එලොව ගිහින් මෙලොව ආව අපේ පළමු කොරෝනා රෝගියාගේ කතාව | Page 2 | සිළුමිණ

එලොව ගිහින් මෙලොව ආව අපේ පළමු කොරෝනා රෝගියාගේ කතාව

කොවිඩ්-19 වෛරසය වැළඳුණු පළමු ශ්‍රී ලාංකිකයා හමුවන්නේ මත්තේගොඩින්ය. ඔහු සංචාරකයන් සඳහා මඟ පෙන්වන්නෙකි. හේ නමින් ජයන්ත රණසිංහය.

 

පසුගිය 09 වෙනිදා අයිඩීඑච් රෝහලට පැමිණි හෙතෙම කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව දැනගත්තේය. කොළඹ, අයිඩීඑච් හෙවත් ජාතික බෝවන රෝග විද්‍යායතන රෝහලේ දින 18ක් ප්‍රතිකාර ලැබූ ඔහු මාර්තු 22 වන සඳුදා පස්වරුවේ සිය නිවසට පැමිණියේය. නිවසෙන් පිටතට නොගොස් තවත් දින 21ක් ස්වයං නිරෝධනයට ලක් වන ලෙස වෛද්‍යවරුගෙන් ඔහුට උපදෙස් ලැබිණ. ඔහුට මෙම වෛරසය ආසාදනය වූ ආකාරයත් ඊට ඔහු මුහුණ දුන් ආකාරයත් දැනගැනීම සැමට වැදගත් ය. ඒ, ඔහු ලැබූ අත්දැකීම අපට බොහොදේ පවසන නිසාය.

“මගේ ශරීරයට කොරෝනා වෛරසය ඇතුළු වී ඇති බව මා දැන ගත්තේ මාර්තු 09 වැනිදා. ඒවනවිට වෙලාව රාත්‍රී 11ත් 12ත් අතර ඇති. ඔවුන් මාව ඉහළ මාලයට රැගෙන ගියා. මරණ බය කියන්නේ මොකක්ද කියලා මට වැටහුණේ එදා. එල්ලුම්ගහ පෙනී පෙනී කාමරවලට රැගෙන යනවා වගෙයි මට දැනුණේ. බය වෙන්න තරම් අවදානම් තත්ත්වයක මා නැහැ කියලා රෝහල් කාර්ය මණ්ඩලය මගේ ඔළු හැදුවා. ඒත් මං විශාල භීතියකින් හිටියේ”

කෝවිඩ් - 19 වෛරසය ආසාදිත වූ පළමු ශ්‍රී ලාංකිකයා ඔහු බව මාධ්‍ය මඟින් අනාවරණය වීමත් සමග ඔහුගේ බිරිය සහ දරු දෙදෙනා ඉතා අපහසුතාවයකට පත් විය. “ මගේ ශරීරයේ විෂ බීජ තියෙනවා කියලා අසල්වැසියන් ග්‍රාම නිළධාරී මහතාට ලියමනක් මඟින් දැනුවත් කර තිබුණා. ඒ අතරතුරේ ගෙවල් ගිනි තියලා අපිව ගමෙන් එළවන්න සමහරු අන් අය පොලඹවා තිබුණා. කහතුඩුව සෙෞඛ්‍ය ‍වෛද්‍ය නිලධාරි සහ පීඑච්අයි ඇවිත් රැස්වීමක් තියලා ගමේ අය දැනුවත් කළ නිසා එ් තත්ත්වය වෙනස් වුණා.” ජයන්ත කියයි. රෝහල්ගත කළ දින සිට ඔහුගේ පවුලේ සහ නිවසේ අවශ්‍යතා සොයා බලා කටයුතු කර ඇත්තේ ද මේ නිළධාරීන්ය.

