කොරෝනා නිසා වෙන්ටිලේටරයට තල්ලු වන ලෝක ආර්ථිකය | Page 2 | සිළුමිණ

කොරෝනා නිසා වෙන්ටිලේටරයට තල්ලු වන ලෝක ආර්ථිකය

හැට නොපෙනන ක්ෂුද්‍ර වයිරසයක් විසින් අද ලෝකයම “අගුළු “ දමනු ලැබ ඇත. මේ නිසා ලෝකයම සිටිනුයේ සාම්ප්‍රදායික ආර්ථික රාමු‍වේ අති බිහිසුණුම තැනකය. තවමත් මෙයින් සිදුවන ආර්ථික විනාශය ගැන ආර්ථික විශේෂඥයන්ට ගණන් මිනුම් බැලිය නොහැක්කේ මෙය කවදා කොයි මොහොත් නිමාවට පත් කළ හැකි දැයි සෞඛ්‍ය විශේෂඥයන් පුරෝකථනය කර නොමැති නිසාය. එය තීරණය වන්නේ අප හැමෝම පුද්ගලයින් ලෙස සමාජයක් ලෙස හෝ රටවල් ලෙස ගන්නා ක්‍රියාමාර්ග මත පමණක් බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවා ප්‍රකාශ කරයි.

මේ වනවිට දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 10කට ආසන්න මුදලක් සෞඛ්‍ය සේවා වෙනුවෙන් කරන ලෝකයේ පොහොසතුන්ගේ රටවල් ලෙස සැලකෙන ඉතාලිය , ස්පාඤ්ඤය වැනි රටවල් මේ වනවිට කිසිවක් කර කියා ගත නොහැකි තත්වයට පත් වී ඇත. දිනකට මිලියන ගණනක් වූ ලෝක ගුවන් ගමන් මේ වනවිට සිය ගණනකට සීමා වී ඇත. අපට ශ්‍රි ලංකාවේ එකොණ මෙකොණ තබා දිස්ත්‍රික්කයකින් දිස්ත්‍රික්කයකටවත් යා නොහැකිය. දිස්ත්‍රික් මායිමේ සිටින ‍කෙනකුට ඇතැම් විට අල්ලපු ගමටවත් යා නොහැකි ලෙස මේ වනවිට ලෝකය අගුලු වැටී ඇත. ගෙදර ඉඳන් වැඩ කරන්නැයි කීවද මේ වැඩවල අවසන් අරමුණ කොතනදැයි සේවකයන්වත් ඒ ස්වාමීන්වත් නොදන්නා සේය.

මේ දරුණු තත්ත්වය ගැන ලෝකයේ ප්‍රමුඛ පෙළේ ආර්ථික විද්‍යාඥයන් අතර පුළුල් සංවිධානයක් ඇතිවෙමින් පවතී. ඔවුන් සමාජයීය වශයෙන් සේම ශාරීරික වශයෙන් දුරස්ථභාවය තබාගෙන අන්තර්ජාලය භාවිත කරමින් මෙම අර්බුදයේ ආර්ථික මුහුණුවර සෞඛ්‍ය සම්පන්න කරවීම සඳහා කළ යුතු සහ කළ හැකි දේ ගැන කතා කරති. පසුගියදා ලෝකයේ ප්‍රමුඛ පෙළේ හතළිස් දෙනකු තම අදහස් දක්වමින් ඉ පොතකට (Mitigating the Covid19 Economic crisis –Act fast and do whatever it takes) පෙළ ගස්වා ඇත. යුරෝපයට වැඩි සම්බන්ධයක් ඇති ආර්ථික විද්වතුන් වුවද ඔවුන් මේ අර්බුදයේ ගෝලීය මුහුණුවර ගැන එයින් අදහස් දක්වා ඇත. මේ හතළිස් දෙනා තුළ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රධාන ආර්ථික විද්‍යාඥ ගීතා ගෝපිනාත් සහ හිටපු ඇමෙරිකානු ජනපති බැරක් ඔබාමාගේ ආර්ථික උපදේශක ජේසන් ෆර්මන් ද වෙයි. ඔවුන් සියලු දෙනාම අවධාරණය කරන පොදු කරුණක් වන්නේ සෑම රජයක්ම තමන්ට හැකි ඉක්මනින් හැකි උපරිමය සිදු කිරීමට පියවර ගත යුතු බවය.

