නිරෝධායනයට බියේ පැන නොගිය ඉතාලියේ සිට ආ මිනිස්සු | සිළුමිණ

නිරෝධායනයට බියේ පැන නොගිය ඉතාලියේ සිට ආ මිනිස්සු

"මම ඉතා­ලියේ ඉදලා ආවේ පසු­ගිය තුන්වෙ­නිදා, එදා ඉදලා අද දක්වා ස්‌වයං නිරෝ­ධා­ය­න­යට ලක් වුණා. මේ ගෙවිච්ච දවස් පහ­ළොව තමයි මගේ ජීවිතේ ගත කළ අම­තක නොවන දවස් කීපය. හැබැයි මම ඒ කාර්ය සතු­ටින් කළා" ස්‌වයං නිරෝ­ධා­ය­න­යට ලක්වූ නාත්ත­න්ඩියේ පළමු කාන්තාව මහ­ජන සෞඛ්‍ය පරී­ක්ෂ­ක­ව­රුන් හමුවේ එසේ පැව­සුවේ සතුටු කදුළු ද වගු­රු­ව­මිනි.

 

නාත්ත­න්ඩිය සෞඛ්‍ය වෛද්‍ය නිල­ධාරී වෛද්‍ය උපුල් ජය­ති­ලක මහ­තාගේ අධී­ක්ෂ­ණය යටතේ මේ කාන්තාව ඇතුළු පවුලේ සියලු දෙනා නිරෝ­ධා­ය­න­යට ලක්වූ අතර නාත්ත­න්ඩිය මහ­ජන සෞඛ්‍ය පරී­ක්ෂ­ක­වරු හතර දෙනෙකු මේ පවුලේ නිරී­ක්ෂ­ණය කට­යුතු සදහා යොදවා තිබිණි. පසු­ගිය 18 වැනි දින පස්ව­රුවේ නිරෝ­ධා­යන කට­යුතු වලින් මේ පවුලේ සමා­ජි­ක­යන් නිරෝ­ධා­ය­න­යෙන් නිද­හස් කර­මින් පුද්ගල වෛද්‍ය සහ­ති­ක­යක් නිකුත් කිරීම හා ප්‍රදේ­ශ­වා­සීන්ට ඒ බව දැන්වීම සදහා නිවස ඉදි­රි­පිට දැන්වී­මක් මඟින් ප්‍රසිද්ධ කරන ලදී.

ඉතා­ලියේ සිට පැමිණි ඇතැම් පිරිස් සියලු පහ­සු­කම් ලබා දී නිරෝ­ධා­ය­නය කිරී­මට කට­යුතු කරද්දී නිරෝ­ධා­ය­න­යෙන් මිදී පලා යද්දී මේ පවුල විසින්ම ඔවුන්ට පම­ණක් නොව ලංකා­ව­ටම ලබා දුන්නේ ආද­ර්ශ­යකි. ඒ ස්වයං නිරෝ­දා­ය­න­යට ලක් වෙමිනි.

මෙහිදී අද­හස් දැක්වූ නාත්ත­න්ඩිය සෞඛ්‍ය වෛද්‍ය නිල­ධාරී වෛද්‍ය උපුල් ජය­ති­ලක ප්‍රකාශ කළේ එම පවුලේ සාමා­ජි­ක­යන් ඉතා හොදින් තම අධී­ක්ෂ­ණය යටතේ ස්‌වයං නිරෝ­ධා­ය­න­ය­කට ලක් වූ බවයි. ඒ පිළි­බඳව සැල­කි­ල්ලට ගනි­මින් වෛද්‍ය වාර්තා­වක් නිකුත් කිරී­මට තමන් පිය­වර ගත් බවද වෛද්‍ය උපුල් ජය­ති­ලක වැඩි­දු­ර­ටත් පැව­සීය.

නිවෙස් හිමි­යන් නිරෝ­ධා­ය­න­යට ලක් වූ බවට ලබා දී ඇති සහ­ති­කය
 

නාත්ත­න්ඩිය නග­ර­යට ඉතා සමී­පව පිහිටා ඇති මේ නි‍ෙවසේ සිටි කාන්තාව ප්‍රකාශ කළේ පසු­ගිය දින කීපයේ තමන්ට විවි­ධා­කා­රයේ තාඩන පීඩනවලට මුහුණ පෑමට සිදු වූ බවයි.

