කොවිඩ් 19 මෙල්ල කරන්නට ඇඳිරි නීතිය දැමීමේ නීතිමය පසුබිම | සිළුමිණ

කොවිඩ් 19 මෙල්ල කරන්නට ඇඳිරි නීතිය දැමීමේ නීතිමය පසුබිම

ගෝලීය වසංගත තත්ත්වයක් බවට පත්වී තිබෙන කොවිඩ් 19 ශ්‍රී ලංකාව පුරාද වේගයෙන් ව්‍යාප්ත වෙමින් තිබෙන පසුබිමක පසුගිය 18 වැනි බදාදා පුත්තලම දිස්ත්‍රික්කයට සහ මීගමුව කොච්චිකඩේ පොලිස් බල ප්‍රදේශයට පොලිස් ඇඳිරි නීතිය පනවනු ලැබිණ. 19 වැනිදා රාත්‍රී 10 සිට වත්තල පොලිස් බල ප්‍රදේශයටද එම ඇඳිරි නීතිය ක්‍රියාත්මක කෙරිණ. 20 වැනි සිකුරාදා පස්වරු 6 සිට දිවයින පුරා ක්‍රියාත්මක වන පරිදි ඇඳිරි නීතිය ක්‍රියාත්මක කෙරන බව එදින උදෑසන ජනාධිපති ලේකම් කාර්යාලය විසින් නිවේදනය කිරීමත් සමඟ ජනතාව ලහි ලහියේ සිය ගම්බිම් බලා පිටත්ව යන්නට පටන් ගත්තේ කඩිගුලක් ඇවිස්සුණාක් මෙනි. 27 වැනි සිකුරාදා වන විට දිවයින පුරා ඇඳිරි නීතිය පනවා සතියක් ගතවද්දී ඇඳිරි නීතිය තාවකාලිකව ඉවත් කරන කාලය තුළ ජනතාව අපරික්ෂාකාරී ලෙස හැසිරීම නිසා වසංගත තත්ත්වය පාලනය කිරීමේ අවදානමක් මතුවිය හැකි බවට සෞඛ්‍ය බලධාරීහු අනතුරු අඟවති. එවැනි තත්ත්වයක් තුළ තවදුරටත් ඇඳිරි නීතිය ක්‍රියාත්මක විය හැකි බව බොහෝ දෙනාගේ අදහසයි.

 

ඇඳිරි නීතිය යනු කුමන නීතියක්ද? එහි ඇරඹුව කෙසේ සිදුවීද? යන කරුණු ගැන විමසීමේදී හෙළිවන්නේ ‘ඇඳිරි නීතිය' යන වචනය පැමිණ ඇත්තේ පැරණි ප්‍රංශ වාක්‍ය ඛණ්ඩයක් වන " කුවර්-ෆියු " යන්නෙන් බවයි. පසුව එය 'ඇඳිරි නීතිය' බවට පත්වූවා විය හැකිය.

ලොව පුරා බොහෝ රටවල් එක් එක් කාලවලදී විවිධ කාරණා හේතුවෙන් ඇඳිරි නීතිය පනවා තිබේ. දෙවැනි ලෝක යුද්ධ සමයේ බොහෝ නගරවල හා ප්‍රාන්තවල ඇඳිරි නීතිය දිගු කලක් තිස්සේ ක්‍රියාත්මක කර ඇත. මෑත ඉතිහාසය තුළ ද ඇඳිරි නීතිය සම්බන්ධයෙන් විවිධ රටවල කැපී පෙනෙන සිදුවීම් වාර්තා වී තිබේ. ඒ අනුව 2011 ජනවාරි 28 වැනි දින ඊජිප්තුවේ පොලිස් පද්ධතිය බිඳවැටීමෙන් පසුව ජනාධිපති හොස්නි මුබාරක් රට පුරා මිලිටරි ඇඳිරි නීතිය ප්‍රකාශයට පත් කළේය. 2013 ජනවාරියේදී ද මාරාන්තික වීදි ගැටුම් ඇති නගර තුනක් සඳහා ජනාධිපතිවරයා විසින් ඇඳිරි නීතිය ප්‍රකාශයට පත් කළද ඊට එරෙහිව එම නගරවාසීන් ඇඳිරි නීතිය අතරතුර වීදි බසිමින් පොලිස් හා හමුදා ඇඳිරි නීතිය ක්‍රියාත්මක කිරීම තහනම් කිරීමට කටයුතු කළහ. එක්සත් රාජධානියේ නගර කිහිපයක අදත් ඇඳිරි නීතිය සීනුව නාද කරනුයේ මධ්‍යතන යුගයේ සම්ප්‍රදායේ අඛණ්ඩ පැවැත්මක් ලෙසටය. අයහපත් කාලගුණයක් පවතින විට සංචාරකයන්ට නගරයක් හෝ ගමකට යෑමට ආරක්ෂිතව මඟ පෙන්වීම සඳහා එහි පල්ලිවල සීනුව නාද කරනු ලැබේ.

