එන්න ප්‍රංස පාපැදි සවාරිය මෙවර ජනේලයෙන් බලන්න | සිළුමිණ

එන්න ප්‍රංස පාපැදි සවාරිය මෙවර ජනේලයෙන් බලන්න

ලොව ජනප්‍රියම සහ ප්‍රධානම වාර්ෂික පාපැදි සවාරිය ලෙසින් අවිවාදයෙන් සැලකෙන ප්‍රංශ පාපැදි සවාරිය මෙවර ප්‍රේක්ෂකයන් රහිතව පැවැත්වීම සඳහා ප්‍රංශය අවධානය යොමුකරමින් සිටින බව එ‍රට ක්‍රීඩා අමාත්‍යවරිය පවසන්නීය.ප්‍රංශ පාපැදි සවාරිය ලෝකයේ පැරණිම පාපැදි සවාරිය වන අතර පළමු සහ දෙවැනි ලෝක යුද සමයන්හි වසර ගණනාවක් මෙම පාපැදි සවාරිය පවත්වා නොමැති හෙයින් මෙවර පැවැත්වෙන්නේ 108වැනි වරටය. පාපැදි තරග සඳහා ප්‍රේක්ෂකයන් එක්කාසු වන්නේ එක තැන එකම ක්‍රීඩාංගණයකට නොව පාපැදි තරගය පැවැත්වෙන මාවත දෙපසය. එහෙත් මෙවර ප්‍රංශ පාපැදි සවාරිය නරඹන්නන්ට වෙන්නේ නිවසේ ජනේලයක් තුළිනි.

ජූනි මස 27 වැනිදා සිට ජූලි 19 වැනිදා දක්වා පැවැත්වීමට නියමිත ප්‍රංශ පාපැදි සවාරිය නියමිත දිනවලදී ක්‍රියාත්මක කිරීම කොවිඩ්19 වසංගතය පැතිරීයාම හේතුවෙන් අවිනිශ්චිත තත්වයකට පත්ව තිබේ.

ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් අමාත්‍ය රොක්සානා මාරාසිනානු කියා සිටිනුයේ ප්‍රංශය මින් පෙර අවස්ථාවලදීද ඇතැම් තරගාවලි ප්‍රේක්ෂකයන් නොමැතිව පවත්වා ඇති බවයි.

“ඕනෑම දෙයක් කරන්න වෙලාවක් තියෙනවා. මේ වෙලාවේ අපිට වඩා වැදගත් දෙයක් තියෙනවා අවධානය යොමු කරන්න. මේ තරගාවලිය ගැන තීරණයක් ගන්න තවම කල් වැඩියි.”

“ මුලින්ම අපි මේ කොවිඩ්19න් රට මුදවාගන්න හැකි උපරිමය කරමු. ඉන් පසුව තරගාවලිය ගැන හිතමු. නිවාස අඩස්සියේ සිටීමට සිදුව ඇති මෙවන් අවස්ථාවක අපි හැමෝටම ඉටු කරන්න වගකීමක් තියෙනවා. යැයිද ක්‍රිඩා අමාත්‍යවරිය සදහන් කළාය.

පාපන්දු සහ රග්බි තරගාවලි වලදී මෙන්ම පාපැදි සවාරි වලදී මුදල් ඉපයීම සඳහා ප්‍රවේශපත් මත යැපීමට සිදුනොවන බැවින් ප්‍රේක්ෂකයන් නොමැතිව පැවැත්වුවද, එය ප්‍රංශ පාපැදි සවාරියට දැඩි මුල්‍ය බලපෑමක් ඇති නොකරනු ඇතැයි රොක්සානා කියා සිටියාය.

නිවෙස්වල රැදී සිටිමේ වාසිය සියලුම දෙනා තේරුම් අරන් ඇති මෙවැනි අවස්ථාවක, පාපැදි සවාරිය සජීවීව නැරඹීමට වඩා රූපවාහිනිය ඔස්සේ නැරඹීමට ප්‍රේක්ෂකයන් පවා උනන්දු වනු ඇතැයිද ඇය වැඩිදුරටත් පැවසුවාය.

