සිවුපා මිනිසා | සිළුමිණ

සිවුපා මිනිසා

මම පෝලිමක අග්ගිස්සේ රැඳී සිටිමි. ඒ බස් ගමනක්, දුම්රිය ගමනක් හෝ ගුවන් ගමනක් සඳහා නොවේ. කුණුකොල්ලයට බඩු විකුණන, උපභෝග-පරිභෝග භාණ්ඩ ගොඩගසා ඇති සේල්පොලකින් ලාබ බඩුවක් මිලදී ගැනීමේ අරමුණින් ද නොවේ. මගේ අතේ රැඳී තිබෙන්නේ මුදල් පසුම්බියක් නොව පිඟානකි. මේ බෙලෙක් පිඟාන ද අතැතිව මා පෝලිමට එක්වී සිටින්නේ පාතරාසය සඳහා ය. කුසගිනි නිවාගැනීමට ය. ලොකු කල්දේරම්වල මහා පරිමාණයෙන් ඉදෙන ලුණුඇඹුලින් තොර මේ වෑක්‍ද්ජන සුවඳ කලක් මා තුළ දැනවූයේ අපුලකි. ඒ අපුල සුන්නද්ධූලි කර දැමුවේ වැලකිය නොහැකි කුසගින්නයි.

මා රැඳී සිටින්නේ සිර මැදිරියකයි. මේ, බන්ධනාගාරයේ උදේ ආහාර වේල සැපයෙන හෝරාවයි. මා ඉන්නේ ඒ ආහාර පෝලිම අගභාගයේයි. ජීවිතයේ ඉහළම අපේක්ෂාව කුමක් දැයි සිරකරුවකුගෙන් ප්‍රශ්න කළොත් නිසැකවම ලැබෙන පිළිතුර වන්නේ ‘නිදහස’ යි. නිදහස යන්නෙහි සැබෑ අරුත වචනයේ පරිසමාප්තාර්ථයෙන්ම හඳුනා සිටින්නේ ද සිරකරුවාමයි. නිදහස සිත්සේ බුක්ති විඳගන්නට සිරකරුවාට අවකාශයක් විවර කරදෙන එක ම එක අවස්ථාව වන්නේ සිහිනයයි.

මනස්කාන්ත කඳුකරයක් මැදින්, මහ සගරයට ඉහළින් කුරුල්ලන් ද සමඟ මා නිදහසේ පියාසර කළේ ඊයේ රාත්‍රියේදී ය. පියාපත් තිබුණේ ද නොතිබුණේ දැයි නිශ්චිත නොවූවත් මා ඇදීයමින් සිටියේ ගහකොළවලට ඉහළිනි. අසීමිත නිදහසක් අත්විඳිමින් ළය පුරා හුස්ම ගනිමින් අනන්තයට ඇදී යමින් සිටි මගේ සිහිනය බිඳ දැමුවේ අටසිය අට ඉලක්කමේ ගොරහැඩි ගොරොද්දයයි.

මිහිරි සිහිනය බිඳ දැමූ 808 කෙරෙහි මගේ සිතට දැනුණ තරමේ වේදනීය කෝපයක් මේ සිරදඬුවම පැනවුණු අදිකරණ ශාලාවේදී හෝ මා තුළ පැනනැගුණේ යැයි මම නොසිතමි. මා අඳුරට පෙම් බඳින්නට වූවේ එතැන් සිට ය. හිරු බැසයන තුරුම අඳුරේ අතපතගාමින් සිටින මට ආලෝක පහන් දල්වන්නේ රාත්‍රියයි. රෑ අඳුරේ මම පහසුවෙන් හුස්ම ගනිමි. අඳුර, නින්ද හා සිහිනය මට ඉතා නිර්ලෝභී ලෙස නිදහස ප්‍රදානය කරයි.

නිදහස...?

වචනයේ පරිසමාප්තාර්ථයෙන්ම මම නිදහස්කාමියෙක්මි. මගේ ජීවිතයේ ඒකායන අරමුණ වූයේ ද නිදහසයි. බාහිර ලෝකය, සමාජය මට නිදහස ලබාදුන්නේ යැයි කියනවාට වැඩියෙන් ඒ පිළිබඳ නිවැරදි අර්ථකථනය වන්නේ මා නිදහස අත්පත් කරගත්තේ යැයි පැවසීමයි.

