ලංකාවේ වසංගත රෝග ඉතිහාසය | සිළුමිණ

ලංකාවේ වසංගත රෝග ඉතිහාසය

තිහාසය ගොඩනැගෙන්නේ පාරිසරික විපත්, දුර්භික්ෂ, වසංගත, යුද්ධ, ගැටුම්, ලේ වැගිරීම් සහිත ස්වාභාව යථාර්ථයේ පත්ල ස්පර්ෂ කරමිනි. ව්‍යසන ලෙස හඳුනා ගන්නා මෙවැනි සිදුවීම්වලින් අනතුරුව සමස්ත මානව ප්‍රජාවේ හැසිරීම් රිද්මය මෙන්ම චින්තන රටාවද අර්ථාන්විත වෙනසකට ලක් විය. ලංකාවේ මුල්වරට වාර්තා වන අතිශය බිහිසුණු ඉතිහාසගත වසංගත උවදුර මේ රට තුළම ඇතිවූවකි. එය උපදින්නේ මීට වසර දෙදහස් එකසීයකට පෙරය. එනම් වළගම්බාරජ සමයේය.

බැමිණිතියාසාය

බැමිණිතියාසාය, චණ්ඩාලතිස්ස භය, චන්ඩාලතීය භය, මහාභය ලෙස ද මෙම ව්‍යසනය අටුවා ග්‍රන්ථවල පැනේ. අටුවා ඇසුරින් කළ රසවාහිනියේ හා සද්ධර්මාලංකාරයේ මහාභය පිළිබඳ කියැවේ. මෙම ව්‍යසනය උපදින්නේ දොළොස් වසරකින් මනා වැසි නොලැබීම නිසා උපන් දුර්භික්ෂය හා වසංගත බිය සමඟම ඇති වූ ද්‍රවිඩ ආක්‍රමණියකට රාජ්‍යය නතු වීම නිසාය.

සාගතය නිසා මිනිස් ශරීරයේ ලේ මස් සිඳී ගොස් ඇට සහ සම පමණක් ඉතිරි විය. ස්ත්‍රීහු යකින්නන් සේ දිස් වූහ. පුරුෂයෝ ප්‍රේත පිශාචයන් සේ වූහ. කුණුවන මල මිනීය. ඒ හේතුවෙන් පැතිරෙන වසංගත ය. උපන් බියෙන් මිදීමට මිනිස්සු හිස් ලූ ලූ අත ගියහ. ඔවුහු රක්ෂිත යැයි සිතෙනා ඈත වනයේ පර්වත හෙල් ආදියෙහි රැඳී කොල පොතු කමින් ජීවත් වූහ.

ධාන්‍ය මිටක් සහිත නම් හේ නිසැක සොර බියට ලක් වීමට සුදුසු වූයේය. බොහෝ සංඝයා වහන්සේ සාගතය දරාගත නොහැකිව දඹදිව වැඩියහ. සමහර ප්‍රභූ හිමිවරු ධර්මය රැකගෙන බොහෝ දුෂ්කරතා මැද රටේ තනි වූහ. සංයුක්ත භානක චූලසිව හිමි මේ උවදුර නිමා වනතුරු වැඩසිටියේ දැදුරු ඔය අසල ගමක කොළ පොතු කමින් ජීවත් වූ මිනිසුන් ඇසුරෙහිය. විනයධර ඉසිදත්ත - මහාසෝණ හිමිවරු ඇට ඉවත් කළ මී පොතු හා මානෙල් දඬු වළඳමින් අළජනපදයට පැමිණ කොළ කා ජීවත්වන මිනිසුන් වෙසෙන ගමක් අසල වැඩ උන්හ. දුර්භික්ෂය නිමාවන තුරු උන්වහන්සේලා කොළ පොතු වැළඳූහ. සමහර හිමිවරු සාගතයෙන් අපවත් වූහ. දන්වැට අහිමි වූ සිතුල්පව්ව විහාරයෙහි දොළොස් දහසක් භික්ෂූන් ද, තිස්ස මහා විහාරයෙහි වැඩ විසූ දොළොස් දහසක් භික්ෂූන් ද සාගතයෙන් පිරිනිවි ආකාරය විභංග අටුවාවේ ඤාණ විභාගනිද්දේසයෙහි පැනේ.

