ඒ මරණය සමාජ දේශපාලන විග්‍රහයකි! | සිළුමිණ

ඒ මරණය සමාජ දේශපාලන විග්‍රහයකි!

ඒ වනාහි නොසන්සුන් කාල වකවානුවක්ම වූයේය. එක්වරම පැහැදිලි කළ නොහැකි සංකීර්ණත්වයක් ඒ කාල වකවානුව තුළ ඉල්පෙමින් තිබුණි. පළමුවැනි නිකොලස් සාර් රජු බලයටපත් වීමත් සමග ඇතිවූ “දෙසැම්බර් වාදීන්ගේ කැරැල්ල” (රුසියානු යුද හමුදාවෙ කුලීන යුද නිලධාරීන් විසින් නායකත්වය දෙන ලද රහස් සංවිධානයකි.) ඔහු විසින් පොඩි පට්ටම් කොට මර්දනය කරන ලදී. අත් අඩංගුවට ගත් එහි නායකයන් තිදෙනෙකු ගේ සිරුරු ඉවතට දමා තිබුණේ එල්ලා මරා දැමීමෙන් අනතුරුවය. තවත් නිලධාරීන් ගණනාවක් සාමාන්‍ය සොල්දාදුවන්ගේ තත්වයට ඇද දමා, වරදකාරී යැයි සැලකූ සොල්දාදුවන් ගණනාවක් ඈත ප්‍රත්‍යන්ත ප්‍රදේශ වලට මාරු කොට යැවිණි.

ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් කැප වූ ප්‍රකට තරුණ සංවිධානයක් සමග සිටි දස්තයෙව්ස්කි මරණයේ පෝරකය දක්වාම ගෙන ගොස් අවසානයේ දී දෛවෝපගත සමාව දීමකින් පසුව සයිබීරියාවට පිටුවහල් කෙරුණේ ද මේ කාල වකවානුවේ දීය. ඒ වන විට “දඩයක්කාරයෙකුගේ සටහන්” නම් කෘතිය ලියා සිටි තුර්ගිනිව්, ගත්කරු ගොගෝල්ට පක්ෂව ගුණකතනයක් ලියුවේ යැයි පවසා මොස්කව් සිට ඔහුගේ ගමට පිටුවහල් කොට යැවුනේය.

නිකොලයි සාර් ප්‍රවේණිදාස ක්‍රමය ආරක්ෂා කළේය. ගොවියා අන්ත වහලෙකු, නින්දිත දාසයෙකුගේ තැනට ඇද හෙලන ලද ඒ ප්‍රවේණිදාස ක්‍රමය ඔහු ආරක්ෂා කළේය. අවසානයේ දී 1855 දී මේ සිත්පිත් මුග්ධ පාලකයා මිය ගියේය. රුසියානු ජනතාව සත්‍ය වශයෙන්ම බොහෝ කාලයකට පසුව සැහැල්ලුවෙන් හුස්මක් ගත්තේ එදාය.

ඉවාන් තුර්ගිනිව්ගේ මව ඉතා පොහොසත් කෲර සිත් ඇති ප්‍රවේණිදාස හිමිකාරියක් වූවාය. පන්දහසක් තරම් වූ සිය ප්‍රවේණි දාසයන්ට ඇ සැලකූ කෲර ආකාරය තුර්ගිනිව්ගේ සිත කලකිරවුයේ ඔහුට එම පරිසරයෙන් පිටව යාමට ද සලස්වමිනි. තමාගේ කෝපයට හේතු වූ මිනිසුන් සමග ජීවත්වීම, ඔවුන් සමග හැසිරීම තමන්ට කළ නොහැක්කක් වී යැයි ඔහු පවසා ඇත. ඔහු එය මෙසේද විස්තර කරයි.

“මගේ සතුරාට ස්ථිරසාර රූප කායක් තිබේ. නමක් ද තිබේ. ඒ වනාහි ප්‍රවේණිදාස ක්‍රමයයි.” ඔහුගේ ප්‍රසිද්ධතම නවකතාව වන “පියවරු සහ පුත්තු” හි එන බසරොව් නම් චරිතය පැන නගින්නේ එවැනි පසුබිමකිනි.

ප්‍රවේණිදාස අධිපතියෙකු වු සිය පියාත්, රුසියානු සම්ප්‍රදායිකත්වය තුළ විසුවත්, බටහිර යුරෝපීය අදහස් හා විිලාසිතාවන්ගෙන් නොඅඩුව සැරසුණ ඔහුගේ සහෝදරයාත් හමුවේ අර්කාදි සිය මිතුරා වන බසාරොව් ගැන කළ පැහැදිලි කිරීම මෙසේය.

“ඔහු ශුන්‍යවාදියෙක්. ඒ කියන්නේ නිහිලිස්ට් කෙනෙක්.” අර්කාදි පුනරුච්චාරණය කළේය.

“සෑම දෙයක්ම විවේචනාත්මක සලකා බලන කෙනෙක්.” අර්කාදි පැවසීය.