ලෝකයේ තත්ත්වය එසේ තිබියදී ඇඳිරි නීතිය ගැන මෙරට වැඩිහිටියන්ට නම් අත්දැකීම් බොහෝමයක් තිබේ. තරුණ තරුණියන්ට ඒ පිළිබඳ වැඩි අත්දැකීම් නැතද රටේ මූලික නීතිය-ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව බව නම් බොහෝ දෙනකු දන්නා කරුණකි. ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ හත්වැනි පරිච්ඡේදය වෙන්ව ඇත්තේ 'විධායකය' හෙවත් ජනාධිපතිවරයා සතු බලතල වෙනුවෙනි. ව්‍යවස්ථාවේ 30 වැනි වගන්තියේ පළමු උප වගන්තියට අනුව ජනාධිපතිවරයා විධායකයේ ප්‍රධානියා මෙන්ම ආණ්ඩුවේ ප්‍රධානියා සහ සන්නද්ධ සේවාවන්හි ප්‍රධානියාද වේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දහ අට වැනි පරිච්ඡේදය වෙන්ව ඇත්තේ 'මහජන ආරක්ෂාව ' වෙනුවෙනි. එසේ වුවද ඇඳිරි නීතිය සහ පොලිස් ඇඳිරි නීතිය අතර තිබෙන වෙනස පිළිබඳ ඇතැමුන් තුළ ඇත්තේ අල්ප දැනීමකි. ඒ පිළිබඳව අප ශ්‍රේෂ්ඨාධිකරණ නීතිඥ ජනක එදිරිසිංහ මහතාගෙන් විමසීමක් කළෙමු.

ඇඳිරි නීතිය පනවා ඇති සෑම අවස්ථාවක් පිළිබඳව විමසීමේදී පැහැදිලිව පෙනී යන්නේ එය පනවා ඇත්තේ රටේ සාමාන්‍ය ජන ජීවිතයේ කඩාවැටීමක්, තර්ජනයක් ආදී ජන ජීවිතයට බරපතළ අනතුරක් සිදුවන බවට පැහැදිලිව පෙනෙන්නට ඇති අවස්ථාවලදී බවයි. එ් අනුව එම තර්ජනාත්මක තත්ත්වයෙන් රටවැසියා ආරක්ෂා කරගැනීමේ අරමුණින් ඇඳිරි නීතිය පනවා ඇති බවත් එසේ ඇඳිරි නීතිය ක්‍රියාත්මක කර ඇති සෑම අවස්ථාවකදීම ජන ජීවිතයට යම් ප්‍රමාණයක ආරක්ෂාවක් ලැබී තිබෙන බවත් පැහැදිලිව දැකිය හැකිය.

ඒ අනුව 1971 කැරැල්ල සමයේ, 1983 ජූලි කලබල සමයේදී මෙන්ම ජවිපෙ දෙවැනි කැරැල්ල සමයේදීදී සාමාන්‍ය ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් දිගින් දිගටම මෙරට ඇඳිරි නීතිය භාවිත කර ඇත. මෑතම ඉතිහාසය තුළ 2018 වසරේදී මහනුවර දිගන ප්‍රදේශයේ ඇතිවූ කලහකාරී තත්ත්වය මෙන්ම පසුගිය වසරේ සිදුවූ පාස්කු දින ත්‍රස්ත ප්‍රහාරයෙන් පසුව සාමාන්‍ය ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් ඇඳිරි නීතිය පනවන්නට රජයට සිදුවිය.