මේ දුර්භික්ෂයේ උච්චතම අවස්ථාවේ මිනිසුන් කෙරෙන් මනුෂ්‍යත්වය මුළුමනින්ම වියැකී ගියේය. කුසගින්න නිසා මිනිසුන් මරා කමින් හැසිරෙන මිනිස්සු වූහ. රසවාහිනියේ අභය නම් ස්ථවිර නමක් මරා කන්නට පැමිණි මිනී මසින් යැපෙන මිනිසුන් පිරිසක් පිළිබඳ කියැවේ. වත්තබ්බක නිරෝධ මහ තෙරුන් සාමනේර අවධියේ හටගත් මේ සාගත සමයෙහි උන්වහන්සේගේ උපධ්‍යායන් වහන්සේ මිනී මස් කන්නවුන් විසින් මරාගෙන කෑ ආකාරය සීහල වත්ථුවේ දැක්වේ.

මහාබිය දුරු වී සියවස් පහකට පසු උපතිස්ස රජු දවස ( ක්‍රි.ව. 368 – 410 ) උපන් තුන් බියක් පිළිබඳ මහාවසංකරු දක්වයි. V වන කාශ්‍යප සමයේ (ක්‍රි.ව. 914 -923 ) පඬි රජුට ආධාර කිරීම සඳහා සක් නම් සෙනවියා යටතේ ඉන්දියාවට යැවූ යුද සේනාවක් ඉන්දියාවේ ඒ අවධියේ පැතිරෙමින් තිබූ උපසග්ග නම් වසංගතයෙන් ආසාදනය වූ අයුරුත් ලංකාවට යළි පැමිණි පිරිස මගින් රට පුරා රෝගය පැතිරුණු අයුරුත් කියයි.

කළු මරණයේ සෙවණැලි ලංකාවට වැටුණා ද?

 

ලෝක ඉතිහාස ප්‍රවෘත්තිය අනුව ලෝකයට මහා ව්‍යසනයක් කළ බිහිසුණුම වසංගතය මධ්‍යකාලීන ලෝකයේ පැතිරී ගිය මහා මාරිය වසංගතය ය. එය කළු මරණය ලෙස හඳුන්වා දී තිබිණි. වර්ෂ 1331 පමණ වනවිට ඉන්දියාව හා චීනය ප්‍රමුඛ මධ්‍යම ආසියාතික රටවල පැතිරී ගිය මේ ව්‍යසනය සේද මාවත ඔස්සේ යුරෝපයට ව්‍යාප්ත විය. වසංගතය යුරෝපයේ පැතිරෙන්නේ වර්ෂ 1347 සිට 1351 කාලය අතරය.

ඒ දක්වා වූ කිසිම වසංගතයකට හෝ යුද්ධයකට වඩා ජීවිත ප්‍රමාණයක් මහාමාරිය වසංගතයෙන් විනාශ වී ගියේය. අතිශය ඛේදනීය මරණය ලක් කළ එක් මහාමාරිය ප්‍රභේදයක් නිසා මිනිස්සු පණ පිටින් කුණු වී ගියහ. රෝගය වැළඳුණු පුද්ගලයාගේ ඇඟිලි සහ කකුල් කළු පැහැයට හැරුණේය. කුණුවෙන්නට පටන් ගත්තේය. එසේ කුණු වූ අවයව හැළී ගොස් වේදනාත්මක මරණයකින් නිම විය. මහාමාරිය කළු මරණය ලෙස හැඳින් වූයේ පණපිටින් කුණු වී කළු ගැසී මිය යන මිනිසුන්ගේ බිහිසුණු ස්වරූපය නිසාය.

මොන්ගෝලියානු අධිරාජ්‍යයේ බටහිර පෙදෙසේ ගොඩනැගෙන Golden Horde රාජධානියේ ඛාන් වරයා වූ කිප්චක් ඛාන් ජානි බෙග් (Kipchak khan Jani beg) ගේ හමුදා වර්ෂ 1345 දී කළු මුහුදේ උතුරු වෙරළ තීරයෙහි ක්‍රිමියාවට අයත් ජෙනොවේස් වෙළෙඳ වරාය සහිත කැෆා ( වර්තමානයේ ෆියෝඩෝසියා) නගරය වැටලු අවස්ථාවේ ඒ වනවිට මහාමාරියෙන් ආසාදිතව සිටි සිය සෙබලුන් හා ඔවුන්ගේ මළ සිරුරු නගරයට යැවීමෙන් මුළු නගරයම ආසාදනය කළේය. රෝගය යුරෝපයට ව්‍යාප්ත වීමේ මුල් අවස්ථාව එයය.