මෑත ඉතිහාසයේ වෛද්‍ය විද්‍යාත්මක මෙන්ම ආර්ථික විද්‍යාත්මක ව විසල් අභියෝගයක් වන කොවිඩ් 19 වසංගතය ගැන මෙම ආර්ථික විද්‍යා විද්වතුන් අතර සිටින ඇමෙරිකාවේ කැලිෆෝනියා සරසවියේ ආර්ථික විද්‍යාඥ පියරේ ඔලියිවර් ගොරීන්චාස් පවසන්නේ එක් අතකින් රෝග වසංගතය මර්දනය කිරීමට වෛද්‍ය අංශ දැඩි ප්‍රතිඵල ගන්නා තරමට අනෙක් පැත්තෙන් ආර්ථික අර්බුදයේ බලපෑම දැඩි වන බවය. ගෙදර ඉඳන් වැඩ කරන්නැයි කිවද එය ඉතා සුළු ශ්‍රම බලකායට හැරෙන්නට රටක ඵලදායී බවට සැලකිය යුතු දායකත්වයක් ලැබෙන්නේ නැත. එසේම ලෝකයේ නිෂ්පාදන සහ සැපයුම් දාමයේ ප්‍රබල තැනෙක හිඳින චීනය සිටිනුයේ ද දැඩි අකර්මණ්‍ය තත්ත්වයකය. ලෝකය යළිත් ආර්ථික එන්ජිම යළි පණ ගන්වන්නට පටන් ගන්නේ මේ ගැටලුව නිරාකරණය වූ බවට වෛද්‍ය අංශ මඟින් “ කොළ එළිය“ දැල්වීමෙන් පසුවය.එතෙක් අපට සිටින්නට වන්නේ ආර්ථිකයටද අගුළු දමාගෙනය.

මේ තත්ත්වය තුළ කෙසේ වුවද කොරෝනා හමුවේ දැඩි සත්කාර ඒකක, වෙන්ටිලේටර් ආදිය ක්‍රියාත්මක වන්නා සේ රටක මූල්‍ය ප්‍රතිපත්තිය නිසි ලෙස හැසිරවීමෙන් මෙයින් අතිව තිබෙන ආර්ථිකමය ආසාදනය සුවපත් කළ හැකි බවය. ඔවුන් පවසන්නේ ආර්ථිකයටද වෙන්ටිලේටර අවශ්‍ය බවය. එවැනි දැඩි අවධානයකින් ආර්ථික අර්බුදයට ප්‍රතිකාර කළ යුතු බවය.

මේ අටකොණ පැටලැවුණු ආර්ථික අවුල පැහැදිලි කිරිම සඳහා එය මූලික වශයෙන් බඳුන් තුනකට බහාලිය යුතු බව පවසන්නේ ස්විට්සර්ලන්තයේ ජිනීවා හි ආර්ථික උපාධි ආයතනයේ රිචඩ් බොල්ඩ්වින් සහ බියට්‍රිස් විඩර් ඩිමෝරෝ යන ආර්ථික විද්‍යාඥයින් දෙපළය.

ඔවුන් දකින ආකාරයට පළමු බඳුන වන්නේ සෞඛ්‍යමය කම්පනයයි. රටේ ලෝකයේ ආර්ථිකයට දායකත්වය ලබා දෙන්නන් ලෙඩ ඇඳට වැටීමෙන් ආර්ථිකයට සෞඛ්‍යමය කම්පනයක් එල්ල වෙයි.

දෙවන බඳුන වන්නේ වසංගතය මර්දනය කිරීම වෙනුවෙන් ගන්නා පියවර හේතුවෙන් එල්ල වන ආර්ථිකමය කම්පනයයි.

තුන්වැනි බඳුනට ඔවුන් බහාලන්නේ වර්තමානයේ සිදුවේගෙන යන දේවල් නිසා අනාගතයේදී එල්ල විය හැකි ආර්ථිකමය කම්පනයන්ය.