රොනාල්ඩෝ - මෙන්ඩස් කොවිඩ්19 සමාජ සත්කාරයේ

කොවිඩ්19 ආසාදනය වී ඇති රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා ඇමරිකානු ඩොලර් 1.8 ක වටිනාකමකින් යුත් වෛද්‍ය උපකරණ සහ ජීවිතාරක්ෂක උපකරණ පරිත්‍යාග කිරීමට පෘතුගාල පාපන්දු කණ්ඩායමේ නායක ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ සහ පාපන්දු නියෝජිත ජෝර්ජ් මෙන්ඩස් ඉදිරිපත් වී සිටිති. පෘතුගාල‍යේ ලිස්බන් නුවර පිහිටි ශාන්ත මරියා රෝහලේ වාට්ටු දෙකකට සහ පෘතුගාලයේ දෙවැනි විශාලම නගරය වන පර්ටෝ නගරයේ පිහිටි ශාන්ත අන්තෝනියෝ රෝ‍‍හලේ වාට්ටුවකට ඔවුන් දෙදෙනා මෙම පරිත්‍යාගය කර තිබේ.

එම උපකරණ ගොන්නට සියලු පහසුකම් සහිත දැඩි සත්කාර ඇඳන් 25 ක්, කෘත්‍රිම ස්වසන යන්ත්‍ර, හෘද ස්පන්දන යන්ත්‍ර, සේලයින් ලබාදීමේ යන්ත්‍ර, සේලයින් සහ සිරින්ජර සහ උපකරණ රැසක් ඇතුළත්ව තිබූ බව එම රෝහල් නිවේදනය කරයි.

“සියලු දෙනාගේම යහපත උදෙසා රටට අවශ්‍යම අවස්ථාවක මෙවැනි යන්ත්‍ර සහ උපකරණ පරිත්‍යාග කිරී‍ම වෙනුවෙන් අපි රොනාල්ඩෝටසහ මෙන්ඩස්ට බෙහෙවින්ම ස්තූතිවන්ත වෙනවා.” යැයි පරිත්‍යාගය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ශාන්ත අන්තෝනියෝ රෝ‍‍හල් පරිපාලන මණ්ඩලයේ සභාපති පෝලෝ බාබෝසා පැවසීය.

මේ දක්වා පෘතුගාල‍යෙන් වාර්තා වී ඇත්තේ කොවිඩ්19 රෝගීන් 2362 ක් සහ මරණ 29 ක් පමණි. එය ඉතාලියට සහ ස්පාඤ්ඤයට සාපේක්ෂව බෙහෙවින්ම අඩු ප්‍රමාණයක් වුවත් දැනටමත් පෘතුගාල‍යේ සෞඛ්‍ය පද්ධතිය දැඩී පීඩනයකට ලක්ව ඇතැයි වාර්තා වේ.මිට පෙර රොනාල්ඩෝ සිය හෝටලයක් කොවිඩ්19 ආසාදිතයන්ගේ නිරෝධායනය සදහා ලබා දුන් බවට වාර්තා පල වු නමුත් ඔහු ඒ සම්බන්ධයෙන් කිසිවක් ප්‍රකාශ කර නොතිබුණි.

 

විම්බල්ඩන් තරගාවලියත් අවදානම් ගොඩට ඇද දමයි

 

ලොව පැරණිම සහ ප්‍රධානම ටෙනිස් තරගාවලිය කොවිඩ්19 බලපෑම හේතුවෙන් කල්දැමීමට සිදුවන මීළඟ තරගාවලිය බවට විම්බල්ඩන් ටෙනිස් තරගාවලිය පත්වීම වැළැක්විය නෙැහැකි තත්ත්වයට පත්ව තිබේ. වඩාත්ම බරපතළ ප්‍රශ්නය වන්නේ 2020විම්බල්ඩන් ටෙනිස් තරගාවලිය කල්දමනවාද නැතහොත් සම්පූර්ණයෙන්ම අවලංගු කරනවාද යන්නයි.