"අපි දිහා මිනිස්සු බැලුවේ අමුතු විදි­හට. ඒ අව­ස්ථා­ව­න්හිදී අපි ඇත්ත­ටම අස­රණ වුණා. නමුත් කරන්න දෙයක් තිබුණේ නැහැ. ඒත් අපි දැන­ගෙන හිටියා අපිට කිසිම රෝගී තත්ත්ව­යක් නැහැ කියලා නමුත් කරන්න දෙයක් තිබුණේ නැහැ. ඉව­සී­මෙන් සියල්ල විඳ දරා ගෙන සිටියා. කෙසේ වෙතත් දැන් ලොකු සතු­ටක් තියෙ­නවා. රජය පිළි­ගෙන තිබෙ­නවා අපිට කිසිදු ආසා­දන­යක් නැහැ කියලා. ඒ පිළි­බඳ අපිට සහ­ති­ක­යක් පවා නිකුත් කරලා තියෙ­නවා. ඒ නිසා දැන් බය නැතුව පාරේ බැහැලා යන්න පුළු­වන්. අපි ගම වෙනු­වෙන් රට වෙනු­වෙන් රටේ නීති­යට අනුව වැඩ කළා. ඒ ගැන අපිට සතු­ටුයි"

 

පොලිස් ඇදිරි නිතිය

නව කොරෝනා වයි­ර­සය ශ්‍රී ලංකාව තුළ පැති­රීම පාල­නය කිරීමේ පිය­ව­රක් ලෙස පුත්ත­ල­මට සහ මීග­මුව පොලිස් කොට්ඨා­සයේ කොච්චි­කඩේ පොලිස් බල ප්‍රදේ­ශ­යට පසු­ගිය බදාදා (මාර්තු 18) පස්වරු 4.30 සිට පොලිස් ඇඳිරි නීතිය පැන­විණි. හලා­වත පම්බල පදිංචි බර්නාඩ් අප්පු­හාමි (75) කියා සිටියේ තමන් දන්නා ඉති­හා­සයේ අස­නී­ප­යක් නිසා පොලිස් ඇඳිරි නිතිය ක්‍රියා­ත්මක කළ පළමු අව­ස්ථාව මෙය බවයි.

මේ පොලිස් ඇඳිරි නීතිය පුත්ත­ලම පොලිස් කොට්ඨා­ස­යට අයත් පුත්ත­ලම, ආණ­ම­ඩුව, කල්පි­ටිය, කරු­ව­ල­ග­ස්වැව, මුන්ද­ලම, නව­ග­ත්තේ­ගම, පල්ලම, වනා­ත­වි­ල්ලුව, උඩ­ප්පුව, නොර­ච්චෝලේ සහ සාලි­ය­වැව යන පොලිස් බල ප්‍රදේ­ශ­ව­ල­ටත් හලා­වත පොලිස් කොට්ඨා­සයේ හලා­වත, දංකො­ටුව, කොස්වත්ත, මාදම්පේ, මාර­විල, වෙන්න­ප්පුව හා ආර­ච්චි­ක­ට්ටුව යන පොලිස් බල ප්‍රදේ­ශ­ව­ල­ටත්, මීග­මුව පොලිස් කොට්ඨා­සයේ කොච්චි­කඩේ පොලිස් බල ප්‍රදේ­ශ­ය­ටත් බල පැවැ­ත්වෙන පරිදි ක්‍රියා­ත්මක කරන ලදී.

මෙම ඇඳිරි නීතිය බල පැවැ­ත්වෙන කාල සීමාව තුළ පාර්ලි­මේන්තු මැති­ව­ර­ණයේ නාම යෝජනා භාර දීමේ කට­යුතු සිදු කිරී­මට බාධා­වක් නොවූ අතර ඇඳිරි නීතිය බල පැවැ­ත්වෙන ප්‍රදේශ හරහා ගමන් ගන්නා පොදු ප්‍රවා­හන සේවා සහ අත්‍ය­වශ්‍ය සේවා කට­යුතු සිදු කිරී­මට හැකි බවට පොලිස් මූල­ස්ථා­නය නිකුත් කළ නිවේ­ද­න­යක සඳ­හන් විය.

පොලිස් ඇදිරි නිතිය ක්‍රියා­ත්මක කිරී­මට පෙර ශබ්ද විකා­ශන යන්ත්‍ර යොදා ගනි­මින් ජන­තාව දැනු­වත් කිරී­ම­ටද පොලි­සිය පිය­වර ගත් අතර ඊට අම­තර ඇඳිරි නීතිය ක්‍රියා­ත්මක කිරී­මෙන් පසු පුත්ත­ලම දිස්ත්‍රි­ක්ක­යට පිවි­සෙන හා පිට­වන සියලු මංමාවත් ආව­ර­ණය වන පරිදි පොලිස් මාර්ග බාධක යෙදීම­ටද පිය­වර ගැනිණි.