ජයන්ත රණසිංහ පසුගිය පෙබරවාරි අග සිට මාර්තු මුල දක්වා ඉතාලි ජාතික සංචාරක කණ්ඩායම් තුනකට සිය සේවය සපයා තිබේ. ඔවුන් දින හයක් ලංකාවේ සංචාරය කිරීමට සැලසුම් කර තිබිණි. ගුවන් තොටුපළෙන් ඔවුන් රැගෙන දඹුල්ලට ගිය රණසිංහ, අමායා හෝටලයේ දින තුනක් නතර විය.පොළොන්නරුව, දඹුල්ල සිට මහනුවර බලා ගිය ඔවුන් කටුනායක ගුවන් තොටුපළට පැමිණීමත් සමඟ මෙම සංචාරය අවසන් වීය.

එහෙත් තමන්ට කොවිඩ්-19 ශරීරගත වූයේ කුමන ඉතාලි සංචාරක කණ්ඩායමෙන් දැයි ජයන්තට නිශ්චය කළ නොහැකි විය. දෙවන කණ්ඩායමේ රෝගියකු සිටියද, එම පුද්ගලයා පවසා තිබුණේ තමන්ට කොන්දේ වේදනාවක් ඇති බවය. එනිසා කාගෙන් මෙම වෛරසය ශරීරගත වූයේ දැයි ඔහුට සහතික ලෙස කිව නොහැකි විය. ඇතැම් විට ඔහුට කොවිඩ්-19 වැළඳෙන්නට ඇත්තේ වෙනත් අයෙකුගෙන් විය හැකිය. ඔහු සංචාරකයන්ට සේවය සපයමින් සිටින අතරතුරදී උගුරේ අමාරුවකි හටගැණින. එනිසා දඹුල්ලේදී ඔහු වෛද්‍යවරයකු හමුවට ගියේය. එහිදී රෝගය පරික්ෂා කළ වෛද්‍යවරයා සෙම්ගෙඩිවලට ඖෂධ නියම කළේය. එහෙත් මහනුවරදී රණසිංහ උණරෝගයෙන් පීඩා වින්දේය. රෝගී තත්ත්වයෙන් හෝ සංචාරය සම්පූර්ණ කරන්නට ඔහුට සිදු විය. සංචාරකයන් මඟ දමා එන්නට බැරි නිසා ඔහු ඉතා අපහසුවෙන් වුව එම සංචාරය නිම කළේය. අවසන සංචාරකයන් උදේ මාලදිවයින බලා යන්නට සිටි මුත් ගුවන් ගමන වෙනස් වීම නිසා සවස වන තෙක් එහි රැදී සිටීමට ඔහුට සිදු විය. මේ හේතුවෙන් ඒවන විටක් අසනීපව සිටි රණසිංහ මහත් අසීරුතාවට පත්විය.

කෙසේ හෝ රෝගී තත්ත්වය විඳ දරාගනිමින් සංචාරය නිමා කළ රණසිංහ කටුනායක සිට නිවස බලා පැමිණීයේය. එ් එන අතරතුරු ඔහුට බොහෝ වෙහෙස මහන්සිය දැනිනි. ගෙදරට ගොඩ නොවන ඔහු වෑන් රිය නවත්වා ගෙදර තිබූ ඔහු ගේ මෝටර් රථයේ පසුපස ආසනයේ වැතිර ගත්තේය. ඔහු විමසූ බිරිඳ පවුලේ වෛද්‍යවරයා වෙත ඔහු යොමු ක‍ළේය. රෝගය කුමක්දැයි පරික්ෂා කළ වෛද්‍යවරයා රෝගය හඳුනාගෙන ඔහු ජාතික බෝවෙන රෝග නිවාරණ ආයතනය හෙවත් අයි.ඩී.එච්. වෙත යොමු කළේය.

