කවි | සිළුමිණ

කවි

කුමක් කරන්නද?

හැඟීම්
දැනීම්
බැඳීම්
රීදිම්....
වලින් වෙන්ව
මියදෙන
ජීවිතය...මහ දුකක්...

මයුරි තිලකරත්න

----------

කොරොනා...

ස්නේහයට සිප ගැනීම
ආදරයට තුරුලුවීම
ජීවිතය ට වැට බැදීම
වයිරසයකි ලොව පැතිරෙන...


මීටරයක පරතරයක්
යන-එන විට තබාගන්න
අතැඟිලි උවනත නාසයේ
දැසේ පහසට නොගන්න...

බටහිර ක්‍රමයට කිසිවිට
අතිනත දීමට නොයන්න
ධන බල නිල සැම නොතකන
වයිරසයට ඉඩ නොදෙන්න

ඩබ්ලිව් .කේ .සරත් විමලසිරි
 

---------------

හිමි වියෝව

සනසා සිතක දුකඳුරු
වළකා සියලු පිරිපත
පෙරදා අසල සිටි නුඹ
හැරදා ගියත් නෑ දුක

දියසුන් මහද විල වෙත
සියපත් සමඟ ජලයද
ගෙන දුන් ඔබේ තුඟු සිත
මතකයි තවත් හිතවත

රුඳුරුව නියඟ සිත ගෙන
ඔභ සුන් කලා මල් විල
පාලුයි සිනා නැති නෙත
ඔබමයි එකම පැතුමද

අතහැර ගියත් අදිසිව
ඔබ පෑ සොඳුකම් පෙර
තව තව සිතට තුරුළුව
මට තනි රකියි නොමදව

තිලක් ඒකනායක
 

--------------

පාර බලනවා...

එදා අද වගේනම්
සොයාගෙන එන්න තිබුණා
හෙවණැලි දිගේ
පමාවූ වසන්තය ඇවිත්
මල් පිපෙනකොට
බලා ඉන්නෙමි සුවඳ අතුරා
සුසුම් වැල් දිගේ
ඔබ නෑවිදින්ම හිටියනම්
රිදුම් නැහැ මෙසේ
ඔබ අරන් ආවේ
ප්‍රේමණීය රිදුම්දෝ අනේ

මඟ බලමි ම,නෙත පුරවා
විමතියෙන් ඔබ එතැයි
පුර පෝයදාට එන සඳ
මගෙ සිතට හරි දුරයි
කන මැදිරි එළි ළඟත්
මට ඔබෙ රුව මැවී පෙනෙයි
හිනැහිලා බලමි මම
ඒ ඔබමයැයි කියා සිතාගෙන ඉතින්

කඳුයායේ සිහින තරු
ඇවිදින අයුරු පේනවා
දොළගාව ඔබ මිමිනුම්
පෙරසේම ඇහෙනවා
මදහාස නඟමි
ඉවසුම් මට බොහොම තියෙනවා
සකි සඳුනි ඔබෙන් ලැබු දේ ඒ තමයි සිතනවා
මම ඔබ එනතුරු
මියයනතුරු පාර බලනවා


ධම්මි අනුරපුර

 

-----------------

ඔබ හමුවේ නම්

බලා ගෙන ඔබේ ඇස් එකක්
කතා කරන්නට හරිම ආසයි
නුබේ කොහේ රුලි වැදෙන විට මුහුණේ
දැනෙන හැඟුමෙන් කියන්නට ආසයි

ලැඟුම් ගන්නා සිතේ සංකා
ලියාගෙන මම හිතේ උන්නා
නුඹට මට රිය සුනේ පිටු පස
දැගිලි පටලවා යන්න අවසර
කවදා කොතැනද දන්නේ කවුරුද

මගේ නෙතු කැමරාවේ හසු කර
ගත්ත ඡායා රූපේ ඉකිබිඳ
හඬන හඬ රැය පුරා විසිරෙන
සෙනෙහසේ සුවඳකි මතු වෙන
තවත් හොඳටම ආදරේ යි මම
නැවත අදුරේන් එළිය මතු වෙන

මංජුල සෙනෙවිරත්න

---------------

එකම එක ඉල්ලීම

සම්මාන මට කුමට
මේ කලා උළෙලේදී
දෙනු මැනවි රුපියලක්
පරිසරය ගැන ලියා
ලැබූ ජයට..
ගසක් නොකැපු
අතකින්..

දඹේගොඩ ජිනදාස

--------------

පපුවෙ ඊතල පහර තිබුණද‍

දැවෙන හිත් අග
නැඟුණු රාගය
සුව දිදී මොහොතකට
පලා යයි සැනෙකින...

අල්ල ගත්තත් දෙඅත් හෙමිහිට
දැවුණූ රාගය නික්ම ගිය කල
අතහැරෙන වේගය මනින්නට
කෝදු තව ඉපඳුණේ නෑ ලොව...

වදනකිය මිහිරිය,
ප්‍රේමය ලෙසින් නම් ලද
ළං නොවී විඳිනටම
වරම් ලැබ ඉපඳුණ...

ළංවි එකිනෙක එකෙක් වූ කල
හිතත් එහෙමම බැඳී තිබුණෙද
රාග ගින්දර නිවුණු පසුවත්
පපුවෙ ඊතල පහර තිබුණද...

සිරුරු බස ගැන නොදැන කිසිදින
ළං නොවෙන මුත් ගතින් කිසිදින
හිතේ ගැඹුරු ම තැනක දලුලන
ප්‍රේමයක් ඇත හිත නිවාලන..