කුඩා කල පටන්ම මා ජීවත්වූයේ නිදහසේ ය. විවාහ වූයේ ද නිදහසේ ය. රූමත් මුහුණක් දැකීමෙන් හටගත් ක්ෂණික ආකර්ෂණයේ මුල් සතියේම ඒ රුවැත්තිය විවාහය කරා කැඳවා ගන්නට මට හැකිවිණ. ඒ වූ කලී මා අත්පත් කරගෙන සිටි නිදහසේ බලපරාක්‍රමයයි.

ඇගළුම් කම්හලක ශ්‍රමය වැගිරුව ද අමාට තිබුණේ රැජිනකගේ පෙනුමකි. මගේ අලුත්ම අවුඩි රථය ඇය අසල තිරිංග තද කළ අවස්ථාවේ ඒ කාන්තිමත් දෑසේ මතුවූ බිය දැනුදු මට සිහි කළ හැකි ය. ‘මං ඔයාව කසාද බඳිනවා’ යි මා කී මොහොතේ ඒ දෑසින් කඳුළු ගලා ගියේ ය. ඒ ඇයි දැයි තවමත් මම නොදනිමි.

‘ඇයි මගේ බුදු පුතේ! ආතක්-පාතක් නැති ගෑනියෙක් සහේට අරං හැමෝටම දුක් දෙන්නේ?’ යි අම්මා විලාප කියමින් ඇඬුවා ය.

‘මං කැමති ගෑනියෙක් තෝරගන්න මට නිදහස නැද්ද?’ යි මම ඇසුවෙමි.

විවාහ වී ටික කලකින් අමාගේ දෑසේ ශෝභාව මැකී යද්දී, (මට එසේ පෙනීයද්දී) අප්සරාගේ දෑසින් ආලෝකය උරගා බලන්නට මට සිතුණේ ද මා විශ්වාස කළ මගේ නිදහස නිසාම ය. මගෙන් හරස් ප්‍රශ්න නැගූ අමාගෙන් මා තර්කානුකූලව ප්‍රශ්න කළේ ‘කසාද බැන්දයි කියල මිනිහෙකුගේ නිදහසට තහංචි දාන්න පු`ඵවන්ද?’ යි කියා ය.

‘මට මගේ පාඩුවේ රස්සාව කරගෙන ඉන්න නොදී ඔහේ මාව විනාශ කළා’ යි අමා මට චෝදනා නගන්නට වුණා ය. අඩි හප්පා, පිඟන් කෝප්ප පොළොවේ ගසා මම ගෙදරින් පිටවුණෙමි. මා එසේ මගට බැස්සේ ද නිදහස සොයා ය.

අවන්හලේ රෑ කිරිල්ලියන් සමඟ මධුවිතෙන් සන්තර්පණය වෙමින් සිටියදී අමා ඉඳහිට මගේ සිතට එබිකම් පෑ අවස්ථා ද තිබේ. ඇගේ සේයාව අමතා මා කීවේ ‘උඹ ඕන කුදයක් ගහගනිං’ කියා ය. සිහිවිකල් වී නිවෙසට අඩිය තැබූ එවැනි එක් මැදිරැයක අමා මට දෙස්දෙවොල් තබන්නට වුණා ය. ඇය සිටියේ වැලහින්නක මෙන් වැළපෙමිනි.

‘තිරිසනා..’

දෙපයින් මතුවූ ගින්දරක් මගේ ඉස්මුදුනින් පිටවූවේ ය. ‘උඹේ නම්බුකාරකම ගැන කවුද නොදන්නේ?’ යි මම කෝපයෙන් මුරගෑවෙමි. මා සිටියේ ගින්නක දැවීයමිනි. මට සිතුණේම ඇය මරාදමන්නට ය. මගේ කෝපය ඉහවහා යන්නට වුණේ මා ඇය වෙනුවෙන් කවර තරමේ පරිත්‍යාගයක් කර ඇත්තේ දැයි සිතද්දී ය. එහෙත් ඉදිරියට පිනූ පිම්ම මා හරහට ගෙන ගොස් තිබූ අතර පිම්මේ වේගය අඩාල කරමින් මගේ දැවැන්ත සිරුර කවිච්චියක ගැටීතිබුණේ ය. මම බිම වැටී සිටියෙමි.

