කොරෝනා සුවකරන්න කැපවුණු අපේ වෙද-හෙද පරපුර | Page 3 | සිළුමිණ

කොරෝනා සුවකරන්න කැපවුණු අපේ වෙද-හෙද පරපුර

චීනයේ වූහාන් නගරයෙන් මතු වූ කොරෝනා වෛරසය ලෝකයේ රටවල් 199ක් සහ ලෝක ප්‍රසිද්ධ සංචාරක මඟින් නෞකාවක් වන ඩයමන්ඩ් ප්‍රින්සස් මඟි නෞකාවද ගිලගෙන අවසානය. මේ වන විට (සිකුරාදා දහවල් වන විට) ලෝකයේ 537,017 දෙනෙක් කොරෝනා වෛරසයට ගොදුරු වී සිටිති. එය බිලිගත් ජීවිත ගණන 24117 ක් වෙද්දී ඊට ස්විට්සර්ලන්තයේ ජීවත්වූ 52 හැවිරිදි ශ්‍රී ලාංකිකයකුද අයත් විය. වෛරසයට ගොදුරුව සුවය ලැබු පිරිස 124,436ක් වෙද්දී අසාධ්‍ය තත්ත්වයේ පසුවූ පිරිස 19,660 දෙනෙක් වූහ.

 

එතෙර සිටි කොරෝනා ආසාදිත ශ්‍රී ලාංකිකයෙකු මිය යන විට ශ්‍රී ලංකාවේ ප්‍රතිකාර ලැබූ කොරෝනා රෝගීන් හත්දෙනෙකු සුවය ලබා රෝහලෙන් පිටවී යෑම සුවිශේෂි සිදුවීමකි. ඇතැමුන් සුව වීම සේ සැලකුවද සැබැවින්ම මෙය දේව හාස්කමක් නම් නොවේ.

මෙය දෙවිවරුන් වැනි අපේ වෛද්‍යවරුන්, හෙද හෙදියන් ඇතුළු සෞඛ්‍ය අංශයේ සමස්ත කාර්ය මණ්ඩලයේ ඇපකැප වීමෙන් ළඟාකර ගත් ජයග්‍රහණයකි. 27 වන සිකුරාදා වන තුරු ශ්‍රී ලංකාවෙන් කොරෝනා මරණ වාර්තා නොවුද අප තවමත් සිටින්නෙ සතුටු විය හැකි මට්ටමක නොවේ. ඊට හේතුව ලංකාවේ කොරෝනා ආසාදිතයන් ගණන් දිනෙන් දින ඉහළ යෑමයි.

පසුගිය සිකුරාදා (27) වන විට ලංකාවෙන් වාර්තා වන කොරෝනා රෝගීන් සංඛ්‍යාව 106කි. එයින් 88 දෙනෙක් ජාතික බෝවන රෝග විද්‍යායතනය හෙවත් අයි.ඩී.එච් රෝහලේ ප්‍රතිකාර ලබති. 10 දෙනෙක් වැලිකන්ද මූලික රෝහලේද එක් රෝගියෙක් මුල්ලේරියාව රෝහලේද ප්‍රතිකාර ලබති.

මේ රෝගීන් 106 දෙනාගෙන් 68%ක් පිරිමි පක්ෂයට අයත් වේ. ඔවුන්ගේ වයස් සීමාවන් සලකා බැලීමේදී වැඩි රෝගීන් පිරිසක් (33.3%ක්) වයස අවුරුදු 41-50ට අයත් වන අතර වයස අවුරුදු 21-30 සහ 31-40 අතර පිරිස පිළිවෙළින් 16.7% ලෙස සටහන් වී තිබේ.

කොරෝනා රෝගීන්ගේ ව්‍යාප්තිය සලකා බැලීමේදී කොළඹ දිස්ත්‍රික්කයෙන් 25ක්ද, කළුතර දිස්ත්‍රික්කයෙන් 15ක්ද ගම්පහ දිස්ත්‍රික්කයෙන් 10ක්ද පුත්තලම දිස්ත්‍රික්කයෙන් 09ක් සහ රත්නපුර දිස්ත්‍රික්කයෙන් 03ක්ද වශයෙන් හඳුනාගෙන ඇත. කුරුණෑගල, ගාල්ල, කෑගල්ල, මඩකළපුව, බදුල්ල, යාපනය සහ මාතර යන දිස්ත්‍රික්කවලින් එක් අයකු බැගින් වාර්තා වේ. 34 දෙනෙකු වාර්තා වී තිබෙන්නෙ නිරෝධායන මධ්‍යස්ථානවලිනි. එසේම විදේශිකයන්ද තිදෙනෙක් සිටී. ඊට අමතරව කොරෝනා වෛරසය ආසාදිත යැයි සැක කෙරෙන රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා නම්කර තිබෙන රෝහල් 26 තුළ මේ වන විට රෝගීහු 238 දෙනෙක් වෛද්‍ය අධීක්ෂණය යටතේ පසුවෙති. ඒ ශ්‍රී ලාංකිකයන් 231 දෙනෙක් සහ විදේශිකයන් 7 දෙනෙකි.

