රුහුණු රටේ බල අරගලයඋග්‍රවෙයි | සිළුමිණ

රුහුණු රටේ බල අරගලයඋග්‍රවෙයි

මෙරට පැවැත්වෙන සියලු මැතිවරණ වලදී වැඩි අවධානයකින් නිරතුරු කතාබහට ලක්වන මාතර දිස්ත්‍රික්කය ඉතිහාසය පුරා ආණ්ඩු බලය තීරණය කිරීමේදී සුවිශේෂී දායකත්වයක් ලබාදී ඇති දිස්ත්‍රික්කයකි. බල පෙරලිවලදී විශේෂ දායකත්වයක් ලබාදී ඇති මාතර වමේ දේශපාලනයට වැඩි නැඹුරුවක් ඇති බව ප්‍රකට කරුණකි.

මෙවර මහ මැතිවරණයට සූදානම් වෙද්දී මාතර දේශපාලනය උඩු යටිකුරුවෙමින් ඇත්තේ පක්ෂ අතර බලය වෙනුවට පක්ෂ තුළම හටගෙන ඇති හැල හැප්පීම් සමඟය. වෙන් වෙන් වශයෙන් පළාත් පාලන මැතිවරණයේදී තරග කළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණත් එක්ව තරග කරද්දී එක්ව මැතිවරණ කටයුතු සිදු කළ සිටි එක්සත් ජාතික පක්ෂය කොටස් දෙකකට වෙන්වී තරගයට සූදානම්වෙමින් සිටින්නේ ඉතිහාසයේ අලුත්ම අත්දැකීමක් ඡන්දදායකයාට ලබාදෙමිනි.

ජනතා විමුක්ති පෙරමුණ ජාතික ජනබලවේගය ලෙසින් නම වෙනස්වුව ද තරගයට පැමිණ ඇත්තේ එකම කණ්ඩායමක් වීමද විශේෂත්වයකි.

එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් පසුගිය කාලය පුරාම මාතර විශාල කාර්යයක් සිදු කළ මංගල සමරවීර මෙවර ඉන් වෙන්වී සජිත් ප්‍රේමදාසගේ නායකත්වයෙන් යුතු සමගි ජනබලවේගය යටතේ තරග බිමට පැමිණෙද්දී බුද්ධික පතිරණ, චතුර ගලප්පත්ති, රංජිත් මුණසිංහ, රෙහාන් ජයවික්‍රම වැනි ප්‍රබලයින් ඒ වටා එක්ව සිටිති.

එක්සත් ජාතික පක්ෂයේ සාගල රත්නායක මහතා තරගයෙන් ඉවත්ව ජාතික ලැයිස්තුවට හැරෙද්දී පක්ෂයට යම් ශක්තියක් වන්නට ගයාන් සංජීව හා බී. ජී. ප්‍රියන්ත (පොඩිකඩේ ප්‍රියන්ත) හිටපු පළාත් සභා මන්ත්‍රීවරු එක්ව සිටිති.

පසුගිය 2015 මහ මැතිවරණයේදී මාතර දිස්ත්‍රික්කයට මන්ත්‍රීධූර අටක් හිමිව පොදුජන එක්සත් පෙරමුණට මන්ත්‍රී ධූර පහක් හා එක්සත් ජාතික පක්ෂයට මන්ත්‍රී ධූර තුනක් ලෙස බෙදී ගිය ද මෙවර එම තත්වය වෙනස්වෙමින් දිස්ත්‍රික්කයට හිමිවන්නේ මන්ත්‍රීධූර හතකි.

2019 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල අනුව ගෝඨාභය රාජපක්ෂ මහතා ලබාගත් දිවයිනේ වැඩිම ඡන්ද ප්‍රතිශතය වාර්තා වූයේ මාතර දිස්ත්‍රික්කයෙනි. ඒ 67.25% කි. එම ප්‍රතිශතය හිමිවූවේ ලියාපඳිංචි ඡන්ද 652417 අතරින් ප්‍රකාශිත 560650කින් ය. එහි ආසන ප්‍රතිඵල අනුව 71.53%ක වැඩිම් ප්‍රතිශතය කඹුරුපිටිය ආසනයෙන් ද එහි දෙවැනි තැන 71.13% ලබාගත් හක්මණ අසනයෙන් ද වාර්තා විය. එම ප්‍රතිඵලය අනුව බැලූ කළ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට මන්ත්‍රීධූර පහක් හිමිවන ආකාරයක් දක්නට ඇතිබව දේශපාලන විචාරකයින්ගේ මතයයි. එසේවුව ද දැනට ඇතිවෙමින් තිබෙන තත්වයන් හමුවේ ජනමතය කෙසෙල හැසිරවේදැයි මේ වන විට පූර්ව විනිශ්චයක් ලබාදිය නොහැකි බව ඇතැම් දේශපාලන විචාරකයින්ගේ මතයවී තිබේ. ජනගහන ඝනත්වය අනුව මාතරට එක් අසුනක් අහිමිව ඇත. එය ඌව පළාතට හිමිව තිබේ. එයද මේ මැතිවරණයේ පක්ෂ අතර මනාප පොරය වැඩිවන්නට හේතු වී ඇත.