ඔවුන් පොදුවේ පවසන්නේ ගැඹුරු කල් පවතින අර්බුදවලින් ගිලීමේ පියවර අතර මූලික වන්නේ එක් එක් පුද්ගලයන් සහ ආයතන එහි වගකීම සම්පූර්ණයෙන් පවතින්නේ එක් එක් රජයයන්ට බව ඔහු පවසයි. විශේෂයෙන් ජනතාව වෙත ප්‍රමාණවත් තරම් සෞඛ්‍ය සහ වෛද්‍ය පහසුකම් ජනතාව වෙත ලබා දීම, ඊට අදාල යටිතල පහසුකම් ලබා දීම අත්‍යවශ්‍ය වන අතර ජනතාව ඵලදායී කාර්යයක නිරත වුවද නොවූවද ඔවුන්ගේ එදිනෙදා අවශ්‍යතා සඳහා වියදම් කිරීමට අවශ්‍ය මුදල් ඔවුන් සතු කිරීමද ආණ්ඩුවල වගකීමක් විය යුතු බව මෙම ආර්ථික විද්‍යා විද්වතුන් අතර සිටින ඇල්බර්ටෝ අලෙසිනා සහ ෆ්‍රැන්සිස්කෝ ගවාසි යන ආර්ථික විද්‍යාඥ දෙපළ පවසති. ඔවුන් පවසන්නේ ඉරී යන ආර්ථිකමය පටලයේ හානිය අවම කිරීමට වේගයෙන් ක්‍රියා කළ යුතු බවය.

“ මෙම වසංගතය මර්දනය කිරීමට වෛද්‍ය අංශ ශක්තිමත් වේවි. ඔවුන් කෙසේ හෝ මේ වසංගතය පාලනය කරනු ඇත. ළඟදීම ඊට එරෙහිව ක්‍රියා කරන ඖෂධයක්ද හඳුන්වා දෙනු ඇත. එසේ වුවද මෙයින් ඇති වන ආර්ථික කැළල හිතන තරම් ලේසියෙන් සුවපත් වන්නේ නැත. එය ලෝකයට මහත් අර්බුදයක් වනු ඇත. මේ නිසා කළ යුතු හොඳම පියවර ජනතාව බංකොලොත් නොවීම ට ගත යුතු සෑම පියවරක්ම ගැනීමයි“ මේ පොත සංස්කරණය කිරීමට දායක වූ බොල්ඩ්වින් , ඩිමෝරෝ ආර්ථික විද්‍යාඥ දෙපළ තම පූර්විකාවේ අවධාරණය කර ඇත්තේ එම කරුණයි. ඒ අනුව ඔවුන් පවසන්නේ වෛද්‍ය ප්‍රජාව රෝගයට එරෙහි ව සියලු පියවර ගනිද්දී ආර්ථිකය රැක ගැනීමට තමන් සතු ව පවතින ලොකුම කාලතුවක්කුව එළියට ඇද ගැනීමට පියවර ගත යුතු බවය. එයම අවධාරණය කරන අයර්ලන්ත මහ බැංකුවේ හිටපු අධිපති මාරියෝ ඩ්‍රාගි පවසන්නේ මේ මොහොතේ ලෝකයේ සෑම රටකම ආර්ථිකය මෙහෙයවන්නන් ආර්ථිකය අඩපණ නොවීමට ගත යුතු සෑම පියවරක්ම ගත යුතු බවය. ඔහුට අනුව මෙවර එන අර්බුදය රටක එක සමාගමක් දෙකක් බංකොළොත් වී සේවකයන් දෙතුන් දහසක් පාරට වැටීම වැනි දෙයක් නොවිය හැකි බවය. ලෝකයේම ජනතාව වියදම් කිරීමේ සහ පරිභෝජනය කිරීමෙන් බැහැර වනතාක් ආර්ථික යාන්ත්‍රණය අකර්මණ්‍ය වන බවය. ඔහුද පෙන්වා දේන්නේ මූලික වශයෙන් ජනතාව ආර්ථිකමය වශයෙන් අඩපණ නොකිරීමට ක්‍රියා කළ යුතු බවය.

