හෙළ සංස්කෘ­ති­යට අනුව කට­යුතු කළොත් උව­දුරු දුරු කිරීම අප­හසු නැහැ | සිළුමිණ

හෙළ සංස්කෘ­ති­යට අනුව කට­යුතු කළොත් උව­දුරු දුරු කිරීම අප­හසු නැහැ

හ මැති­ව­ර­ණයේ නාම යෝජනා බාර දී අව­සා­නය. ඇප මුදල්ද තැන්පත් කර අව­සන් නමුත් මැති­ව­ර­ණය කල්දමා ඇත. පැවැ­ත්වී­මට නිය­මිත විභාග නිසි පරිදි පව­ත්ව­න්නට හැකි වේ දෝයි යන්නද සැක සහි­තය. ඒ කොවීඩ් -19 හෙවත් නව කොරෝනා වසං­ග­ත­යෙන් මේ වන විට රට දැඩි ව්‍යාකූල තත්ත්ව­යෙන් පසු­වන හෙයිනි. මෙවන් ව්‍ය­ස­න­ව­ලදී බුදු දහ­මට අනුව අප කළ යුත්තේ කුමක්ද? අපි ඒ පිළි­බ­දව මහා විහාර වංශික ශ්‍යාමෝ­පාලි මහා නිකායේ ශ්‍රී රෝහණ පාර්ශ්වයේ ප්‍රධාන සංවි­ධා­යක හා විධා­යක කාරක සභික ශාස්ත්‍ර­පති දොඩ­ම්ප­හළ ශ්‍රී රාහුල හිමි­ගෙන් විම­සු­වෙමු.

ලෝකයේ මිනි­සුන් විවි­ධා­කාර හේතු සකස් කර­ගෙන ඒ හරහා තම සීමා තහ­වුරු කර ගැනීම සදහා එසේත් නැත්නම් තම වර්ග­යාගේ හෝ දේශ­යන්හි භාෂා­මය වශ­යෙන් ආගම් වශ­යෙන් හෝ ජාති වශ­යෙන් වෙන්වීමේ දැවැන්ත යුද ගැටුම් ඇති විය. උදා­හ­රණ ලෙස පෙන්වා දෙනවා නම් 1 වැනි ලෝක යුද්ධය හා දෙවැනි ලෝක යුද්ධ­යත් කුරුස යුද්ධ­යත් පෙන්වා දිය හැකිය.

එහිදී විශාල වශ­යෙන් මිනි­ස් ඝාත­න සිදුවූහ. අද වුවද න්‍යෂ්ටික අවි පවා නිෂ්පා­ද­නය කරනු ලබන බව අපට පෙනෙ­න්නට ඇත. ඒ තම තමන්ගේ බල­පු­ළු­ව­න්කා­ර­කම් අනෙ­කාට පෙන්වී­ම­ටය.

එහෙත් වසං­ගත රෝගී තත්ත්ව­ය­කදී, එසේත් නැත්නම් වයි­රස ආසා­ද­න­ය­කදී මේ බල­පු­ළු­ව­න්කා­ර­කම් කිසි­ව­කික් වැඩක් නැත. එහිදී ආගම්, ජාතිය කුල භේද මේ කිසි­ව­කට යටත් නොවී එකම ආකා­ර­ය­කට එහි බල­පෑම එල්ල වන බව මේ වන විට ලෝකයේ සිදුව ඇති ව්‍යස­න­යෙන් අපට පසක් වී ඇත. ඒ තර්ජ­න­යන් සියලු දෙනා­ටම එකම ආකා­ර­යෙන් බල­පානු ලැබේ. ලෝක ධර්ම­තා­ව එයයි. බුදු­ර­ජා­ණන් වහන්සේ සූත්‍ර දේශනා ඇසු­රින් අපට පෙන්වා දුන්නේ එයයි.

මිනිස් සමා­ජය විසින් බොරු ආටෝ­ප­යන් ලෙසින් පෙන්ව­මින් යුද්ධ කර ගනි­මින් පක්ෂ පාට අනුව බෙදා වෙන් කර ගත්තද වයි­රස ආසා­ද­න­යන් මෙන්ම ස්වභාව ධර්මයා විසින් ලබා දෙන ව්‍යස­න­යන් වන ගංව­තුර, සුළි­සුළං, නාය යෑම් ලැව් ගිනි ඇතුළු සිය­ල්ලේම විපා­ක­යන් කාටත් උරුම වන්නේ එකම ආකා­ර­ය­ක­ටය.