කොරෝනා රෝගීන්ට මෙන්ම කොරෝනා යැයි සැක කෙරෙන අයට ප්‍රතිකාර කරනු ලබන වෛද්‍ය කාර්ය මණ්ඩලය වෙන් වී සිදු කරනු ලබන උතුම් මෙහෙවරට ලක්වැසි සැමගේ ගෞරව ප්‍රණාමය හිමි විය යුතුය. එමෙන්ම ඔවුන් සිය සේවයට ඇපකැප වී සිටින්නෙ ඔවුන්ගේ ජීවිත කෙරෙහි ඇති මාරාන්තික අවදානම ගැන ද නොතකා බව අප කිසිසේත් අමතක කළ යුතු නොවේ.

"මම මගේ හෙද ජීවිතයට ගොඩාක් ආදරෙයි. එදත් අදත් හෙටත්. ඒ වගේම නර්සින් යුනිෆෝම් එකට. හුස්ම ගන්නත් අමාරු ආරක්ෂක ඇඳුමක් පැය 3,4ක් ඇඳලා ඉන්න වෙයි කියලා කවදාවත් නොහිතුවත් අද ඒ දේ සිද්ධ වෙලා. හරියට යුද්ධයක් වගේ ඇඳුම් දාගත්තාම. කන රිදෙනවා. දාඩිය ගලන්නෙ ගඟක් වගේ. නාසය දැනටත් තුවාල වෙලා. හුස්ම ගන්න අමාරුයි. බූට්වලට දණහිස රිදෙන තරම්. සමහර වෙලාවට ඇඳුම් අස්සෙන් ඇඬුවත් කාටවත් පෙනෙන්නෙ නැහැ. ගෙදර යන්න බැහැ,

අම්මාව බලන්න ආසයි. වතුර ටිකක් බොන්න හිතුණත් බොන්න බැහැ. මේ තරම් දුකක් වින්දත් අදටත් මම හෙද ජීවිතයට ආදරෙයි. ඒ හින්දා මම වගේම සෑම සෞඛ්‍ය සේවකයෙක්ම විඳින මේ යුද්ධය ජය ගන්න ඔයාලත් සහාය වෙන්න. මෙවන් දුෂ්කර ඇඳුම් ඇඳන් ඔයාලට ගෙදර ඉන්න වෙන්නෙ නැහැ.

ඒ හින්දා .......... හැමෝම ගෙදර ඉන්න..." යනුවෙන් මුහුණුපොතේ සටහනක් තබා තිබුණේ දීපසිකා සඳමාලි පතිරණ හෙදි සොයුරියයි. ඈ තැබු සටහන, සෞඛ්‍ය සේවා නිලධාරින් කොරෝනා රෝගීන් වෙනුවෙන් දරන වෙහෙස සහ කැපවීම පිළිබිඹු කරන හරස්කඩකි.

