වයිරසය පාලනය කරනවා වගේම ආර්ථිකයටත් පිළියම් යෙදිය යුතුයි | Page 3 | සිළුමිණ

වයිරසය පාලනය කරනවා වගේම ආර්ථිකයටත් පිළියම් යෙදිය යුතුයි

ලෝකයටම බලපාන මේ ප්‍රශ්නයේදී අපිට රටක් ලෙස දැඩි ක්‍රියාමාර්ග ගන්නට වෙනවා. ප්‍රධාන කාරණාවක් වන්නේ මේ වසංගතයේ ආරම්භය ඇතිවු රටවල් හැර අනෙක් සියලු රටවල්වලට පැතිරුණේ විදෙස් රටවල්වලින්. එතකොට අනිවාර්යෙන්ම අනෙක් සියලු රටවල් සිමා පනවනවා. තම රටවලට ඇතුළු වීම සීමා කරනවා.

මේ වසංගතය පැතිරීමට ප්‍රධාන හේතුව මිනිස් සම්බන්ධ‍තා හා මුණගැසිම්. එය වැළැක්විය යුතුයි. දෙවනුව කෙරෙන්නේ නිරෝධායන මධ්‍යස්ථානවලට යොමු කිරීමයි. එවගේම රටේ කටයුතු නවතා තැබීමට සිදු වෙනවා. සමහර රටවල්වල නිවාඩු දීලා තිබෙනවා. ඇඳිරි නීතිය පනවලා තියනවා. පාරවල්වල මාර්ග බාධක යොදලා. පොලිසියෙන් අවසරයක් ඇතිව ‍නිවෙස් වලින් එළියට යන්න බෑ. ඒ වගේ දැඩි ක්‍රියාමාර්ග අරගෙන තියනවා.

ඒ වගේ ක්‍රියාමාර්ග කෙළින්ම බලපාන්නේ රටේ ආර්ථිකයට. මේ වයිරස් වසංගතය මර්දනයට ක්‍රියාමාර්ග ගන්නවා වගේම එයින් ඇති වන ආර්ථික ප්‍රතිවිපාක අවම කරගන්න ක්‍රියාමාර්ග ගන්නත් රජයට සිදු වෙනවා. අපිට යුද්ධ දෙකක් ජයගන්න සිදු වෙනවා. මේ වන විට එදිනෙදා කටයුතු සිමා වෙලා. දුම්රිය, ගුවන්ගමන් නවත්තලා තියනවා. ඒවාට අවශ්‍ය තෙල් ඉල්ලුම අඩු වෙලා තියනවා. තෙල් මිල වැටෙනවා වෙනත් යෙදවුම් අවශ්‍ය නැති වෙනවා. නිෂ්පාදනය පරිභෝජනය අඩු වෙලා. ඒ ඒ නිෂ්පාදන පරිභෝජන කටයුතුවලට අවශ්‍ය යෙදවුම් අමුද්‍රව්‍ය තෙල් වගේ දේවල්වල ඉල්ලුම අඩුවෙනවා. ඒ වගෙම නිෂ්පාදනය අඩු වෙලා. අවසාන වශයෙන් මිනිසුන්ගේ ආදායමට සහ රැකියාවට බලපෑම් ඇතිවෙනවා.

මේ වසරේ ලෝකයේ ආර්ථික වේගය බොහෝ අඩු වෙන්න පුළුවන්. දැන් පවතින තත්ත්වය නිසා 2020 ලෝක ආර්ථික සියයට 2.4කට වඩා වර්ධනය නොවනු ඇති. ඉදිරියේදී රෝගය ලෝකයේ ව්‍යප්ත වුවහොත් තත්ත්වය තවත් දරුණු අතට හැරෙනු ඇත. ව්‍යාපාර බිඳවැටීම ආදායම් පහත වැටීම රුකියා අවස්ථා පහත වැටීම වැනි තත්ත්වයන් ඉදිරියට බලපානු ඇත. වසංගතය ලෝකයේ මර්දනය කරගැනීමට කොතරම් කාලයක් යනවාද කියන කාරණාව වැදගත් වෙනවා. මාසයක් වැනි කාලයකදී නතර කර නොගත්තොත් ආර්ථික අවපාතය දරුණු වෙන්නට ඉඩ තියෙනවා. මෙයයි දකින්නට ලැබෙන ආර්ථීක අවපාතය.