වැටලීම නිමාවන ක්‍රිස්තු වර්ෂ 1347 වනවිට ජෙනොවේස් වරාය සහ කැෆා නගරයේ මහාමාරියෙන් නොමැරී දිවි ගලවාගත් උන් නැව් මගින් යුරෝපයට පලා ගියහ. ඔවුන් හරහා රෝගය මුළු යුරෝපයම වෙළා ගත්තේය. දළ ඇස්තමේන්තුව නම් මේ වසංගතයෙන් යුරෝපයේ පමණක් මිලියන 25 ක ජනතාවක් මිය ගිය බවය. චීනයේ ජනගහණයෙන් අඩක් මින් මිය ගිය බවය. අවසාන විග්‍රහයේදී යුරෝපය හා ආසියාව සහිත භූමියේ මිලියන හැත්තෑපහන්දහස් දෙසීයක් මිය ගිය බවය.

මේ ව්‍යසනය සිදුවන්නේ ලංකාවේ ගම්පල රාජධානිය පැවැති අවධියේය. ඒ තුන්වන වික්‍රමබාහු ගම්පල රජ කරනවිට යාපනයේ ආර්ය චක්‍රවර්තී විසින් දකුණු ඉන්දියාවේ බලය සහය සහිතව දකුණේ රට අභ්‍යන්තරය තෙක් සිය බලය ව්‍යාප්ත කළ වකවානුවය. චීනය ලංකාව ආක්‍රමණය කර රයිගම පාලකයා චීනයට රැගෙන ගිය සමය ය. ඉබන් බතුතා වැනි විදේශ සංචාරකයකුට රටේ රජතුමා කවරෙක්ද හෝ අග නුවර කුමක්දැයි සොයා ගත නොහැකි තරමට රට අරාජික වූ සමය ය. වර්ෂ 1344 දී පිහිටවූ ලංකාතිලක ශිලා ලිපියට අනුව ලෝකයේ සමඟ ගනුදෙනු කිරීමට රට වටා තොටමුණු නවයක් විවෘත වූ සමය ය. දුර්වල අභ්‍යන්තර පාලනයක් සහිතව, කැරළි කෝලාහල බහුල වටපිටාවක, තොටමුණු නවයක් විදේශ වෙත විවෘත වී තිබිය දී සේද මාවත ඔස්සේ යුරෝපය දක්වා ගමන් කළ කළු මරණය ලක්දිව තොටමුණු ස්පර්ෂ කළේ යැයි තාර්කික ව සිතිය හැකි නොවේ. එහෙත් රට තුළ වසංගත තත්ත්වයක් පිළිබඳ දේශීය මූලාශ්‍රයවල හෝ මේ වකවානුවේ ලංකාවේ ප්‍රධාන තොටමුණුවල සංචාරය කළ ඉබන් බතුතා වැනි විදේශීය සංචාරකයන්ගේ සටහන්වල වාර්තා නොවේ.