ඔවුන් මේ සා දුෂ්කර ක්‍රියා කරන අවස්ථාවක, විදේශයන්හි සිට පැමිණි බව සඟවා වෙනත් රෝගී තත්ත්වයන් පවසමින් ප්‍රතිකාර සඳහා යොමු වන අය ගැන වාර්තා වීම අතිශයින්ම කනගාටුදායකය. ඉතාලියේ සිට පැමිණි අයකු පපුවේ කැක්කුමකට බෙහෙත් ගැනීමට අවශ්‍ය බව පවසා රාගම රෝහලට ඇතුළත් වූ පසුව කොරෝනා ආසාදිතයකු බවට හෙළි වීමෙන් රාගම රෝහලේ වෛද්‍යවරුන් ඇතුළු 15 දෙනෙකුට ස්වයං නිරෝධායනයට ලක්වීමට සිදු විය. විශේෂඥ වෛද්‍ය ප්‍රියංකර ජයවර්ධනද ඊට අයත් විය. පසුව වාර්තා වූයේ විශේෂඥ වෛද්‍ය ප්‍රියංකර ජයවර්ධනට කොරෝනා රෝගය අසාදිත වී ඇති බවටයි. කොළඹ ජාතික රෝහලේ ද මෙවැනි තත්ත්වයක් උද්ගත වූ බැවින් රෝහල් කාර්ය මණ්ඩලයේ 12 දෙනෙකුට ස්වයං නිරෝධායනයකට ලක්වීමට සිදු විය. මීට අමතරව පාණදුර ප්‍රදේශයේ ගර්භණි කාන්තාවක් සෞඛ්‍ය බලධාරින්ගේ උපදෙස් පිළිනොපැදීම නිසා පාණදුර ප්‍රදේශයේ පෞද්ගලික රෝහලකට සීල් තැබූ පුවතක්ද අනාවරණය විණි. විදේශයේ සිට පැමිණි ඥාතින් පිරිසක් ඇගේ නිවසේ නවාතැන්ගෙන පිටවූ බව සැලවූ වහාම සෞඛ්‍ය බලධාරින් ඇයට දන්වා තිබෙන්නෙ ස්වයං නිරෝධායනයකට ලක්වන ලෙසයි. එහෙත් එම උපදෙස් නොපිළිගත් ඈ අසල්වැසි නිවෙස් කීපයකටත් පාණදුර පුද්ගලික රෝහලේ මාතෘ සායනයටත් සහභාගි වී තිබේ. නමුදු ඈ කොවිඩ් 19 හෙවත් කොරෝනා ආසාදනයකට ලක්වී ඇති බව අනාවරණය වීමත් සමඟම එකී රෝහලට සීල් තැබීමට සිදු විය. මෙවැනි ආත්මාර්ථකාමී මිනිසුන් නිසා කොරෝනා පරාජය කිරීමට සටන් වදින මිනිසුන්ගේ වටිනාකම් දියවී යනවා පමණක් නොව මුළු රටම කොරෝනා වසංගතයට බිලි වනු ඇත. මෙම අධමයන්ට අවශ්‍ය වන්නෙ ඉතාලියට අත්වූ ඉරණම අපටත් අත්කර දීමටදැයි අපට නම් නොවැටහේ.

වෛද්‍ය තුෂාර වික්‍රමසිංහ විසින් කොරෝනා වාට්ටුවේ සිට ලියමි යනුවෙන් මතු දැක්වෙන සටහන මුහුණුපොතට එක්කර තිබුණේ මෙවැනි ආත්මාර්ථකාමී මිනිසුන් නිසාය.

"කොරෝනා ගැන තවමත් සුළුවෙන් සලකන තම සමීපතමයන් පිළිබඳව වගකීම් විරහිතව හැසිරෙන සුවහසක් ජනතාව වෙත කෙරෙන සිහි කැඳවීමකි. දහසය වසරක වෛද්‍ය ජීවිතයේ අසීරුම කාල පරිච්ඡේදය ගත කරමි. අදට වඩා හෙට තත්ත්වය දරුණු විය හැකිය. වෛද්‍යවරු හැටියට අපි ද සෙසු කාර්ය මණ්ඩලයද බොහෝ අසරණ වී ඇත. මගේ වෘත්තිය කාලය තුළ අනන්තවත් මාරාන්තික, අසාධ්‍ය රෝගීන්ට ප්‍රතිකාර කර ඇත්තෙමි. ඒඩ්ස් රෝගීන්ට ප්‍රතිකාර කිරීමේදී පවා ළඟින් හිඳගෙන බියක් සැකක් නැතිව ඔවුන් පරීක්ෂා කර ප්‍රතිකාර කර ඇත්තෙමි. රෝගී මනුෂ්‍යයෙක් පරීක්ෂාකර ඔහු හා කතාබහ කිරීමේදී පවා ඔහුගේ මනස සහ ආත්ම ශක්තිය සුවපත් වේ. නමුත් කොරෝනාව උඩු යටිකුරු කර ඇත. අප වෙත පැමිණෙන සැක කටයුතු රෝගීන්ගේ රෝග ඉතිහාසය සහ අනෙකුත් අත්‍යවශ්‍ය කරුණු සටහන් කරගන්න වෙන්නෙ අඩුම තරමින් වෛද්‍යවරයාත් රෝගියාත් අතර මීටර් දෙකක් පමණවත් පරතරය ඇතිවය. ඔවුන් රෝහල් තුළට පය තබන්නෙ මරණ වරෙන්තුව ලියාගත් පුද්ගලයන් ලෙස බියෙන් ගැහි ගැහිය. අනික් රෝගීන්ට මෙන් වැඩි කාලයක් ගතකොට ඔවුන්ගේ බිය තුරන් කිරීමේ ඉඩ ප්‍රස්ථාව බොහෝ අඩුය. ඒ වැඩි කාලයක් රෝගියකුට නිරාවරණය වීම අතිශයින් අවදානම්කාරි දෙයක් සේ ම අප ජීවිත ද අනතුරේ හෙළීමක් වන නිසාය..."