බුදු රජා­ණන් වහන්සේ විසින් අපට යහ­පත් දිවි­ය­කට අනු­දැන වදාළ කරුණු රැසක් ඇත. ඒ අනුව අප කට­යුතු කරන්නේ නම් මේ ගැටලු අවම කර ගත හැකි වනු ඇත.

විශේ­ෂ­යෙන්ම අප එදි­නෙදා කට­යුතු කිරී­මේදී අන­න්‍යන්ට කර­ද­ර­යක් නොවන ලෙසින් සිටින්නේ නම් මේ සමාජ අර්බුද කිසි­වක් පැන නඟින්නේ නැත. බුදු­ර­ජා­ණන් වහන්සේ විසින් සිඟා­ලෝ­වාද සූත්‍ර­යේදී තම තමන්ගේ යුතු­කම් මැන­වින් දේශනා කර වදාළ සේක. එහිදී එක් එක් අය විසින් අනෙක් තැනැ­ත්තාට කළ යුතු යුතු­කම් ඉටු කළ විටදී තම තමන්ට හිමි අයි­ති­වා­සි­කම් නිතැ­තින්ම ලැබෙන බවද බුදු­ර­ජා­ණන් වහන්සේ පෙන්වා දුන් සේක.

එහෙත් වර්ත­මාන සමා­ජ­යේදී එවන් තත්ත්ව­යක් දක්නට අප­හ­සුය.

අපේ සමා­ජයේ අද සිටින බොහෝ අයගේ කාර්යය මීට හාත්ප­සින්ම වෙනස්ය. විශේ­ෂ­යෙන්ම ආපදා කළ­ම­නා­ක­ර­ණ­යේදී අපේ ජන­තා­වගේ සහාය බොහෝ වැද­ගත් වුවත් එහිදී ඇතැම් අය කට­යුතු කරන්නේ වග­කීම් විර­හි­තය. ඒ අනුව තම යුතු­කම් නිසි පරිදි ඉටු නොවේ. ‍

වෛද්‍ය විද්‍යා­ත්මක උප­දෙස් අප නිසි අයු­රින් පිළිපදි­න්නේද යන්නද මෙහිදී කල්පනා කළ යුතුය. එමෙන්ම සමාජ විද්‍යා­ත්ම­කව ලෙසින් ප්‍රායෝ­ගි­කව අප ආප­දා­ මග හැරී­මට කට­යුතු නොක­රන බවද මෙහිදී පෙන්වා දිය යුතුය.

ඒ සඳහා ඕනෑ­ත­රම් උදා­හ­රණ සැප­යී­මට පුළු­වන. සුනාමි ජල කඳ පැමිණ මුහු­දට ඇදී ගිය පසු එය නැරැ­ඹී­මට ගොස් විප­තට පත් වූවන් කොප­මණ සිටි­යාද? එසේම නාය යෑම් සිදුවූ විට එම ප්‍රදේශ බල­න්නට යන පිරිස් කොත­රම් සිටි­න­වාද? ගංව­තු­රක් ඇති වූ විට එය බල­න්නට යන අය කොත­රම් සිටි­න­වාද?

ආර­ක්ෂක අංශ හෝ වෛද්‍ය අංශ හෝ රජය මඟින් ලබා දෙන ආර­ක්ෂත උප­දෙස් නොපිළි පැ­දීම අපට විශාල විපත් ළගා කර දෙන බව දැන දැනත් අප මෙලෙ­සින් කට­යුතු කරන්නේ නිසි අව­බෝ­ධ­යක් නොමැ­ති­ක­මට වඩා අප සිත් තුළ අධි මාන­යක් ඇති නිසාය.

බුදු­ර­ජා­ණන් වහ­න්සේගේ දේශ­නාව වූයේ තෙවැ­දෑ­රුම් මානය අප ඉවත් කර දිවිය සකස් කර ගත යුතු බවයි. මේ වන විටත් යම් යම් රෝගා­බා­ධ­යන්ට ලක්ව නිරෝ­ධා­යන කට­යු­තු­ව­ලට ලක් වන්නට යැයි කියූ අය එය මග හැර සිටීමේ විපාක අද මුළු රට­ටම අත්විඳින්නට සිදුව ඇත. බුදු රජා­ණන් වහන්සේ මෙවන් විපත් සඳහා ඖෂධ නියම කර නැතත් ඒවා­යින් වළ­කින අයුරු යම් යම් දේශනාවලදී විස්තර කර තිබේ.

