චිත්‍රාගාරයේ සිනමාව එළිමහනට ගෙන ආ සිනමාවේදියා | සිළුමිණ

චිත්‍රාගාරයේ සිනමාව එළිමහනට ගෙන ආ සිනමාවේදියා

1919අප්‍රේල් මස පස් වැනිදා දෙහිවලට හිරු උදා වූයේ ජේම්ස් ප්‍රැන්සිස් පීරිස් නම් වූ වෛද්‍ය වරයාට මෙන්ම විනිප්‍රිඩා ජයසූරිය නමින් හැඳින්වූ මාතාවටත් අගනා වූ පුත්‍ර රත්නය ක ගේ රූපකායක් දැක බලා ගන්නට ඉඩ හසර සලස්වමිනි. මෙසේ උපන් ඔහුට ඔවුන් තැබූ නම වූයේ ලෙස්ටර් ජේම්ස් පීරිස්ය. පියාගේ පරම්පරාව කුරුකුලසූරිය පරම්පරාවෙන් පැවත එන්නේ වූ නමුදු කිසිම විටක ඔවුන් කුරුකුලසූරිය යන නාමය භාවිතා කරන්නට පෙළඹුණේ නැත. බම්බලපිටිය ශාන්ත පීතර විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබූ ලෙස්ටර්, පාසලේ දී මෙන්ම නිවසේ දී ද හැදී වැඩුණේ සියලු වරප්‍රසාදයන් ගෙන් අනූන නාගරික පන්තියේ සමාජ ආශ්‍රයේ ය. ඔවුන් කිසිදු විටෙක තම පවුල් සමාගම තුළ සිංහල භාෂාව උච්චාරණයට නොපෙළඹුණු අතර සියලු අදහස් උදහස් හා කතාබහ කිරීම් සියල්ල සිදුවූයේ ඉංග්‍රීසි භාෂාවෙනි.. යම් තරමකින් හෝ එකී නිවස තුළින් සිංහල වචන කිහිපයක් ඇසුනේ නම් එය ලෙස්ටර්ගේ මවට කේන්ති ගිය විට පමණි.

වර්තමානය වන විට ලෙස්ටර් ජේම්ස් පීරිස් යනු, ජාත්‍යන්තරයට නම් ලංකාවේ සිනමාකරුවා ය. නමුත් ඔහුගේ පියාට අවැසිව තිබුනේ තම පුත්‍රයාව නීතිඥවරයකු හෝ වෛද්‍යවරයකු කරවීමටයි . සියල්ල සිදුවන්නේ දෛවයට අනුව යැයි කියා පාන්නට මෙන් අවසන ලෙස්ටර් අසුන් ගත්තේ චිත්‍රපට අධ්‍යක්ෂවරයාට ම පමණක් සුවිශේෂී වූ අසුනක් මතයි . ඔහුගේ එම අසුන ගැන්ම ලංකාව නම් වූ කුඩා කොදෙව්ව ජාත්‍යන්තර තලයට ඔසවා තබන්නට කීපවරක්ම සමත් වූයේ ඔහුගේ ඒ අසාහය සිනමා ක්‍රමවේදය නිසාවෙනි. මොහොතකට සිතන්න,

ඉංග්‍රීසි භාෂාව කතා කරමින් නාගරික පංතියේ සියලු වරප්‍රසාද භුක්ති විඳිමින් හුන් ලෙස්ටර් ýලෝකයටම කතා කළ හැකි මට්ටමේ සිනමා නිර්මාණ , සිංහල භාෂාවෙන් කවරාකාරයෙන් නිර්මාණය කිරීමට ඔහු සමත් වී ද කියා. මේ මතු කියවීම ට ඔබ සූදානම් වන්නේ ලෙස්ටර්ගේ සිනමා සක්මනයි.