‍මෙය කොරෝනා රෝගයේ භයංකර තත්ත්වය පමණක් නොව වෛද්‍යවරයාගේ මානුෂික හැඟීම්ද විවරණය කෙරෙන සටහනකි. සෞඛ්‍ය කාර්ය මණ්ඩලය සිය දිවි පරදුවට තබා රෝගීන් කෙරෙහි දක්වන සැලකිල්ල, කාරුණික බව ඉතා ප්‍රශස්ථ මට්ටමක පවතින බව අපට අනාවරණය වූයේ කොරෝනා රෝගයට ගොදුරු වී සුවය ලබා නිවසට ගිය ජයන්ත රණසිංහගේ ප්‍රකාශයෙනි.

"අයි.ඩී.එච්. රෝහල මට ලබාදුන් සේවාවයි කරුණාවයි පුද්ගලික රෝහලකවත් නැති සුපිරි සැලකිල්ලක්. මම හිටපු කාමරය දවසට දෙපාරක් විෂබීජහරණය කරනවා. කෑම අතුරුපස හොඳටම ලැබුණා. මට කන්න බැරිවුණ වෙලාවෙ විශේෂඥ වෛද්‍ය එරංග නාරංගොඩ මහත්තයා හැමදාම උදේට එනකොට ගෙදරින් කැඳ හදාගෙන ආවා. දිනකට දෙවරක් හෝ තුන්වරක් කාමරයට හෙදියන් ආවා. දිනපතාම උදෑසන ප්‍රධාන වෛද්‍යවරයා කාමරයට ඇවිත් මාව බැලුවා." යනුවෙන් පැවසුවේ ලංකාවේ කොරෝනා රෝගයට ගොදුරු වූ ප්‍රථමයා වන ජයන්ත රණසිංහය.

සංචාරක මඟ පෙන්වන්නකු ලෙස සේවය කරන ජයන්ත රණසිංහ කොරෝනා රෝගයට ගොදුරු වීමත් සමඟම ඔහුගේ බිරිය සහ දරු දෙදෙනා සමාජයේ රැවුම් ගෙරවුම්වලට ලක්වූ බවද ඔහු සඳහන් කළේ කනගාටුවෙනි. ඔහුගේ නිවෙස ගිනිතබා පවුලේ සාමාජිකයන් එළවා දැමීමට සූදානම් වූ සුළු පිරිසක්ද සිටි බවත් ග්‍රාමසේවා නිලධාරි සහ කහතුඩුව මහජන සෞඛ්‍ය පරික්ෂකගේ මැදිහත් වීම නොවන්නට ඔහුට ඉතා අවාසනාවන්ත ඉරණමකට මුහුණ දීමට සිදු වනු ඇත.

කොරෝනා පිළිබඳව සමාජය දැනුම්වත් කිරීම් පැය 24 පුරා ක්‍රියාත්මක වුවද කොරෝනා රෝගීන් මෙන්ම ඔවුන් සමඟ කටයුතු කරන රෝහල් කාර්ය මණ්ඩලයද ප්‍රතික්ෂේප කරන අවස්ථා තිබේ. අද වන විට කොරෝනා රෝගීන් සමඟ කටයුතු කරන රෝහල් සේවක සේවිකාවන්ට ඔවුන් වාසය කරන බෝඩිම් සහ කුලී නිවෙස්වලින් ඉවත් වන ලෙස නිවෙස් හිමියන් විසින් දන්වා තිබේ. ඒ බව මහනුවර රෝහලෙහි සේවය කරන හෙද නිලධාරි රවී බණ්ඩාරගේ සටහනෙන් තහවුරු වෙයි.

"මගේ වෘත්තියෙන් මම සත්කාරක සේවයට කැප වී ඉන්නෙ. අපිත් එක්ක එකට වැඩ කරන සමහරු අපිව හෑල්ලු කරනවා. අපි කිසිම වෙලාවක ආරක්ෂිත ඇඳුම් කට්ටල මුහුණු ආවරණ අත්වැසුම් නැතිව රෝග පරිශ්‍රයට ඇතුළු වෙන්නෙ නැහැ. ඒ නිසා කොරෝනා වාට්ටුවේ අය කියලා අපිව හංවඩු ගහන්න එපා. වෙනදා වගේ බයක් නැතිව සම්බන්ධ වෙන්න. කොරෝනා හැදුණත් අපි එළියට එන්නෙ නැහැ. සමාජයට පිළිලයක් වෙන්න එන්නෙ නැහැ. මේ වාට්ටුවේ ඇඳකට වෙලා ඉන්නවා..."