ලෝකයේ ප්‍රධානම ටෙනිස් තරගාවලි හතරෙන් එකක් වන විම්බල්ඩන් ටෙනිස් තරගාවලිය ජුනි 29 සිට ජූලි 12 දක්වා එංගලන්තයේ විම්බල්ඩන් නුවරදී පැවැත්වීමට නියමිතය. එහෙත් මෙම තරගාවලියේ ඉදිරි ගමන සම්බන්ධයෙන් මේ සතියේ තීරණයක් ගැනීමට නියමිතය.

ප්‍රේක්ෂකයින් නොමැතිව තරඟාවලිය පැවැත්වීමේ විකල්පය තරග සංවිධායකයින් විසින් දැනටමත් ප්‍රතික්ෂේප කරනු ලැබ තිබේ.

ජපානයේ ටෝකියෝ නුවරදී පැවැත්වීමට නියමිතව තිබූ ඔලිම්පික් ක්‍රීඩා උලෙළ 2021 කල්දැමීම නිසා විම්බල්ඩන් තරගාවලිය නැවත සංවිධානය කිරීමට විවෘත කාල පරිච්ඡේදයක් ලැබී තිබෙන නමුත් එය විම්බල්ඩන් තරගාවලියට ගැලපේද යන්න සැක සහිතය. විම්බල්ඩන් ටෙනිස් සංකීර්ණයේ ඇත්තේ ආවරණය කරන ලද ක්‍රීඩාංගණ දෙකක් පමණක් වන අතර එය එංගලන්ත ගිම්හානයේ අවර කොටසේ තරග පැවැත්වීමට තරම් නොවේ.

කොවිඩ්19 පැතිරීම ආරම්භ වීමත් සමගම ප්‍රංශ ටෙනිස් බලධාරීහු ප්‍රංශ විවෘත තරගාවලිය සැප්තැම්බර් මාසයට කල්දැමූහ. රෝලන්ඞ් ගැරොස් (ප්‍රංශ ටෙනිස් තරගාවලිය පැවැත්වෙන ස්ථානය) සංවිධායකයන්ගේ එම තීරණය නිසා ටෙනිස් ලෝකය මවිතයට පත්විය.

කොවිඩ්19හේතුවෙන් ග්‍රෑන්ඞ් ස්ලෑම් තරග කල් දැමුවහොත්, නියමිත කාලයෙන් පසුව විම්බල්ඩන් ටෙනිස් තරගාවලියේ කාලසටහන නැවත සකස් කිරීම සංවිධායකයන්ට අපහසු විය හැකි බව බ්‍රිතාන්‍යයේ ඇන්ඩි මරේ පවසයි.

ලක්‍ෂ හතකට වැඩි පිරිසකට කොවිඩ්19 ආසාදනය වී ඇති අතර 35,000 කට ආසන්න පිරිසක් මියගොස් තිබේ.

“ඔවුන්ට එය (විම්බල්ඩන් තරගාවලිය) කොපමණ කාලයක් පසුපසට තල්ලු කළ හැකිදැයි මා දන්නේ නෑ” යැයි දෙවරක් විම්බල්ඩන් මිශ්‍ර යුගල ශූරයා වන ඇන්ඩි මරේ පැවසීය.

“ලොව පුරා ක්‍රීඩා ඉසව් අවලංගු වී තිබියදී, ඔවුන් යම් යම් දේ සමඟ ගැටීමට උත්සාහ කරන්නේ නම්, එය ඒ තරම් හොඳ දෙයක් නොවේ” යැයි ඔහු වැඩිදුරටත් පවසා ඇත.

කොවිඩ්19 ලොව පුරා පැතිරීයාම හේතුවෙන් ගෝලීය ක්‍රීඩාව ඇණහිටීමට පෙර වසරේ පළමු ග්‍රෑන්ඞ් ස්ලෑම් තරගාවලිය වන ඕස්ට්‍රේලියානු විවෘත තරගාවලිය අවසන් විය. අනෙක් ග්‍රෑන්ඞ් ස්ලෑම් තරගාවලිය වන ඇමරිකානු විවෘත තරගාවලිය අගෝස්තුවේදී පැවැත්වීමට නියමිතය.

Comments