කොරෝනා වළක්වන‍ හමුදාවේ නොනිමි මෙහෙය | සිළුමිණ

කොරෝනා වළක්වන‍ හමුදාවේ නොනිමි මෙහෙය

ත්‍රස්තවාදී යුද්ධය පැවැති සමයේ දී අපේ හමුදාවන්ට කිසිදු විවේකයක් තිබුණේ නැත. ආහාරයක් ගැනීමට පවා වේලාවක් නොවීය. දවසේ පැය 24ම එක දිගට අවිය අතට ගත් ගමන්ය. දින 7ක් 8ක් එකම ඇඳුම ඇඳගත් ගමන්ය. එදා ඒ ලෙසින් ඔවුන් දිවි දෙවෙනි කොට සටන් වැදුණේ රටත් ජාතියත් ආගමත් ත්‍රස්තවාදීන්ගෙන් රැක ගැන්මටය.

 

ත්‍රස්තවාදියා ඇතැම් විට පෙනෙන්නටත් ඇතැම් විට නොපෙනෙන්නටත් ප්‍රහාර එල්ල කරන ලදී. එහෙත් අද අපට එවැනිම සටනක් කරන්නට ඇත්තේ කිසිඳු විටක පියවි ඇසට නොපෙනෙන ත්‍රස්තවාදයක් සමඟය. ඒ කොරෝනා ත්‍රස්තවාදියාත් සමඟය. ඒ සටන දෙන්නට සිදුව ඇත්තේ අපට පමණක් නොවේ. සමස්ත ලෝකයටම ඒ සටන ලබා දෙන්නට සිදුව ඇත.

අපේ රටේ ඒ සටනේ ප්‍රධාන නියමුවන් ලෙස කටයුතු කරන කණ්ඩායම් දෙකක් වන්නේ සෞඛ්‍ය අංශ හා ආරක්ෂක අංශයි.

බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් සාරා හල්ටන් ‘කොවීඩ් - 19 පැතීරී යෑම වැළැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානයේ 
ප්‍රධානී සහ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී  යුද්ධ හමුදාධිපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වාට ප්‍රශසා කළ අවස්ථාව.

ආරක්ෂක අංශ මේ වන විට සිදු කරන්නා වූ ඒ මෙහෙය අපි ඉහළින්ම අගය කළ යුතුය. පුවත් පතේ පිටුවකින් ඒ අගය ලියා නිම කළ නොහැකි වුවත් ඒ ගැන මෙසේ හෝ සටහනක් තැබිය යුතුය.

ලොව පුරා ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වූ කොරෝනා හෙවත් කොවිඩ් -19 වසංගතය මේ වන විට ලෝකයේ රටවල් 197කම ප්‍රධාන ආපදාව බවට පත්ව ඇත.

මේ වසංගත රෝගී තත්ත්වය ඇරැඹීමට පෙර වූහාන් ප්‍රදේශයේ සිර වී සිටි ශ්‍රී ලාංකික සිසුන් ඇතුළු 33 දෙනකු මෙරටට ආරක්ෂිතව ගෙන්වා ඔවුන් නිරෝධායනයට ලක් කර සමාජගත කිරීමේ ප්‍රධාන කාර්යයට උර දුන්නේ ගුවන් හමුදාව සහ යුද හමුදාවයි. චීනයට ගොස් එම කණ්ඩායම රැගෙන ඒමට ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ සහායද නොඅඩුව ලැබුණි.

