දඹදිව ගිය වන්දනාකරුවන් 590ක් මවුබිමට ගෙන ආ මෙහෙයුම | සිළුමිණ

දඹදිව ගිය වන්දනාකරුවන් 590ක් මවුබිමට ගෙන ආ මෙහෙයුම

දිවයිනේ කුමන ස්ථානයකට ගියත් දිනක් පමණ හෝ අතරමංව සිට තමන්ගේ නිවහන කරා එන්නට අපට හැකියාවක් ඇත්තේ අපේ රටේ කොතැනක සිට වුවද දුම්රියෙන් හෝ බස් රථයෙන් හෝ ආපසු මඟ සොයා ගෙන පැමිණීමට හැකි නිසාය. අවම වශයෙන් පොලිසියේ පිහිටෙන් හෝ එසේ ආපසු නිවෙස් කරා ඒමට හැකි වේ.

එහෙත් විදේශ රටකට ගොස් එසේ ඒමට නොහැකිව අතරමං වුවහොත් අපට දැනෙන හැඟීම කෙසේ විය හැකිද?

භාෂාව නොදැනීම එක් ප්‍රශ්නයකි. මුදල් අත නොතිබුණහොත් එයද ගැටලුවකි. පැමිණීමට දුම්රිය හෝ බස් රථ යොදා ගත නොහැකිය. අනිවාර්යෙන්ම ගුවන් යානයක පිහිට පැතිය යුතුය.

එවන් තත්ත්වයකට මුහුණ පාන්නට පසුගියදා දඹදිව වන්දනාවේ ගිය කණ්ඩායම් කිහිපයකටම මුහුණ පාන්නට විදු විය.

කටුනායක අන්තර්ජාතික ගුව්න තොටුපොළ සියලුම පැමිණෙන මඟී ගුවන් යානාවලට වසා දැමීමට ශ්‍රී ලංකා රජය තීරණය කිරීමත් සමඟම ඉන්දියාවේ සිටද මෙරටට ගුවන් යානා පැමිණීම අත් හිටුවන ලදී. විශේෂයෙන්ම අඩු මිල ගුවන් සේවා වහාම තම ගුවන් සේවා අත් හිටුවන ලද අතර එම නිසා එම යානාවලින් මෙරටට පැමිණීමට බලාපොරොත්තුව සිටි වන්දනාකරුවන් අතරමං විය.

එහිදී නව දිල්ලියේ හා චෙන්නායි ගුවන් තොටුපොළවලින් මෙරටට පැමිණීමට නියමිතව සිටි වන්දනාකරුවන් 1200ක් පමණ මෙසේ අතරමං වූහ. නවදිල්ලියේ අතරමංව සිටි වන්දනාකරුවන් ගෙන්වා ගැනීමට විශේෂ ගුවන් යානයක් අගමැති තුමාගේ උපදෙස් පරිදී ශ්‍රී ලන්කන් වෙතින් පිටත් කර හැරි අතර ඉන්දියාවේ ජාතික ගුවන් සේවාව වන එයාර් ඉන්දියා සමාගම විසින්ද ගුවන් යානා මඟින් නව දිල්ලියේ අතරමංව සිටි පිරිස කටුනායක දක්වා රැගෙන එන ලදී.

එසේම චෙන්නායි ගුවන් තොටුපොළින් මෙරටට පැමිණීමට බලාපොරොත්තුව සිටි පිරිස්ද මේ නිසා දැඩි ගැටලුවකට මුහුණ දුන්හ.

විශේෂයෙන්ම චෙන්නායි ඔස්සේ ගමන් කරන්නේ අඩුවියදමකින් ගමන් කරන්නට කටයුතු කරනා වන්දනාකරුවන්ය. ඔවුන් බොහෝ විට අඩු ආදායම්ලාභීන්ය.

එසේ වන්දනාව පිණිස ගිය මේ වන්දනාකරුවන් බොහෝ විට ආපසු ගුවන් තොටුපොළ වෙත පැමිණෙන්නේ ඉන්දීය මුදල් සොච්චමක් අතේ තබාගෙනය. කොරෝනා වසංගතය ලොව පුරා පැතිර යාමත් සමගම ඉන්දියාවේ සංචාරය පිණිස ගිය වන්දනාකරුවන්ට වහාම පැමිණෙන ලෙස දැන්වීම නිසා ඒ අයුරින් වන්දනාකරුවෝ චෙන්නායි නගරයට පැමිණියහ.