ජේසන් ෆර්මන් යනු ඇමෙරිකාවේ හිටපු ජනාධිපති බැරක් ඔබාමාගේ අර්ථික උපදේශකවරයාය. 2008 ආර්ථික අර්බුදය ඇමෙරිකාවට තදින් දැනුණු අවස්ථාවේදී ගත් ක්‍රියාමාර්ග සම්බන්ධ අත්දැකීම්ද ඇති ෆර්මන් පවසන්නේ මේ මොහොතේ කළ හැකි සියල්ල හැකි පමණින් නොව හැකි පමණටත් වඩා කළ යුතු බවය. ඔහුගේ අවවාදය ද මූලික කරුණු සයකින් සමන්විත වන අතර එහි මුලින්ම ඔහු සඳහන් කරන්නේ එයයි. ඔහුගේ එම ප්‍රකාශයෙන්ම මෙහි බරපතලකම අවබෝධ කර ගත හැකිය. මේ සඳහා රටේ මූල්‍ය ප්‍රතිපත්ති, මුදල් පිලිබඳ ප්‍රතිපත්ති මූල්‍ය රෙගුලාසි සම්බන්ධ ප්‍රතිපත්ති, සමාජ ආරක්ෂණ ප්‍රතිපත්ති, කර්මාන්ත සම්බන්ධ ප්‍රතිපත්ති සේම වෙළෙඳ සහ වානිජ කටයුතු සම්බන්ධ ප්‍රතිපත්තිද වෙනස් කළ යුතු වනු ඇති බවය.

ජිනීවා හි ආර්ථික විද්‍යා අධ්‍යයන ආයතනයේ සම්මානිත මාහාචාර්ය චාල්ස් වයිප්ලොස් පෙන්වා දෙන කරුණක් වන්නේ ඇතැම් ආර්ථික ප්‍රවාහනයන් තුළ අනපේක්ෂිත තදබදයක් සිර වීමක් මෙවැනි තත්ත්ව තුළ සිදුවන බවය. මේ මොහොතේ බොහෝ රටවල මුහුණු ආවාරණ සහ විෂබීජ නාශක දියර සම්බන්ධයෙන් ඇත්තේ දැවැන්ත ඉල්ලුමකි. මේ නිසා ඇතැම් ඉන්දියාව වැනි රටවල මෙවැනි නිෂ්පාදකයන්ට මේ වන විට අපනයන තහනම් කර ඇත. අනෙක් අතට ඇතැම් මුහුණු ආවරණ නිෂ්පාදකයන්ට අමුද්‍රව්‍ය ලබා ගැනීමේ ගැටලු පැන නැගී ඇත. රෝගීන් එන්න එන්නම වැඩිවීමෙන් වෛද්‍ය රක්ෂණයන්හී ඉල්ලුම දැඩි ලෙස ඉහළ ගොස් ඇත.මෙවැනි ආර්ථික ප්‍රවාහ බෝතල් කට තුළ සිරවීම වැළැක්වීමට ද අභියෝගයක් බව ඔහු පෙන්වා දෙයි. කෙසේ වුවද රෝගය පාලනයට අනුගමනය කරන දැඩි සෞඛ්‍යමය ක්‍රමවේද අතරේ ආර්ථිකය වෙනුවෙන් කරන්නට හැකි හැම දෙයක්ම කළහොත් ඊට බරපතල ලබා ගත හැකි බව ඔහු විශ්වාස කරයි.

ආර්ථික විද්‍යාඥයන් පවසන ආකාරයට ලෝකයේම සමස්ත ආර්ථිකය රඳා පවතින්නේ අපේ විය පැහැදම් කිරීම් මතය. එහි මූලික පුරුක වන්නේ නිවස නැමැති ගෘහස්ත ඒකකයයි. මේ වනවිට ගෘහස්ත ඒකකය එක් තැන ලොප් වී ඇත. එය මූල්‍ය ප්‍රවාහයේ එහා මෙහා යාම කෙරෙහි තදින්ම බලපායි. වයිරසය පාලනය කිරීම සඳහා ගත යුතුම වන සෞඛ්‍යාරක්ෂිත පියවර අප අනුගමනය කළ යුතුය. ඒ සමඟ ආර්ථික අවපාතයේ වක්‍රය දරුණු ලෙස පහළ යාම වැළැක්විය නොහැකිය.