මේ කාරණාව ලංකාවට බලපාන්නේ අපි සම්බන්ධ වෙලා තියෙන රටවලට කොතරම් දුරට බලපාලා තියෙනවාද කියන කාරණාව උඩයි. ගුවන් ගමන් බිමන් සීමා වෙලා තියනවා. එය සංචාරක කර්මාන්තයට බලපානවා. ප්‍රධාන හෝටල් ආශ්‍රිත කෑම බීම සැපයීම ප්‍රවාහනය වැනි ආදායම් පහත වැටෙනවා. එමෙන්ම ‍හොටල් ආශ්‍රිත රැකියාවලට තර්ජනයක් ඇති වෙනවා ඒ සේවා සපයන අයට බලපෑම් තියෙනවා. ‍

‍මේ වසංගතය වැඩියෙන්ම බලපාන රටවල් වන යුරෝපය ආශ්‍රිත රටවලට අපේ අපනයන වලින් 1/4 ක් යනවා. තවත් බලපාන රටක් වන ඇමරිකාවට අපනයනවලින් 30% යනවා. අපේ අපනයනවලින් භාගයකට වඩා යන්නේ ඒ රටවල්වලට. ඒ රටවල්වලට අපනයනය ඇනහිටලා තියනවා. ඒ රටවල පරිභෝජන කටයුතු අඩාළ වන විට එහි බලපෑම අපේ රටවල්වලට බලපානවා . තුන්වැනි කාරණාව ලෙස ගත්තොත් අපේ රටේ දැනට නිෂ්පාදන කටයුතු ඇනහිටලා. කර්මාන්ත ශාලා වැඩ කරන ස්ථානවල කටයුතු ඇනහිටලා. මේ තත්ත්වය නිසා රට ඇතුළේ නිෂ්පාදන කටයුතු ඇනහිටලා තියනවා. ඒ බලපෑමක් අපට තියනවා. වෙළෙඳ කටයුතු ඇනහිටීම නිසා ආණ්ඩුවට බදු වශයෙන් ලැබෙන ආදායමටත් එය බලපාලා තියනවා. ආණ්ඩුවේ ආදායම් පහත වැටිලා තියනවා. ඒ අනුව ලංකාවේ ඇති වන ආර්ථික බලපෑම සැලකිය යුතු මට්ටමක තිබෙනවා. අපේ රටේ ආර්ථික වේගය පසුගිය වසරේ 2‍.8යි. එය හුඟාක් අඩු අගයක්. මේ අවුරුද්ද වන විට 4% දක්වා වෙයි කියලා බලාපොරොත්තුවක් තිබුණා. දැන් ඒ බලාපොරොත්තුව නැති වෙලා තියනවා. එච්චර යන්න බැහැ කියලා පැහැදිලිව පේනවා. රජයට ප්‍රශ්නයක් තියනවා අයවැය පරතරය කොහොමද හදාගන්නේ කියලා.

විනිමය අනුපාතය අතින් අපිට ප්‍රශ්නයක තියනවා විනිමය අනුපාතය අනෙක් රටවල්වල විනිමය අනුපාතයන්ට වඩා අඩුවෙයිද කියලා. එය ආර්ථික ප්‍රශ්න ගණනාවකට මුල පුරන්නට ඉඩකඩ ඇති අවස්ථාවක් .

චීනයේ ආර්ථික නගර බිඳවැටීමට ලක් වුණත් අපිට එය ඍජුවම බලපානු ලබන්නේ නැහැ. චීනයත් සමඟ අපේ ලොකු ආර්ථික සම්බන්ධකම් නැහැ. ලොකු ආර්ථික සම්බන්ධ කම් තියෙන්නේ ඇමරිකාවයි යුරෝපය සමඟ. චීනය සමඟ අපේ තියෙන්නේ අපේ රටේ තිබෙන ව්‍යාපෘති සඳහා චීනය සම්බන්ධ වීම සහ චීනය අපිට වෙනත් ණය ආධාර ලබාදීම ආදියෙනුයි. ඒ නිසා අපේ රටට වෙළෙඳාම සම්බන්ධයෙන් අපේ රටට ඇති වන බලපෑම එතරම් ලොකු දෙයක් නොවෙයි.

 

කොටස් වෙළෙඳ පොළට සම්බන්ධ සමාගම්වල නිෂ්පාදනය අඩාළ වුණා. ඒවා හෝටල්, බැංකු සහ මුල්‍ය ආයතන, නිෂ්පාදන ආයතන වෙන්න පුළුවන්. ඒ වගේ විවිධ ආයතන රාශියක් කොටස් වෙළෙඳ පොළේ ලැයිස්තුගතවෙලා තියෙන්නේ. ජනතාව කොටස් වෙළෙඳ පොළේ ආයෝජනය කරලා තියෙන්නේ එක් බලාපොරොත්තුවක් ඇතිවයි. තමා ආයෝජනය කරපු සමාගම්වල නිෂ්පාදන වැඩිවෙයි ලාබමට්ටම් ඉහළ යයි කියල. අපි කතා කරපු ආකාරයට ලාබ මට්ටම පහළ වැටෙනවා. ආදායම් පහළ වැටෙනවා. රැකියා සේවා වියුක්තිය ඇතිවෙලා. ලෝකයේ ‍බො‍හෝ රටවල කොටස් වෙළෙද පොළ කඩාවැටිලා තියනවා. තම කොටස්වල වටිනාකම් අඩු නම් ආයෝජකයන් ආපසු කොටස්වලින් මුදල් ලබා ‍ගන්නවා. සුරැකුම් පත් නැවත ලබාගන්නවා. ලැබෙන ප්‍රතිලාබ එන්න එන්නම අඩුවෙනවා පොලි අනුපාත අඩුවෙනවා.