කෙසේ හෝ පැමිණෙන ඕනෑම හදිසි තත්ත්වයකට මුහුණ දීමට හැකිවන පරිදි ශ්‍රී ලංකාවේ ආරක්ෂක හමුදාවන් සූදානම් ය. එම නිසා කොරෝනා හෙවත් කොවිඩ් - 19 ව්‍යාප්තිය මර්දනය කිරීම පිණිස ‘කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය‘ පසුගියදා ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි ස්ථාපිත කරන ලදී. එහි ප්‍රධානී ලෙස පත් කරන ලද්දේ වැඩබලන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී හා යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වාය. එම මධ්‍යස්ථානයේ අවශ්‍ය ඉදිරි සියලුම කටයුතු සිදු කිරීමට ඔහුගේ උපදෙස් පරිදි ත්‍රිවිධ හමුදාවම සූදානමින් සිටින අතර අවශ්‍ය සියලු ක්‍රියාන්විතයන් මේ වන විට සිදු කරමින් පවතී.

විදෙස් ගතව සිට පැමිණි සියලුම දෙස් විදෙස් ගුවන් මගීන් පළමුවෙන්ම යොමු වූයේ ගුවන් හමුදාව වෙතය. එහි දී පැමිණෙන සියලු ගුවන් මගීන් නිරෝධායනයට ලක් කිරීමේ අවශ්‍ය මූලික කාර්යයන් සියල්ල සිදු කළ පසුව ඔවුන් නිරෝධායන මධ්‍යස්ථාන කරා ගෙන යාමට ශ්‍රී ලංකා යුද හමුදාව විසින් කටයුතු කරන ලදී. නිරෝධායන මධ්‍යස්ථාන කරා ඔවුන් රැගෙන යාමෙන් පසු සෙසු නිරෝධායන කටයුතු සිදු කිරීම ආරම්භ කරන ලදී. යුද හමුදාව විසින් පළමුව එම පිරිස් නිරෝධායන මධ්‍යස්ථානයක් වෙත යොමු කිරීම කරන ලබන්නේ ද අදාළ වෛද්‍ය උපදෙස් මතය. ගුවන් තොටුපොළේ සිට නිරෝධායන මධ්‍යස්ථාන කරා එම පිරිස් රැගෙන යාමද සුළුපටු කාර්යයක් නොවීය.

ඒ යන අතර මඟ දී ඔවුන්ට වැසිකිළි අවශ්‍යතා සපයා දිය යුතුය. එය සිදු කළ යුත්තේද අවට පරිසරයට රෝගබීජ නිරාවරණය නොවන පරිදිය. ආහාර පාන අතර මඟ දී ලබා දිය යුතුය.

ඒ පිරිස් රැගෙන යාමේ දී හා ඔවුන් හා සම්බන්ධව කටයුතු කිරීමේ දී ත්‍රිවිධ හමුදාවම කරනු ලැබුවේ දැඩි කැපවීමකි. යුද්ධය පැවැති සමයේ මෙන් ඔවුන්ට ගෙදර ගොස් නිවාඩු ගත කළ නොහැකි තත්ත්වයක් උදා වී ඇත. ගෙවෙන හැම තත්ත්පරයක්ම ජන ජීවිත වෙනුවෙන් කැප කළ යුතුය.

ගුවන් හමුදාව විසින් IDH රෝහලේ නව ගොඩනැගිල්ල ඉදිකරමින්

එම ස්ථානවල සිටින හමුදා සෙබළුන් මේ දිනවල බොහෝ විට ආසන ගන්නේ ගසක් යට සිටය. ඒ තරමට ඔවුන්ට රාජකාරි අධිකය. මේ කැපවීම හමුදා නිලධාරීන්ට පවා ගෙවන්නට සිදුව ඇත ත්‍රිවිධ හමුදාපතිවරුන්ගේ සිට සෙසු සියලු නිලධාරීන් ද මේ දිනවල මේ අයුරින් දැඩි කැපවීමෙන් කටයුතු කරති.

යුද සමයේ ලත් අත්දැකීම් මත අද ඔවුන් විසින් මේ කැපවීම සිදු කරති. පැය 24ම මේ කාර්යයයේ ඔවුහු නියැළී සිටිති.

යුද හමුදාපතිවරයාත් නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතාත් දිනපතාම මාධ්‍යයට නවතම තත්ත්වය ප්‍රකාශ කරන්නේ දහසක් කාර්යයන් මධ්‍යයේය.