එලෙස මහජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් භාවිත කරනු ලබන ඇඳිරි නීතිය නීතියක් බවට පත්වූ පසුබිම සැකසෙන්නේ 1947 වසරේ බලාත්මක කෙරුණු මහජන ආරක්ෂක

ශ්‍රේෂ්ඨාධිකරණ නීතිඥ  ජනක එදිරිසිංහ

ආඥා පනත යටතේය. ජනාධිපතිවරයා විසින් රාජ්‍ය ආරක්ෂාව සහ මහජනතාවගේ ආරක්ෂාව පිළිබඳවද තීන්දු තීරණ ගනු ලබන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදනයන්ට අනුකූලව සහ 1947 අංක 25 දරන එම මහජන ආරක්ෂක ආඥා පනත ප්‍රකාරවය. එම පනත කොටස් තුනකින් සමන්විත වන අතර පනතේ පළවැනි කොටසේ මහජන ආරක්ෂාව වෙනුවෙන් ජනාධිපතිවරයා සතු බලතල සඳහන් වන අතර දෙවැනි සහ තුන්වැනි කොටස්වල සඳහන් බලතල ඒ සඳහා භාවිත කළ හැකිය. මහජන ආරක්ෂාව වෙනුවෙන් ජනාධිපතිවරයාට ක්‍රම දෙකකට එම බලතල භාවිත කළ හැකි අතර ඒ, මහජනතාවට අවශ්‍ය සේවා අත්‍යවශ්‍ය සේවා බවට පත්කිරීමෙන් සහ මහජන ආරක්ෂාව පවත්වා ගෙන යෑම සඳහා පොලිසිය සහ ත්‍රිවිධ හමුදාව කැඳවීමෙනි.

ඒ අනුව මේ වන විට රට තුළ ක්‍රියාත්මක ඇඳිරි නීතිය පනවනු ලැබුවේ බරපතළ වසංතයක් ලෙස රට පුරාම පැතිරී යන කොවිඩ් 19 වයිරසය ආසාදි වූවන් සොයාගැනීමට නොහැකි වීමෙන් මහජනයා අතර ඇතිවූ අනාරක්ෂිත තත්ත්වය පාලනය කිරීම සඳහාය. එහිදී ජනාධිපතිවරයා මහජන ආරක්ෂක ආඥා පනත යටතේ තමාට ඇති බලතල යටතේ පොලිසිය සහ ත්‍රිවිධ හමුදාව කැඳවා අවශ්‍ය පියවර ගැනීමට නියෝග කර තිබේ. මේ වන විට රට තුළ හදිසි නීති රෙගුලාසි ක්‍රියාත්මක නොවන අතර ඇඳිරි නීතිය සහ හදිසි නීතිය යනු එකක් නොවන බව පැහැදිලිව කිව යුතුය.

