පදින්නට නොව එතෙර වන්නට | සිළුමිණ

පදින්නට නොව එතෙර වන්නට

කර්තෘ - අක්මීමන සොමිසාර

 

අක්මීමණ සොමිසාර යනු නූතන කාව්‍ය සාහිත්‍ය වංශයේ වසර 50කට අධික කාලයක් නිර්මාණකරණයේ නියුතු වූ කොළඹ යුගයට අනුගත කවියෙකි. ඔහු 2018 වසරේදී මියගිය අතර මේ සටහන අප තබන්නේ ඔහුගේ අඛණ්ඩ සාහිත්‍ය සේවනයට කෙරෙන ගෞරවයක් වශයෙනි. වයස්ගත වුවත් ඔහු නිර්මාණකරණය අතහැර ඉසිඹුලෑවේ නැත. අනවරත ලෙස කවිකමෙහි නිරත වූයේ ය. සුමට කවිබසකින් සිව්පද ආකෘතියෙන් කවි රචනා කළ අක්මීමණ සොමිසාර පොදුවේ දැනෙන හැඟෙන අත්දැකීම්වලට මුල්තැන දී කවි ලියුවේ ය.

අතීතයේ මෙරට සාහිත්‍ය රසකාමින් අතර ඉමහත් ජනප්‍රියත්වයක් අත්කර ගෙන සිටි ‘රසවාහිනී’ සඟරාවේ යාවජීව රචකයෙකු ලෙස නිතර කවි පළ කළ ඔහු ස්වකීය ආස්ථානයේ දිගින් දිගට ම රැඳී සිටිමින් කලා සාහිත්‍ය ව්‍යාපාරයේ නිරත වී සිටියේ ය.

අප දන්නා පරිදි මෙරට ජන සාහිත්‍යකරුවන්ගේ ප්‍රධාන කාව්‍යාකෘතිය බවට පත් ව තිබුණේ සීපද හෙවත් සිව්පද ආකෘතිය ය. වසර දෙදහසක් පමණ ඉතිහාසයක් ඇති සිංහල කාව්‍ය ඉතිහාසයේ වඩාත් ම භාවිත වී තිබෙන කාව්‍ය ආකෘතිය වන්නේ ද සිව්පද හෙවත් සමුද්‍රඝෝෂ විරිත ය. ‘දෙසෙන් අටෙන් යති’ තබා රචනා කෙරෙන මේ ආකෘතිය සිංහල ජන මනසට බෙහෙවින් සමීප ය. ක්‍රි.ව. 6 සිට පමණ ලියැවී තිබෙන සීගිරි ගීවල පවා මේ සිව්පද ආකෘතියෙන් රචනා කරන ලද කාව්‍ය නිර්මාණ දැකිය හැකි ය. එහෙත් ඒවා කේවල රචනා ය. එසේ ම මෙවැනි කවි පන්ති සහිත මුල් ම කාව්‍ය ග්‍රන්ථය වශයෙන් අපට මුණගැසෙන්නේ ක්‍රි.ව. 14වැනි සියවසේදී රචනා කරන ලද ‘තිසර සන්දේශය‘ වේ. පස්වැනි පරාක්‍රමබාහු රාජ සමයේ (ක්‍රි.ව. 1344-1359) රචනා කරන ලද එකී ග්‍රන්ථය නිසා අඛණ්ඩ කාව්‍ය සම්ප්‍රදායක් ඇරඹිණු අතර අද සිට යාචකයා ගේ සිට සුසාන භූමියේ ශෝකාලාප දක්වා සිව්පද ආකෘතියෙන් කවි ගායනා කරන සමාජයක් අපට උරුම වී තිබේ. සැබැවින් ම සාපේක්ෂ ව නිදහස් කාව්‍ය ආකෘතියෙන් කවි රචනා කරන්නන්ට වඩා භාෂාව පිළිබඳ පරිචයක් අක්මීමණ සොමිසාර වැනි වැඩිහිටි කවි පරපුරේ රචකයන්ට තිබිණි.

අද මෙන් නො ව එදා කවියන්ගේ අරමුණ වූයේ සිතේ තිබෙන අදහස් නිදහසේ ප්‍රකාශ කිරීම සඳහා කවිය භාවිත කිරීම ය. වර්තමාන කවියන්ට ඇත්තේ ඊට වඩා වෙනස් අරමුණු රැසකි. අද ඇතැම් විට කවිය යනු අභ්‍යන්තර හරයක් නොමැති හුදෙක් රැල්ලකින් උත්පාද වී පැවැතෙන සාහිත්‍ය විලාසිතාවක් වැන්න.