චීනයේ වූහාන්හි සිරවී සිට රැගෙන ආ සරසවි සිසුන් වෙනුවෙන් දියතලාවේ නිරෝධායන මධ්‍යස්ථානය ඉදි කරනු ලැබුවේ පැය 48ක කාලයක් තුළය. ඒ අපේ යුද හමුදාවේ කැපවීමය. එමෙන්ම මේ වන විට ගුවන් හමුදාවත අයිඩීඑච් රෝහලේ තවත් ගොඩනැගිලි දෙකක් ඉදිකිරීමට කටයුතු කර ඇති අතර දැන් එහි වැඩ කටයුතු 90%ක් පමණ අවසන් කර ඇත. එසේම වැලිකන්දේ නව රෝහලක්ද ආසාදිත රෝගීන් වෙනුවෙන් ඉදි කරන ලද්දේ රෝගීන් සංඛ්‍යාව වැඩි වුවහොත් හදිසි අවස්ථාවකට මුහුණ දීම පිණිසය.

ඒ සියල්ලටම වඩා ඔවුන්ගේ ඉවසීමෙන් යුතුව වැඩ කිරීම ගැන අප පැසසිය යුතුය. විදෙස් ගතව සිටි පැමිණ නිරෝධායනය පිණිස යාමට අකමැති වූ පිරිස් හමුදා භටයන්ට පහර දුන්හ. හමුදා රියැදුරකුගේ බෙල්ල මිරිකා ඔහුට තුවාල සිදු කරන ලදී. යුද හමුදා සෙබළකුගේ පුහුණුව අනුව ඒ බෙල්ල මිරිකන ලද තැනැත්තාට අනෙක් පසට හැරී ‘බෙල්ල අතේ අරගෙන යන්නට‘ පහර දෙන්නට හැකියාව ඇත. එහෙත් විනයගරුක හමුදාවක් ලෙසින් හා ආදර්ශවත් ලෙසින් ඔවුන් කටයුතු කෙළේ ඒ තැනැත්තාට වචනයකින් හෝ නොදොඩා අපට පමණක් නොව ලෝකයටම ආදර්ශයක් දෙමිනි.

බූස්ස ඉදි කළ සිවුමහල් නිරෝධායන මධ්‍යස්ථානයේ සිටින නාවික නිලධාරීන් හා සෙසු නිලයන්ට පුහුණුව ලබා දුන්නේ කරාපිටිය රෝහලේ දී සීමිත කාල සීමාවකදීය. ඒ අවස්ථාවේ නාවික නිලධාරීන් හා සෙසු නිලයන් දිවා රාත්‍රී නොබලා එම පුහුණුවේ නිරත වූ අතර ආහාර පාන ලබා ගැනීම් මෙන්ම අනෙක් මානුෂීය අවශ්‍යතා පවා පසෙකලමින් ඔවුහු මේ ඇප කැපවීම් සිදු කරති.

ඒ කැපවීම අප රැක ගැන්මටය. පොලිස් හා සිවිල් ආරක්ෂක මෙන්ම විශේෂ කාර්ය බළකායන්ගේ තත්ත්වයද මෙසේමය. ඒ කැපවීම් සියල්ල මුදලට කරනු ලබන තවත් රැකියාවක් නොවන බව නම් අප සිත්හි තබා ගත යුතුය.මේ රණවිරුවන්ට ජාතියේම ප්‍රණාමය යළිත් අප පුදකළ යුතුය. නමුත් අවාසනාව වී ඇත්තේ අප බොහෝ දෙනකුට ඔවුන් මතක් වන්නෙ ගංවතුර ගැලූ විට නාය ගිය විට වැනි ස්වභාවික ආපදාවල දී වීමයි. මේ කැපවී කරනු ලබන සේවාවන් ගැන ඒ ගැන උදම් අනන්නේ ඔවුනට නිසි ගෞරවය ලබා දෙන්නේ අතළොස්සක් වීම නම් කනගාටුදායකය

නිරෝධායන මධ්‍යස්ථානයේ දී යුද හමුදා නිලධාරීන් සෙසු නිලයන් මෙන්ම වෛද්‍ය නිලධාරීහුද මේ කටයුතු වෙනුවෙන් දිවා රෑ නොබලා කටයුතු කරති.