එහෙත් ඒ පැමිණෙන අවස්ථාව වන විට කිසිදු ආකාරයක ගුවන් ගමන් සැලසුමක් නොවීය. ඒ බොහෝ දෙනා ගමන් කර තිබුණේ අප පෙර කියූ පරිදි අඩු මිල ගුවන් යානාවලිනි. එම ගුවන් යානා සමාගම් ඒ වන විටත් තම මෙහෙයුම් කටයුතු නවත්වා තිබුණි. එම සමාගම් විසින් තමන් ඉන්දියාවට ගෙන ආ වන්දනාකරුවන් ආපසු යන්නේ කෙසේදැයි යන්න ගැන අවම වශයෙන් අන්තර්ජාලය ඔස්සේ හෝ වන්දනාකරුවන් දැනුවත් කර නොතිබුණි.

මේ නිසා චෙන්නායි නගරයට පැමිණි වන්දනාකරුවන් මෙන්ම ඔවුන් රැගෙන ආ වන්දනාකරුවන් රැගෙන ආ සංවිධානවල අයද මෙහිදී අපහසුතාවට පත් වූහ.

චෙන්නායි හරහා වන්දනාවට යන සියලුම වන්දනාකරුවන් පාහේ අනිවාර්යෙන්ම ශ්‍රී ලංකා චෙන්නායි මහාබෝධි මධ්‍යස්ථානයට යාම සිදු කරති. පැමිණීමේදී ද බොහෝ විටම එසේ කටයුතු කරති.

ඒ අනුව වන්දනාකරුවන් සිය ගණනකින් යුත් වන්දනා නඩ ක්‍රමයෙන් චෙන්නායි එග්මෝර්හි පිහිටි ශ්‍රී ලංකා මහාබෝධි මධ්‍යස්ථානයට පැමිණෙන්නට විය. ඒ පසුගිය 20 වැනිදා සිටය.

බොහෝ වන්දනා නඩ පැමිණියේ ගුවන් යානාවලට නියමිත දිනට පෙර වීම නිසා ඔවුන්ට ගුවන් යානා නොමැති වීමේ ගැටලුවකට මුහුණ පාන්නට සිදු විය.

ඒ බව හොදින් දැන සිටි චෙන්නායි එග්මෝර්හි මහාබෝධි සමාගමේ මධ්‍යස්ථානාධිකාරී පූජ්‍ය කලවානේ මහනාම හිමියෝ වහාම තම අවධානය ඒ කෙරෙහි යොමු කළහ. ඒ වන විට කටුනායක ගුවන් තොටුපොළ සති දෙකකට වසා දමන බව ශ්‍රී ලංකා රජය නිවේදනය කර තිබූ නිසා ඉන්දීය ගුවන් සමාගම් සමග ඒ සම්බන්ධව සාකච්ඡා කිරීමෙන් පලක් නොවන බව දැනගත් උන් වහන්සේ වහාම ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ නියෝජ්‍ය මහ කොමසාරිස්වරයාට මේ පිළිබදව දැනුම් දුන්නේය. උන් වහන්සේ එතැනින් නොනැවතී වන්දනාකරුවන් පිණිස යළිත් ශ්‍රී ලංකාවට පිටත් කිරීමට අවශ්‍ය ඉදිරි පියවරද ගත්හ. ඒ අනුව ඉන්දියාවේ ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ කළමනාකරු (Country Manager) හා චෙන්නායි ගුවන් තොටුපොළේ කාර්යභාර කළමනාකරු අමතා උන් වහන්සේ ඒ සම්බන්ධව කටයුතු කළහ. ඒ දිනවල උන් වහන්සේට දානය ගැනීමට පවා වේලාවක් නොවීය.

එමෙන්ම වන්දනාකරුවන්ට අවශ්‍ය සියලුම පහසුකම්ද උන් වහන්සේ විසින් සපයා දෙන ලදී. ඒ සඳහා චෙන්නායි එග්මෝර්හි කෙනත් ලේන්හි පිහිටි ශ්‍රී ලංකා මහාබෝධි මධ්‍යස්ථානය මේ වන්දනාකරුවන්ගේ සියලු අවශ්‍යතා වෙනුවෙන් විවෘත කරන ලදී.