සුමුදු චතුරාණී
 

----------------

සපතේරු දියණිය

කට ඇරගත් සෙරෙප්පුවේ
උඩ යට පළු එකට සිරකොට විදිද්දී
ලොකු ඉඳිකටුව හිනැහුණා ඔච්චමින්
මිරිකි මිරිකී පසු පසින් එන
කළු නූල දෙස බලා ඉඟි කරමින්

පාට ගිය කව කුඩේ යට
අම්මාට වෙර මදී
අවනත කරගන්න අකීකරු ඉඳිකටුව

මල් සමනල් කුඩේ යට සිට
ඒ රුසිරු කුමරිය
ගමන් කථනය හඩවමින්
සමාව අයදිනවා පමාවට
කුමරුගෙන්

දේදුනු සිනිදු සළු ඇගේ
පාවෙද්දි සුළඟට මුසුව
මල් දියවූ චීත්ත ගවුම
හිරකර ගත්තා මා දෙපා අතර

මාවතේ දූවිල්ල දහඩිය එකතු වී
මගෙ අකීකරු කෙස්සට
වරම් නෑ සුළඟෙ ලෙළදෙන්න

හේරත් පලාපත්වල

-----------

 

මායා වත......

අඳුරට දිවගියා මුළු ලොව තරඟයට
තන්හා ඔලඟු ලාගෙන එකවර කරට
දියුණුව පතා ගිය මඟ වැරදුණු කලට
ආපසු හැරී අපි යමු සිංහල ගමට

ලෝකය එකම ගම්මානෙකි ඵල බරිත
මනසින් වැළඳගෙන සිටියේ සිහින වත
ගොවිතැන කුඹුර කුමටද වෙහෙසවන ගත
දවසින් දවස පැතුවේ රට සහල බත

හේනේ කුරක්කන් බත් රස දත් අපට
සාගත වසංගත බිය නොදැනුනි සිතට
හෙරළිය පොළොස් මාළුව රස කල බතට
මේ ගම අපේ ගම විශ්මෙකි මුළු ලොවට

කටුසර බෝග එකවර හේනේ වපුල
අක් වැස්සට තෙමී දලු ලා නා උදුල
වන්නියේ මිරිස සරි මාඵව සැර බහුල
සපිරුණු අපේ ගම මේ ගම නැත තැවුල

විපතේ විපත ඵල දුන් දුප්පත් කමට
මරණය ඇවිත් මළ බෙර හඬවයි ලොවට
සුසුමෙන් සුසුම පිටවෙයි මානව පෙමට
මොනවා කරන්නද ලෝකය කළ පවට

ගිය මඟවැරදිලා ඝනදුර වත කතර
මිනිසා සිටින්නේ අද දෙලොවක් අතර
බිඳදා පුරුදු ලෝකය කල්පිත මැදුර
ගොඩනංවන්න කාලය ඇවිදින් මිතුර

සුනිල් සරත් පෙරේරා

----------

 මේ නිහැඬියාව

ඇවිස්සුනු කඩි ගුලකි
නුවරුන් එක පේළියට
සිපා’චාර නැත
ඔරවා ගත් දෑස් ඇත
සැකයෙන් බලත් උනුනුන් දෙස

වීදියේ පහන් එළි පමණි
මියුරු ගීවැල් නොඇසේ
සුසුමකුදු නැත
හෙණ හඬක් පමණි
මුරුගසන් වැසි මැද

නාටුවූ ඉපල් අතු ඉති
මල් බරිනි, නමුදු
පෙර සේ අලංකෘත නැත
බලවතුන් නිදි නැති හෝරා
ඇදේ එකිනෙක අවිනිශ්චිතව

ලොවක්ම කැළඹී
නුහුරු නිහැඬියාවක...!

තුෂාරි බෝඹුවල

 

--------------

පරමේශ්වරී

නුඹේ සීතල හද ගැස්ම
තාම මට දැනෙනවා
නුඹේ හදේ රිද්මයට
මහද හඩනවා

ඒ පාළු රැයේ
නුඹයි තනි රැක්කේ
නුඹට තුරුළුව ලැබූ උණුසුම
නුඹට ලැබුණ ද නැහැ දන්නේ

තරු පොකුරු පිටින් ගෙන
සීත හැම රෑම
ත්ල මල් පුසුඹ
ඉකිබිඳින හැමදාම
තනිකමක් මට දැනෙනවා
නුඹේ සුවඳමා වටා එතෙනවා

විසිරුණු තිලකය
අවුල් වූ සව පිළි
බිඳී පොඩි වු වළව පොඩි
බිම බලන් හැඬු හඬ
අද ද මට ඇහෙනවා

මේදනී මැණික්කුඹූර

-------------

ශ්‍රියාකාන්තා

වැහිලහිණියන් හඩා වැටෙනා
ගිරි සිඛර අද්දර අහසේ
සෙමෙන් ඇහැරෙන මළානික සඳ
තනි තරුවකට අඩ ගැසුවේ

කල්පයක් කල් පෙරුම් පිරුවත්
සෙනෙහසේ කිරි සයුරේ
සීනයෙන්වත් දෑත් පැටලී
නොමැත කිම ඒ අරුමේ

වන්නියේ පිපි කැලෑමල් වල
දෑස් පාදන ළඳුනේ
ඔබේ සඳවත නොදුටුවද නිති
සෙනේ උතුරයි මහදේ

(සඳ කින්නරී කාව්‍ය සංග්‍රහයෙනි)

තිස්ස නිහාල් වික්‍රසිංහ

 

---------------

තනිකම

මළගිය හැඟුම් සිය දහසක සුසුම් ඔතා
යන එන කදුළු කම්මුල් මත හරී විඩා
උස කුඹ ගසක් යට හෙවණක සිසිල පතා
ඒ මහ නෞකාව වෙරළක හැපෙයි හඬා

ශ්‍යාමා දේවිකා දමයන්ති

Comments