මාරාන්තික වයිරසයක් ආසාදනය වූවකු නිසා මගී දුම්රියකට අත් වූ ඉරණම ගැන කියන | සිළුමිණ

මාරාන්තික වයිරසයක් ආසාදනය වූවකු නිසා මගී දුම්රියකට අත් වූ ඉරණම ගැන කියන

මාරාන්තික කොරෝනා වසංගතයට එරෙහිව සෞඛ්‍ය හා ආරක්ෂක බලධාරීන් විසින් අද දියත් කර ඇති සංග්‍රාමය සිහිපත් කරවන සුලු චිත්‍රපටයක් 1976 දෙසැම්බර් 18 වෙනිදා මුදා හරිනු ලැබිණි. මේ කියන දිනයේ එය ඉතාලිය සහ ජපානයේ ප්‍රදර්ශනය ආරම්භ කළ අතර, 1977 පෙබරවාරි 9 වෙනිදා සිට ඇමෙරිකා එක්සත් ජනපදයේ ද, 1977 මාර්තු 31 මහා බ්‍රිතාන්‍යයේ ද ප්‍රදර්ශනය පටන් ගන්නා ලදී.

ජොර්ජ් පෑන් කොස්මෙටෝස් විසින් අධ‍‍යක්ෂණය කරන ලද මෙම චිත්‍රපටයේ හොලිවුඞ් සිනමා ඉතිහාසයේ සදා නොමැකෙන තරු බවට පත් වූ සොෆියා ලොරේන්, රිචඞ් හැරිස්, බර්ට් ලැන්කැස්ටර්, ආවා ගඩ්නර් සහ මාටින් ෂීන් ඇතුළු සුප්‍රකට නළු නිළියන් ගණනාවක් චරිත නිරූපණය කළහ. මෙම තරු වලට තිබූ ආකර්ෂණය හේතු කොට ගෙන රූප ගත කිරීමට ද පළමුව චිත්‍රපටයේ අයිතිය අලෙවි කිරීමට ඔවුනට හැකිවිය.

සොෆියා ලෝරෙන් ගේ සැමියා වූ සුප්‍රකට චිත්‍රපට නිෂ්පාදක කාලෝ පොන්ටි මෙහි නිෂ්පාදකවරයා වූ අතර චිත්‍රපටයේ ධාවන කාලය මිනිත්තු 129 කි. සුප්‍රකට රචකයන් සිව් දෙනෙකු මෙහි තිර රචනයට දායක වූ අතර, අධ්‍යක්ෂ ජොර්ජ් පෑන් කොස්මෙටෝස් ද ඉන් එක් අයෙක් විය. ඩොලර් මිලියන 3 ක් වැය වූ මෙම චිත්‍රපටය විශාල ආදායම් වාර්තාවක් තැබීමට සමත් වූ අතර, පොදු සිනමා ප්‍රේක්ෂකයා තුළ මතකයේ රැඳෙන නමක් බවට පත්වීමටද සමත් විය.

චිත්‍රපටය ආරම්භ වන්නේ ජිනීවාහි අන්තර්ජාතික සෞඛ‍්‍ය සංවිධානයේ ගොඩනැඟිල්ල වෙත ත්‍රස්තවාදීන් තිදෙනෙකු ළඟා වීමෙනි. ඔවුන් ඒ වෙත ළඟා වන්නේ ගිලන් රථයක බහා ගත් හදිසි රෝගියෙකු රැගෙන එන අයුරිනි.

ඒ වනවිටත් මාරාන්තික කොරෝනාව වැනි භයානක වයිරසයකට එරෙහිව මෙහෙයුමක් සැලසුම් කර සිටින ලෝක සෞඛ‍ය සංවිධානයේ විද්‍යාඥයන් විසින් ගොඩනැඟිල්ලේ දැඩි ආරක්ෂිත කලාපයක් තුළ මෙකී වෛරසය සහිත මංජුසාව ස්ථාන ගතකර තිබේ. ත්‍රස්තවාදීන්ගේ අරමුණ වන්නේ එය පැහැර ගැනීමය. රෝගියා සහිත ඇඳ රැගෙන යන මුවාවෙන් ත්‍රස්තවාදීන් මේ පෙදෙසට ඇතුළුවීමට උත්සාහ ගනු ලැබුවත්, සිය ජීවිත පරදුවට තබා ඔවුන් හා සටන් වදින ආරක්ෂක භටයෙකු ඉන් එකෙකු මරා දමයි. නමුත් ත්‍රස්්තවාදියකුගේ වෙඩි පහරින් සිය ප්‍රාණය නිරුද්ධ වීමට ප්‍රථම අනතුරු හැඟවීමේ සංඥා බොත්තම ඔබමින් සිය අවසාන යුතුකම ඉටු කිරීමට ඔහු සමත් වෙයි.