හදිසි නීතිය ඇඳිරි නීතියට වඩා වෙනස් වන අතර හදිසි නීතිය ද මුළු රටටම හෝ එක් ප්‍රදේශයකට පමණක් බලපැවැත්වෙන පරිදි පැනවිය හැකිය. ආඥා පනතේ දෙවැනි පරිච්ඡේදයේ එන පස්වැනි වගන්තිය ප්‍රකාරව මහජනතාවගේ සුබසිද්ධිය වෙනුවෙන් අවශ්‍ය පියවර ගැනීම, මහජනතාව අතර සාමකාමී බව තහවුරු කිරීම සහ සමාජයේ යහ පැවැත්ම සඳහා අවශ්‍ය වන සේවා ලබාදීම යනාදියෙහි අවශ්‍යතාවක් පැන නැඟී ඇති බව මෙන්ම, මහජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා කඩිනම් පියවර ගත යුතු බව ජනාධිපතිවරයාට හැඟී යන මොහොතකදී හදිසි නීති රෙගුලාසි පැනවීමට හැකියාව ඇත. පාර්ලිමේන්තුව විසින් සම්මත කරගන්නා ලදුව මසක කාලයක් දක්වා හදිසි නීති රෙගුලාසි පැනවිය හැකි අතර, මාසයක කාලය ඉක්ම ගිය පසු අවශ්‍යතාව මත එම රෙගුලාසිය නැවත බලාත්මක කළ හැකිය. එසේ රට තුළ හදිසි නීති රෙගුලාසි පැනවූ විට එම හදිසි නීතිය රට තුළ පවත්නා අනෙකුත් නීති හා රෙගුලාසිවලට ඉහළින් බලපැවැත්වෙන අතර හදිසි නීතිය යටතේ පනවනු ලබන කිසිදු නීතියක් හෝ නියෝගයක් රටේ කිසිදු අධිකරණයක් හරහා ප්‍රශ්නගත කිරීමේ හැකියාවද මහජනතාවට නැත. හදිසි නීතිය යටතේ ජනාධිපති සතු බලතල යටතේ පුද්ගලයන් රඳවා තබා ගැනීමට, ඕනෑම ස්ථානයකට ඇතුළත්ව සෝදිසි මෙහෙයුම් දියත් කිරීමට, ඕනෑම නීතියක් සංශෝධනය කිරීමට, හදිසි නීති රෙගුලාසි මගින් බලපෑම් සිදුවූවන්ට වන්දි මුදල් ගෙවීමට සහ එම රෙගුලාසි යටතේ වරදකරුවන් වූ පුද්ගලයන්ට නිසි දඬුවම් පැමිණ වීමේ බලතල හිමි වේ. එමෙන්ම ජනාධිපතිවරයාගේ කැමැත්ත මත සන්නද්ධ හමුදාවන් කැඳවීමේ බලය සහ ගිනි අවි සහ පුපුරණ ද්‍රව්‍ය ළඟ තබාගෙන සිටින්නන්ගෙන් ඒවා ලබා ගැනීමේ අවසරයද රජයට හිමි වේ.

එහෙත් ඇඳිරි නීතිය පැනවීමට හදිසි අවස්ථාවක් ප්‍රකාශයට පත්කර තිබීම අනිවාර්ය නොවේ. හදිසි අවස්ථා රෙගුලාසි ක්‍රියාත්මක වන්නේ මහජන ආරක්ෂක ආඥා පනතේ දෙවැනි කොටසෙන් වන අතර ඇඳිරි නීතිය පිළිබඳ බලතල තිබෙන්නේ පනතේ තුන් වැනි කොටසේය. එම නිසා රට තුළ හදිසි අවස්ථාවක් නැතිව වුවද පනතේ තුන්වැනි කොටසේ සඳහන් ජනාධිපතිවරයා සතු විශේෂ බලතල යටතේ ජනාධිපතිවරයාට පොලිසියට හෝ හමුදාවට රටේම හෝ එක් ප්‍රදේශයක මහජන ආරක්ෂාව වෙනුවෙන් කටයුතු කිරීම සඳහා නියෝග නිකුත් කිරීමට හෝ ඒ සඳහා ගැසට් නිවේදනයක් නිකුත් කිරීමට බලය ති‍බේ. ඊට අමතරව මහජන ආරක්ෂක පනතේ 16 වැනි වගන්තියේ පළමු උප වගන්තිය ප්‍රකාරව පැවරී ඇති පරිදි මුළු රට තුළම හෝ රට තුළ යම් භූමි ප්‍රදේශයක මහජන ආරක්ෂාව සහ සාමය තහවුරු කළ යුතු බවට ජනාධිපතිවරයාට හැඟී යන ඕනෑම මොහොතකදී ඇඳිරි නීතිය පැනවීමේ බලතල ජනාධිපතිවරයාට තිබේ. එම නියෝගයෙහි සඳහන් කර ඇති කාල පරාසය තුළ, අදාළ ප්‍රදේශයේ කිසිදු පුද්ගලයකුට එම ප්‍රදේශයේ ඇති මහා මාර්ග, දුම්රිය මාර්ග, පොදු උයන්, ක්‍රීඩාංගන, පොදු මුහුදු වෙරළ, පොදු පාලම්, පොදු පදික වේදිකා, බෝක්කු, ආදී “පොදු” ස්ථානයක් ලෙස අර්ථ නිරූපණය කළ හැකි කිසිදු ස්ථානයක රැඳී සිටීමට අවසර නොලැබේ. ඒ අනුව සරලව විග්‍රහ කරනවා නම් ඇඳිරි නීතිය යනු ජනාධිපතිවරයාට ඇති විශේෂ බලතල යටතේ මහජන ආරක්ෂාව වෙනුවෙන් ක්‍රියාත්මක කළ හැකි නීතියකි.

