කලබල නැති රටකට මඟ පෙන්වන ඇඳිරි නීතිය | Page 2 | සිළුමිණ

කලබල නැති රටකට මඟ පෙන්වන ඇඳිරි නීතිය

මේ මොහොත වන විට මුළු මහත් ලෝකය ම මුහුණපා සිටින්නේ අර්බුදකාරී තත්ත්වයකට ය. සීමා මායිම් සියල්ල අබිබවා ලෝකය පුරා සියලූ ජනතාවගේ සිත් තුළට බය කාන්දු වී හමාරය. ලෝක ඉතිහාසයේ කිසිදු කාල වකවානුවක මිනිස් වර්ගයා එකම කරුණක් අරභයා මෙවන් වූ ගැටලුකාරී තත්වයකට මුහුණ පා ඇති බවක් කිසිදු තැනක සඳහන් වන්නේ නැත. රට රටවල් වශයෙන් හෝ කලාපීය වශයෙන් යම් යම් අරමුණු වෙනුවෙන් පැන නැඟුණු ගැටුම්කාරී තත්ත්වයන් හැරෙන්නට මෙවැනි ස්වභාවික ව්‍යසනයන් එසේත් නැතිනම් වසංගත රෝගයක් ලෝකය පුරා පැතිර ගියේ නැත. නමුත් දැන් ඒ සියල්ලම කඩා බිඳ දමමින් නැවතීමේ තිත තබන සේයාවක් පවා පෙන්නුම් නොකොට කොරෝනා වෛරසය ලෝකය පුරා ව්‍යාප්ත වෙමින් පවතී.

 

කොරෝනා වසංගතය ආරම්භයත් සමඟ එය චීනයට පමණක් සීමා වන වසංගත රෝගයක් යැයි බොහෝ රටවල් අනුමාන කළ ද එවැනි අනුමාන කතා සහ සිතුවිලි ක්‍රමයෙන් පහව යන්නට පටන් ගත්තේ වුහාන් සිට වෛරසය රැගෙන රෝග වාහක අනිකුත් රටවල් කරාද සංක්‍රමණය වීමෙනි. චීනයෙන් බැහැර රටක් වශයෙන් ගත් කල එහි දැඩි හානිදායක තත්ත්වයකට මුහුණ දෙන්නට සිදුවූයේ ඉතාලියටයි. එය දැන් චණ්ඩ මාරුතයක් සේ ඉතාලිය ආක්‍රමණය කොට හමාරය.

ඉතාලියට වැරදුනේ කොතනද? එකී ප්‍රශ්නයට ඉතාලිය තවමත් පිළිතුරු සොයමින් සිටිති. පිළිතුරට අගක් මුලක් සොයා ගැනීමට නොහැකි වුවද ඉතාලි රජය විසින් එයට සමීපතම හේතුව ලෙසින් ප්‍රකාශ කළේ "අපි පරිස්සම් වුණා මදි" යන්නය. මේ වහාම ඔවුන් කරනු ලැබූවේ ඉතාලියේ නගර කීපයක් රතු කලාප ලෙසින් නම් කොට lockdown කිරීමයි. මේ අතුරතුර ඔවුන් සියලුම ගුවන්තොටුපලවල් වසා දැමීම ද සිදු කරන ලදී. ඉතාලිය විසින් එසේ තීරණය කරනු ලබන විට ලංකාවේ ඒ හා සමීප කාලයක අපට අසන්නට ලැබුණේ මෙවැන්නකි.

" ආයෙත් දැනුම් දෙනකං ඉස්කෝල වහලා ලු.