‘තිරිසනා, බලාපං ඔය... දැනුත් උඹ ඉන්නේ හතරගාතෙන්මයි’

මගේ කෝපගින්න රතු ඉර පැන්නූ ප්‍රබල ම ඉන්ධනය වූයේ ඒ වන විට සැබැවින්ම මා රැඳී සිටියේ සිවුපයින්ම බව මට පෙනීයාමයි. බරැති පිත්තල මල්පෝච්චිය අතට ගත් මම ඇයට හිතේ හැටියට පහර දෙන්නට වුණෙමි. හිසෙන් ලේ පනිනතරු, හිස්කබල පිපිරී යනතුරු ඉවක් බවක් නැති අයුරින් මා ඇයට පහර පිට පහර දුන්නේ ඇගේ ඇත්ත - මා ඉන්නේ පාද සතරකිනි යි යන්න බරපතළ ලෙස මා රිදවමින් තිබූ නිසාම ය. එහෙත් ඇය මිය යනු ඇතැයි, ඇයට මියයන්නට හැකි වනු ඇතැයි මට තුන්සිතකින් වත් සිතාගත හැකිවූයේ නැත.

මා ‘නිදහස’ හඳුනාගත්තේ දෑතට විලංගු වැටුණ මොහොතේ ය. රිමාන්ඞ් භාරයේ සිටියදීත්, සිරගත වූ පසුවත් මා දිගින් දිගටම කල්පනා කළේ නිදහසේ අරුත පිළිබඳව ය. අමාගේ ජීවිතයට ප්‍රවිශ්ට වී ඇගේ ආත්මයට ආරූඨ වී ඇය ගැන සිතන්නට මට අවකාශයක් විවර වූයේ ද ඒ අනුව ය. අතීතාවලෝකනය සඳහා බන්ධනාගාරය මට දීර්ඝ ඉසිබුවක් ලබාදී තිබිණ.

අමා ගැන මෙන් ම වෙනයම් කිසිවක් ගැන හෝ සිතන්නට කල්පනා කරන්නට එකල මට ඉස්පාසුවක් වූයේ දැයි දැන් මම සිතාබලමි. නැවත නැවතත් සිතමි. මම කොතරම් නම් කාර්යබහුලව සිටියෙම් ද? බැංකු ගනුදෙනු, ව්‍යාපාරික කටයුතු, බිල්පත් මා විඩාභරිත කර, පීඩනයට පත්කර නොතිබුණේ ද? මගේ මේසය පිරී තිබුණේ බිල්පත්වලින් හා ණය වාරික පිළිබඳ සිහිකැඳවීම්වලිනි. ඒ යාන්ත්‍රික ජීවිතයට විසල් අවකාශයක්, ඉසිඹුවක් විවර කළේ මේ බන්ධනාගාරයයි.

මගේ නිදහස මෙන් ම අමාගේ නිදහස ගැන ද අලුත් මානයකින් නෙත් හෙළන්නට මට හැකිවූයේ ඉන් පසුව ය. දැන් බොහෝ විට මම ඇගේ නිදහස හා මගේ නිදහස සියුම් පරීක්ෂාවකට ලක්කරමි. ව්‍යවච්ඡේදනය කරමි. අප නිදහස බුක්ති විඳි අවස්ථා, අපට නිදහස අහිමිවී ගිය අවස්ථා වෙන් වෙන් වශයෙන් ගෙන යළි යළි පිරික්සමි. මට පමණක් ම සාධාරණ වූයේ යැයි මා සිතා සිටි කෝපගැනීමේ අයිතිය ඇයට ද සාධාරණ වූවක් නොවන්නේ දැයි ඒ ඇතැම් විටක මගේ සිත විමසයි. තවත් අවස්ථාවකදී ඒ සිත දෙපිල බෙදී තර්ක කරන්නට වෙයි. මධුවිත හා රෑ කිරිල්ලියන් හොයා යන්නට මා පෙළඹවූයේ ජීවිතයට වෙනසක් ඕන කළ නිසා යැයි මා වෙනුවෙන් තර්ක කරන සිතේ එක් පාර්ශ්වයක් මතක් කර දෙද්දී මා පිඟන් කෝප්ප පොළොවේ ගැසුවේ ද ඒ මානුෂීය ස්වභාවය නිසාම නොවේ දැයි සිතන්නට - මා සාධාරණීකරණය කරගන්නට මම යොමු වෙමි. එහෙත් මේ කිසිදු ක්‍රියාකාරකමක නොයෙදී, ඇය, ඇගේ කෝපය සමනය කරගත්තේ කෙසේ දැයි තර්කානුකූලව විමසා සිටින්නේ සිත තුළ ඇය වෙනුවෙන් පෙනී සිටින පාර්ශ්වයයි. සැණෙකින් මට මගේ චුදිතභාවය පිළිගැනීමට සිදුවෙයි. නිදහසේ අරුත මා කොතරම් නම් වරද්දාගෙන ඇත්තේ ද?