දෙවියන් සමග පැමිණි යක්ෂයා ගේ ව්‍යසන

වසූරිය මෑත ලංකාවේ පැතිරී ගොස් ව්‍යසනයක් කරන්නේ යුරෝපීය ආක්‍රමණිකයන්ගේ ආගමනයත් සමගය. අද ලෝකයෙන් තුරන් කර ඇතත් වසූරිය යනු ඉතිහාසයේ මානව වර්ගයා අත්විඳි දරුණුම රෝග අතරින් එකකි. අතීතයේ මෙම රෝගය ආසාදිත වූවන්ගෙන් සියයට තිහක් පමණ මිය ගියහ. මිය ගිය පිරිසෙන් වැඩි ප්‍රමාණයක් කුඩා දරුවන්ය. ජීවත් වූවන් එක්කෝ අන්ධ වූහ. නැතහොත් වඳ භාවයට පත්වූහ. ජීවිත කාලය පුරාම සම මත ගැඹුරු කැළැල් සලකුණු විය. 1520 මාර්තු මාසයේදී මෙක්සිකෝවට ගොඩබට “ෆ්‍රැන්සිස්කෝ ඩි එගුනා” නම් එක් වසූරිය වාහකයෙක් නිසා මුළු මධ්‍යම අමෙරිකාවම විනාශයට පත් වූ අයුරු ඉතිහාසයේ පෙනේ. නැෂන්ල් ජියොග්‍රොෆි වෙබ් අඩවිය දක්වන දත්ත ප්‍රකාරව 18 වන සියවසේ යුරෝපයේ පමණක් වසූරිය නිසා මිලියන හැටක් ජීවිතක්ෂයට පත්වූහ. විසිවන සියවසේදී ගෝලීය වශයෙන් මිය ගිය සංඛ්‍යාව මිලියන තුන්සීයක් වූයේය.

ලංකාවේ වසූරි වසංගත ස්වරූපය ගැන මුලින්ම වාර්තා වන්නේ පෘතුගීසි සමයේය. එකල ඔවුන් යටතේ තිබූ මහුදුබඩ ප්‍රදේශ ආශ්‍රිතව වසූරිය පැතිරි ගියේය. පෘතුගීසි බලකොටු ලංකාවේ වසූරිය වසංගතයේ තිඹිරි ගෙවල් වී තිබිණි. වර්ෂ 1581 පමණ වනවිට සිතාවක ශ්‍රී වික්‍රම රාජසිංහට බියෙන් ජීවිතාරක්ෂාව පතා මන්නාරම පෘතුගීසි කොටුවට පලාගිය කරල්ලියැද්දේ බණ්ඩාර වසූරියෙන් මිය ගියේය. 1599 වනවිට වසූරි වසංගතයෙන් හෙම්බත් වී සිටි පෘතුගීසීහු ලංකාව හැර දමා යන්නට තරම් අසරණ වී උන්හ. වර්ෂ 1660 සිට 1680 දක්වා කන්ද උඩරට රජුගේ සිරකාරයෙක් වී සිටි රොබට් නොක්ස් පවසන්නේ වසූරිය වසංගතය විටින් විට නුවර පුරා පැතිරී ගිය බව ය. වර්ෂ 1697 දී වසූරිය වංගතයෙන් නුවර ව්‍යසනයට ලක් වූයේය. රෝගයට ලක් වූවන් මහ වනයට ඇද දැමීම හැර විකල්පයක් නොවූ අයුරු පැනේ. එවකට කන්ද උඩරට රාජ්‍ය කළ දෙවන විමලධර්මසූරිය රජතුමා තාවකාලිකව මහනුවර රජ මැදුර හැර හඟුරන්කෙතට ගියේය. ඒ වටපිටාවේ ජුසේ වාස් පියතුමා තවත් පියතුමන්ලා දෙදෙනෙක් සමඟ මළ සිරුරු වළලමින්, රෝගීන්ට උවටැන් කරමින්, තනිවම මේ වසංගතය හමුවේ මානුෂික සටනක් ගෙන ගිය ආකාරය වන්නිවල්ලි රාජාවලිය හා කතෝලික සභාව සතු ලේඛණ තහවුරු කරයි. යළිත් 18 වන සියවස වනවිට ලංකාවේ මුහුදුබඩ පළාත්වල වසූරිය පැතිර ගියේය. වසංගතයේ ස්වරූපය එවකට ලංකාවේ ලන්දේසි ආණ්ඩුකාර ජොන් ගිඩෙඔන් ලෝටන් ( 1752-1757) සිය වසර පහක සේවා කාලයේ මතක සටහන් පිළිබඳ ඔහුගේ අනුප්‍රාප්තික ජෑන් ෂ්රූඩර් වෙත 1757 පෙබරවාරි 28 දා භාර දුන් ලේඛණයේ දක්වා තිබේ.