මහින්ද සුළඟත් සමග එකට බැඳී ගොඩනැගුණු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මහ මැතිවරණයේ නාම යෝජනා භාරදීමත් සමග අභ්‍යන්තර බල අරගලයන් ඇතිවෙමින් ඇතැයි විවිධ කටකතා පැතිර යමින් ඇත.

ඉන් එක් කට කතාවක්වූයේ අභාවප්‍රාප්ත චන්ද්‍රසිරි ගජධීර මහතා වෙනුවෙන් කොමියුනිස්ට් පක්ෂය හිටපු දකුණු පළාත් සභා අමාත්‍ය වීරසුමන වීරසිංහ නම්කරද්දී ඒ සඳහා බලාපොරොත්තු තබාගෙන සිටි හිටපු දකුණු පළාත් සභා අමාත්‍ය බිංදු වීරසිංහ අමනාපයෙන් පසුවන බවයි. එම තත්වය අමාත්‍ය ඩලස් අලහප්පෙරුමගේ අවශ්‍යතාව මත සිදුකරන ලද්දක් බවට බිංදු වීරසිංහ චෝදනා කරන බව ද එම කතාවෙන් කියැවිණි.

එහෙත් පසුව සමාජ මාධ්‍ය වෙත බිංදු වීරසිංහ නිකුත් කර තිබී වීඩියෝවක් මගින් එම කතාව චේතනාන්විතව ගොතන ලද්දක් බවත් එවැනි කිසිදු මතභේදයක් නොමැති බවත් දක්වා තිබුණි.

මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සම්බන්ධයෙන් පැතිර යන කතා අතර තවත් කතාවක් වූයේ වීරසුමන වීරසිංහ නියෝජනය කරන දෙනියාය ආසනයෙන් රාජපක්ෂ පරම්පරාවේ සමාජිකයකු වූ නිපුන රණවක මහතා ඉදිරිපත් කිරීම ය. නිපුන රණවක යනු චමල් රාජපක්ෂ මහතා ප්‍රමුඛ, රාජපක්ෂ පවුලේ බාල සහෝදරියගේ පුතණුවන් ය. එමෙන්ම මහින්ද යාපා අබේවර්ධන මූලික වී වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති පුෂ්පකුමාර බැට්ටගේට නාම යෝජනා ලැබීම නැවැත්වූයේයැයි පවසමින් පුෂ්පකුමාර බැට්ටගේ ද උරණව සිටින බව පැතිර යන තවත් කතාවකි.

මේ සියලු කතා පැතිර යද්දී හිටපු තොරතුරු තාක්ෂණ හා සන්නිවේදන රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නාම යෝජනාවේ සිටිය ද කණ්ඩායමෙන් වෙන්ව තනිව මැතිවරණ ව්‍යාපාරයේ නිරතවන ආකාරයක් දක්නට ලැබෙද්දී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මාතර දිස්ත්‍රික් කණ්ඩායම් නායක ඩලස් අලහප්පෙරුම සමග අනෙක් පිරිස එකම කණ්ඩායමක් ලෙසට එකටම සිටිමින් මැතිවරණ ව්‍යාපාරයට එක්ව සිටිති.

පවුල් උරුමය මත දේශපාලනයට පිවිස පස්දෙනෙකු ප්‍රධාන ධාරාවන් දෙක හරහා මෙවර මහ මැතිවරණයට ඉදිරිපත්ව ඇත. ඒ කංචන විජේසේකර, මනෝජ් සිරිසේන, චතුර ගලප්පත්ති, රෙහාන් ජයවික්‍රම හා නිපුණ රණවකය. මේ පිරිස පවුල් උරුමයෙන් දේශපාලනයට පිවිසිය ද අද වන විට තමන්ටම අනන්‍ය වූ දේශපාලන අනන්‍යතාවයන් ගොඩනගාගෙන ඇත. ඒ පිරිස අතර මුළු රටේම ජනප්‍රියත්වයක් හිමිකරගෙන ඉතා වේගයෙන් පෙරට පැමිණ ඇත්තේ හිටපු තේ කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය කංචන විජේසේකරය. ඔහු දේශපාලන වේදිකාවේ මෙන්ම වාද විවාදවල ද තම අනන්‍යතාවය තහවුරු කරගෙන ඇත.