එමෙන්ම බුදු දහ­මත් හෙළ සංස්කෘ­ති­යත් එක්ව ගත් කල බොහෝ ගැට­ලු­කාරී සිදු­වී­ම්ව­ලින් අපට මිදිය හැකිය. අද බට­හිර ජාතීන් පවා ඒ ගැන පිළි­ගෙන ඇති බවද අපට පැහැ­දි­ලිය. ආචාර කිරී­මේදී අතට අත දෙනවා වෙනු­වට අද ලෝකය පුරාම තම දෙඅත් එක් කර ‘ආයු­බෝ­වන්‘ කියනා අයු­රින් ආචාර කිරී­මට පුරු­දුව ඇත.

විශාලා මහ­නු­වර රෝග බිය, දුර්භික්ෂ බිය හා අම­නුෂ්‍ය බිය ඇති වූ අව­ස්ථා­වේදී බුදු­ර­ජා­ණන් වහන්සේ විසින් ආනන්ද හිමි ලවා රතන සූත්‍රය දේශනා කිරී­මෙන් හා එම උව­දුර සංසිඳවූ සේක. එහිදී බුද්ධ, ධම්ම හා සංඝ යන ත්‍රිවිධ රත්නයේ ගුණ­ය­න්ගෙන් එම පිහිට ලැබුණි. ඒ ආභා­සය අනුව අප කට­යුතු කළ යුතුය. බුදු දහ­මින් ලබා ගත හැකි උප­දෙස් අව­වාද අනු­ශා­සනා ලබා ගත යුතුය.

එමෙන්ම රෝගා­බා­ධ­ය­කදී වෛද්‍ය උප­දෙස් හා රජ­යෙන් ලබා දෙන උප­දෙස් නිසි පරිදි පිළි පැදිය යුතුය. එසේ නොවූ විට සිදු­වන්නේ තමන් ද ආරක්ෂා නොවී අනෙක් අයත් රටත් අනා­ර­ක්ෂා­වට පත් කිරී­මය. දස රාජ ධර්ම හා සතර සංග්‍රහ වස්තු ඇතුළු ධාර්මික රාජ්‍ය නාය­ක­යකු විසින් අනු­ග­ම­නය කළ යුතු කුමන පිළි­වෙත් අනු­ග­ම­නය කළද රට වැසියා නිසි අයු­රින් කට­යුතු කොක­ළ­හොත් රට විනා­ශ­යක් කරා යැම වැළැ­ක්විය නොහැ­ක්කේය.

පරි­ස­රය අපට අව­ශ්‍ය ලෙසින් වෙනස් කළ නොහැ­කිය. ස්වභාව ධර්මයා අපට අනු­ගත නොවේ. අප ස්වභාව ධර්ම­යට අවශ්‍ය පරිදි අනු­ගත විය යුතුය.

වර්ත­මා­නයේ පවත්නා රෝග අව­දා­නම දුරු කර ගැනීම පිණිස ඒකා­රාශී වීමෙන් වළ­කි­න්න­යැයි ලෝකයේ සිය­ලුම රාජ්‍ය නාය­ක­යින් හා සෞඛ්‍ය සංවි­ධා­නය පවසා සිටි­යද කොරි­යාව වැනි ඇතැම් රට­වල ආග­මික නාය­ක­යන් විසින් සිදු කළ ක්‍රියා­දා­ම­යන්හි අව­සන් ප්‍රති­ඵ­ල­යන් වශ­යෙන් ඇතැම් ආග­මික ස්ථාන­වල යාඥා කිරීමේ කට­යුතු සිදු කරන ලදී. එහි ප්‍රති­ඵ­ල­යක් ලෙසින් රෝග ව්‍යාප්තිය වැඩි වී ඇත. මේ නිසා අප කල්පනා කළ යුත්තේ අපේ ජන­තාව තම යුතුකම් නිසි පරිදි ඉටු කෙළේද යන්න ගැනයි.