ඔවුන් අවධාරණය කරන්නේ මේ අවපාතය හමුවේ වෛරස වසංගතය හේතුවෙන් ජනතාවට ආදායම් මාර්ග අහිමි වීමේ ඉරණම කෙසේ හෝ වැළැක්විය යුතු බවය. කෙටියෙන්ම කියන්නේ නම් රටක ජනතාව බංකොළොත් වීම වැළැක්විය යුතු බවය. ජනතාව බංකොළොත් වුවහොත් ඔවුන්ගේ ක්‍රය ශක්තිය හින වෙයි. මිලදි ගැනිම් සහ පරිභෝජන අඩුවෙයි. එය ක්‍රමයෙන් ලෝකයේම ව්‍යාපාර ක්‍රියාකාරකම් බංකොලොත් විමට හේතුවකි. එවැනි අනතුරක් මේ වනවිටත් අප හමුවේ ඇත. රැකියා අහිමි විම, තමන් වැඩ කළ ආයතන වසා දැමීම හෝ වෙනත් හේතු මත ආර්ථිකමය වශයෙන් අසරණ වුවහොත් ලෝකය තවදුරටත් අකර්මණ්‍ය වන බව ඔවුහු තදින්ම විශ්වාස කරති. යම් හෙයකින් ලෝකයේ ජනතාව රැකියා අහිමි වීම, තමන් වැඩ කළ ආයතන බංකොලොත් වීම වැළැක්විය යුතු බවය.

මේ අනුව බලන කල රටක් තම සාර්ව ආර්ථික ප්‍රතිපත්ති ඔවුන්ගේ ප්‍රශ්නවල පරිමාණයට සාපෙක්ෂව වෙනස් කළ යුතු බව පෙන්වා දෙන මෙම ආර්ථික විදයාඥයන් පවසන්නේ මෙම අර්බුදයට දැනට පෙනෙන හෙඳම ක්‍රමය වන ලෝකයේ සෑම රටකම පුද්ගලයන් තනි තනි වශයෙන් බංකොලොත් බවට පත්වීම වැළැක්වී‍ටමේ අරමුණට ඉලක්ක ගත විිය යුතු බවය. මෙය කළ හැක්කේ කෙසේද ? මේ සඳහා විසඳුමක් යෝජනා කරන ජෝර්ඩි ගාලි නම් ආර්ථික විදයාඥයා පවසන්නේ මුදල් අච්චු ගසා හෝ කර ජනතාවගේ අවශ්‍යතා වෙනුවෙන් මුදල් ලබාදීම මේ මොහොතේ කළ යුතු බවය. ආර්ථික විද්‍යාඥයන් මෙය හඳුන්වන්නේ හෙලිකොප්ටර් මනී (Helicopter money) ලෙසින්ය. මෙම යෝජනාව ක්‍රියාත්මක කිරීමට ඉක්මන්නොවිය යුතු බව පවසන ආර්ථික විද්‍යාඥයින්ද සිටියද බොහෝ දෙනකු ඔහුගේ මතයට පොදු එකඟතාවක් පවතින බව පෙනී යයි.

පසුගිය කාලයේ යුරෝපාකරයේ ආර්ථික අවුල් වියවුල් සම්බන්ධයෙන් යම් අනතුරු ඇඟවූ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටියන් ලාගාර්ඩි පවසා තිබුණේ වැස්සට පෙර යුරෝපයේ ආර්ථික වහල අලුත්වැඩියා කර ගත යුතු බවය. කෙසේ වුවද මෙම ආර්ථික විදයාඥයන් පවසන්න් ලාගාර්ඩි මහත්මිය කී වැස්සට කලින් අනපෙක්ෂිත මුරුගසන් වර්ෂාවක් දැන් වැටෙමින් පවතී. දැන් ලෝකයටම මේ මහ වැස්සේ තෙමෙමින් කවර හෝ පිළියමක් යොදා ගන්නා තැනට පැමිණ ඇති බවය.

 

Comments