මේ හේතු නිසා මේ කාලවලදී රත්තරන්වලට ආ‍යෝජන යොදවනවා. ඒ නිසා රත්තරං මිල වැඩිවෙන්න පුළුවන්

මේ වයිරසය ව්‍යාප්ත වීම වළක්වා ගත යුතුයි. සමහර ජනකොටස් වගකීමකින් වැඩ කළා කියලා මම හිතන්නේ නැහැ. සමහරුන් ක්‍රිකට් මැච් පැවැත්වුවා. නිරෝධායනයෙන් මඟ හැරලා ගියා. ‍විනෝද චාරිකා ගියා. හික්මීමක් වගකීමක් නැතුව කටයුතු කළොත් ප්‍රශ්නය දුර දිග යනවා. භයානක ආර්ථික අවපාතයක් ඇති වුණොත් එයින් ගොඩඑන්න අමාරුයි. වගකීමෙන් ක්‍රියා කිරීමෙන් තමයි මේ වසංගතය නවතා ගැනීමට හැකි වෙන්නේ.

ආර්ථිකයට ඇති වන බලපෑම අවම කරගන්නට දෙවර්ගයක ප්‍රතිපත්ති අනුගමනය කරන්නට පුළුවන්. හානිය අවම කරගන්න මුල්‍ය සහ අයවැය ප්‍රතිපත්තියක් අනෙක් රටවල් අනුගමනය කරනවා. මුල්‍ය ප්‍රතිපත්තිය අනුගමනය කිරීම පිළිබඳ සඳහන් කළොත් පොලි අනුපාතය පහළට ගේනවා. පහළට ගෙන ඒමෙන් ණය වැඩියෙන් නිකුත් කරන්නට පුළුවන් වෙනවා. වැඩියෙන් නිකුත් කරන විට රටේ පරි‍භෝජන කටයුතු වලටත් නිෂ්පාදන කටයුතුවලටත් වැඩියෙන් ණය ගැනීම සිදු වෙනවා. යුරෝපයේ ජපානයේ මේ පොලි අනුපාතය බින්දුව දක්වා පහත වැටුණා. මූල්‍යමය ප්‍රතිපාදාන ලබාදීමට, නිෂ්පාදනයට සහ පරිභෝජනයට සහ වෙනත් ආකාරයේ දිරිදීමනා ලබා දිය යුතුයි‍. එයින් බලාපොරොත්තු වෙන්නේ පෞද්ගලික අං‍ශයේ දුර්වල වීම රජයේ මැදිහත් වීමෙන් මඟහරවා ගැනීමයි. ‍ඒ දෙවල් කරන්න ආණ්ඩුවට සල්ලි තියෙන්නට ඕනෑ. එසේ නම් ආණ්ඩුවට බදු ආදායම් ලැබෙන්නට ඕනෑ.

වයිරසය පාලනය කරනවා මෙන්ම අපේ ආර්ථිකයට පිළියම් යොදාගැනීමක් සිද්ධ විය යුතුයි.

බදු අඩු කරගැනීමට මේ ගැටලුව එන්න කලින්ම යෝජනා ගෙනවිත් තිබුණා. ඒ සියල්ල ගත්තාම අයවැයෙන් ගොඩාක් දේවල් කරන්නට හැකියාව නැහැ. ණයට අරගෙන තමයි අයවැයෙන් සහන ලබා දිය හැකිවෙන්නේ. අපි ඒ සීමාවට ගිහින් ඉන්නේ. අපේ රටේ ආර්ථිකය ඉතා විශාල වශයෙන් අවපාතයට එයි කියලා හිතන්න අමාරුයි. නමුත් පසුගිය අත්දැකීම් සමඟ බලන විට අපි හැකිතරම් ඉක්මනින් පාලනය කරගත හොත් අපිට ආර්ථික කටයුතු සාමන්‍ය තත්ත්වයට ගෙන ඒමට හැකි වෙයි.

එතැනින් එහාට ඉදිරියට යා හැකිද යන්න තිරණය වන්නේ අපිත් සමඟ ආර්ථික වශයෙන් සම්බන්ධ වෙලා ඉන්න අනෙකුත් රටවල් සමඟයි. ඒ රටවල් මේ ව්‍යසනය පාලනය කරගැනීමත් සමඟයි. තනි රටක් මේ ප්‍රශ්නය විසඳාගන්නවා කීම සාර්ථක නෑ. මේ ප්‍රශ්නය ලෝකය විසින් එකමුතුව සහයෝගයෙන් විසදා ගත යුතු ප්‍රශ්නයක් බවට පත්වෙලා තියනවා.

Comments