මේ වන විට බොහෝ විහා­ර­ස්ථා­න­වල රතන සූත්‍රය සඡ්ඡා­ය­නය අරඹා ඇති අතර ඒ සම­ගම බොහෝ ප්‍රදේ­ශ­ව­ලට වර්ෂාව ඇති විය.

අපේ රටට මේ ව්‍යස­න­කාරී තත්ත්වය තවම වර්ධ­නය වී නැත. එය වර්ධ­නය කිරීම හෝ නොකි­රීමේ වග­කීම ඇත්තේ අප සතු­වම බවද මෙහිදී සිහි තබා ගත යුතුය. ජන­තාව එක් රැස් නොවිය යුතු බව පැව­සු­වද ජන­තාව ඒ ගැන නොත­කන බවක් අපට දැක ගත හැකිය. එමෙන්ම මේ වන විට ඇතැම් ප්‍රදේ­ශ­වල විදෙස් ගතව සිට පැමිණි පුද්ග­ල­යින් විනෝද සාද පැවැ­ත්වීම නිසා එම ප්‍රදේ­ශ­ව­ලට ඇදිරි නීතිය පැන­වී­මට පවා සිදුව තිබේ.

අපට හෙළ සංස්කෘ­ති­යෙන් හිමිව ඇති බොහෝ ගුණාංග මෙන්ම බුදු දහ­මින් ලබා දී ඇති උප­දේස නිසි ලෙසින් පිළි­ප­දින්නේ නම් මේ රෝග බිය ඇතුළු සියලු දෙයින් මිදීම අප­හසු වන්නේ නැත. දේශීය ප්‍රති­කාර ක්‍රම සොය­මින් ද බොහෝ දෙනා කට­යුතු කරනු බව පෙනෙ­තත් මේ අව­ස්ථා­වේදී සැක සහිත අය විසින් සිදු කළ යුතු­යැයි දන්වන ලද උප­දෙස් ඔවුන් පිළි­පැද ඇත්දැයි කල්පනා කළ යුතුය.

අතී­තයේ සිට අද දක්වාම අපගේ නිවෙ­සක යම් බෝවන රෝග­ය­කින් පෙළෙන අයකු සිටි­ය­හොත් නිව­සට බාහිර පුද්ග­ල­යින් පැමි­ණීම වැළැ­ක්වීම පිණිස අප කොහොඹ අත්තක් නිවෙස ඉදි­රි­පිට එල්ලා තැබීම සිදු කරන ලදී. නිවැ­සි­යන්ද බැහැර නොගොස් සිටි­යහ. එවන් ජාතික වග­කී­මක් ගමේ ගොඩේ සිට රජ­තුමා දක්වා යන සියල් දෙනා තුළ තිබු­ණද අද තත්ත්වය කුමක්ද? යන්න විමසා බැලිය යුතුය.

රටට ජන­තා­වට පම­ණක් නොව තම පවුලේ ඥාතීන්ට පවා ආද­ර­යක් කරු­ණා­වක් මෛත්‍රි­යක් නොමැති මෙවන් පුද්ග­යන්ට විරු­ද්ධව බුදු දහමේ වුවද දඩු­වම් නියම කර ඇති බව පෙන්වා දිය යුතුය. එකම වරද දිගින් දිග­ටම සිදු කරන්නේ නම් ඒ සඳහා දඩු­වම් තිබේ.

සිදු­හත් කුමරා අභි­නි­ෂ්ක්‍ර­ම­ණය පිණිස ගමන් කළ අව­ස්ථාවේ ඡන්න ඇමැති (පසුව ඡන්න භික්ෂුව) විසින් සිදු­කළ වැරැදි නිසා එම භික්ෂු­වට බ්‍රහ්ම දණ්ඩය පැන­වී­මට කට­යුතු කළ සේක. එම නිසා වැරැදි සිදු කර­න්නන්ට අනි­වා­ර්යෙන්ම දණ්ඩ­නය ක්‍රියා­ත්මක කළ යුතුය.

බුදු දහ­මට අනුව දිවිය සකස් කර ගනි­මින් දේශීය සම්ප්‍ර­දා­ය­යට අපි මුල් තැනක් දී කට­යුතු කරන්නේ නම් අපට නිරෝගී දිවි­යක් ගත කළ හැකිය.