වන්දනාකරුවන්ට අවශ්‍ය සියලු ආහාර පාන සපයා දෙන්නට මහානාම හිමියෝ කටයුතු කළහ. උන් වහන්සේ සිදු කළ ඒ කාර්යය සුළුපටු නොවේ. ආහාර පාන ලබා දිය යුතුව තිබුණේ දහ පහළොස් දෙනකුට නොවේ. සිය ගණනකටය.

ඉන්දියාවේ වන්දනාවේ පැමිණි වන්දනාකරුවන් 590 කට වැඩි පිරිසක් එසේ චෙන්නායි නුවර පිහිටි මහාබෝධි සමාගමේ සිට ගුවන් මඟින් මෙරටට එවන්නට මහානාම හිමියෝ කටයුතු කළහ.

වන්දනාකරුවන්ගේ දෙපා පැළඳි පාවහන් පවා විෂබීජ හරණය කළ අයුරු

අවසන් වන්දනා නඩයේ සිටි 98 දෙනකුගෙන් සමන්විත කණ්ඩායමද පසුගිය 21 වැනිදා චෙන්නායි නුවර සිට ශ්‍රී ලංකාවට එවීමට උන් වහන්සේ නොගත් උත්සාහයක් නැත.

ශ්‍රී ලංකාවේ සිට පැමිණෙන වන්දනාකරුවන්ට අවශ්‍ය පහසුකම් ලබා දීමට උන් වහන්සේ විසින් කාලාන්තරයක් තිස්සේම කටයුතු කරන අතර මෙවර ඇති වූයේ එහි විශේෂ අවස්ථාවකි. තම සියලු කාර්යයන් පසෙකලමින් ශ්‍රී ලාංකික වන්දනාකරුවන් යළි මෙරටට එවීමට උන් වහන්සේ විසින් කටයුතු කරන ලදී.

‘‘මේ බොහෝ වන්දනාකරුවන් පැමිණ තිබුණේ අඩු මිල ගුවන් යානාවල නිසා ඒ ගුවන් සමාගම් මේ අවස්ථාවේ සේවාව ලබා දීමෙන් වැළකී සිටියා. ශ්‍රීලංකාවට පැමිණීමට ගුවන් යානාවලට පනවන ලද තහනම නිසා ඔවුන් පැමිණි වන්දනාකරුවන් ගැන සොයා බැලුවේ නැහැ. මම පුළුවන්තරම් උත්සාහ ගෙන වන්දනාකරුවන් ශ්‍රී ලංකාවට පිටත් කරන්න කටයුතු කළා. ඇත්තෙන්ම ඒ සඳහා ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ සහායත් ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ ඉන්දියාවේ කළමනාකාරවරයාත්, ඒ වගේම චෙන්නායි ගුවන් තොටුපොලේ කාර්යභාර කළමනාකාරවරයාත් උපරිම සහායක් ලබා දුන්නා. ඒ ගැන අගය කළ යුතු වෙනවා.

විශේෂයෙන්ම පෙන්වා දිය යුතුයි අවසන් වන්දනා නඩයේ පැමිණි කිසිවකු ශ්‍රී ලන්කන් ගුවන් සේවාවෙන් ඉන්දියාවට පැමිණි අය නෙමෙයි. නමුත් අවසානයේ ඔවුන් යළි ශ්‍රී ලංකාවට පැමිණීමට පැමිණියේ ශ්‍රී ලන්කන් ගුවන් යානාවලින්. ජාතික ගුවන් සේවාව ඒ අනුව මේ කාර්යයේදී විශාල සේවාවක් සිදු කළා.

