් වෛද්‍යවරයා ලන්ඩන් නුවර ජිවමාන ශ්‍රේෂ්ඨයා නමින් කාගෙත් ආදරයට පාත්‍රවුණු එසෙක්ස් නුවර ප්‍රින්සස් ඇලෙක්සැන්ඩ්‍රා රෝහලේ වෛද්‍ය අධ්‍යක්ෂ නයිජීරියානු ජාතික අල්ෆා සාඩු.

73 හැවිරිදි වෛද්‍ය ජේම්ස් පසුගිය සඳුදා ඇල්බර්ට් අයින්ස්ටන් විදුහල් වෛද්‍ය මාධ්‍යස්ථානයේදී ජීවිතක්ෂයට පත්වුණු අතර 68 හැවිරිදි වෛද්‍ය අල්ෆා පසුගිය අඟහරුවාදා උතුරු ලන්ඩනයේ වයිටින්ටොන් රෝහලේදි ජීවිතයෙන් සමුගත්තා.

දශක 3කට අධික කාලයක් පුරා දෙබිඩි දරුවන් වෙනුවෙන් ජීවිතය කැප කළ වෛද්‍ය ජේම්ස් කීර්තියට පත්වුණේ 2004දී පිලිපීන ජාතික දෙබිඩි දරුවන්ගේ සාර්ථක සැත්කම සිදු කරමිනුයි. සැත්කම් මාලාවකින් පසුව ඒ දරුවන් දෙදෙනා දැන් ඉතා සුවසේ වෙන් වෙන්ව සිය තාරුණ්‍යය විඳිමින් සිටිනවා. වසර 2016දී ඔහු සිදු කළ තවත් එවැනි සැත්කමක් සඳහා ඔහුට පැය 27ක කාලයක් ගතවුණා.වෛද්‍යවරු 40ක් එක්කාසු කරගෙන සිදු කළ මේ සැත්කම වෛද්‍ය ජේම්ස්ගේ ජීවිතයේ දීර්ඝතම සැත්කමයි.

දශක 4ක කාලයක් වෛද්‍ය වෘත්තියේ නිරතව සිටි වෛද්‍ය අල්ෆා මිය යාමට සති දෙකකට පෙර සිටම රෝගාතුරවයි සිටියේ. ඔහු රෝහල්ගත කරන්න වැඩිමල් පුත්‍රයා සූදානම් වූ විට වෛද්‍ය අල්ෆා එය ප්‍රතික්ෂේප කළේ කොවිඩ් වසංගතයට ගොදුරුවුණු අනිත් අයට ඇඳන් අවශ්‍ය වන බැවින් තමා රෝහලට ඇතුළත් නොකරන ලෙසයි. එසේ කියමින් ඔහු නිවසේ ස්වයං නිරෝධායනයට ලක්වෙමිනුයි සිටියේ.

නමුත් ජීවිත දහසකට වැඩි ප්‍රමාණයකට ජීවය දුන් මේ ජිවකයන්ට කොවිඩ් වසංගතයෙන් බේරීමට දෛවය ඉඩ තැබුවේ නෑ.

Comments