 

අධි­ක­ර­ණ­යෙන් නොතීසි

 

මේ අතර ඉතා­ලිය ඇතුළු විවිධ රට­වල් වලින් මෙර­ටට පැමිණි සිටි පුද්ග­ල­යින් 65 දෙනෙ­කුට තමන් පදිංචි නිවාස වලින් අත්‍ය­වශ්‍ය මානු­ෂීය කට­යු­ත්ත­කට හැර වෙනත් කිසිදු කට­යු­ත්ත­කට දින 14ක කාල­යක් බැහැර නොවන ලෙස මාර­විල දිසා විනි­සුරු හා ප්‍රධාන මහේ­ස්ත්‍රාත් හේෂාන්ත ද මෙල් මහතා උප­දේ­ශා­ත්මක නොතිසි නිකුත් කර ඇත. දිසා විනි­සු­රු­ව­රයා විසින් මෙසේ තහ­නම් නියෝග නිකුත් කරන ලද්දේ නාත්ත­න්ඩිය, කටු­නේ­රිය, මාවිල සහ මාර­විල ප්‍රදේශවල පදිං­චි­ක­රු­වන් පිරි­ස­ක­ටය.

නාත්ත­න්ඩිය සෞඛ්‍ය වෛද්‍ය නිල­ධාරී වෛද්‍ය උපුල් ජය­ති­ලක විසින් මාර­විල අධි­ක­ර­ණ­යෙන් කරන ලද ඉල්ලී­මක් සලකා බැලී­මෙන් අන­තු­රු­වය අධි­ක­ර­ණය මේ නියෝ­ගය නිකුත් කර තිබේ.

වර්ග කිලෝ මීටර් 71.4ක භූමි­යක 68402 දෙනෙ­කු­ගෙන් සම­න්විත ජන­ග­හ­න­යක් වෙසෙන නාත්ත­න්ඩිය සෞඛ්‍ය වෛද්‍ය නිල­ධාරී කොට්ඨා­සය තුළ මහ­ජ­න­තා­වගේ සෞඛ්‍ය තත්ත්වය පවත්වා ගෙන යාම සදහා සහාය වන ලෙස අධි­ක­ර­ණ­යට කරුණු දක්ව­මින් වෛද්‍ය උපුල් ජය­ති­ලක කියා සිටි­යේය. දණ්ඩ නීති සංග්‍ර­හයේ 263 වග­න්තිය ප්‍රකා­රව

සහ අප­රාධ නඩු විධි විධාන සංග්‍ර­හයේ 136 (ආ) වග­න්තිය අනුව තමන් මෙම ඉල්ලීම සිදු කරන බවද සෞඛ්‍ය වෛද්‍ය නිල­ධා­රී­ව­රයා අධි­ක­ර­ණය හමුවේ කරුණු දක්ව­මින් කියා සිටි­යේය.

මේ වන විට ඉතා­ලිය ඇතුළු වෙනත් රට­වල් වලින් මෙර­ටට පැමිණ සිටින ඇතැ­මුන් නිරෝ­ධා­යන කට­යු­තු­ව­ලට ලක් නොවී­මෙන් සහ ඒ සම්බ­න්ධ­යෙන් කට­යුතු කරන සෞඛ්‍ය නිල­ධා­රීන්ගේ උප­දෙස්වලට අව­නත නොවී කට­යුතු කරන බවත්, එම පිරිස 65 දෙනෙකු වන බවද සෞඛ්‍ය වෛද්‍ය නිල­ධා­රි­ව­රයා අධි­ක­ර­ණය හමුවේ කියා සිටි­යේය.

සෞඛ්‍ය වෛද්‍ය නිල­ධාරී උපුල් ජය­ති­ලත විසින් අධි­ක­රණ හමුවේ සිදු කරන ලද දීර්ඝ කරුණු දැක්වී­මෙන් අන­තු­රුව දිසා විනි­සු­රු­ව­රයා විසින් අදාළ නියෝ­ගය නිකුත් කරන ලදි. ඒ අනුව සෞඛ්‍ය නිල­ධා­රීන් විසින් නම් කර ඇති 65 දෙනාට වෙන වෙනම අදාළ නියෝ­ගය නිකුත් කිරී­ම­ටත් දිසා විනි­සු­රු­ව­රයා කට­යුතු කරන ලදි. අත්‍යා­ව­ශ්‍යම මානු­ෂීය කට­යු­ත්තක් සඳහා වුවද සෞඛ්‍ය නිල­ධා­රී­න්ගෙන් නිසි අව­ස­ර­යක් ගෙන පම­ණක් තමන් පදිංචි නිවෙස් වලින් බැහැ­රට යා යුතු බව­ටද එම නියෝ­ගයේ දැක් වේ.

