ගැමියාගේ ‘පත්තිනි දෙසතිය' මෙදා 'නිරෝධායනය' වී කොරෝනා මට්ටු කරන හැටි | Page 2 | සිළුමිණ

ගැමියාගේ ‘පත්තිනි දෙසතිය' මෙදා 'නිරෝධායනය' වී කොරෝනා මට්ටු කරන හැටි

කොරෝනා හෙවත් කොවිඩ් 19 වයිරසයේ ව්‍යාප්තියත් සමඟ මෙරට ජනතාව අතර වඩාත් ජනප්‍රිය වූ වචනයක් ලෙස Quarantine හෙවත් නිරෝධායනය හැඳින්විය හැකිය. එහෙත් නිරෝධායනය පිළිබඳ සමාජයේ පැතිරී ගිය වැරදි මත සහ ආකල්ප ද බොහෝය. නිරෝධායනය යන නම ආගන්තුක වුවද ලාංකේය සමාජය තුළ නිරෝධායන කටයුත්ත නම් අරුමයක් නොවන බව කරුණු විමසා බැලීමේදී මනාව පැහැදිලි වේ.

 

අතීතයේ මෙන්ම අද ද ගැමියෝ 'දෙවියන්ගේ ලෙඩ' ලෙස විශ්වාස කළ රෝගයක් තමාට හෝ පවුලේ අයකුට වැළඳුණු අවස්ථාවකදී දින 7,14ක් හෝ 21 ක කාල සීමාවක් බාහිර සමාජයෙන් වෙන්වී ආරක්ෂිතව ගතකිරීමේ ක්‍රමයක් අනුගමනය කරති. තමාගේ නිවසේ අයකු බෝවන රෝගයකින් පෙළෙන නිසා රෝගියා ඇතුළු නිවසේ කිසිවකු නිවසින් බැහැරට නොඑන බවත් පිටස්තර කිසිවකු නිවස ඇතුළු ගෙවත්තට ඇතුළු නොවන ලෙසටත් ගැමියා විසින් එදා සංඥා කළේ ගෙදර කඬුල්ලෙහි, වැටේ සහ නිවෙස් ඉදිරි දොරේ කොහොඹ කොළ අතු එල්ලීමෙනි. එසේ පිටස්තර සමාජයෙන් වෙන්වී ගත කරන දින 7,12 හෝ 21 පත්තනි මෑණියන්ගේ කාලය ලෙස එදා ගැමියෝ සැලකූ අතර එම කාලය ඉකුත් වීමෙන් පසු දිය නා තවත් දින කිහිපයක් ප්‍රවේශම් ලෙස ගතකොට යළි බාහිර සමාජයට යොමු වූහ. තමාගේ විෂබීජ අනුන්ට නොදෙන්නටත් අනුන්ගේ විෂබීජ තමන්ට නොගැනීමටත් ඒ සරල වත්පිළිවෙත් එදා ගැමියාට උපකාරී විය. විශේෂයෙන් බෝවන රෝග සහ වසංගතවලදී ඒ ප්‍රවේශම ලාංකේය ගැමියා තුළ අනිවාර්යයෙන්ම තිබිණ.

කොවිඩ් 19 වසංගතයේ ව්‍යාප්තියත් සමඟ එම රෝගය තවදුරටත් ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා ආසාදිතයන් යැයි සැක කෙරෙන පුද්ගලයන් එවැනි වෙන්කිරීමකට එසේත් නැතිනම් නිරෝධායනයට ලක්කළ යුතු බව ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නිවේදනය කළේ එය ගෝලීය වශයෙන් වසංගත තත්ත්වයක් බවට පත්වීමේ පෙරනිමිති පහළ කරද්දීමය. ඒ අනුව මෙම වයිරසයට පළමුව ගොදුරු වූ චීනයේ විශ්වවිද්‍යාලයක ඉගෙනුම ලැබූ ශ්‍රී ලාංකික සිසුන් පිරිසක් මෙරටට ගෙන්වා ගැනීමට ශ්‍රී ලංකා රජය විසින් කඩිනමින් කටයුතු කළේ මෙරටට පැමිණි වහාම ඔවුන් නිරෝධායනයට ලක්කිරීම සඳහා අවශ්‍ය පහසුකම් ඇතුළු සියලු කටයුතු සම්පාදනය කරමිනි. චීනයේ වූහාන්හි අධ්‍යාපනය ලැබූ විශ්වවිද්‍යාල සිසු සිදුවියන් 33 දෙනකු ඒ අනුව පසුගිය පෙබරවාරි 1 වැනිදා විශේෂිත ගුවන් යානයක් මෙරටට ගෙන එනු ලැබූ අතර එම සිසුන් කණාඩායම දියතලාව යුද හමුදා රෝහල වෙත ගෙනගොස් දින 14ක් නිරෝධානයනට ලක් කෙරිණ. ඔවුන් එසේ නිරෝධනයකට ලක්කළ ආකාරය පිළිබඳ බොහෝ දෙනාගේ පැසසුමට ලක්වූ අතර නිරෝධායනය අවසන් කරමින් ඔවුන් නිවෙස් කරා පිටත්ව ගියේ ඒ අතරින් එක් අයකුවත් කොරෝනා ආසාදිතයකු නොවූ බව රටටම සනාථ කරමිනි. ඒ හේතුවෙන් ශ්‍රී ලාංකිකයන් තුළ කොරෝනා භීතිකාව යම් තරමකට දුරස් වුවද එය මාර්තු මස මුල සතියේදී මෙරටින් පළමු ශ්‍රී ලාංකික කොරෝනා රෝගියා හමුවීමත් සමඟ එම භීතිකාව යළි රටම වෙළා ගත්තේය.