මේ සමඟ ම ලංකාවේ අස්සක් මුල්ලක් නෑර ම කොරෝනා වසංගතය පිළිබඳව යම් බියක් ඇතිවන්නට විය. කෙසේවෙතත් බහුතරයක් දෙනාගේ අදහස වූයේ කොරෝනා වෛරසය යම් ලෙසකින් පාසල් දරුවකුගේ ශරීරයට ඇතුළුවී තිබුණේ නම් ඒ තුළින් නොවැළැක්විය හැකි ලෙස දාමයක් මෙන් වෛරසය පැතිර යන බවයි. රජය ගත් මේ තීරණය පිළිබඳව පක්ෂ පාට භේද මෙන්ම කිසිදු දේශපාලනයකින් තොරව බොහෝ දෙනකුගේ අදහස බවට පත්වූයේ එය ඉතා යහපත් තීරණයක් බවයි. ඒ සමඟ ඊට ප්‍රතිවිරුද්ධ අදහස් ද පැන නැගෙන්නට විය. එකී අදහස් මගින් මුලින්ම සමාජ ජාලගත වී බහුතරයක් දෙනා කතාබහ කරන්නට තෝරාගත් මාතෘකාව වූයේ විදේශිකයන් රට තුළට පැමිණෙන ගුවන් තොටුපළ වසා දමන්නේ නැතිව පාසල් වසා දැමීම නුසුදුසු ක්‍රියාවක් බවයි. කරනවා නම් කළ යුතුව තිබුණේ මුලින් පාසල් වසා දැමීම පසෙක තබා ගුවන්තොටුපල සම්පූර්ණයෙන්ම වසා දැමීම බවයි. කෙසේ වෙතත් ගුවන් තොටුපළින් මෙරටට පැමිණෙන සෑම විදේශිකයෙක්ම නිරෝධායනය කිරීමට මේ වන විට රජය ක්‍රියාමාර්ග ගෙන තිබිණි.

මෙහි ක්‍රියාමාර්ගය පිළිබඳව බොහෝ දෙනකුගේ ප්‍රසාදය හිමිවුණු අතර ලංකාව තුළට වෛරසය ගෙන ආවා යැයි ඇඟිල්ල සෘජුව ම දිගු වූයේ ඉතාලියේ සිට පැමිණි ශ්‍රී ලාංකිකයන්ට ය. කෙසේ වෙතත් බොහෝ දෙනෙක් මේ මොහොතේ කියා සිටියේ රට lockdown කළ යුතු යැයි කියාය .එසේ නොවුණහොත් ශ්‍රී ලංකාව ද ඉතාලිය වන තත්ත්වයකට පත්වීම වැළැක්විය නොහැකි යයිද ඔවුන්ගේ අදහස විය. සුළුතරයක් දෙනා මේ සම්බන්ධයෙන් කතා කරන විට සංඛ්‍යාත සමගින් නිවැරදි විද්‍යාත්මක කරුණු පදනම් කරගනිමින් කරුණු ඉදිරිපත් කළ ද බහුතරයක් වූ පිරිස රජය විසින් හෝ වැදගත් ආයතනයන් මගින් ගනු ලබන සියලුම තීරණයට එරෙහිව කරුණු ඉදිරිපත් කරන්නට විය. නමුත් කොරෝනා වෛරසය මැඬලීමේ මෙහෙයුම බාරව සිටින කොළඹ මහ රෝහලේ වෛද්‍ය අනිල් ජාසිංහ, යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සහ සෞඛ්‍ය ඇමැතිනී පවිත්‍රා වන්නිආරච්චි ඇතුළු පිරිස ජනතාව දැනුම්වත් කිරීමේ ක්‍රියාවලිය තුළ නිරන්තරයෙන් රැඳී සිටියහ. එවන් ක්‍රියාවලියක් තුළ ජනතාව මේ සඳහා මුහුණ දිය යුත්තේ කෙසේ ද යන තැන සිට දිනපතා මේ ක්‍රියාන්විතයේ නවතම තත්වයන් ගෙන හැර පාන්නට විශේෂයෙන්ම උත්සුක වූයේ මේ සම්බන්ධයෙන් පැතිර යන කටකතා මෙන්ම ඉදිරි පියවර ද ජනතාවට පැහැදිලි කරමිනි.