 

බාධ­කය හඳුනා ගැනීම

 

නව කොරෝනා වයිරස් ආසා­ද­නය ශ්‍රී ලංකාව තුළ පැති­රීම පාල­න­යට ප්‍රධාන අභි­යෝ­ග­යක් වී ඇත්තේ, මාර්තු 01 සිට 09 දක්වා කාලය තුළ නිරෝ­ධා­ය­න­යට ලක් නොවී 2000ක පමණ පිරි­සක් රට තුළට ඇතුළු වීම බව සෞඛ්‍ය අංශ හඳු­නා­ගෙන තිබේ. මේ පිරි­සෙන් වැඩි ප්‍රමා­ණ­යක් කොච්චි­කඩේ පොලිස් බල ප්‍රදේ­ශ­යේත් පුත්ත­ලම දිස්ත්‍රි­ක්ක­යේත් ජීවත් වන බව වාර්තා වී ඇති අතර එයින් වැඩි පිරි­සක් සැඟවී සිටින බවට තොර­තුරු ලැබී තිබේ. එවැනි අයගේ තොර­තුරු පිලි­බ­ඳව නිර­න්ත­ර­යෙන් මහ­ජ­න­තා­ව­ගෙන් තොර­තුරු ලැබෙන බව සෞඛ්‍ය අංශ හා ආර­ක්ෂක අංශ පෙන්වා දෙයි. මිට අම­ත­රව රජය මගින් සිදු­ක­රන දැනු­වත් කිරීම් හේතු­වෙන් මේ වන විට සැල­කිය යුතු පිරි­සක් තමන් ස්‌වයං නිරෝ­ධා­ය­න­යට ලක්ව සිටින බවද සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි. එලෙස ස්‌වයං නිරෝ­ධා­ය­න­යට ලක්වූ ජර්මන් ජාති­ක­යන් සිව් දෙනෙකු පිළි­බ­දව පසු­ගිය 18 වැනි දින නාත්ත­න්ඩි­යෙන් වාර්තා විණි.

පොලි­සිය හා බුද්ධි අංශ­වල නිල­ධා­රීන්ගේ ද සහාය ඇතිව, ඔවුන් නිවෙස් තුළ ම ස්වයං නිරෝ­ධා­ය­න­යට පිය­වර ගත්ත ද ඇතැ­මුන් එම උප­දෙස් පිළි නොප­දින බව කොවිඩ් - 19 මර්ද­නය සඳහා වන ජාතික මධ්‍ය­ස්ථා­නයේ ප්‍රධානී, යුද හමු­දා­පති ලුති­නන් ජෙන­රාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ද පසු­ගි­යදා පැව­සිය.

''විශේ­ෂ­යෙන් පුත්ත­ලමේ අය­ගෙන් ඉල්ල­නවා සෞඛ්‍ය අමා­ත්‍යාං­ශය දුන් උප­දෙස් අනුව ක්‍රියා කරන්න කියලා. එසේ නොකො­ළොත්, තව­දු­ර­ටත් ව්‍යාප්ත වෙන්න ගියොත් ඒ ප්‍රදේශ වෙනු­වෙන් ගත යුතු ක්‍රියා­මාර්ග ගන්න සිද්ධ වෙනවා,'' යනු­වෙන් යුද්ධ හමු­දා­ප­ති­ව­රයා පසු­ගි­යදා මාධ්‍ය හමු­ව­කදී කියා සිටි­යේය.

විදෙස් ගතව සිට පැමිණි අයගේ විනය ප්‍රශ්න­යක් ඇති අතර විශේ­ෂ­යෙන් පුත්ත­ලමේ ඇතැම් ප්‍රදේ­ශ­වල සංච­ර­ණය සීමා කර­මින්, ඒ ප්‍රදේ­ශ­ව­ලට ගත යුතු පිය­වර ගැන කොරෝනා මර්දන කාර්ය සාධක බල­කාය සමඟ සාකච්ඡා කළ බව ද සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නි­ආ­රච්චි ඇමැ­ති­නිය ද පැව­සු­වාය.

කෙසේ හෝ ස්වයං නිරෝ­ධ­න­යට පත් වන අයට පවා ඇතැම් පිරිස්හි ක්‍රියා­වන් නිසා මුහුණ පාන්නට සිදුව ඇත්තේ දැඩි අප­හ­සු­තා­ව­ක­ටය. පුත්ත­ලම දිස්ත්‍රි­ක්කයේ වසං­ගත රෝග­යක් නිසා ඇඳිරි නීතිය පන­ව­න්නට සිදු­වී­මත් නිවෙ­ස්වල රැදී සිටින ලෙසට අධි­ක­රණ නියෝ­ග­යක් ලබා දීමත් වසර 75කට මෙපිට කාල­යක් තුළ සිදුව ඇත්තේ ප්‍රථම වතා­වට වීමෙන් එයද එක්තරා අයු­ර­කින් ඉති­හා­සය හා එක් වනු ඇත.

 

ඡායා­රූප පුත්ත­ලම දිසා සමුහ

Comments