කළුබෝවිල රෝහල නාවික හමුදාව විෂබීජහරණය කරමින්

නිරෝධායනයට ලක් කෙරෙන පුද්ගලයන් දින 14ක්ම අදාළ නිරෝධායන මධ්‍යස්ථානයේ රැ දී සිටිය යුතුය. රෝගය වෙනත් අය කරා පැතිර නොයන ලෙසින් ඔවුන්ට අවශ්‍ය පහසුකම් මෙන්ම උපදෙස් ලබා දීමට ද එහි දී කටයුතු කරනු ලැබේ. මේ වන විට නිරෝධායන මධ්‍යස්ථානවල සිටි 450කට ආසන්න පිරිසක් නිරෝධායනය අවසන් කර නිවෙස් කරා පිටත්ව ගොස් ඇත. ඒ පිටත්ව යන අයට වුවද ඉදිරි කාලයේ නිවසේ සිට ගත කළ යුතු ආකාරය ගැන දැනුවත් කර තිබේ.

ඒ සියල්ල කරනු ලබන්නේ යුද හමුදාවේ වෛද්‍යවරුන් විසිනි. මේ වන විට එම වෛද්‍යවරුන් පමණක් නොව යුද හමුදා වෛද්‍ය බළකායද දිවා රෑ නොමැතිව වෙහෙස වී සියලු කාර්යයන්හි නිරත වෙති.

සියලු නේවාසික නිරෝධායනකරුවන්ට අතුරු පස ඇතුළු සියලු ආහාර පාන නොමිලේ නොමිලේ හිමි වන අතර, අත් සනීපාරක්‍ෂක ද්‍රව්‍ය, අන්තර්ජාල සඳාහා ‘වයිෆයි‘ පහසුකම්, රූපවාහිනී, ජල පිරිපහදු ඒකක, විදුලි පංකා, රෙදි සෝදන යන්ත්‍ර, තුවා රාක්ක, ශීතකරණ, පුවත්පත් ඇතුළු අවශ්‍ය සියල්ල සපයනු ලැබේ. එමෙන්ම කුඩා දරුවන්ට හා ගර්භනී මවුවරුන් සඳහා විශේෂ ආහාර පිස ලබා දීමේ කටයුතු ද සපයා ඇත.

ඔවුන්ට නොලැබෙන එකම දෙය නම් නිරෝධායන මධ්‍යස්ථානයෙන් එළියට ගොස් වෙනත් පුද්ගලයන් හ ගැවසීමට ඉඩ නොලැබීමයි. ඔවුහු දින 14ම එහි නේවාසිකව නිරෝධානය විය යුතුමය.

මේ බොහෝ පහසුකම් ලබා දෙන්නේ හමුදාවේ නිලධාරීන් හා සෙසු නිලයන් පහසුකම් අඩු මට්ටමක තබා ගෙනය. ඒ කැපවීම අතිඋදාරය. තමන්ගේ වර ප්‍රසාද තමන්ගේ ආහාර වේල පවා පරිත්‍යාග කරමින් ඔවුන් ලබා දෙන සේවාව අතිවිශිෂ්ටය.

මානුෂීය මෙහෙයුමේ දී ඇවිදීමට අපහසු වූ කාන්තාවක් ඔසවාගෙන යන අයුරු අපේ ඡායාරූප ශිල්පී රුක්මල් ගමගේ විසින් කැමරාවට අසු කර ගත්තේය. එය ලොව පුරා මාධ්‍යයන්හි ප්‍රචාරය විය.