සංචාරක මඟපෙන්වන්නකු වූ එම රෝගියා හමුවීමත් සමඟ දිනපතාම මෙරටින් ආසාදිතයන් වාර්තා වන්නට විය. එම රෝගීන්ගේ පවුල්වල සාමාජිකයන් සහ ඇසුරු කළ පුද්ගලයන් කඩිනමින් නිරෝධායනය සඳහා යොමුකිරීමට රජය පියවර ගත්තේය. එපමණක් නොව කොරෝනා වයිසරය ව්‍යාප්ත වී ඇති රටවල්වලින් මෙරටට පැමිණෙන පුද්ගලයන් නිරෝධායනය කිරීමටද රජය කටයුතු කළේය. ඒ අනුව කොවිඩ් 19 බහුල ලෙස ව්‍යාප්ත වෙමින් පවතින ඉතාලිය, දකුණු කොරියාව සහ ඉරානය ආදී රටවල සිට මෙරටට පැමිණෙන පුද්ගලයන් දින 14ක් නිරෝධායනයට ලක්කිරීම අනිවාර් ය විය. එම රටවල්වලට අමතරව මැදපෙරදිග සහ අනෙකුත් රටවල සිට පැමිණෙන මගීන් සෞඛ්‍ය අංශවල අධීක්ෂණය යටතේ ඔවුන්ගේ නිවෙස්වලම නිරෝධායනයට ලක්කිරීමටත් අවශ කටයුතු සූදානම් කෙරිණ.

එවැනි තත්ත්වයක් තුළ ඉතාලියේ සහ දකුණු කොරියාවේ සිට පැමිණි ශ්‍රී ලාංකිකයන් පිරිසක් ගුවන්තොටුපළේ සිටම නිරෝධායනයට විරුද්ධ වෙමින් කලහකාරී ලෙස හැසිරෙන්නට විය. ආරක්ෂක අංශවල මැදහත්වීමෙන් ඔවුන් නිරෝධායනය කරා යොමු කළ අතර ඇතැම් පුද්ගලයන් එ් මධ්‍යස්ථානවල සිටම සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ අසත්‍ය මත පතුරමින් යුද හමුදාව සහ රජය අපහසුතාවට පත්කරන්නටද කටයුතු කළහ. එවැනි පසුබිමක ඒ යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා නිරෝධායන මධ්‍යස්ථානවල කටයුතු සිදුවන ආකාරය මඟින් යම් පැහැදිලි කිරීමක් සිදු කළේය. එම පුද්ගලයන්ට දෙනු ලබන දෛනික ආාහාර වට්ටෝරු පවා ප්‍රසිද්ධියට පත්කිරීමත් සමඟ නිරෝධායනය පිළිබඳ ගෙනගිය අසත්‍ය ප්‍රචාරවලට යම් තරමකට හෝ වැට බැඳිණ.

ඒ අතර සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය විසින් කොවිඩි 19 හෙවත් කොරෝනා යනු නිරෝධායනයට ලක්කළ යුතු රෝගයක් ලෙස හඳුන්වා දෙමින් ඒ පිළිබඳ ගැසට් නිවේදනයද ප්‍රකාශයට පත් කළාය. ඒ අනුව 1897 අංක 3 දරණ රෝග නිරෝධායන හා රෝග වැළැක්වීමේ ආඥා පනතේ 3 වැනි වගන්තිය යටතේ ඒ පිළිබඳ කටයුුුතු කිරීමට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාට සහ යුද හමුදාපතිවරයාට බලය පැවරී තිබේ. නිරෝධායනයට අවනත නොවන සහ එම නීති උල්ලංඝණය කිරීම මාස 6ක සිර දඩුවමක් හෝ රුපියල් දහදහසක දඩයක් හෝ එම දඩුවම් දෙකටම යටත් කළ හැකි වරදකි. ලෝකයේ ප්‍රධාන සහ බලවත් රටවල් පවා කොරෝනා වයිරසයේ දැඩි බලපෑමට ලක්ව තිබෙන පසුබිමක එම තත්ත්වයෙන් රට ආරක්ෂා කර ගැනීම සඳහා නිරෝධායන ක්‍රියාවලියට සියලු දෙනාගේ සහයෝගය ලබාදෙන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ද මහජනතාවගෙන් ඉල්ලා සිටියේය.

