වෙනස සඳහා එඩිතර වන්න! | සිළුමිණ

වෙනස සඳහා එඩිතර වන්න!

අපි ගිනි කන්දක මුවවිට වාඩිවී සිටිමු. රත්වූ ලාවා කොයිමොහොතේ හෝ පිටාරවිත් සිරුරු මතින් ගලා යෑමට ප්‍රථම අප කුමක් හෝ කළ යුතුව ඇත. ස්වයං නිවාස අඩස්සියකට නතුව ජීවිතය පිළිබඳ ව අපේක්ෂා වෙනස්ම තැනක ප්‍රතිගබඩා කර තිබේ. දිවයිනට ම බලපෑ ඇඳිරිනීතිය නොතකා රට ම වෙළාගනිමින් සිටින වසංගත වයිරසයක් සමඟ දිනෙන් දින ඉහළ යමින් පවතින ජීවිත හානි සංඛ්‍යාව සිත කම්පනයට පත් කරයි. අහිවාතක නම් වසංගත රෝගය සැඳුණු විටෙක නගරවාසීන් ගෙයි බිත්තියක් බිඳ පළා ගියේ යැයි බෞද්ධ ඉතිහාසයට අනුව ඉගෙන ගත් අපි අද කොරෝනා වසංගතය පැතිරෙන මොහොතේ බිත්ති හතරට ජීවිතය බාර කර බලා සිටින්නෙමු.

එදා අහිවාතක වසංගතයෙන් ගැලවෙන්නට මිනිසුන් පැන ගියේ කැලයට ය. අද එසේ සොයා ගොස් සැනහෙන්නට කෙම්බිම් නැත; කෙම්බිම් සොයා මහමඟට බසින්නට අවසර ද නැත. ලෝකයම දණ ගැස්වූ වයිරසයක් හමුවේ ලොව කොතැනක හෝ බලවතුන්ට පමණක් හෝ යා හැකි කෙම්බිම් නැත.

එක්සත් ජාතීන්ගේ ප්‍රධානියා පවසන්නේ කොරෝනා වසංගතය දෙවන ලෝක යුද්ධයෙන් පසු ලොව මුහුණ පෑ බරපතළ ම හා දරුණුතම අර්බුදය බවයි. එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් මෙලෙස අනතුරු අඟවන්නේ දැනට එක්සත් ජනපදයේ මරණ චීනය ඉක්මවා යෑමත් ගෝලීය වශයෙන්

අනූ ලක්ෂයක් පමණ මේ වයිරසයේ ආසාදිතයන් බව තහවරු වීමත් සමඟ ය. දැඩි ලෙස පීඩාවට පත් යුරෝපයේ රටවල් එක් දිනක් ඇතුළත වැඩිම මරණ සංඛ්‍යාව වාර්තා කරති. ජාතික අසාත්මිකතා හා බෝවෙන රෝග පිළිබඳ ආයතනයේ අධ්‍යක්ෂ ඇන්තනී ෆවුසි කියා සිටියේ මේ වසංගතයෙන් එක්සත් ජනපදයේ 100,000ත් 200,000ත් අතර අතර සංඛ්‍යාවක් මරණයට පත්විය හැකි බවයි. ඉතාලි නායකයා කඳුළු පිරි දෑසින් දැන් අපිට දෙවි පිහිට පමණකැයි වැළපෙයි. අප රටේ ආර්ථිකයටත් විශාල සක්කයක් වූ යුරෝපීය රටක නායකයෙක් එසේ කියත් නම් තත්ත්වයේ බරපතළකම ගැන ඔබට අමුතුවෙන් කියා දිය යුතු නැත. තවදුරටත් බලවතුන්, බලවතුන් නොවේ. ලොවම කොට්ට උරයක් සේ කණපිට ගැසූ වයිරසය ගත වූ සියවසක කාලය ඇතුළත මිනිස් සමාජයේ ක්‍රියාකාරීත්වය ප්‍රශ්න කරමින් සිටියි.