මේ නිසා ඒ වනවිට විද්‍යායාගාරයට ඇතුළු වී සිටින ත්‍රස්තවාදියා කොටු කර ගැනීමට ආරක්ෂක නිලධාරින්ට හැකි වෙයි. නමුත් ඒ වන විටත් වෙඩි හුවමාරුව හේතු කොට ගෙන, වයිරසය අඩංගු මංජුසාව විනාශව ගොසිනි. වෙඩි පහරවල් නිසා මෙන් ම වයිරසය ආසාදනය වීම නිසා ද අසාධ්‍ය වන මෙම ත්‍රස්තවාදියා සැණෙකින් නිරෝධායනයට ලක් කර ප්‍රතිකාර අරඹන මුත් ඔහු මිය යයි.

අනෙක් ත්‍රස්තවාදියා ද වයිරස් ආසාදනයට ලක්වන නමුත් මේ කලබලය මධ්‍යෙය් පළා යෑමට සමත් වෙයි. ඔහු පළා යාමට උත්සාහ දරණු ලබන්නේ ජීනීවා සිට ස්ටොක්හොම් බලා යන දුම්රියට ගොඩවීමෙනි.

චිත්‍රපටයේ නාටකීය ස්වභාවය ගොඩනැඟෙන්නේ මින් අනතුරුවය. මන්ද යත් දුම්රියේ මගී ජනතාව අතර විවිධාකාර චරිත ගණනාවකගේ සාමාන්‍ය ජීවන ප්‍රතික්‍රියා මෙන් ම මෙම අනතුර පිළිබඳ දැනුවත් වීමෙත් සමඟ ප්‍රතික්‍රියා දක්වන ආකාරයත් මෙහි විචිත්‍රවත් ආකාරයෙන් රූප ගත කෙරී සංස්කරණයට ලක්ව ඇති බැවිනි. දුම්රියේ වූ මගීන් අතර, මේ වන විට සුප්‍රකට ස්නායු රෝග විශේෂඥ වෛද්‍යවරයකු වන ජොනතන් වෙම්ර්ලයින් (රිචඩ් හැරිස්), ඔහුගේ හිටපු බිරිය, වර්තමාන බිරිය, ජර්මානු අවි වෙළෙන්දෙකුගේ බිරිය, ඇයගේ අනියම් පෙම්වතා, ජර්මන් සිර කඳවුරකින් දිවි ගලවා ගත් පුද්ගලයෙකු, සහ පූජකයෙකු ලෙස වෙස්වළාගත් ජාත්‍යන්තර පොලිසියේ ඒජන්තවරයෙකු ද මෙහි වෙති. මෙම නිලධාරියා මෙහි පැමිණ ඇත්තේ ජර්මන් අවි වෙළෙන්දාගේ බිරියගේ අනියම් සැමියාව කොටුකර ගනු පිණිස ය. මේ තැනැත්තා ඉහළ මට්ට්මේ හොරොයින් ජාවාරම් කරුවෙකු වීම මෙම ලුහුබැඳීමට හේතුවී තිබේ.

දුම්රියෙන් පිටත ලෝකයේ වූ පෙරකී සිදුවීම ගැන හෝ මාරාන්තික වයිරසයක් ආසාදිත වූ ත්‍රස්තවාදියෙකු තමන් අතරට පැමිණ ඇති බව හෝ නොදන්නා මගීහු කෙළි දෙළෙන්, සතුටින් චාරිකාවේ යෙදෙන අතර, ඇමෙරිකා එක්සත් ජනපදයේ බුද්ධි අංශයේ කර්නල් මැකෙන්සි මෙම අනතුරට මුහුණදීමේ සැලසුමක යෙදේ.

අනතර් ජාතික සෞඛ්‍ය සංවිධානයේ විශේෂඥ වෛද්‍යවරියක වන හෙලේනා ස්ට්‍රඩ්නර් සමඟ වික්‍රියා නැමැති මෙම වෛරසයේ ස්වභාවය ගැන සාකච්ඡාවක යෙදෙන කර්නල්වරයාගේ අදහස වන්නේ ත්‍රස්තවාදියා මගින් දුම්රියේ ගමන් ගන්නා සියල්ලන්ට ම මෙම රෝගය ආසාදනය විය හැකි බවයි. වෛද්‍යවරියගේ තර්කය වන්නේ ත්‍රස්තවාදියා ඉවත් කර දුම්රිය නවතා නිරෝධායනය කළ යුතු බවයි. නමුත් මගීන් සියලු දෙනාම ආසාදනයට ලක්වී ඇතැයි දැඩි ලෙස කල්පනා කර්නල්වරයා පාලක මැදිරිය හා එක්ව මෙම දුම්රියේ ගමන් මඟ වෙනස් කරයි. නව මාර්ගය වන්නේ 1948 සිට භාවිතයට නොගෙන ඉවත් කරන ලද දුම්රිය මාර්ගයකි. ගමන් මඟ වෙනස් කිරීමේ අරමුණ වශයෙන් මගීන්ට පවසන්නේ ඉදිරි මං පෙතෙහි ත්‍රස්තවාදීන් විසින් බෝම්බ අටවා ඇති නිසා මෙවැනි තීරණයක් ගැනීමට සිදු වූ බවය. ඒ අනුව මෙම දුම්රිය ගමන් කිරීමට සිදුවන්නේ “කැසෙන්ඩ්‍රා ක්‍රොසින් “ නමින් හැඳින්වෙන වානේ ආරුක්කු පාලම හරහාය. පැරණි ආරුක්කු පාලම මතට දුම්රිය පැමිණීමත් සමඟ ම කඩා වැටිය හැකි බව කර්නල්වරයා දනී. ඔහු ඊට පෙර නියුරම්බර්ග්හිදී මුලු දුම්රියට ම සංවෘත ඔක්සිජන් පද්ධතියක් සහිත මුද්‍රා තබනු ලබයි.