කරුණු කාරණා කෙසේ වෙතත් රජය විසින් මුලින්ම පුත්තලම, හලාවත, මීගමුව යන ප්‍රදේශවල ඇඳිරිනීතිය පනවන්නට කටයුතු කරනු ලැබූවේ විදේශයන්හි සිට පැමිණ නිරෝධායනය නොවූ අය සොයා ගැනීමේ අරමුණෙනි. ලංකාවේ දිස්ත්‍රික්ක කිහිපයකට පමණක් ඇදිරිනීතිය පැනවීම සම්බන්ධයෙන් ජනතාවට බලපෑමක් නොවූ අතර පසුගිය සිකුරාදා සිට ලංකාවට ඇඳිරිනීතිය පැනවීම තුළ බොහෝ අය මෙන්ම සමාජ ජාලා හිද ප්‍රධාන මාතෘකාවක් වන්නට වූයේ එයයි . Lockdown කිරීමෙන් සිදු වන්නේ පාසල් මෙන්ම ඒ හා සබැඳි ආයතන ද වසා දමන අතර ආහාර ගන්නා ස්ථාන සහ ෆාමසි විදුලි හා ඉන්ධන ලබා ගන්නා ස්ථාන විවෘත කොට අනෙකුත් අත්‍යවශ්‍ය නොවන ස්ථාන වසා දැමීමය. කිසිවකුට නගරයෙන් ඇතුළුවීමේ හැකියාව පවතින්නේ නැත. ඇඳිරිනීතිය පැනවීමක් තුළ එය සුළු කොටසකගේ විවේචනයට ද ලක්විය. කරුණු කතන්දර විවේචන එල්ල වුව ද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සෘජුවම කියා සිටියේ ජනතාව ඒකරාශි වීම වැළැක්වීමට මේ පියවර ගත යුතු බවයි. අවස්ථානුකූලව ගත්කල මෙය කළ යුතු තත්වයේ පැවතුණකි. මන්ද මේ රෝගකාරකය පැතිර යන්නේ ජනතාව ඒකරාශී වීමත් සමඟින් නිසාය. තවදුරටත් වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අනතුරු අඟවා සිටියේ ජනතාව ආරක්ෂා වන්නේ නැතිව ඒකරාශී වීමකින් තොරව කටයුතු කරන්නේ නම් මෙය යම් පාලනයකට නතු කළ හැකි බවත් එසේ නොමැති වුවහොත් අවාසනාවන්ත තත්ත්වයකට පත්වන බවයි.

කෙසේ වෙතත් මේ මොහොත වන විටත් දිගින් දිගටම ඇදිරි නීතිය පනවමින් තිබේ. මිනිසුන්ගේ ආහාරපාන අවශ්‍යතා වෙනුවෙන් රජය ද සැලකිලිමත් වෙමින් ඒ වෙනුවෙන් බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් නිවෙස් වෙත ආහාර පාන ගෙන ඒමේ වැඩපිළිවෙළක් සූදානම් කරමින් සිටි. රජය ගෙනයන වැඩපිළිවෙළට සුළු පිරිසක් විරුද්ධව ප්‍රකාශ කළ ද සමස්තයක් ලෙස ගත් කල පොදු මහජනතාව මේ කරන ක්‍රියාවලිය වෙනුවෙන් හැකි පමණ තම සහයෝගය දෙන බවක් පෙන්නුම් කරයි. ඉතාලියේ, ඇමරිකා එක්සත් ජනපදය වැනි දියුණු යැයි කියන රාජ්‍ය කොරෝනා වයිරසය සම්බන්ධයෙන් ගත්තා වූ හා එහි ජනතාව වෙනුවෙන් සෞඛ්‍යය හා අනෙකුත් අංශයන්ගෙන් ගත් පියවර ගැන සඳහන් කිරීමේදී ශ්‍රී ලංකාව වැනි වූ දිළිඳු රාජ්‍යයන් ඔවුන්ටත් වඩා දිගු පියවර තමනට හැකි පරිද්දෙන් තබා ඇති බව පෙනෙන්නට තිබෙන කරුණකි. සියලුම දේ සියලු තැන්හි ම සියයට සියයක් අංග සම්පූර්ණ නොවන බව පැහැදිලිය. නමුත් ඒ හැම සිදුවූ දුර්වලතාවන් මග හරවාගෙන මේ මොහොතේ ජනතාව වෙනුවෙන් කටයුතු කරන්නට ශ්‍රී ලංකාවේ වගකිවයුත්තන් කටයුතු කරනා බව බහුතර ජනතාව විසින් පිළිගෙන තිබේ. මෙහි වැදගත්ම කාරණාව වන්නේ විදේශයන්හි ශ්‍රී ලාංකිකයන් ද මෙහි පවතින සේවාව හා අනිකුත් ක්‍රම වේදයන් පිළිබද පැහැදිලි ලෙස අදහස් ප්‍රකාශ කරන බවයි.

කවුරුන් කෙසේ කීවද මේ මොහොතේ අපට අවැසි වන්නේ සුරක්ෂිත හෙට දිනකි. එම නිසා දේශපාලන බේදයකින් තොරව රජය ගෙන යන වැඩපිළිවෙළට සහාය ලබාදීම අප කාගේත් යුතුකමකි. මේ මොහොතේ බහුතර ජනතාව ද රජය හා අත්වැල් බැඳ සිටිනා බව හොඳින්ම පෙනෙන්නට තිබේ.

 

Comments