නිරෝධායනය යනු වෛද්‍ය ප්‍රතිකාර සහ පරීක්ෂණ සමඟ ගතකරන පීඩාකාරී කාලයක් නොව තමන්ගේ දෛනික කටයුතු එලෙසම සිදුකරමින් බාහිර සමාජයෙන් වෙන්වී ගතකරන ආරක්ෂකාරී කාලයකි. නිරෝධායනය සඳහා දින 14ක් තීරණය වී ඇත්තේ කොරෝනා වයිරසය ආසාදිතයකුගෙන් නිරෝගී පුද්ගලයකුට ආසාදනය වුවහොත් ඔහු තුළින් රෝග ලක්ෂණ පෙන්නුම් කිරීමට දින 14ක කාලයක් ගතවන නිසාය. මෙවැනි කරුණු පිළිබඳ නිසා දැනුමක් නොමැතිවීම නිරෝධායනයට ඇතමුන් විරුද්ධ වීමට හේතුවයි.

නිරෝධායන කාලසීමාව අවසන් කොට මාධ්‍යයට අදහස් දක්වමින් ඔවුන් කියා සිටියේ එම කාලය තුළ ශ්‍රී ලංකා හමුදාව ඔවුන් රැකබලාගත් ආකාරය ගැන මවිතයට පත්වන බවත් ඒ වෙනුවෙන් හමුදාවටත් ශ්‍රී ලංකා රජයටත් හදවතින්ම ස්තුතිවන්ත වන බවයි.

‘‘ මුලින්ම අපි නිරෝධායනයට දැඩිව විරුද්ධ වුණා තමයි. ඊට හේතුව වුණේ ගුවන්තොටුපළේදී පිරිසක් නිරෝධායනයට ලක්නොවී පැන ගිය අවස්ථාවේදී අපි පමණක් නිරෝධායනයට ලක්කිරීම ගැනයි. නමුත් අපි දැන් අවංකවම කනගාටු වෙනවා හමුදාව සහ රජයේ මේ වැඩපිළිවෙල ගැන එදා විවේචනය කිරීම ගැන. අපිට සමාවෙන්න කියලා හදවතින්ම කියනවා. මෙහෙට පැමිණියාට පසුව තමයි අපිට අපේ හමුදාවේ අගය වැටහුණේ. ඔවුන් අපි වෙනුවෙන් කැපවෙලා වැඩකළා. අපිට ඉතා හොඳින් සැලකුවා, රැකබලාගත්තා. අපේ උත්තමාචාරය හිස නමා පුද කරනවා. ඔවුන් අපට ඉතාම හොදින් සැලකුවා රැකබලාගත්තා. ඒ ගැන අපේ උත්තමාචාරය පුදකරනවා"

කොළඹ, ගාල්ල සහ කුරුණෑගල ආදී ප්‍රදේශවල පදිංචිකරුවන් වූ ඔවුන් ගම්බිම් වෙත එවනු ලැබුවේද යුද හමුදාවට අයත් බස්රථවලිනි. කුරුණෑගල වෙලගෙදර ක්‍රීඩාංගනයට ඔවුන්ගේ ඥාතීන් සහ පොලිසිය කැඳවා ඔවුන් බාරදීමට හමුදාව කටයුතු කළේය.

‘‘ශ්‍රී ලංකා යුද හමුදාව කියන්නේ මේ ලෝකයේ සිිටින උසස්ම හමුදාවක්. අපි කොරියාවෙන් එද්දි කොරෝනා ගැන හරියට දැනගෙන හිටියේ නැහැ. ඒත් මෙහෙදි අපිව ඉතාම හොඳින් රැකබලා ගත්තා වගේම මේ වයිරසයෙන් ආරක්ෂා වන හැටිත් මැනවින් දැනුවත් කළා. ගොඩක් දෙනෙක් දන්නෙ නැහැ අපේ හමුදාවන්ගෙන් සිදුවන සේවය ගැන. නමුත් මේ දවස් 14 තුළ අපි ඔවුන්ව හොඳින්ම තේරුම් ගත්තා. අපි අපේ හමුදාවට ණය ගැතියි. අපි මෙහේ ආව මුල් දවස්වල කියපු කරපු දේවල් ගැන අපිම දැන් පසුතැවෙනවා. නමුත් හමුදාව ඔවුන්ගේ යුතුකම අපි වෙනුවෙන් කිසිම අඩුවක් නැතිව ඉටුකළා. අපි ඒ ගැන අපේ හදවතින්ම ගෞරවය පුදකරනවා"

මුලදී නිරෝධායනයට විරුද්ධ වූ අයකු එසේ පැවසීය. ඔවුහු හමුදා නිලධාරීන්ගෙන් සමුගෙන සිය නිවෙස් බලා යෑමට බස්රථවලට නැගීමට පෙර "ශ්‍රී ලංකා හමුදාවටත් රජයටත් ජයවේවා "යනුවෙන් ඔල්වරසන් හඬ නැගූහ.

Comments