ලාංකේය සිනමාවේ අසාහය සිනමාවේදියා ලෙස්ටර් ජේම්ස් පිරිස් අධ්‍යක්ෂණය කළ වෘතාන්ත චිත්‍රපට සංඛ්‍යාව 20කි .හේ වෘතාන්ත සිනමාවට පිවිසෙන්නේ 1956දී රේඛාව චිත්‍රපටය අධ්‍යක්ෂණය කිරීමෙනි .මෙකී රේඛාව චිත්‍රපටය එතෙක් මෙතෙක් සිංහල සිනමාවේ රාමුව බිඳ දමන්නට සමත්වූ චිත්‍රපටයකැයි අවිවාදයෙන්ම නම් කරන්නට පිළිවන .රේඛාව වූ කලී දේශීය සිනමාවේ සැබෑ උපත යැයි විචාරකයින් අදහස් දක්වන තැනටම ඔහුගේ මුල්ම වෘතාන්ත චිත්‍රපටය මහත්වූ පෙළහර දක්වා තිබිණි. චිත්‍රාගාරයේ තිබූ කැමරාව එළියට ගෙන ආ ලෙස්ටර් ඔහුගේ නිර්මාණය නිමවූ පසු 1957 දී අදහස් දක්වමින් පවසා ඇත්තේ ''අපේ චිත්‍රපට සත්‍ය ලෙසින්ම ජාතික චිත්‍රපටයක් වන්නටනම් එය ගම්මානයටත් ගැමි දිවි දිවිපෙවෙත ටත් දිවෙන මුල් සහිත විය යුතු බවයි.

නිසැකවම ඔහු තම මුල්ම වෘතාන්ත චිත්‍රපටයෙන්ම එය මනාව පසක් කළේ 1956 දී බණ්ඩාරනායක මහතා දේශපාලන විප්ලවයක් කළා මෙන්ම ලෙස්ටර් ද එම වසරේදීම එතෙක් කලක් පුරාවට පැවති ලාංකේය සිනමාව ද උඩු යටිකුරු කරමිනි. රේඛාවෙන් වෘතාන්ත චිත්‍රපට කලාවට ලෙස්ටර් පිවිසියද ඊට කලකට පෙර එනම් 1949 වසරේ දී කෙටි චිත්‍රපට නිර්මාණකරණයට අත ගැසීය . ඒ soliloquy චිත්‍රපටය නිපදවීමට සමත් වීමත් සමගිනි .විනාඩි තුනක ධාවන කාලයක් සහිත වූ මෙම චිත්‍රපටය නිර්මාණය කළායින් පසුව හේ පිළිවෙලින් farewell childhood (1950) sinhalese dance වෘතාන්ත කෙටි චිත්‍රපට තුන ද නිර්මාණය කරන්නට සමත් විය . මෙහි විශේෂත්වය වන්නේ මෙකී චිත්‍රපට තුනම ලෙස්ටර් නිර්මාණය කළේ විදේශගතව එංගලන්තයේ සිටියදී වීමය..

1954 වසරේ දී ලංකාවට පැමිණි ඔහු මුලින්ම රාජ්‍ය චිත්‍රපට අංශයේ රාජකාරී කටයුතු කළ අතර එහිදී වාර්තා චිත්‍රපට දෙකක් ද නිර්මාණය කිරීමට සමත් විය . එයින් වියළි කලාපය ජයගනී (conquest in the dry) චිත්‍රපටය වෙනීසියේ පැවති සිනමා උළෙලකදී ඩිප්ලෝමා සහතිකයක් ලබන්නට ද සමත් විය . ලංකාවට පැමිණ වසරක පමණ කාලයක් රාජ්‍ය චිත්‍රපට අංශයේ සේවය කළ ලෙස්ටර් 1955 සැප්තැම්බර් පළවනදා එයින් ඉවත් වූයේ සැබැවින්ම දේශීය ඌරුවට දිවෙන චිත්‍රපටයක් නිර්මාණය කිරීමේ අරමුණෙනි . ඒ අනුව ඔහුට එය සාක්ෂාත් කරගැනීමට හැකි වූයේ 1956 දෙසැම්බර් 28 දා ප්‍රදර්ශනය ඇරඹී රේඛාව චිත්‍රපටය සමඟිනි.