‘මස්සිනේ, ආයෙ නං ඉතිං අපට මුණගැහෙන්න පු`ඵවං වෙයි ද කියන්න බෑ. මේ ගමන නිදහස්දාට මාත් නිදහස්’

කන අසලින් උදාරම් ලෙස ඒ ප්‍රීතිවාක්‍ය තෙපළන්නේ ඉලක්කමකි. මම මලාණික සිනාවකින් දෙතොල් විවර කරමි. සු`ඵ වරදකට සිරදඬුවම් ලැබූ අංකයකට මෙවැනි දුර්ලභ අවස්ථා උදාවෙතත් දිවිඇතිතෙක් සිරදඬුවම් විඳින අංකයකට විශේෂ දවසක්, ආශිර්වාදයක් වීමට බැරි ය.

මම දෑස් පියාගෙන අඳුරට තුරු`ඵවෙමි. ආලෝකයෙන් මිදෙන්නට මා තුළ වන අභිලාෂය දිනෙන් දිනම ප්‍රසාරණය වෙමින් ඇතිසේ ය. නොබෝ දිනකට පෙර බන්ධනාගාරයට පැමිණි දේශකයා එක්වරම මගේ මතකයේ නැගී සිටියි. දේශකයාගේ හඬ මට ඇසෙන්නට වෙයි. ඔහු කතා කරන්නේ නිදහස පිළිබඳව ය. නිදහසේ සුවය රිසි ලෙස අත්දැකිය හැකිවන්නේ වගකීම් සහගත වූ තරමට යැයි ඔහු කියයි. ඒ අදහස ඔහු ඉදිරිපත් කරන්නේ මහා කවි රබින්ද්‍රනාත් තාගෝර්තුමන්ගේ උද්ධෘතයක් උපුටා දක්වමිනි.

ලොකු හුස්මක් ඉහළට ඇදගන්නා මම, එය සෙමින් සෙමින් මුදාහරිමි. ප්‍රානයාම ගැන, ආනාපානසති භාවනාව ගැන අසා තිබුණ ද ඒවා අත්හදා බලන්නට මා කිසිවිටෙකත් යොමු වී නැත. එහෙත් අඳුරු සිරකුටිය තුළ හුස්ම ගැන අවධානයෙන් සිටින විටදී ඒ පිළිබඳ සියුම් කල්පනාවන් සිතට නැගෙයි. ඉහළට ඇදගන්නා හුස්ම රඳවා තබා ගැනීමට හැකි දැයි සොයන්නට මම මඳක් තත්පර වෙමි. නොහැකි ය. හුස්ම ගන්නා ඕනෑම කෙනෙකුට හුස්ම ආපසු හෙළීමට ද සිදුවීම නියතියකි. නැතහොත් සිදුවන්නේ මියයන්නටයි. හුස්මේ සියුම් හඬ මට දිගින් දිගටම ඇසෙයි. ජීවිතය යනු ලබාගැනීම හා ප්‍රදානය කිරීම ම නොවන්නේ දැයි ඒ හඬ මගෙන් අසයි.

ජීවිතය අලුතින් පටන් ගත හැකි නම්! යි මම සිතමි. ජීවිතයේ කිසියම් සන්ධිස්ථානයකදී මේ සිතිවිල්ල හැම දෙනෙකු තුළම හටගැනෙන බවට සැක නැත.

එහෙත්...?

 

 

Comments