එදා ඒ කැපවීම කළ හමුදාවෝ අදද ඒ මතකය අලුත් කළහ. තම ජීවිත අවදානම පවා නොතකා ඔවුහු මේ කාර්යයයේ නියැළෙති.

ඒ සඳහා ත්‍රිවිධ හමුදාව විසින් මේ වන විට නිරෝධායන මධ්‍යස්ථාන 22ක් ස්ථාපිත කර ඇත.

නිරෝධායන කණ්ඩායමක් කන්දකාඩු මධ්‍යස්ථානයෙන්  පිටත්ව යාමට සූදානමින්

ඒ නිරෝධායන මධ්‍යස්ථාන 16න් වැඩි ප්‍රමාණයක් නැ‍ඟෙනහිර පළාතට වන්නට ස්ථාපිත කර තිබේ. වැඩිම පිරිසක් රැදවිය හැකි නිරෝධායන මධ්‍යස්ථානය පිහිටා ඇත්තෙ රන්ටැඹේය. එහි ඇති මධ්‍යස්ථාන දෙකෙහි 1000ක් හා අනෙක් 200ක් ලෙසින් නිරෝධානයනට ලක් කළ හැකිය.

එමෙන්ම යුද හමුදාවත් නාවික හමුදාවත් ගුවන් හමුදාවත් එක්ම මේ වන විට රෝගය ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහාද පියවර රැසක් ගෙන තිබේ.

ඒ යටතේ ශ්‍රී ලංකා නාවික හමුදාව හා ගුවන් හමුදාව විසින් දුම්රිය ස්ථාන බස් නැවතුම්පොළ මෙන්ම මහජනයා වැඩි වශයෙන් ගැවසෙන ස්ථාන විෂබීජ හරණ කටයුතු සිදු කරමින් පවතී.

නාවික හමුදාවේ රසායනික, ජීව විද්‍යාත්මක, විකිරණ හා න්‍යෂ්ටික හදිසි ප්‍රතිචාර දැක්වීම පිළිබඳ ඒකකයේ මූලිකත්වයෙන් එම කටයුතු සිදු කරන ලදි.

එසේම ‘කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය මඟින් ලබා දෙන අනෙක් සියලු උපදෙස් අනුව රෝග ව්‍යාප්තිය පාලනය කිරීමට අවශ්‍ය කටයුතු සිදු කිරීමට ශ්‍රී ලංකා නාවික හමුදාව කටයුතු කරමින් සිටී. නාවික හමුදාපති වයිස් අද්මිරාල් පියල්ද සිල්වා ගේ උපදෙස් පරිදි මේ සියලු කටයුතු සිදු කෙරෙන බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ලුතිනන් කමාන්ඩර් ඉසුරු සූරිය බණ්ඩාර පෙන්වා දෙයි.

එසේම ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුමංගල ඩයස් ගේ උපදෙසින් මේ වන විට දිවයින පුරා ස්ථාපිත ගුවන් හමුදා කඳවුරු 28න් අත්‍යවශ්‍ය රාජකාරි කටයුතු සඳහා අවශ්‍ය නිලධාරීන් හා සෙසු නිලයන් හැරෙන්නට අනෙක් සියලුම නිලධාරීන් හා සෙසු නිලයන් කොරෝනා ව්‍යාප්ති මර්දන කාර්යයන්ට යෙදවීමට සූදානමින් සිටී.

ගුවන් හමුදාව විසින් මේ වන විට එකවර 12 දෙනකු ගෙන හා හැකි ලෙසින් එම් අයි 17 හෙලිකොප්ටරයක් ගිලන් ගුවන් යානවක් ලෙසින් නිර්මාන්‍ය කර ඇත. එය නිර්මාණය කරන ලද්දෙච් අංක 6 හෙලිකොප්පර් ඉලඝණය විසිනි. එය මෙරට ඉදි කළ පළමු ගිලන් හෙලිකොප්ටරයයි.

