මහ රෑ පැමිණි මහා රාණිය ! | සිළුමිණ

මහ රෑ පැමිණි මහා රාණිය !

බොරු කීම ගැන තීරු ලිපියක් රචනා කරන අසහාය ලේඛකයකු වූ මාර්ක් ට්වේන් එය පටන් ගන්නේම පට්ට පල් බොරුවකිනි!

එනම් තමාගේ පළමුවෙනි බොරුව ගැන මතකයක් නැතත් දෙවෙනි බොරුව කියන ලද්දේ ඉපදී දින නවයකින් බව පවසමිනි. වැඩිහිටියන්ගේ ආදරය ලබා ගැනීම සඳහා තමාට අල්පෙනෙත්තක් ඇනුණ බව හඟවා අඬා වැටීම එම බොරුව යැයිද ඔහු කියයි. එම තීරු රචනාව ඔහු අවසන් කරන්නේ තමා දැන් වයසට ගොස් සිටින බැවින් මේ කතාව ද සමහර විට මනසේ මැවුණු හිතළුවක් විය හැකි යයි පවසා අපව තවදුරටත් අඤ්ඤකොරොස් භාවයට පත් කරවමිනි!

මෙනයින් බලන කල හිතළුව වූ කලී සමහර බොරු අරබයා මූලික පදනම වන බව ද පෙනී යයි. නමුත් බොරුවකුත් නොවන අර්ධ සත්‍යයකුත් නොවන තවත් මානයන් ද බොරුව නම් වූ ප්‍රපංචය හා බැඳී පවතී. මේ ඔබට ඒ බව ප්‍රත්‍යක්ෂ කර දෙන කතාවකි.

හරි මෝහන්ෂා නැමැති ඉන්දීය ලේඛකයාගේ නිර්මාණයක් වන මෙය හෝටලයක දී තේ පානයට ආරාධනා ලැබූ මිතුරකු විසින් අනෙකාට කියනු ලැබවකි.

මිතුරා ඇසෑමයේ මහා රාජා කෙනෙකු ළඟ සේවයේ යෙදුණු උසස් නිලධාරියෙකි. කලින් නීරෝගී සිරුරක් සහිත වුවද, ඇසෑමයේ රාජකාරි වලින් පසු දුර්වල තත්ත්වයට පත්ව සිටීම ගැන අනෙකා ඔහුගෙන් විමසයි. ඔහු පවසන්නේ ඇසෑමයේ මහා රාණිය විසින් තමාගේ ශරීර ශක්තිය විනාශ කර දැමූ බව ය.

මේ කතාව පිටුපස ඇතැයි සිතෙන ශෘංගාරාත්මක ජවනිකා නිසා ඇවිස්සී ගිය පළමුවැන්නා ඉතා ඕනෑකමින් දෙවැන්නාගෙන් ඉල්ලා සිටින්නේ ඒ කතාව පැහැදිලි කරන ලෙස ය. කතාව රසවත්ව අසා ගැනීමේ රිසියෙන් කට්ලට් පැටිස් ආදියෙන් තේ මේසය පුරවනු ලබන හෙතෙම තොල කට ලෙව කමින් මිතුරාගේ මේ අපූර්ව අත්දැකීම් රස විඳින්නට පටන් ගත්තේ විනෝදකාමී ලෙස ගෙවී ගිය තම අතීතයද සිහිපත් කරවමිනි. මේ අතර, මහත් රුචියකින් කට්ලට් පැටිස් අනුභවයේ යෙදෙන දෙවැන්නා පවසන්නේ තමා මහ රාජාගේ හොඳම විශ්වාසවන්තයා වූවත්, දිනක් රාත්‍රියේ හදිසියෙන් අවදිව බලද්දී මහා රාණිය තමන්ගේ මුළු සිරුරම වැළඳගෙන අවසන් යයි ප්‍රත්‍යක්ෂ වූ බවය.

මීට පෙර එවැනි අත්දැකීමකට මුහුණ දී නැති තමන්ට පසුදින උදෑසන ඇඳ පැළඳ ගන්නවා තබා ඇඳෙන් නැගිට ගැනීමටවත් ශක්තියක් ඉතිරිව නොතිබූ බවත්, මේ ආකාරයට මිනිසුන් සමඟ හැසිරී ඔවුන්ගේ සාරය උරා බී මරා දැමීම ඇයගේ සිරිත බවත් ඔහු පැහැදිලි කරයි.

තමාට වඩා තරුණ නිලධාරීන් ගණනාවක් ඇයට බිලි වී අඩපණව ගිය සිරුරින් යුතුව ආපසු ගමරට බලා ගිය බව ද කතා රසයෙන් තළු මරන මිතුරාට ඔහු පවසයි.

තමාට ද ඇසෑමය අත්හැර ඒමට ප්‍රධාන හේතුව මහාරාජීණිය සෑම රාත්‍රියකම තමා වෙත පැමිණීම යයි ඔහු කියයි.

තේ පානයට ප්‍රථම තම මිතුරා වෙනුවෙන් තවත් රස කැවිලි බන්දේසියක් ද ඇනවුම් කරන පළමුවැන්නාට ඊළඟට අවශ්‍ය වන්නේ කොතරම් කාලයක් තිස්සේ මහාරාණිය ඔහු ළඟට පැමිණියාද යන්න දැන ගැනීමටය.

ඔහු පවසන්නේ නොකඩවා මාස හයක් තිස්සේ සෑම රාත්‍රියකම තමා සොයාගෙන පැමිණි ඇය, පසුව වේලාවක් අවේලාවක් නොබලා එන්නටද පටන් ගත් හෙයින් ඉඩ ලැබණු පළමු අවස්ථාවේම ඇසෑමයෙන් පලා ආ බව ය.

මවිසින් සැකෙවින් විස්තර කරනු ලැබුවද අසන්නා කුතුහලයෙන් ද, ගෘංගාරයෙන් හා සන්ත්‍රාසයෙන්ද, කුළු ගැන්වෙන ආකාරයෙන් මේ කතාව ඉදිරිපත් කරන දෙවැන්නා සිය අන්තිම රස කැවිල්ලටද වග කියන අතරේ පළමුවැන්නා තමාගේ වැදගත් ම ප්‍රශ්නය ඔහුට ඉදිරිපත් කරයි. එය නම් මෙම අරුම පුදුම සරාගී මහා රාණිය කොයි වයසේ ගැහැනියක් ද යන්න ය.

මහ හඬින් සිනාසෙන දෙවැන්නා පවසන්නේ මේ කාරණයේදී තමාට වයසක් ගැන කිව නොහැකි බවත්, ඇසෑමයේ දී මහා රාණිය ලෙස හඳුන්වන්නේ ‘මැලේරියාව’ බවත් ය!

එය මුළින්ම නොකීවේ ඇයි කියා ඇසුවිට දෙවැන්නා පවසන්නේ “ඇත්තටම එහෙම කිව්වා නම් මේ තරම් කැවිලි පෙවිලි තොගයකින් මගේ බඩ පුරවන්න තරම් රුදාවක් ඔහෙට ඇති වෙන්නේ නෑ නේද?” කියාය.

දැන් ඔබ මෙයට කියන්නේ කුමක් ද? බොරුවක් ද? අර්ධ සත්‍යයක්්ද? නැතිනම් කපටිකමක් ද?

Comments