වර්ෂ 1805 දී වසූරිය වසංගතයක් සේ යළිත් රට පුරා පැතිරී ගියේය. එවකට ලංකාවේ ඉංග්‍රීසි ආණ්ඩුකාර ෆෙඩ්‍රික් නොර්ත් විසින් කැම්ඩෙන් වෙත 1805 අප්‍රේල් මස ලිපියක් යවමින් කියන්නේ එම වසංගතයේදී ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමාටත් වසූරිය වැලඳුණ බවය. ඉතිහාසයේ රජකුට මෙවැනි ව්‍යසනයකට මුහුණ දෙන්නට සිදු වී නොතිබිණි.

වතු කම්කරුවන් සමග පැමිණ  නුවර කලාවිය වැනසූ කොලරාව

කොළරාව ලංකාවේ තිබුණු රෝගයක් නොවේ. ආර්.ඩබ්ලියු අයිවර්ස්ගේ වාර්තා ප්‍රකාරව වර්ෂ 1830 මුල් කාර්තුවේ දී පළමු කොලරා රෝගියා ලංකාවෙන් සොයා ගන්නේ මන්නාරමෙනි. වර්ෂ 1833 වනවිට අරිප්පුවේ සිට මහනුවරට විහිදෙන මාවත ආසන්නයේ ගම්වල වැසියන්ට රෝගය බෝ විය. දකුණු ඉන්දියාවේ සිට මෙහි ගෙන එනු ලැබූ වතු කම්කරුවන් මන්නාරමේ සිට මහනුවරට ගෙන යමින් සිටි සෑම අවස්ථාවකම කොලරා රෝගය බෝ වූ බව එවකට රළපනාවේ රටේ මහත්තයාගේ වාර්තාවක් උපුටා දක්වන අයිවර්ස් සඳහන් කෙරුවේය.

වර්ෂ 1858 දී යටත් විජිත ලේකම්වරයාට ලිපියක් යවන ඩයික් දකුණු ඉන්දීය කම්කරුවන් කඳුකරයට යැවීම සඳහා තැනූ පාර දෙපස මන්නාරම හා වන්නිපත්තුවල ජනයා වැඩි වශයෙන් මිය යමින් සිටින ආකාරයත්, නුවර කලාවිය තුළ වසරක් පාසා මේ බිහිසුණු වසංගතය පැතිරෙන ආකාරයත් මේ මරණවලින් සිදුවන විශාල ජන හානියත් ගැන ලිව්වේය. වර්ෂ 1842 දී උතුරු දිග මාර්ගය දෙපස කොළරා රෝගය වැළැඳී මිය ගියවුන්ගේ මළ කඳන් වළ දමන්නටවත් කෙනෙක් සිටියේ නැත.

1845 ජූනි මාසයේ අනුරාධපුර වන්දනාවට පැමිණි වන්දනා කරුවන් අතරත් තලවිල වාර්ෂික මංගල්‍යයට පැමිණි පිරිස අතරත් කොළරා රෝගය පැතිර ගියේ. රටම කොළරාවෙන් ආසාදිත විය හැකි තත්ත්වයක් පැණ නැගිනි. 1853 දී උතුරුදිග මාර්ගයේ සිට මුළු අනුරාධපුර දිස්ත්‍රික්කය පුරාම කොළරා රෝගය පැතිරිණි. 1865 දී සැඳෑ කෝරලයේ පුවර්සන් කුලමේ සියලු දෙනාම කොළරාවෙන් මිය ගියහ. එළිමහනේ ඒ මේ අත විසිර තිබුණු මළ කඳන් වැව්වලින් ගොඩ වූ කිඹුලන් විසින් කා දමමින් සිටි ආකාරය අයිවර්ස් වාර්තා කළේය.

 

ස්පාඤ්ඤ උණ

 

වර්ෂ 1918 දී යළිත් ලෝකය මරණයේ එළිපත්තට කැඳවූ බිහිසුණුම වසංගතය හැඳින්වූයේ ඉහත නමිනි. 1 වන ලෝක මහා සංග්‍රාමය නිමා වූ පමණින් මතුව ආ මේ දරුණු උණ රෝගය මාස කිහිපයක් ඇතුළත ලෝකය පුරා මිනිසුන් බිලියන භාගයකට ආසන්න සංඛ්‍යාවක් ආසාදනය කළේය. ආසාදිත වූවෝ සමස්ත ලෝක ජනගහණයෙන් හතරෙන් එකක ප්‍රමාණයක් වූහ.

