පොදු ජනතාවගේ පෙෂර් එක නැංවීම | සිළුමිණ

පොදු ජනතාවගේ පෙෂර් එක නැංවීම

ඔළුව අවුල් කිරීම සහ බෝ නොව රෝග ව්‍යාප්තියට දායක වීම ආදී කාරණා සම්බන්ධව නොසෑහෙන දායකත්වයක් දරන නමුදු, එළැඹ ඇති කොරෝනා ප්‍රකාශ හමුවේ සියලු ම රූපවාහිනී සේවාවන් විසින් ඉටු කරනු ලබන මෙහෙය අද පවතින්නේ ඉතා ප්‍රශංසනීය මට්ටමක් බව කිව යුතු ය. පසු ගිය කාල පරිච්ඡෙදය මුළුල්ලේ මයික්‍රෙ‍ෙෆා්නයක් දකින දකින වාරයක් පාසා එක් එක් දේශපාලනඥයන්ට විවිධාකාර මතිමතාන්තර ප්‍රකාශ කරන්නට ඉඩ ලබා දුන් තත්ත්වයෙන් මිදී කොරෝනා වලට එරෙහිව රාජ්‍ය නායකත්වය මෙහෙයවන සටනේ ගමන් මඟ හා පෙළට සිට ගන්නට සියලු නාළිකා තම උපරිම දායකත්වය නොමසුරුව ලබා දෙන අයුරු මේ මොහොතේත් අපි දකිමු.

මේ තීරණාත්මක මෙහොතේ දී ඔවුන් වඩාත් ප්‍රඥා සම්පන්නව හැසිරෙන බව අපට පෙනී යන්නේ, මෙවන් ව්‍යසන හමුවේ විවිධ මිථ්‍යාවන් වපුරා ජනතාව රවටමින් තම පසුම්බිය තරකර ගැනීමේ යෙදෙන ගල් කපටින්ට සහ ඉසිවරුන් යයි කියා ගන්නා හොර තක්කඩින්ට කිසිදු විද්යුත් නාළිකාවක ඉඩක් නොලැබී ඇති බව පැහැදිලිව ම පෙනෙන්නට ඇති හෙයිනි.

කලකට ඉහත මුළු රටම මුලාවේ දැමූ විවිධ මිත්‍යා දෘෂ්ඨික වැඩසටහන්හි නිර්මාතෘන්ට වුවද, මිනිසා මරණ බියෙන් දඟලන මේ බොර දියේ පවා කිසිවක් කර ගත නොහැකි වූයේ රූපවාහිනී ඇතුළු සියලු විද්‍යුත් නාළිකාවන් මෙම කටයුතු හෙළා දුටුවා විනා ඒවාට උඩගෙඩි නොදුන් බැවිනි. එය මෙම සියලු ආයතන විසින් කරනු ලැබූ මහැඟි ජනතා මෙහෙවරක් බව අප සිතන්නේ, කිරි මුහුද කළඹා සොයා ගත් අමෘතය තිබූ භාජනයේ පටන්, කාලි මෑණියන්ගේ කොණ්ඩා කටුව දක්වා විකිණීමේ යෙදෙන මෙම හොර නඩයට මුදල් ගෙවාවත් විද්යුත් මාධ්‍යවල ගුවන් කාලයක් ලබා ගැනීමට ඉඩ සලසා නැති බව පෙනෙනන්ට ඇති බැවිනි. ඒ රාහුගේ බලපෑමට අසුව තිබූ, මිල කළ නොහැකි කාලය පවා රාහුගෙන් මුදවා ගෙන, රාජ්‍ය යාන්ත්‍රණයේ සැලසුම් වලට සමගාමීව කොරෝනාවට එරෙහිව යොදා ගන්නට ඔවුන් තීරණය කර ඇති බැවිනි.

රූපවාහිනී වැඩ සටහන් පිළිබඳ කතා කිරීමේ දී අප දුටු විශේෂ වැඩ සටහනක් ලෙස පසු ගිය දිනක ජාතික රූපවාහිනී සංස්ථාවේ “සූරිය මඩළ” තුළින් ගෙන ආ මාවරලේ භද්දිය හිමිගේ දේශනය පෙන්වා දිය හැකිය.

එහිදී විශේෂයෙන් ම අප රට තුළ පවතින කොරෝනා වසංගතය හා අප ඊට මුහුණ දිය යුතු ආකාරය පිළිබඳව බුදු දහම ආශ්‍රිතව උන්වහන්සේ විසින් කරනු ලැබූ පැහැදිලි කිරීම මේ මොහොතේ දී නියම බුද්ධ පුත්‍ර වහන්සේ නමක් අතින් ඉටුවිය යුතු ජාතික මෙහෙවරක් සේ සැලකිය හැකිය. නිවේදිකා සිතාරා මහත්මිය විසින් ඉතා හොඳින් මෙහෙය වනු ලැබූ මෙම වැඩ සටහනේ දී බුදු දහමේ කියවෙන ධර්ම කාරණා ඉතාමත් සරලවත්, යථාර්ථවාදී ලෙසත්, පැහැදිලි කළ උන්වහන්සේ මිනිසා රෝගීවන කාරණා අතරින් කර්මය යනු එක් සාධකයක් පමණක් බව මැනවින් පැහැදිලිව පෙන්වා දුන්හ. අනතුරුව නිරෝගී දිවිපෙවතක් උදෙස බුදු රදුන් වදාළ විද්‍යානුකූල ඇවතුම් පැවැතුම් මෙන් ම අපි එකිනෙකා තුළ ආකල්පමය වෙනසක් ද අත්‍යවශ්‍ය බව අවධාරණය කළහ.