නාම යෝජනා ලැයිස්තු දෙස බැලීමේදී මෙවර නවකයින් ලෙස පාර්ලිමෙන්තු යන්නට උත්සාහ දරණ අය අතර ප්‍රධාන ධාරාවන් තුනෙහිම උපාධිධාරීන් එක්ව සිටීම කැපී පෙනෙන ලක්ෂණයකි. ඉන් වැඩිම උපාධිධාරීන් පිරිසක් නියෝජනය කරන්නේ ජාතික ජන බලවේගයයි. මෙම කණ්ඩායම් අතරින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සරත් ද අල්විස් රුහුණ විශ්වවිද්‍යාලයේ කලා උපාධිධාරී ගුරුවරයෙකු මෙන්ම හිටපු දකුණු පළාත් සභා මන්ත්‍රීවරයෙකි.

එමෙන්ම එම පෙරමුණෙන්ම තරග වදින නිපුන රණවක ද ව්‍යාපාර පරිපාලනය පිළිබඳ උපාධිධාරියෙකි. සමගි ජනබලවේගය නියෝජනය කරන චතුර ගලප්පත්ති කොළඹ විශ්වවිද්‍යාලයේ පරිගණක ඉංජිනේරු උපාධිධාරයෙකු මෙන්ම හිටපු දකුණු පළාත් සභා මන්ත්‍රීවරයෙකි. ජාතික ජනබලවේගය නියෝජනය කරණ සරෝජා සාවිත්‍රි පෝල්රාජ් ද කැලණිය විශ්වවිද්‍යාලයේ උපාධිධාරී ගුරුවරියක මෙන්ම දේශන සඳහා එක්වන තැනැත්තියකි. මෙවර මාතරින් තරඟ වදින එකම කාන්තාව ද ඇයයි. එම කණ්ඩායමේ ජයන්ත පතිරණ නීතිවේදියෙකි.

මාතර දිස්ත්‍රික්කය සඳහා මෙවර පිළිගත් දේශපාලන පක්ෂ දහසයක් හා ස්වාධීන කණ්ඩායම් අටක් නාම යෝජනා භාරදුන්න ද ඉන් ශ්‍රී ලංකා සමාජවාදී පක්ෂය, ජනසෙත පෙරමුණ හා ජාතික කොංග්‍රසයේ නාම යෝජනා ප්‍රතික්ෂේප වූ අතර එක් ස්වාධීන කණ්ඩායමක ද නාම යෝජනා ප්‍රතික්ෂේප වූ බවට වාර්තා වේ.

ඒ අනුව මෙවර මැතිවරණය සඳහා පිළිගත් දේශපාලන පක්ෂ දහතුනක් හා ස්වාධීන කණ්ඩායම් හතක් ඇතුළු කණ්ඩායම් විස්සක් තරගයට එක්ව සිටින අතර එක් කණ්ඩායමකට දසදෙනා බැගින් අපේක්ෂකයින් දෙසිය දෙනෙකු දේශපාලන පොරපිටියේ සටන් වදිනු ඇත. එහෙත් ඉන් පාර්ලිමෙන්තු වරම් හිමිවන්නේ හත්දෙනෙකු සඳහා පමණි. මැතිවරණ කොට්ඨාස හතක් ඇති මාතර දිස්ත්‍රික්කයේ මෙවර ඡන්දය භාවිත කිරීම සඳහා සුදුසුකම් ලබා ඇති ලියාපඳිංචි ඡන්ද සංඛ්‍යාව හයලක්ෂ පනස් නවදහස් පන්සිය අසු හතකි.

මැතිවරණය ප්‍රකාශයට පත්කිරීමට පෙර සිට ප්‍රධාන දේශපාලන පක්ෂ තම කණ්ඩායම්වල ජයග්‍රහණය වෙනුවෙන් සංවිධාන කටයුතු දියත් කර තිබුණ ද නොසිතූ ලෙස කොරෝනා වෛරසයේ ව්‍යාප්තියත් සමග සියලු සැලසුම් අකර්මන්‍ය කර ඇත. ප්‍රධාන රැළි, ගෙවතු රැස්වීම් ඇතුළු ජනතාව දැනුවත් කිරීමේ ප්‍රධාන ප්‍රචාරක මං සියල්ල අඩපණ වී ඇත.

මේ තත්වය හමුවේ මෙවර මහ මැතිවරණයේදී ජනතාවගේ තීන්දුව කෙසේ ක්‍රියාත්මකවේදැයි වෙනදාමෙන් පූර්ව අනාවැකි කීමට පවා නොහැකි තත්වයක් උදාවී තිබේ.

 

Comments