යළි ගමන් අරඹන දුම්රියෙහි ඉරණම කැසෙන්ඩ්‍රා ක්‍රොසින් වලදී විසඳෙන ආකාරයට වඩා චිත්‍රපටය අපගේ ආකර්ෂණයට ලක් වන්නේ ආසාදිතයා ගැන හෙළිවීමත් සමඟ විවිධාකාර මගීන් ඒ උදෙසා ප්‍රතික්‍රියා දක්වන ආකාරයයි.

එය වඩාත් කැපී පෙනෙන්නේ කාමසුඛල්ලිකානු යෝගීව ඉතා සතුටින් මධුර චරිකාවක යෙදෙන මේ සියලු මිනිසුන් මාරයා හමුවේ සිය චර්යා රටාවන් වෙනසකට පරිවර්තනය කර ගන්නා අයුරුය.

එය රංගනය, සංස්කරණය, කැමරාකරණය, ආදී සියලු සිනමා කලාංගයන් මගින් උපරිම ව ඉදිරිපත් කිරීමට අධ්‍යක්ෂවරයා සමත් ව සිටින අයුරු අතර, අන් කවරදාටත් වඩා අපේ වර්තමාන දිවි පෙවෙත හා සමපාත වන බවක් දැනෙයි.

වාසනාවකට මෙන් අපව ජීවිතයෙන් එගොඩ කිරීමට අපේ බලධාරීන් විසින් සෑම උත්සාහයක් ම දරනවා විනා නැති භංගස්ථාන වන තෙක් බලා සිටීමක් සිදු නොවන බව අපි දනිමු. නමුත් මේ චිත්‍රපටය හැදූ රටවල ජනතාව අද පත්වී සිටින්නේ එක්තරා දුරකට “කැසෙන්ඩ්‍රා කොසින්“ දුම්රිය මගීන්ගේ තත්ත්වයට බව පෙනී යයි. මන්ද යත් ඇමෙරිකාවේ සියයට පහක් අසාධ්‍ය වුවහොත් ඉන් ප්‍රතිකාර කළ හැක්කේ පනස් දෙනෙකුගෙන් එක් අයකුට පමණක් බවට දැනටමත් උප කල්පනය කර ඇතැයි වාර්තාවී තිබෙන බැවිනි.

චිත්‍රපටයේ අවසාන භාගයේ දක්නට ලැබෙන ආකාරයට වයිරසය විසින් ඇති කරනු ලබන මරණ සංඛ්‍යාව සියයට හැටක් වීම, දැනටමත් මගීන් එකා දෙන්නා මිය යන්නට පටන් ගෙන තිබීම, ආදී කාරණා ද දුම්රිය තුළ සිදුවන වෙඩි තබා ගැනීම් ආදී ත්‍රස්තවාදී ක්‍රියාවන්ද වෙනත් දේශපාලන ගැටලු ද හේතු කොට ගෙන එහි තත්වය වඩාත් සංකීර්ණ වේ.

ආසාදනයට ලක් වී මියගිය වූවන් ද, හැකි අවසාන තත්ත්පරය දක්වා ඊට එරෙහිව සටන් කරන්නන්ද , අනෙකුත් වැඩි පිරිසකගේ යහපත පිණිස ආත්ම පරිත්‍යාගයේ යෙදෙන්නවුන්ද, සමඟ මෙවන් අසීරුම පැයකදී පවා තම ආත්මාර්ථය වෙනුවෙන් කටයුතු කරන්නන්ද සිටින බව අපට පෙන්වා දෙන “ කැසෙන්ඩ්‍රා කොසින්“ මේ අවදානම් මොහොතේ අපට ජවිතය ගැන යළි සිතන්නට ඉඩ සලසා දෙන්නකි.

Comments