නමුත් අවාසනාවකට මෙන් සමාජයේ වැඩි කොටසක් තුළ ඇති අනිකා ගැන නොසිතන, ආත්මාර්ථය ම මුල්කර ගත් ස්වභාවය නිසා මුළු මහත් ජනතාවගේ ම යහපත උදෙසා රටට ඇඳිරි නීතිය හා දැඩි නීතිරීති පනවන්නට වීම පුදුමයක් නොවේ යයි උන්වහන්සේ පැහැදිලි කළහ.

පසුගිය දින ගණනාව මුළුල්ලේ ඇතමුන් හැසිරුණු ආකාරය ගැන උදාහරණ දැක් වූ භද්දිය හිමියන් පැවසුවේ අනිකා ගැන නොසිතන සමාජයක් ස්ථාපිතව ඇති මේ රටට ද හරියන එකම ක්‍රමයද මෙය බව ය.

කොරෝනාවට එරෙහි සටනේ දී පුහුදුන් මිනිසා සමඟ කටයුතු කිරීම උදෙසා වඩාත් ප්‍රාෙයා්ගික වන්නේ ප්‍රජාතන්ත්‍රවාදී ව කරුණු පැහැදිලි කිරීමට වඩා දැඩි නීතිරීති බව ලෝකයේ ඇතැම් රටවල් පෙන්වා දී ඇතැයි උන්වහන්සේ පැවසූහ.

ලෝකයේ වැඩිම ජනගහනයක් සහිත චීනය සහ සිංගප්පුරුව වැනි අර්ධ ආඥාදායකත්වයක් සහිත රටවල් මෙම ව්‍යසනයේදී ජයග්‍රහණය ලබා ඇති ආකාරයත්, ඇමෙරිකාව, බ්‍රිතාන්‍යය සහ ඉතාලිය වැනි තාක්ෂණයෙන් හා ධනයෙන් ආඪ්‍ය රටවල් ප්‍රජාතන්ත්‍රවාදී රටවල් කොරෝනා ආක්‍රමණයෙන් බැට කන අයුරුත් පෙන්වා දුන් උන්වහන්සේ පැවසුවේ ආකල්පමය වෙනසක් ඇති කර ගැනීමට එරෙහිව මිනිසා තුළ මතුව එන උදච්ඡකම විසින් මේ තත්වය තීරණය කර ඇති බවය. දේශනාවේ හරය වූයේ මෙම දුර්ගුණයෙන් මිදෙන්නට වෛද්‍ය විද්‍යානුකූල ක්‍රමයකට මිනිසා අකමැති නම් පොදු සමාජයේ යහපත උදෙසා බලහත්කාරයෙන් ඒ වෙනස ඇති කිරීමේ වරදක් දැකිය නොහැකි බවය.

අප මුලින් ම සඳහන් කළ පරිදි සෘෂිවරුන් ප්‍රාතිහාර්ය පාන්නට පැමිණෙන බවක්, අද දක්නට නොලැබෙන නමුදු රතන සූත්‍රය මුල් කරගත් යටි අරමුණු සහිත ‘ආගමික ව්‍යාපෘති’ වෙත ජනයා අන්ධ භක්තියෙන් ඒක රාශීවන අවස්ථා ද පසු ගිය දිනවල දක්නට ලැබුණි. මේ පිළිබඳව ද සිය දේශනාවේ දී සඳහන් කළ භද්දිය හිමියන් පැවසුවේ පිරිතකට සවන් දීමෙන් අධ්‍යාත්මික සුවයක් ලැබීමේ සත්‍යතාවයක් ඇති බවය.

නමුත් රට පුරා ඇති වී තිබෙන මේ ව්‍යසනය කොතෙක් බියකරු ද යත් රතන සූත්‍රය අසන්නටවත් එක් රැස්වීම නම් නොකළ යුතු බව උන්වහන්සේ අවධාරණය කළහ.

කොරෝනා වලට එරෙහි භෞතිකව සටන්වදින අනිකුත් පරාර්ථකාමී සෙන්පතියන් තරමට ම නිවැරදිව අධ්‍යාත්මික සටනක යෙදෙන මෙවන් බුද්ධ පුත්‍රයන් ද රටකට අත්‍යවශ්‍යය.

Comments