ලෝකයේ සෑම ජනාවාසයකම පාහේ උණ පැතිරීම සිදුවිය. පළමුව වරාය වලද, පසුව ප්‍රධාන ප්‍රවාහන මාර්ග ඔස්සේ නගරයෙන් නගරයට ද ගිය ආසාදිත පුද්ගලයන් මගින් රෝගය ව්‍යාප්ත විය. රෝගයෙන් ඉන්දියාවේ ජනගහනයෙන් 5% ක් ද හයිටි දූපතේ ජනගහනයෙන් 14% ක් ද, සැමෝවා වල 20% ක් ද ඇතුළුව වසරකට අඩු කාලයකදී මිලියන පනහකට ආසන්න ජන සමූහයක් මේ වසංගතයෙන් බිලි ගත් බව කියැවිණි. කොටින්ම ලෝකයේ ඉතිරි වූයේ මේ වෛරසයට ප්‍රතිශක්තියක් ඇති මිනිසුන් පමණක් ලෝකයේ ඉතිරි වූහ.

වසංගතය හේතුවෙන් ඉන්දියාව අවම වශයෙන් මිලියන 12.5 ක් මිය ගොස් ඇති බවට විශ්වාස කෙරිණි. එදා මෙරට ප්‍රධාන සිවිල් වෛද්‍ය නිලධාරියා වූයේ ජී. ජේ. රදර්ෆර්ඩ් ය. වාර්ෂික වාර්තාවෙහි ඔහු සඳහන් කරන්නේ 1918 වසරේ දී ම එම රෝගය හේතුවෙන් ලාංකිකයන් විශාල පිරිසක් මිය ගිය බවය. එවකට රට බ්‍රිතාන්‍ය යටත් විජිතයකි. යුරෝපයෙන් නාවික ගමනාගමනය නිරන්තර සිදුවිය. බ්‍රිතාන්‍ය හමුදා ලංකාවේ කඳවුරුගත වූහ. අසල්වැසි ඉන්දියාවට අත්වූ ඉරණමට අපටත් මුහුණ දෙන්නට සිදුවූ අයුරු ගැන අදහසක් රදර්ෆඩ්ගේ වාර්තාවෙන් රූපණය වූයේය. මහාවංසය නූතන ඉතිහාස ලේඛණයත් වර්ෂ 1918 අවුරුද්දේ ලක්දිව බොහෝ පළාත්වල ඉන්ෆ්ලුඅන්සා නමැති දරුණු ප්‍රතිශ්‍යා රෝගය වැළඳී මිනිසුන් මිය ගිය ආකාරය දැක්වූයේය. නමුත්, එම කාලයේ ලංකාවේ සංඛ්‍යා ලේඛන වාර්තාවල මියගිය පිරිස හරිහැටි වාර්තා වූයේ නැත.

 

අසූදාහක් ජීවිත වැනසූ මෑත ලංකා ඉතිහාසයේ බිහිසුණුම වසංගතය

 

ලාංකේය ඉතිහාසයේ බිහිසුණු මාරක වසංගතය ඉතිහාසය පුරාම අපට හුරු පුරුදු රෝගයක් වූයේය. රජරට ජනශූන්‍ය වූයෙත් මේ රෝගය නිසාය. රොබට් නොක්ස් මේ මූසල රෝගයේ ස්වරූපය සිය කෘතියේ විස්තර කළේය. රජරට ප්‍රදේශයට ගිය සෑම අවස්ථාවකම මැලේරියා රෝගයෙන් පෙළුන අයුරුත්, සමහර අවස්ථාවල නුවර වසාගෙන පැතිරී ගිය මැලේරියා වසංගතය නිසා තමන් වෙනුවෙන් රජ අණ ඉටු කරන්නටවත් එකෙක් නොසිටි ආකාරයත් ලියා තිබ්බේය.

නමුත් 1934 - 35 දි ඇතිවූ මැලේරියා වසංගතයේ තත්ත්වය ඊට මුලුමනින්ම වෙනස් එකක් වූයේය. එක්වරම රෝගය බිහිසුණු වසංගතයක් ලෙස නැගිනි. ලංකා ජනගහණයෙන් මිලියන එක හමාරකට ආසන්න පිරිසකට රෝගය වැළඳිනි.