චිත්‍රාගාරයේ පැළපදියම්ව තිබූ කැමරාව චිත්‍රාගාරයේ එළියට ගෙන්වා ලෙස්ටර්ට තම දෙවැනි නිර්මාණය එළිදැක්වීම වෙනුවෙන් වසර හතරක කාලයක් බලා සිටීමට සිදුවිය. රේඛාව චිත්‍රපටය ප්‍රේක්ෂකයාට නැවුම් අත්දැකීම් ගෙන දෙන්නට සමත් වුවද වාණිජමය අතින් එය එතරම් සාර්ථක වූයේ නැත. මේ කාරණාව ම යම් හෙයකින් ලෙස්ටර්ගේ දෙවැනි නිර්මාණය එළි දක්වන්නට පමා වූවා වන්නට පිළිවන. කෙසේ වෙතත් පසුකාලීනව කාලයක් යනතුරුම ලෙස්ටර් පවසා ඇත්තේ රේඛාව සහ සංදේශය අතර කාලය ඔහුගේ අපතේ ගිය කාලවකවානුවක් ලෙසිනි . සංදේශය චිත්‍රපටයේ දළ සේයා පට අඩි එක්ලක්ෂ විසි දාහක් පුරාවටම දිවෙන අතර චිත්‍රපටයේ ඇති බලකොටුව පුපුරවා හැරීම ලාංකේය සිනමා පටයක තිබුණු විශේෂිතම සිදුවීම් බවට බොහෝ දෙනෙකුගේ මතකයේ නිදන්ගත ව තිබිණි. සන්දේශයේ නිර්මාණාත්මක අදහස සම්බන්ධයෙන් ලෙස්ටර් මෙසේ කරුණු දක්වා තිබුණේ 1960 පෙබරවාරි මස පළමුවන දා පලකල චිත්‍ර වාහිනී සඟරාව ටයි

" සංදේශය චිත්‍රපටයේ උපත රසවත් එකකි. එම අදහස මගේ සිතට ඇතුල් වුණේ මගේ මිත්‍රයෙකු වන විලියම් බ්ලේක් සමග කතා කරමින් සිටින මොහොතක ය. එය සිදු වූයේ 1968 ජනවාරි මුල් සතියකදී බව අද මෙන් මට මතකය .එදා මා ඔහු සමග කතා කලේ පෘතුගීසීන් ලංකාව අල්ලාගෙන රාජ්‍ය කළ කාල සීමාව තුළ සිදු වූ කතාවක් සම්බන්ධයෙනි .පෘතුගීසීන් රාජ්‍ය කළ කාලය පසුබිම් කරගෙන රසවත් කතාවක් චිත්‍රපටයක් බවට පත් වීමට පුළුවන් යැයි මම බ්ලෙක් ට කීවෙමි . ඔහුද මගේ මතය අනුමත කළේය . සන්දේශයේ උපත සිදුවූයේ අප දෙදෙනාගේ මේ සාකච්ඡාවෙන් පසුව ය.