එසේනම් ඇඳිරි නීතිය සහ පොලිස් ඇඳිරි නීතිය අතර තිබෙන වෙනස කුමක්ද? ශ්‍රේෂ්ඨාකරණ නීතිඥ ජනක එදිරිසිංහ මහතා ඒ බව පැහැදිලි කළේ මෙසේය.

"තමාට තිබෙන විශේෂ බලතල අනුව ඍජුවම ඇඳිරි නීතිය පනවනවා වගේම ජනාධිපතිවරයාට පුළුවන් පොලිස්පතිවරයා හෝ ඒ ඒ ප්‍රදේශවල පොලිස් ප්‍රධානීන් කැඳවා ඇඳිරි නීතිය පැනවීම සම්බන්ධයෙන් නියෝග නිකුත් කිරීමට. ජනාධිපතිවරයා විසින් දෙනු ලබන එම නියෝග ක්‍රියාත්මක කිරීමේ බලය තවත් පනත් දෙකකින් පොලිසියට ලැබෙනවා. එනම්, පොලිස් ආඥා පනතේ 56 වැනි වගන්තිය යටතේ රට පුරාම ඕනෑම ස්ථානයක මහජන ආරක්ෂාව වෙනුවෙන් ක්‍රියාකිරීමේ බලය පොලිසියට තිබෙනවා. ඒ වගේම අපරාධ නඩු සංග්‍රහයේ 95 වැනි වගන්තිය ප්‍රකාරව මහජන ආරක්ෂාව පිළිබඳ ජනාධිපතිවරයාගේ නියෝග ක්‍රියාත්මක කිරීමේ බලතල පොලිසියට ලැබී තිබෙනවා. ඒ නිසා ජනාධිපතිවරයා විසින් මහජන ආරක්ෂාව වෙනුවෙන් පොලිසිය කැඳවනු ලබන අවස්ථාවක ඒ වෙනුවෙන් ප්‍රබල ලෙස ක්‍රියාත්මක වී‍මට පොලිසියට බලය ලැබෙනවා. එ් අනුව ජනතාව මහජන ආරක්ෂාවට බාධා වන අයුරින් හැසිරෙනවා නම් රැස්වෙනවා නම් ඒ සඳහා අදාළ පියවර ගැනීමට පොලිසියට බලය තිබෙනවා වගේම ජනාධිපතිවරයා විසින් ඇඳිරි නීතිය පැනවීමේ බලයට යටත්ව පොලිසියට ලැබී තිබෙන බලතල පාවිච්චි කළ හැකියි."

ඒ ආකාරයට පොලිස් ඇඳිරි නීතිය කඩ කරන ඕනෑම පුද්ගලයකු සාපරාධී වරදක් කළ අයකු ලෙස සැලකෙන අතර එවැනි පුද්ගලයන් පොලිසිය භාරයට ගෙන පැය විසි හතරක් ඇතුළත මහේස්ත්‍රාත්වරයකු වෙත ඉදිරිපත් කොට වරදකරුවකු බවට පත් කළ හැකිය. මෙවැනි අවස්ථාවකදී යම් පුද්ගලයකු අත්අඩංගුවට ගැනීමට වරෙන්තු අවශ්‍ය නොවන අතර මහජන ආරක්ෂක ආඥා පනතේ 18 වැනි වගන්තිය ප්‍රකාරව සාධාරණ සැකය මත එවැනි පුද්ගලයකු අත් අඩංගුවට ගැනීමට පොලිස් නිලධාරියකුට අවසර තිබේ.