“ශුන්‍යවාදියා කියන්නේ කිසිම සමාජ සම්මතයකට ගරු කරන්නේ නැති පුද්ගලයෙක්. එහෙම සිද්ධාන්තයක්වත් භක්තිය නිසා විශ්වාස කරන කෙනෙක්වත් නෙවෙයි. ඒ සිද්ධාන්තය කොතරම් උසස් කොට සමාජයේ සැලකුවත් කමක් නෑ.”

අර්කාදි සිය මිතුරා වන බසාරොව් ගැන එසේ විස්තර කරන්නේ නින්දිත ප්‍රවේනිදාස ක්‍රමයට එරෙහිව ජනතා සංවිධාන රැස් වෙමින් සිටි සමයකය. ගොවි විප්ලවයක් සම්බන්ධ බියක් ආණ්ඩුව තුළ ද ඇතිවෙමින් තිබූ කාලයකය.

මෙතැනදී රුසියානු සාහිත්‍යයට හා සමාජයට මහත් බලපෑමක් කළ සාහිත්‍ය විචාරක බිලින්ස්කි ගැන තුර්ගිනිව්ගෙ. සිත තුළ තිබුණේ මහත් ගෞරවයකි. කෙසේ වුව බිලින්ස්කි තුර්ගිනිව්ව දුටුවේ සිය ශක්තිය අසමාන ලෙසින් සමාජ සංවේදීතාව මත රඳවාගත් අයෙකු හැටියටය. ප්‍රගතිශීලි ආස්ථානයක සිටියද තුර්ගිනිව් ගොවි විප්ලවයක් ගැන විශ්වාසය තැබුවෙකු නොවීය. දේශපාලනික වශයෙන් ඔහු පසුබිමේ ලිබරල්වාදී ස්වභාවය වඩාත් කැපී පෙනෙන සුළු එකක් වූයේය.

එසේ ගත් කළ එක් අතකින් පවත්නා සාම්ප්‍රදායික සම්මතයන්ට එරෙහිව ශුන්‍යයාදියෙකුගේ අසීමිත විරා්ධයෙන් කටයුතු කරන බසාරොව් සාමාන්‍ය ගැමි මිනිසුන්ගේ දරිද්‍රතාව හමුවේ කටයුතු කරන සානුකම්පිත ආකාරය අර කීව ලිබරල්වාදී බලපෑමෙන් හට ගත්තක් දැයි සිතා බැලීම වටී. රුසියානු විප්ලවය තුළ ප්‍රජාතන්ත්‍රවාදී නායකයෙකු ලෙසින් නැගී ආ දබ්රල්‍යුබව් ද තුර්ගිනිව්ව හඳුණාගන්නේ එකී තත්වය තවදුරටත් සනාථවන අයුරින් යැයි සිතේ. ඒ අනුව සමාජ විඥානයට කා වදින නව අදහස් මෙන්ම අවශ්‍යතවන් හමුවේ ඔහු සංවේදි වී තිබේ. ඒ අනුව සමාජ ක්‍රමය තුළ අපැහැදිලිව පැන නගින සමාජ ප්‍රශ්න, කැළඹීම් වෙතට යොමුවුණ ඔහුගේ බැල්ම සාමාන්‍ය බැල්මක්ම විය.

එසේ ගත් කළ ඉතා ප්‍රබල ලෙසින් ඔහුටම අනන්‍ය හැගීම්බර ශෛල්‍යයෙන් මතු කරන බසාරොව් නැමැති ශක්ති සම්පන්න සමාජ නායකයක් බඳු ඒ චරිතය අවසානයේදී දුප්පත් වැසියෙකුගේ වෛරස් රෝගයක් සුව කරන්නට අතිශය අනාරක්ෂිත අයුරකින් ඉදිරිපත් වී (ඒ වනාහි ඔහුගේ මානූෂීය බව කුළු ගන්වන්නට තුර්ගිනිව් ශෛල්‍යයේ තැතක් දැයි විමසා බලනු වටී.) සාමාන්‍ය මිනිසෙකු ලෙසින් මිය යන්නේ බසාරොව් කෙරෙහි මහත් බලාපොරොත්තු මෙන්ම විශ්වාසයක් තබාගෙන සිටි පාඨකයා අන්දමන්ද කරමිනි. කිසිදු අසාමාන්‍ය අරුතකින් තොරව සිදු කෙරෙන ඒ මරණය, ඇත්ත වශයෙන්ම සංවේදී එහෙත් හිස් මරණයක් යැයි සිතේ.

“බසාරොව් යළිත් අවදි නොවනු ඇත.....මද්දහනේ දැඩි හිරු තාපය පහවී යයි. අනතුරුව සැන්දෑව ද ඉන්පසු වෙහෙස ද මහන්සියෙන් හෙම්බත් වූවන් සුවසේ නිදිගන්වන සාමකාමී ක්ෂේම ස්ථානයට යළි කැටුව යන රාත්‍රිය ද පැමිණෙයි.”

Comments