1960 මාර්තු 30 ප්‍රදර්ශනය ඇරඹී සන්දේශයෙන් පසුව ලෙස්ටර් ගේ මීළඟ සිනමා ප්‍රයත්නය වූයේ ගම් පෙරලියයි . (1963) ලෙස්ටර්ගේ විශිෂ්ටතම නිර්මාණ දෙකෙන් එකක් වූ ගම්පෙරලිය මාර්ටින් වික්‍රමසිංහ මහතාගේ නව කතාවක් මුල්වරට සිනමාවට නැගුණු අවස්ථාවක්ද විය .1965 දී ඉන්දියාවේ පැවැති අන්තර්ජාතික චිත්‍රපට උලෙළේ හොඳම චිත්‍රපටයට හිමි රණමයුර සම්මානය දිනා ගන්නට ද ගම්පෙරළිය සමත් විය. ඉන් පසුව 1966දී දෙලොවක් අතර චිත්‍රපටය අධ්‍යක්ෂණය කළ ලෙස්ටර් කතෝලිකයෙකු වුවත් 1967 දී අධ්‍යක්ෂණය කළ රන් සළු චිත්‍රපටය බෞද්ධ මුහුණුවරකින් යුක්තවිය . අක්කර පහ හරහා සිනමාව වෙනස් ම වූ කලාත්මක ධාරාවකට යොමු කළ ලෙස්ටර් ඔහුගේ අනෙක් විශිෂ්ටතම නිර්මාණය වූ නිධානය 1970 දී බිහි කරන්නට සමත් විය. ගාමිණී ෆොන්සේකා නම් වූ රංගවේදියා ගෙන් උපරිම හැකියාවන් උකහා ගන්නට සමත් වූ ලෙස්ටර් නිධානය අද්විතීය සිනමා නිර්මාණයක් කරන්නට සමත් විය. 1997 ජනවාරි මාසය වන විට සිංහල සිනමාවට අඩසියවසක් ලබා තිබුණි එකී කාලය තුළ සිංහල චිත්‍රපට 847 ප්‍රදර්ශනය කර තිබූ අතර මේ මොහොතේ පනස් වසරක සිනමාවේ විශිෂ්ටතම චිත්‍රපටය ලෙස වැඩිම ඡන්දයෙන් නිධානය තෝරා පත් කිරීමෙන් ම නිධානය නම් චිත්‍රපටයේ ඇති වටිනාකම මොනවට පැහැදිලි වෙයි.

ඉන් අනතුරුව ගුණසේන ගලප්පත්ති

නිෂ්පාදනය කළ දෑස නිසා වේදිකා නාට්‍ය ඇසුරින් දෑස නිසා (1975) චිත්‍රපටය නිර්මාණය කළ අතර එය ඔහු වේදිකා නාට්‍යයක් ඇසුරින් කළ එකම චිත්‍රපටයයි. ඉන් අනතුරුව God king (1975 )මඩොල්දූව (1976) වීර පුරන් අප්පු( 1978) අහසින් පොළවට l (1978 l බැද්දේගම( 1981 )කළියුගය (1983) පිංහාමි( 1983 )යුගාන්තය( 1985) වැ කන්ද වලව්ව( 2003) හා අම්මාවරුනේ චිත්‍රපට අධ්‍යක්ෂණය කරන්නට සමත් විය. මෙතෙක් අපි කතා කළේ ලෙස්ටර්ගේ සිනමා සක්මන පිළිබඳවය . ඒ බහුතරයක් දෙනා දන්නා කතා සාරාංශයයි . මෙතෙක් ඔබ කියවා අවසන් කළේ ලෙස්ටර්ගේ සිනමා ආරම්භයත් සමඟ මේ දක්වා විහිදුණු ඔහුගේ නිර්මාණ වෑයමයි. එමනිසා අපි යළිත් ලිපියේ මුලටම යමු.

ජේම්ස් ප්‍රැන්සිස් පීරිස් නම් වූ වෛද්‍යවරයාට අවැසිව තිබුනේ ලෙස්ටර් කෙදිනක හෝ වෛද්‍යවරයෙකු එසේත් නැතිනම් ඉහළ සමාජයේ පිළිගැනීමට ලක්ව ඇති නීතිඥ වෘත්තියේ යෙදවීමයි . නමුත් ලෙස්ටර්ගේ එකම අභිලාෂය වී තිබුණේ පොතපතේ ඇලීගැලී ජීවත් වන සාහිත්‍යධරයකු වීමයි. මේ නිසාම ලෙස්ටර් තරුණ වියේදීම කෙටිකතා ,නාට්‍ය ,කවි ,රචනා කිරීමට කාලය යොදවන්නට විය එහි මුල්ම කාලයේ සාර්ථක වූ එක් පියවරක් ලෙස දැක්විය හැක්කේ cathedral and a star නමින් කාව්‍ය සංග්‍රහයක් ලියා පළ කිරීමයි .