‍කොරෝනා වාට්ටුවේ අය ‍යනුවෙන් සුළු පිරිසක් විසින් ඔවුන්ව කොන් කරනු ලැබුවද සමාජයේ බොහෝ දෙනෙකුගෙන් ඔවුන්ට හිමි වන්නෙ ගෞරව උත්තමාචාරයන් රැසකි. ඒ බව මුහුණු පොතේ තබා ඇති සටහන්වලින් සාක්ෂාත් වේ.

මේ අතරවාරයේදී කොරෝනා ව්‍යාප්තිය සම්බන්ධයෙන් ඉදිරි දින 10 තුළ තීරණාත්මක බව සඳහන් කරන්නෙ රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේය. දැනට හමුවී ඇති කොරෝනා රෝගීන් ඇසුරු කළ අය නිරෝධායනයට ලක් නොවී තවමත් සමාජගත වී සිටින්නේනම් අප්‍රේල් 07 වැනිදා වන විට උච්ච තත්ත්වයට පත්විය හැකි බවට ඔහු අනතුරු අඟවයි.

කෙසේ වුවද කොරෝනා රෝගීන්ගේ සංඛ්‍යාව ඉහළ ගියහොත් ඊට මුහුණ දීමට සෞඛ්‍ය අමාත්‍යාංශය සූදානමින් සිටියි. හෝමාගම මූලික රෝහල, මුල්ලේරියාව මූලික රෝහල, වැලිකන්ද රෝහල, කොතලාවල ආරක්ෂක විද්‍යා පීඨයට අයත් රෝහල, වැලිසර ළය රෝහලේ කොටසක් සහ මාලබේ නෙවිල් ප්‍රනාන්දු රෝහල වෙන්කර තබා ඇත්තේ ඉදිරියේදී ඇතිවිය හැකි අවදානමට සූදානමක් වශයෙනි.

මේ අතරවාරයේදී කොරෝනා රෝගීන්ට විවර නොවී ආරක්ෂාකාරීව පරීක්ෂා කිරීමේ ක්‍රමවේදයක් පාණදුර රෝහලේ වෛද්‍යවරුන් ඇතුළු කාර්ය මණ්ඩලය හඳුන්වා දී තිබීම ද ප්‍රශංසනීය කටයුත්තකි. සැක සහිත රෝගීන් තනිවම කුටියක රඳවා වයිෆයි ඔස්සේ ඩිජිටල් කැමරා උපයෝගී කර ගනිමින් වෛද්‍යවරුන් වෙනත් ස්ථානයක සිට රෝගියා පරීක්ෂා කිරීම මෙහිදී සිදු වේ. මීට අමතරව රෝගීන්ට ප්‍රතිකාර කිරීමේදී අවශ්‍ය වන විශේෂිත හිස් ආවරණ, මුඛ ආවරණ, අත්වැසුම් වැනි ආරක්ෂිත උපකරණ පාණදුර රෝහල් කාර්ය මණ්ඩලය සකස් කරනු ලබයි. අම්පාර රෝහල් කාර්ය මණ්ඩලය තම වියදමෙන් ආරක්ෂිත ඇඳුමක් සකස් කර ඇත. අනුරාධපුර රෝහලේ වෛද්‍යවරුන් අඩු වියදමින් ආරක්ෂිත ඇඳුමක් නිපදවා තිබේ.

අවදානමට පෙර සූදානම ඉතා අගනේය. එහෙත් රෝහල් ධාරිතාව ගැනද අප සැලකිලිමත් විය යුතුය. දිනකට රෝහල් කරා පැමිණෙන රෝගීන්ගේ උපරීමයක් තිබේ. මෙම උපරීමය ඉක්මවා රෝගීන් පැමිණි විට රෝහල් කාර්යය මණ්ඩලයට ඔවුන් කෙරෙහි දැක්විය යුතු සැලකිල්ල ගිලිහී යන අතර එය රෝහල් ධාරිතාව ඉක්මවා යෑමක් ලෙස හැඳින්වේ. ඉතාලියට මුහුණදීමට සිදු වූයේද එයයි. එවැනි ශෝචනීය තත්ත්වයක් ඇති නොවීමට වග බලා ගැනීම රටේ ජනතාවගේ වගකීමකි.

 

 

Comments