වර්ෂ 1935 දී ශ්‍රී ලංකාවේ වඩාත් විනාශකාරී පුපුරා යාමේ උච්චතම අවස්ථාවේ දී, මැලේරියා වැළඳුණු රෝගීන් මිලියන 1.5කට අධික සංඛ්‍යාවක් 80 000 ක් පමණ මිය ගියහ. “මේවා විශ්මය ජනක සංඛ්‍යා ලේඛන වන්නේ විශේෂයෙන් එකල ශ්‍රී ලංකාවේ ජනගහනය මිලියන 6 ක් පමණ වූ බව සලකන විටයි... ” එදවස ශ්‍රී ලංකාවේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ නියෝජිත ආචාර්ය ජේකොබ් කුමාරසන් මහතා පැවසීය

මන්දපෝෂණයෙන් මිනිසුන්ගේ ප්‍රතිශක්තිකරණය අඩු වීම නිසා මේසා විශාල ව්‍යසනයකට රට ලක් වී තිබිණි. පිලිප් ගුණවර්ධන සහ ඇන්.ඇම්.පෙරේරා දෙපළ අවිස්සාවේල්ල පිලිප්පුවා මහත්තයා සහ පරිප්පුවා මහත්තයා ලෙස ප්‍රකට වූයේය. පරිප්පුවා යන නම ඔහුට පට බැඳුණේ වසංගතයට ගොදුරු වූ ජනතාවට වියළි සලාකයක් වශයෙන් පරිප්පු බෙදීම නිසාය.

ෆෝවර්ඩ් (forward) නම් සතිපතා ප්‍රගතිශීලි පුවත්පතෙහි සිබිල් නම් ලේඛකයා අවුරුදු කිපයකට පසු එම ව්‍යසනය අවසානයේ මෙසේ සමාලෝචනය කළේය. " දුගී භාවය ඇදහිය නොහැකි තරම් ඉහළය. ජනගහන තදබදය ද ඊට වැඩිය. මිනිස්සු පහළොවක්, විස්සක් හෝ ඊටත් වඩා ප්‍රමාණයක් කුඩා පැල්පත්වල හිර වී මැස්සන් මෙන් මිය ගියහ. විජිතවාදයේ ප්‍රථිඵලය එය ය. මෙම තත්ත්වය මාක්ස් සහ එංගල්ස් එංගලන්තයේදී කරන ලද විශ්ලේෂණයකදී සොයාගත් වැඩ කරන ජනතාවගේ අන්තිම නරක තත්ත්වයටත් වඩා නරක තත්ත්වයකි. සටන් කළ යුත්තේ මෙම තත්ත්වය නැති කිරීම සඳහාය".

ව්‍යසනය සමාජයේ ඉදිරි ගමන ක්‍රමානුකූලව නිශ්චිත නිවැරදි ඉලක්ක පෙන්නුවේය. ඉන් අනතුරුව දශක අටක් පුරා අඛන්ඩව පැතිරී ගිය දැවැන්ත ඉලක්කගත වැඩ පිළිවෙළක ප්‍රතිඵළයක් ලෙස වර්ෂ 2016 දී ශ්‍රී ලංකාව මැලේරියාව තුරන් කළ බව ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කළේය.

යළිත් ලෝකය බිහිසුණු වසංගතයක් අභියසය. ඉතිහාසය යළිත් පුනරුච්ඡාරණය වෙමින් ඇත. සොබාදහමේ යථාර්ථය ගෝලීය මානව සමාජයේ අධිමාණී ෆැන්ටසිය බිඳ දමමින් සිටී. මේ ව්‍යසනය යම් මොහොතක නිමා වනු ඇත. අනතුරුව ශේෂ වනු ඇත්තේ ලෝකය අලුතින් නිර්වචනය කළ හැකි අප්‍රමාණ අත්දැකීමක් සහිත මිනිස් සමූහයකි. ඒ චින්තන ප්‍රවාහය වඩාත් සාධාරණ ලෝකයක් ගොඩනගනු ඇති බවට වන සුභවාදී අදහස තුළ මේ මොහොතේ ජීවත් වීම පමණක් ප්‍රමාණවත්ය.

Comments