කලක් ගතවන විට ඔහුගේ අවශ්‍යතාවය වී තිබුණේ පුවත්පත් වාර්තාකරුවකු වීමයි. ලෙස්ටර් මුලින්ම මුහුණ දුන්නේ ඩේලි නිව්ස් පුවත්පතේ සම්මුඛ පරීක්ෂණයකට ය. පරීක්ෂණයෙන් අවසන් දෙදෙනා දක්වා පැමිණීමට අවස්ථාව ලැබුණ ද අවසන් මොහොතේදී වාසනාව ඔහුගෙන් ගිලිහුණි. ලෙස්ටර්ට daily news පුවත්පතේ සම්මුඛ පරීක්ෂණය සඳහා ඉදිරිපත් වීමට අවස්ථාව ලැබුනේ එවක එම පුවත්පතේ blue page යනුවෙන් හඳුන්වන තරුණ පරපුරේ සිනමා අතිරේකයට ය ඔහු නිර්මාණ සපයමින් සිටි අවධියකදී ය. කෙසේවෙතත් මේ මොහොත වන විට ටයිම්ස් පුවත්පතට ද ලෙස්ටර් ලිපි සපයමින් සිටියේය. මේ කාල වකවානුව වන විට ලෙස්ටර්ගේ සහෝදරයකු චිත්‍ර ශිල්පය හැදෑරීමට එංගලන්තයට ගොස් සිටි අතර ඔහු එහිදී අසනීප වීම හේතුවෙන් ලෙස්ටර් ගේ මව විසින් ඔහුගේ අවශ්‍යතාවයන් සොයා බැලීම සඳහා ලෙස්ටර් එංගලන්තයට යැවීමට තීරණය කළාය . මේ බැව් ටයිම්ස් පත්‍රයේ කර්තෘ වරයා වෙත පැවසූ විට ඔහ පවසා සිටියේ එංගලන්තයට ගොස් එහි ටයිම්ස් පත්‍රයේ කතුවරයා හමුවන ලෙසයි.

ඉන්පසු එංගලන්තයට ගිය ලෙස්ටර්ගේ මුල්ම රාජකාරිය වූයේ london times පුවත්පතේ වාර්තාකරුවකු ලෙස සේවයට එක් වීම ය . මව විසින් සොහොයුරාගේ කටයුතු වෙනුවෙන් ලෙස්ටර්ට මාස හයකට පමණක් එංගලන්තයට යැවූ නිසා ඔහුට මුදල් ප්‍රතිපාදන නිවසින් ලැබුණේ මාස හයකට පමණි .නමුත් ලෙස්ටර්ගේ රැකියාව නිසාවෙන්ම මාස 6 කෙසේ වෙතත් වසර හයක්ම එහි ජීවත් වන්නට ඔහු කටයුතු සූදානම් කර ගත්තේය. ඒ සඳහා සරිලන වැටුප් ඔහුට ලැබෙන්නට විය

වාර්තාකරුවකු ලෙස සේවයට බැඳුණු හේ පසුකාලීනව විශේෂාංග ලේඛකයෙක් මෙන්ම කොළොම් රචකයෙක් ද ලෙසින් ක්‍රමයෙන් තම පෑන හසුරවන්නට විය. ඔහුගේ පුවත්පත් කලාව සදහටම අකා මකා දමා ලාංකේය සිනමාවට නිර්මාණ කිහිපයක් එකතු කර ජාත්‍යන්තරයට ගිය ශ්‍රේෂ්ඨ සිනමා කරුවකු වීමට ඔහුට බලපෑ මුලිකම කරුණ වූයේ එංගලන්තයේ ටයිම්ස් පුවත්පත වෙනුවෙන් ඔහු මෙහෙයවූ සම්මුඛ සාකච්ඡාවකි. එහි කතුවරයාට සැළ වී තිබුණේ රැල්ෆ් කීන් නම් වූ සුප්‍රකට චිත්‍රපට කරුවා වාර්තා චිත්‍රපට කිහිපයක් නිර්මාණය කිරීම සඳහා ශ්‍රී ලංකාවට පිටත්ව යන බවයි .