මේ ලැබූ සතිය හා ඉදිරි සතිය තීරණාත්මකය. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසන්නේ ඉදහිට ලිහිල් කරනා ඇදිරිනීතිය පවා නැවැත්විය යුතු බව ය. රජය විසින් ලබා දෙන සෞඛ්‍ය උපදෙස් නිසි පරිදි අනුගමනය නොකරන්නේ නම් ශ්‍රී ලංකාවේ කොරෝනා අධිවසංගත තත්ත්වයක් ඇතිවිය හැකි බව ඔවුහු පවසති. ජනතාව වගකීම් විරහිතව ක්‍රියා කරන්නේ නම් මෙරට සෞඛ්‍ය පද්ධතිය බිඳ වැටී දෑස් ඉදිරිපිට රෝගීන් මිය යන්නට දී බලා සිටින්නට සිදුවනු ඇති බවට ඔවුහු අනතුරු අඟවති.

අනතුරු ඇඟවීම් ගණන් නොගත් ඉතාලිය සිදුකරගත් විපත ගැන ඔබ සවිඥානික විය යුතුය. පළමු රෝගීන් කිහිපදෙනා හමුවීමෙන් පසුව ඉතාලියේ සෞඛ්‍ය අංශ ප්‍රකාශයට පත් කළ නිවාඩු එරට රජය හා සාමාන්‍ය ජනතාව බැරෑරුම් ලෙස ගණන් ගත්තේ නැත. චීනයේ ඌබේ ප්‍රාන්තයේ සිදුවූ දෙය තමන් වැනි ඉහළ ඒක පුද්ගල ජීවන මට්ටමක් සහිත පිිරිසකට දුරස්ථ ව්‍යසනයක් සේ සැලකූ ඉතාලි ජනතාව ඉතිරි දින කිහිපය ගත කළේ අපේ සමහර අය මෙන් අනුචිත ලෙස ය. මරණ දෙක තුනක් දුසිමක් වූ විට පවා ඔවුහු ඒවා ගණන් නොගත්හ. ඉතාලිය විලාප කීම අරඹන්නේ පසුගිය මාර්තු 8 වැනිදායින් පසුව ය. ඒ මොහොතේ පවා ඉතාලි බලධාරීහු කල්පනා කළේ මරණ 500 ත් 1000ත් අතර ප්‍රමාණයකින් මේ ව්‍යසනය අවසන් වෙන බව ය. බරපතළ අතපසුවීම් හි ඵලවිපාක දැන් ඔවුහු විඳිමින් සිටිති.

ශ්‍රී ලංකාවේ රජය ඊට වෙනස්ම ක්‍රියාමාර්ගයක් අනුගමනය කරමින් මුල් අවස්ථාවේම ඊට නිසි ක්‍රියාමාර්ග යෙදූ හෙයින් අද අපට යම් සැනසීමක් තිබේ. බිත්ති හතරකට කොටු වී ස්වයං නිරෝධායනයක සිටියදී අපට අත්‍යවශ්‍ය සියල්ල රජය විසින් සම්පාදනය කර තිබේ. ගැටලුව ඇත්තේ ජනතාව අත ය. සමහරු තවමත් මේ ව්‍යසනයේ දිග පළල තේරුම් නොගෙන ඔබ මොබ යති; එති. ආත්මාර්ථකාමී කිහිපදෙනකු විසින් සිදු කරන ලද විනාශය ඉදිරියේ අප තීරණාත්මක අවදියකට පිළිපන්ව සිටිමු. රජය ගෙන යන ප්‍රශස්ථ වැඩපිළිවෙළට ඔබ සහය දක්වන්නේ නම් මේ විනාශය, වසංගතයක් නොකර ගෙන බේරීමට අපට හැකිය. තීරණය ඇත්තේ ඔබ අතේ ය. අප එකාවන් ව මේ උවදුරෙන් ගැලවීමට රජය ගෙන යන වැඩපිළි‍ෙවළට සහය දෙන්නේ නම්; ලෝක සෞඛ්‍ය සංවිධානය පසුගියදා පැවැසූ පරිදි ම මේ වසංගතයෙන් බේරීමට සාර්ථකම හා ඉහළම වටිනාකමෙන් යුතු ක්‍රමෝපාය ක්‍රියාත්මක කළ ලොව මුල් රටවල් තුන අතරට ලංකාව පත්වීමේ ගෞරවය රැකගත හැකි වනු ඇත.

ඔබ, ඔබේ සමීපතමයන්ට ආදරය කරන්නේ නම් සෞඛ්‍ය බලධාරීන් ක්‍රියාත්මක කරන වැඩපිළි‍ෙවළට ඔබේ උපරිම සහය දිය යුතුය. මේ ව්‍යසනය පරාජය කිරීමට ඇති එකම ක්‍රියාමාර්ගය එයයි. ඒ සඳහා එඩිතර වන්න.

Comments