මහාබෝධි මධ්‍යස්ථානයේදී අපට හැකි උපරිම ලෙසින් අප ඒ අයට සංග්‍රහ කටයුතු කළා. ඒ විතරක් නෙමෙයි ඒ පැමිණි නඩයේ සිටි සියලු දෙනාම විෂබීජ හරණයටත් අපි කටයුතු කළා. ඒ අයගේ ගමන් මලු පාවහන් මේ සියල්ලම අප විෂබීජ හරණයට කටයුතු කළා. එයින් ඔවුන්ට නිරෝගී ගමනකට අවශ්‍ය පහසුකම් අපි සපයා දුන්නා. ඒ සඳහා මහාබෝධි මධ්‍යස්ථානයේ සිටි සියලුම දෙනා දැඩි කැපවීමකින් යුක්තව කටයුතු කළා. අනුරාධපුර හා මහනුවර ප්‍රදේශවල කණ්ඩායම් දෙකක් තරමක් ප්‍රමාදව කටයුතු කිරිම නිසා නැවත යාමට ඔවුන්ට ගුවන් යානා ලබා දීම ප්‍රමාද වුණා. ඔවුන් ඍජුවම චෙන්නායි බලා පැමිණියානම් එසේ ගැටලු ඇති වන්නේ නැහැ. යම් යම් අසනීප තත්ත්වයන් මේ අයට හටගෙන තිබුණු නිසා අවශ්‍ය ඹෟෂධ පවා සපයා දෙන්නට අප කටයුතු කළා. කොහොම වුණත් දවස් දෙක තුන මේ අයට බලා ඉන්න සිදුවුණේ නැහැ. එහෙම වුණානම් ඒ වන්දනාකරුවන් සංඛ්‍යාව අපටත් දරන්න අමාරු වෙන්න තිබුණා. කොහොම හරි ඉක්මනින් ඒ අයට ගුවන් ගමන් සපයා දුන්නා. ‘‘ චෙන්නායි එග්මෝර් මහාබෝධි සමාගමේ මධ්‍යස්ථානාධිකාරී කලවානේ මහානාම හිමියෝ එසේ සිළුමිණට පැවසූහ.

චෙන්නායි දක්වා ගොස් අතරමංව සිටි වන්දනාකරුවන් ගෙන ආ ශ්‍රී ලන්කන් ගුවන් සේවා කණ්ඩායම

චෙන්නායි සිට අවසන් වන්දනා කණ්ඩායම ලෙසින් පසුගිය 22 වැනිදා ශ්‍රී ලංකාව බලා පිටත්වූ මේ කණ්ඩායමේ සිටි පිරිසෙන් එක් අයකු රෝගී තත්ත්වය හේතුවෙන් මිය ගොස් ඇති එම නිසා වන්දනාකරුවන් දැඩි බියකින් පසුවී තිබේ. එහෙත් ඉන්දීය සෞඛ්යම අංශ පරීක්ෂා කිරීමෙන් පසුව එම තැනැත්තා මිය ගොස් ඇත්තේ වෙනත් රෝගී තත්ත්වයක් හේතුවෙන් බව දැන ගන්නට ලැබීමෙන් පසුව දේහය ශ්‍රී ලංකාවට යැවීම පිණිස වන්දනා කණ්ඩායම් භාරකරුට ලබා දී තිබුණි.

කටුනායකට පැමිණි පසුව එම වන්දනාකරුවන්ට අවශ්‍ය ගම් බිම් බලා යාමට අවශය පහසුකම් සලසා තිබුණි. ඒ මහානාම හිමියන් විසින් ඔවුන් අනුරාධපුර , මහනුවර ප්‍රදේශවල අය බව මෙරටට දන්වා තිබූ නිසයි.

කෙසේ වුවත් රටේ වත්මන් තත්ත්වය අනුව එම පිරිස් නිරෝධායන මධ්‍යස්ථානවලට යොමු කරන ලදී. අවසන් වන්දනා කණ්ඩායම පිටත් වූ පසුව මහාබෝධි සමාගම තාවකාලිකව වසා දමා ඇති අතර ඉන්දියාවෙන් මේ තත්ත්වය තුරන් වූ පසුව චෙන්නායි මහබෝධි මධ්‍යස්ථානය යළි ශ්‍රී ලංකා වන්දනාකරුවන්ට විවර වනු ඇත.

ඉන්දියාවේ චෙන්නායි නුවර මෙසේ පැමිණීමට නොහැකිව සිටි වන්දනාකරුවන්ට මෙරට සිට චෙන්නායි බලා ගිය විශේෂ ශ්‍රී ලන්කන් ගුවන් යානයකින් මෙසේ ආපසු ඒමට සිදු වූ අතර ඔවුන් රැගෙන ගොස් ඒ සම්බන්ධව අවධානය යොමු නොකළ ඉන්දීය අඩු මිල ගුවන් සේවාවන් ගැන ඉදිරියේදී අන්තර්ජාතික ගුවන් සේවාවන් අවධානය යොමු කළ යුතුය.