කොළඹ යුගයේ මනෝරාජික කාව්‍ය ලෝකයෙන් ද එවැන්නක් සිදු වී තිබේ. ඔවුන් කවි රචනා කළේ මනෝ ලෝකවල සැරි සරමිනි. එයින් ද ඇති වූයේ අරුත්සුන් රැල්ලකි. කොළඹ කවිය එක් යුගයකට පමණක් සීමා වූයේ ඒ නිසා ය.

‘ඔරුව‘ නමින් නම් කර තිබෙන කවියෙන් අක්මීමන සොමිසාර කවියා ඉස්මතු කරන්නේ ස්වකීය ජීවන දෘෂ්ටිය ය. ඔහු ගේ කාව්‍ය ග්‍රන්ථය නම්කර තිබෙන්නේ ද ‘ඔරුව’ නමිනි.

උපතක් ලබාගෙන මම මෙම මුහුදු දියේ
පදවමි ඔරුව දෙන සාගිනිවලට බියේ
ඔරුකාරයන් මුහුදෙන් කොතනට ද ගියේ
එතනට යන්න ඕනෑකම මට ද තියේ

දවසින් දවස ඔරුකඳ දියඹට යනවා
රළ පෙළ පෙරළමින් සැඩ සුළඟ ද එනවා
සිතුවිලි රෑන මැද ඔරුකඳ සෙලවෙනවා
ජීවත්වීම හා මරණය සිහිවෙනවා

‘ඔරුව’ රූපකයක් ලෙස භාවිත කරමින් කවියා මවන දාර්ශනික අදහස වැදගත් ය.

‘සදහටම නවතිමි’ යනුවෙන් ශීර්ෂය දැක්වෙන කවි පන්තියට ද ඔරුව රූපකයක් ලෙස යොදාගෙන තිබේ.

කොහිසිට ගලන්නෙද මෙම ගඟ නැත දන්නේ
කොතැනද ගලා බසිමින් ගොස් නවතින්නේ
ඔරුවල නැඟී කවුරුත් එගොඩට යන්නේ
එගොඩට ගියෝ නැත යළි මෙගොඩට එන්නේ

අක්මීමන සොමිසාර කවියාට ඔරුව මෙපමණ සමීප ව තිබෙන්නේ ජීවන පාරිසරික වස්තුවක් ලෙස ඔහු ගේ උප විඥානයේ එය තැන්පත් වී තිබෙන නිසා වියු යුතු ය.

‘ගොවි උදානය’ කවියා ගේ සමකාලීන සමාජ ප්‍රවණතා පිළිබඳ ව තිබුණු උනන්දුව සංකේතවත් කරයි. එකල ප්‍රචලිත ව තිබුණු ‘රසවාහිනී’ සඟරාවට 1963.08.09වැනි දා රචනා කර තිබෙන එය ජාතික හැඟීමකින් යුක්ත ව රචනා කරන ලද්දකි.

අරුණළු වැටෙන්නට පළමුව නැගිට උදේ
සෝදා මුහුණ විඳ රස තේ කහට පොදේ
රට රැක ගැනීමට පැතුමන් ඇති ව හදේ
ගොවියා උදැල්ලත් ගෙන සිය කෙතට ඇදේ

රන් දාබිඳු හෙලා සිරුරෙන් පොළොව මත
කොටමින් කුඹුර රට වෙනුවෙන් නතුව සිත
සපයයි නිරතුරු ව ඔබටත් මටත් බත
ඔහු රජ කෙනෙකි කිරුළක් නැති සිරස මත

මෙබඳු කාව්‍ය නිර්මාණ රැසක් ‘ඔරුව’ කාව්‍ය සංග්‍රහයට අන්තර්ගත ය. ඒවා එකම අරමුණකින් රචනා කර තිබෙන බව පෙනේ. ඒවා ගණනින් 41කි. ක්‍රමයෙන් වයස්ගත වන විට ආගමික නැඹුරුවක් සහිත එකී කාව්‍ය නිර්මාණාවලිය ‘ඔරුව’ යනුවෙන් නම් කිරීමෙන් ම අක්මීමණ සොමිසාර කවියාගේ ජීවන ගමනාන්තය පිළිබඳ කිසියම් අදහසක් ජනිත කරයි.

Comments