කතෘ වරයා මේ සම්බන්ධව ලිපිය සකස් කරන ට රැල්ෆ් කීන්ව හමුවට යැව්වේ ලෙස්ටර් ය. ලෙස්ටර් මේ මොහොත වන කෙටි චිත්‍රපට නිර්මාණය කළ තිබුණේ තමාගේ විනෝදය පිණිසය .සාකච්ඡාව අතරතුරදී රැල්ෆ් කීන් ලෙස්ටර්ගෙන් ඇසූ ප්‍රශ්නය වූයේ 'ඇයි මෙහෙට වෙලා චිත්‍රපට කරන්නේ ?ලංකාවට ගිහින් ඔබ ඔබේ මිනිසුන්ට චිත්‍රපට කරන්නේ නැත්තේ ඇයි ?' යනුවෙනි . නමුත් ඒ මොහොතේ එකහෙළාම එය පසෙක ගමු ලෙස්ටර්ගේ පිළිතුර වූයේ මගේ කැමැත්ත පත්තර රස්සාවට මේ රස්සාව දාලා මම යන්නෙ නෑ යනුවෙනි.!? කෙසේ හෝ ලංකාවට පැමිණි රැල්ෆ් කීන් දිගින් දිගටම ලෙස්ටර්ට ලිපි යැවීමට වග බලාගත්තේ වරප්‍රසාද සහිතව විශාල වැටුපක් ලබාදෙන බැව් පවසා ලංකාවට පැමිණ ඔහු හා සම්බන්ධ වන ලෙසයි . මේ ලිපි ගනුදෙනු අවසන් ප්‍රතිඵලය වූයේ ලෙස්ටර් විසින් තම ප්‍රධාන කතුවරයාට මේ බව දැනුම් දීමයි . කතුවරයාගේ එකම පිළිතුර වූයේ

"අපරාදේ මම තමුසෙව අර මනුස්සයා ළඟට සාකච්ඡාවක් කරන්න යැව්වේ" යනුවෙනි . ඉන්පසුව සියල්ලන්ගෙන් සමුගෙන ලෙස්ටර් ජේම්ස් පීරිස් නම් වූ පුවත්පත් කලාවේදියා 1954දී ලංකාවට පය තබා කෙටි කලකදී රජයේ චිත්‍රපට සංස්ථාව හා සම්බන්ධ වී උතුරු මැද පළාතේ මැලේරියා රෝග මර්දනය සඳහා නිර්මාණය කරන ලද conquests in the dry චිත්‍රපටයට සම්බන්ධ විය ඊයේ ලෙස්ටර් ජේම්ස් පීරිස් නම් වූ අග්‍රගණ්‍ය සිනමා වේදියාගේ හැරවුම් ලක්ෂයයි .

නිසි තැන දී තමන්ගේ දක්ෂතාව පිළිබිඹු කළා සේම තම ජීවන ගමනේ හැරවුම් ලක්ෂය ද තෝරා ගන්නට ඔහු සමත් විය. බොහෝ තැන්හි දී ලෙස්ටර් නම් වූ සිනමා වේදියා ගැන කතා කළ ද ලෙස්ටර් ජේම්ස් පීරිස් නම් වූ පුවත්පත් කලාවේදියා ගැන ලියවෙන්නේ ඉතා අල්ප වශයෙනි.

යම් හෙයකින් සිනමා ෂේත්‍රයට ප්‍රවිෂ්ට නොවී ඔහු පුවත්පත් කලාවේදියකු ලෙස නිරත වූවා නම් වර්තමානයේ පුවත්පත් කලාව සිනමාව බොහෝ විට වෙනස්ම වූ ගමන් තල දෙකක ස්ථානගත වීමට බොහෝ සෙයින් ඉඩ තිබුණි.

Comments