දිස්ත්‍රික්ක 19ක ඇඳිරි නීතිය තාවකාලිකව ඉවතට | සිළුමිණ

දිස්ත්‍රික්ක 19ක ඇඳිරි නීතිය තාවකාලිකව ඉවතට

දිස්ත්‍රික්ක 19 කට පැනවූ පොලිස් ඇඳිරි නීතිය අද උදෑසන 6 ට ඉවත් කෙරිණ.

ජනාධිපති කාර්යාලය සඳහන් කළේ, අද පස්වරු 2 ට නැවත එම දිස්ත්‍රික්කවලට පොලිස් ඇඳිරි නීතිය පනවන බවයි.

ඇඳිරි නීතිය ඉවත් කෙරුණු ප්‍රදේශවල සියලු වෙළෙඳ සැල් විවෘතව තබන්නැයි කොරෝනා මර්දන ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානයේ ප්‍රධානී, යුධ හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා දැනුම් දෙයි.

අදාළ කාල සීමාව තුළ ශාරීරික දුරස්ථභාවය තබා ගනිමින් භාණ්ඩ මිලදී ගන්නැයි යුද හමුදාපතිවරයා ජනතාවට දැනුම් දී සිටී.

කෙසේ වෙතත්, කොළඹ, ගම්පහ, කළුතර, පුත්තලම, මහනුවර සහ යාපනය දිස්ත්‍රික්කවලට පැනවූ පොලිස් ඇඳිරි නීතිය නැවත දැනුම්දෙන තුරු ක්‍රියාත්මකයි.

අත්‍යවශ්‍ය සේවා හැර අනෙක් සියලු කාර්යයන් සඳහා තවදුරටත් දිස්ත්‍රික් අතර ගමනාගමනය සම්පූර්ණයෙන්ම තහනම් වේ.

ජනාධිපති කාර්යාලය සඳහන් කළේ, අත්‍යවශ්‍ය සේවා අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා යොදා ඇති ක්‍රමවේද අවභාවිත කරන පුද්ගලයින්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කෙරෙන බවයි.

මහනුවර අකුරණ සහ කළුතර අටලුගම යන ගම්මාන, ඊයේ සම්පූර්ණයෙන් ම හුදකලා ප්‍රදේශ ලෙස නම් කෙරිණ.

ඒ අනූව කිසිදු පුද්ගලයෙකුට එම ගම්මානවලට ඇතුළු වීම හෝ පිටවීම තහනම් වනු ඇති.

මේ අතර ඇඳිරි නීති රෙගුලාසි කඩකළ පුද්ගලයින් 6474 දෙනෙකු මේ වන විට අත්අඩංගුවට ගෙන ඇතැයි පොලීසීය පවසයි

ඒ, පසුගිය 20 වැනිදා සිට මේ දක්වා කාලය තුළයි.

අදාළ කාලසීමාව තුළ පොලීසීය භාරයට ගෙන ඇති වාහන සංඛ්‍යාව 1583 කි.

Comments