අවම වශයෙන් ගෙවන ලද ගාස්තු හෝ ආපසු ලබා ගැන්මට කටයුතු කළ යුතු වේ.

මේ වන විට සමස්ත ඉන්දියාවම වසා දමා (LOCK DOWN) කර ඇති අතර ශ්‍රී ලංකාවේද බස්නාහිර හා උතුරු පළාතටම මේ වන විටත් ඇඳිරි නීතිය පනවා ඇත්තේ මේ වසංගතයෙන් රට බේරා ගැනීම පිණිසය.

එවන් අවස්ථාවක ශ්‍රී ලංකාව මෙන් 64 ගුණයක් පමණ විශාලත්වයෙන් යුත් ඉන්දීය සිතියමේ ඉතා කුඩා තිතක් මෙන් දැක්වෙන තමිල්නාඩු ප්‍රාන්තයේ එග්මෝර්හි පිටිහි චෙන්නායි මහාබෝධි මධ්‍යස්ථානය මඟින් සිදු කරන ලද්දේ සුළු පටු සේවාවක් නොවේ. විශේෂයෙන්ම චෙන්නායි මහාබෝධි මධ්‍යස්ථානාධිපති කලවානේ මහානාම හිමියන් විසින් සිදු කළ සේවාව ලක්වාසීන් වශයෙන් අප ඉහළින්ම අගය කළ යුතු වේ.

උන් වහන්සේ ඉන්දියාවේ සිට සිදු කරනු ලබන සේවාව අතිවිශිෂ්ටය.

එමෙන්ම මේ කාර්යයේදී ජනාධිපතිතුමාත් අගමැතිතුමාත් ශ්‍රී ලන්කන් ගුවන් සේවා කාර්ය මණ්ඩලයත් සිදු කළ සේවාව අතිවිශිෂ්ටය. ඉන්දියාවට ගොස් අතරමංව සිටින වන්දනාකරුවන් ගෙන ඒමට කටයුතු කරන ලෙස පැවසූ අවස්ථාවේදී මෙන්ම ඊට පෙර කොරෝනා දරුණු වසංගතයක් ලෙස චීනයේ පැතිර යද්දී වූහාන් දක්වා ගොස් අතරමංව සිටි සරසවි සිසුන් ඇතුළු 33 දෙනකුගෙන් යුත් කණ්ඩායමක් මෙරටට ගෙන ඒමට කටයුතු කෙළේද ශ්‍රී ලන්කන් ගුවන් සේවා සමාගම විසින් බවද මෙහිදී පෙන්වා දිය යුතුය.

අප සියලු දෙනා එක්ව කටයුතු කළ විට බොහෝ දේ කළ හැකි බව මෙයින් අපට උගත හැකිය.

බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කළ පරිදිම ‘බහුජන හිතාය - බහුජන සුඛාය ‘ යන්නටම සරිලන ලෙසින් මහානාම හිමියෝ මෙසේ කටයුතු කළහ. උන් වහන්සේ මේ ලෙසින් කටයුතු කරන්නේද දහසකුත් එකක් බාධක මධ්‍යයේය.

පැමිණෙන සියලුම වන්දනාකරුවන් ලේඛන ගත කර ඒ සියල්ල පරිගණක ගත කර ඒ සියල්ල ලබා දීමට උන් වහන්සේ කටයුතු කළ යුතුය. ඒ සියලු කටයුතු උන් වහන්සේගේ අතින්ම සිදු කෙරේ. කුමන අපහසුකම් යටතේ වුවත් උන් වහන්සේ ඒ සියලු කටයුතු නිහඬවම සිදු කරති. ඒ ගැන දන්නෝ ඉතා අල්පය.

අප වෙනුවෙන් බාධක මැද මෙන්ම ඉන්දියාවේ චෙන්නායිහි පිහිටි එකම සිංහල මධ්‍යස්ථානය වන මේ මහාබෝධි මධ්‍යස්ථානය බෞද්ධ අප වෙනුවෙන්ම වෙන් කළ ආගමික මධ්‍යස්ථානයක් බවද අප අවබෝධ කරගත යුතුය.

 

Comments