විශේෂයෙන්ම ‘කොවිඩ් - 19’ වයිරසය පැතිරීම පාලනය පිණිස හා ඊට එරෙහිව අවශ්‍ය සියලු පියවර ගැනීමට, අවශ්‍ය තොරතුරු ඒකරාශී කිරීම, හා සියලු කාර්යයන් කඩිනම් කිරීම සහ ක්‍රියාත්මක කිරීම සඳහා රාජගිරියේ ස්ථාපිත කොවිඩ් - 19 පැතිරිම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පුළුල් මෙහෙවරක් සිදු කරයි. හමුදාවේ මෙන්ම සෞඛ්‍ය අංශවලද මැදිහත්වීම මත මේ මෙහෙයුම් කටයුතු සිදු කෙරේ.

නාවික හමුදාව විසින් යාපනය රෝහලේ විෂබීජ හරණ කටයුතු සිදු කරමින්

කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය විසින්ද මේ වන විට මේ කටයුතු සඳහා උපරිම දායකත්වය ලබා දී තිබේ. එහි වෛද්‍ය කණ්ඩායම්ද මේ කටයුත්ත සඳහා වේලාව අවේලාව නොබලා දායකත්වය ලබා දෙමින් සිටිති.

එසේම මේ වන විට මේ කටයුතුවලට සහාය ලබා දෙන්නට විශේෂ කාර්ය බළකාය සහ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවද සූදානමින් සිටී. විශේෂයෙන්ම සිවිල් ආරක්ෂක බළකා දෙපාර්තමේන්තුවේ 40000ක පිරිසක් සූදානමින් කර ඇත.

මේ වන විට ක්‍රියාත්මක කොවිඩ් - 19 නිරෝධායන ක්‍රියාවලිය, පිළිබඳ බ්‍රිතාන්‍ය ජාතිකයින්ගේ තත්ත්වය, සම්ප්‍රේෂණය වැළැක්වීම සඳහා ගෙන ඇති ක්‍රියාමාර්ගයන් සහ වැළැක්වීමේ වැඩපිළිවෙල පිළිබඳ කරුණු වීමසීමේ අරමුණින් ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් සාරා හල්ටන් (HE Sarah Hulton) මහත්මිය ඉකුත් බදාදා (25) දින යුද්ධ හමුදා මූලස්ථානයේ දී කොවීඩ් - 19 පැතීරී යෑම වැළැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානයේ ප්‍රධානී සහ ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී මෙන්ම යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා හමුවී සාකච්ඡා කරන ලදී. එහි දී බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් තුමිය ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය බලධාරීන්, ඖෂධ, වෛද්‍ය උපාංග ආදියෙහි අවශ්‍යතා පිළිබඳ කරුණු විමසමින් දෙරටේ සිටින වෛද්‍ය විශේෂඥයින් හුවමාරු කර ගනිමින් මෙම ගෝලීය තර්ජනයට මුහුණ දීමේ වැදගත්කම පිළිබද අවධාරණය කළ අතර ආරක්ෂක අංශ සෞඛ්‍ය අංශ ඇතුළු රය විසින් ගෙන ඇති ක්‍රියා මාර්ග ගැනක ප්‍රශංසා කරන ලදී.

ලෝකයේ සුපිරි බලවතුන්ගෙන් සමන්විත හමුදාවන් සිටියද ශ්‍රී ලංකාව විසින් ගෙන ඇති මෙ ක්‍රියාමාර්ගය ගැන ලොවම බලා සිටිති. විදෙස් ගතව පැමිණි පිරිස් තම යුතුකම නිසි ලෙසින් ඉටු කෙළේ නම් අපට මේ ආසාදිතයන් සංඛ්‍යාව හෝ බෙහෝ දුරට අඩු කර ගන්නට තිබුණි.

Comments