වර්ත­මා­නයේ පවා අප පිරිත් පිංක­ම­කදී භාවිත කරන දළු සහිත පත්‍ර වර්ග ඇති ශාක දෙස බලන්න. ඒ සඳහා යොදා ගන්නේ තුඩ සහිත ශාකයි. බුලත්, නා, නාග­වල්ලි වැනි ශාක පත්‍ර­ව­ලට ඇද ගැනීමේ ශක්ති­යක් ඇති බව අපට පෙන්වා දී තිබේ.

එමෙන්ම වෙනි­වැ­ල්ගැට, කොත්ත­මල්ලි වැනි දේශීය ඖෂ­ධ­ව­ලින් අපට ඇති ප්‍රයෝ­ජන ඉතාම වැද­ගත් බවද සිහි තබා­ගෙන මේ අව­ස්ථා­වේදී ක්ෂණික ආහාර වලින් වැළ­කීමේ වැද­ග­ත්ක­මද ගැනද අප අව­බෝධ කර ගත යුතු වේ.

විශේ­ෂ­යෙන්ම සෞඛ්‍ය අංශ පෙන්වා දෙන ආර­ක්ෂිත උප­ක්‍රම අප පිළි­පැ­දිය යුතු නොවේද?

විශේ­ෂ­යෙන්ම අපට රෝගා­බාධ අඩු­වෙන් වැළ­ඳෙන්නේ අප දේශීය කුලු­බඩු වර්ග ආහා­ර­යට එක් කර ගැනීම නිසාය

බුදු දහ­මට අනුව මෛත්‍රිය කරු­ණාව පතු­ර­ව­මින් තම දිවිය පවා නොතකා නිරෝ­ධා­ය­න­යට ලක් කළ යුතු යැයි හඳුනා ගත් පිරිස් වෙත අවශ්‍ය ප්‍රති­කර්ම ලබා දෙද්දී එම පිරිස් නිසි අයු­රින් කට­යුතු නොක­රන්නේ නම් ඔවු­නට විරු­ද්ධව අනි­වා­ර්යෙන්ම පිය­වර ගත යුතුය.

චීනයේ මේ වසං­ග­තය පැතිර යද්දී ප්‍රති­කාර ලබා නොගත් අය සොය­මින් හමු­දාව ගෙයින් ගෙට යද්දි එය දුටු ශ්‍රී ලාංකි­කයෝ ඒ ගැන දුක් වූයේ එම පුද්ග­ල­යින් එසේ රැගෙන යාම නොකළ යුතු බව කිය­මිනි. එහෙත් අද අප අත්වි­දින තත්ත්වය අනුව අපට ද පැහැ­දිලි වන්නේ එම ක්‍රියාව නිවැ­රදි බවයි. එවන් පුද්ග­ල­යන් අන­තුරේ දමන්නේ තමන් හෝ තම පවුල ගම පම­ණක් නොව සමස්ත ජාති­යම සමස්ත රටම බව තේරුම් ගත යුකුය.

එම නිසා බුදු දහ­මින් අනු­මත දණ්ඩ­නය කෙරෙහි එවන් පුද­ග­ල­යන් ට එරෙ­හිව කට­යුතු කළ යුතුය. බුදු­ර­ජා­ණන් වහන්සේ කිසි විටක ධර්මය හා රාජ්‍ය පාල­නය හා රටේ නීතිය එක්ව ගෙන හෝ ඒවා ගැන විවේ­චන එල්ල කෙළේ නැත. උන් වහන්සේ වැරැදි ක්‍රියා­වන්හි ආදී­නව දේශනා කළ සේත. එමෙන්ම ඇතැම් වැරැදි ක්‍රියා­වල ආනි­ශංස පවා දේශනා කළ සේක. බුදු දහ­මින් පම­ණක් නොව සමාජ විද්‍යා­ත්මක ඇසින්ද අප මෙවන් වසං­ග­ත­යන් කෙරෙහි අව­ධා­නය යොමු කළ යුත්තේ මෙය ගෝලීය වසං­ග­ත­යක් බවට පත්ව ඇති හෙයිනි.

එමෙන්ම මේ අව­ස්ථා­වේදී අපේ අනෙක් සියලු කට­යුතු පසෙක තබා පළ­මුව මේ උව­දු­රෙන් මිදී­මට කට­යුතු කළ යුතුය.

මැති­ව­රණ හෝ විභාග හෝ අනෙක් සියලු කට­යුතු ගැන අව­ධා­නය යොමු කළ යුත්තේ දෙව­නු­වය.

 

Comments