" ඒ ආකාරයට පොලිස් ඇඳිරි නීතිය කඩකරන පුද්ගලයන් අත්අඩංගුවට ගනු ලබන්නේ මහජන ආරක්ෂක ආඥා පනතේ 18 වැනි වගන්තිය යටතේ වන නිසා එවැනි අයකු සාමාන්‍ය දින ගණන ඉක්මවා බන්ධනාගාරගත කළ හැකිය. ඒ කියන්නේ සාමාන්‍යයෙන් අපරාධ නඩු විධාන පනත යටතේ අත්අඩංගුවට ගන්නා අයකුට දින 14කට බන්ධනාගාරගත කළත් පොලිස් ඇඳිරි නීතිය කඩකරන්නකුට එවැනි සීමාසහිත කාලයක් වලංගු වන්නේ නැහැ. ඔහුව දිගටම බන්ධනාගාරගත කළ හැකියි. සරලව කියනවා නම් පොලිස් ඇඳිරි නීතිය මහේස්ත්‍රාත්වරයකු විසින් ලබාදෙන උසාවි නියෝගයක් ලෙස බලාත්මක වන අතර ඉහළ පොලිස් නිලධාරියකු විසින් පනවනු ලැබූ පොලිස් ඇඳිරි නීතිය කඩකිරීම උසාවි නියෝගයක් කඩකිරීමකදී මෙන් සිරදඬුවම් ලැබිය හැකි වරදක් "

කොවිඩ් 19 වසංගත තත්ත්වය හේතුවෙන් රට පුරාම ඇඳිරි නීතිය පනවා දින සතරක් ගතවද්දී ඇඳිරි නීතිය කඩකිරීම සම්බන්ධයෙන් දිවයින පුරා පුද්ගලයන් 2262 ක් සහ ත්‍රිරෝද රථ සහ යතුරුපැදි ඇතුළු වාහන 579ක් අත්අඩංගුවට ගත් බව පසුගිය 24 වැනි අඟහරුවාදා පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය නිවේදනය කළේය. මේ වන විට රටවල් 197 ක පැතිරී ඇති මෙම ගෝලීය වසංගත තත්ත්වය හමුවේ ලොව පුරා මරණ සහ ආසාදිතයන් ගණන දිනෙන් දින ඉහළ යමින් තිබෙන පසුබිමක එම තත්ත්වය තවත් ව්‍යාප්ත වීම වැළැක්වීමේ අරමුණින් ලොව බොහෝ රටවල් ඇඳිරි නීතිය සහ රට සම්පූ ර් ණයෙන් වැසීම(ලොක් ඩවුන්) වැනි ක්‍රියාමාර්ග තුළින් සිය ජනතාව මෙම භයානක වසංගතයෙන් ආරක්ෂා කර ගැනීමට කටයුතු කරමින් සිටී. අසල්වැසි ඉන්දියාව පසුගිය 24 වැනිදා සිට දින 21ක් ලොවටම වසා තැබීමට අගමැති නරේන්ද්‍ර මෝදි පියවර ගත්තේ ඊට පෙර දින කිහිපයක් එරට නගර 80කට ඇඳිරි නීතිය පැනවීමෙන්ද පසුවය. එමෙන්ම ඇමරිකාව, පිලිපීනය, ප්‍රංශය, කැනඩාව, ඉතාලිය ආදී තවත් බොහෝ රටවල්ද මේ වන විටත් ඇඳිරි නීතිය ක්‍රියාත්මක කර තිබේ.

ඇඳිරි නීතිය යනු තවත් එක් නීතියක් පමණි. දිනෙන් දින ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වන ‍මෙම වයිරස් වසංගතයෙන් ජනතාව ආරක්ෂා කරගැනීමට දිවයින පුරා සෞඛ්‍ය, ආරක්ෂක අංශ සාමාජිකයන් සහ රජයේ නිලධාරීන් විසින් කරමින් සිටින්නේ අමිල මෙහෙවරකි. නීතිය නමැති කෙවිටෙන් වයිරසය පාලනය කරනවා වෙනුවට අප එකිනෙකා අපට හිමි සමාජයීය වගකීම ඉටුකර මේ භයානක වසංගතය පරදවන්නට අදිටන් කරගනිමු.

 

ඡායාරූප- අන්තර්ජාලයෙනි

Comments