රට මුදාදෙන්නැයි කාදිනල් හිමිගෙන් තේවත්ත බැසිලිකාවට විශේෂ බාරයක් | Page 2 | සිළුමිණ

රට මුදාදෙන්නැයි කාදිනල් හිමිගෙන් තේවත්ත බැසිලිකාවට විශේෂ බාරයක්

ලොව පුරා පැතිරී ඇති කොරෝනා වසංගතය ශ්‍රී ලංකාව ඇතුළු සමස්ත ලෝකයෙන් ඉක්මනින් තුරන් කරන ලෙස ඉල්ලමින් කොළඹ අගරදගරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ සිකුරාදා (3දා) රාගම තේවත්තේ ජාතික බැසිලිකා සිද්ධස්ථානයේදී ලංකා අප ස්වාමිදූවට විශේෂ බාරයක් සිදු කළහ.

එදින පෙරවරු 11ට ආරම්භ වූ විශේෂ මෙහෙයේදී කාදිනල් හිමිපාණන් දේවමාතා ප්‍රතිමාව ඉදිරියේ නිහඬ යාච්ඥාවකින් පසු සිය බාරය ලිපියක ලියා මුද්‍රාකොට එය දේවමාතා ප්‍රතිමාව අසල තැන්පත් කරනු ලැබිණි. එම විශේෂ ලිපිය කිසිවකුට විවෘත කිරීමට අවසර නොලැබෙන අතර කාදිනල් හිමිපාණන් විසින් බාරය ඔප්පු කරනු ලබන අවස්ථාව දක්වා රහසිගතව තිබීම සම්ප්‍රදායයි.

ඉන් අනතුරුව සියලු ශ්‍රී ලාංකිකයන් දේවමාතාවගේ ආරක්ෂාවට බාරකරමින් කැපකිරීමේ යාච්ඥාවක් සිදුකෙරිණ. මෙම අවස්ථාවට ශ්‍රී ලංකා කතෝලික රදගුරු මඬුල්ල නියෝජනය කරමින් කොළඹ සහායක රදගුරු හිමිපාණන් දෙපල සහභාගි වූහ.

මෙම විශේෂ අවස්ථාව සඳහා නිවෙස්වල සිට සහභාගි වන ලෙස අගරදගරු හිමිපාණන් කිතුනු බැතිමතුන්ගෙන් කළ ඉල්ලීම අනුව සියලුම කිතුනු දේවස්ථානවල පෙරවරු 11ට සීනුව නාදකිරීම සහ නිවෙස්වල නිහඬ යාච්ඥාවක් සිදුකරමින් පහනක් දැල්වීම ද සිදුවිය.

 

Comments