ඔහු රෝහල්ගත කිරීම සඳහා බිරිය රිය පදවා ගෙන ගිය අතර ඔහුගේ පුත්‍රයා ඉදිරිපස අසුනේ වාඩි වී සිටියේය. මෙනිසා පවුලේ අයට රෝගය බෝ වී නොතිබුණි. නමුත් පසුව ආනන්ද විද්‍යාලයේ විශාල ගාලගෝට්යක් ඇති විය. ඒ මේ දරුවා නිසාය. එම දරුවා මගින් අනික් දරුවන්ට රෝගය පැතිරී යනු ඇතැයි ඇතැම් මවුපියන් බිය පළ කළ හෙයින් මේ නොසන්සුන්තාව හටගෙන තිබුණි. අවසානයේදී දරුවාට රෝගය වැළඳී නැති බව තහවුරු කර ගැනීම සඳහා ඔහු රෝහල් ගත කිරීමට පවා සිදු විය. රෝගය වැළඳී නැති බව තහවුරු වීමෙන් පසුව දරුවා දින තුනකට පසු යළි නිවසට පැමිණියේය.

සැමියා රෝගී වීමත් සමග තමන් හා දරුවන් මුහුණ දුන් සිදුවීම් ගැන ජයන්ත රණසිංහගේ බිරිය සුජීවා රණසිංහ අපට මෙසේ පැවසීය. “අපි බුදුදහමත් එක්ක ජිවත් වෙන මිනිස්සු. මහත්තයා හැම පෝයකටම කිරිවෙහෙරට ගිහින් සිල් ගන්නවා. මම හැමදාම බෝධි පූජා තියනවා. අපිට ඒ ආශීර්වාදය තියෙනවා. ඒ මිනිස්සු මොනවා කිවුවත් අපිට අපි එය බාරගත්තේ නැහැ.”

කොවිඩ්-19 වෛරසය සිය ශරීරට ඇතුළු වී ඇති බව හෙතෙම දැන ගන්නේ අයිඩීඑච් රෝහලේ දීය.

ප්‍රතිකාර ආරම්භ විය. රෝහල මගින් සියලු පහසුකම් ලබාදුන් අතර, ආරක්ෂිත ඇඳුම් ඇඳගත් වෛද්‍යවරුන්, හෙද හෙදියන් විසින් ඔහු වෙනුවෙන් තත්ත්පරව සිටියෝය. එම ඇඳුම් සියල්ල භාවිතයෙන් පසු ගලවා ඉවත දමන විට වෛද්‍යවරුන් දහදියෙන් නෑවී සිටිනු රණසිංහ දුටුවේය. වරක් ඔහුට රෝගය උත්සන්න වී හුස්ම ගැනීමට මෙන්ම ඇඳෙන් නැඟී සිටීමට පවා නොහැකි විය. කිසිවක් මුඛය තුළ රුවා ගිලදමන්නට පවා නොහැකි වූ අතර ඊට දින කීපයක් ගතවිය.

මේ අතර තුර නාඳුනන යුවලක් ඔහුට දුරකථනයෙන් කතා කර, ඔහුගේ සිත සනසා ඔහු වීරසූරියකන්දේ පාලතධම්ම නම් භික්ෂුවක් වෙත යොමු කළේය. එම භික්ෂුවගේ උපදෙස් මත භාවනා සඳහා යොමු වූ රණසිංහ තමාට කිසියම් ශක්තියක් ලැබී ඇති බව හැඳින්නේය.

ජයන්ත තර්ස්ටන් විද්‍යාලයේ ආදි සිසුවෙකි. අධ්‍යාපනය ලබා පාසලෙන් පිටවන ජයන්ත ශ්‍රී ලංකා පොලිස් සේවයට බැඳුණේ ය. පසුව ඉන් ඉවත්ව ඔහු ඉතාලිය බලා ගිය අතර වසර 14ක්ම ඉතාලියේ සේවය කළේය. ජයන්ත රණසිංහ විවාහ වූයේ ඉතාලියේදීය. විවාහයෙන් දියණියක සහ පුතු ලැබීමට මේ යුවල වාසනාවන්ත විය. පසුව දරුදෙදෙනාද සමඟ පෙරළා මෙරටට පැමිණියේය. ඔහු ලංකාවට පැමිණීමෙන් පසු ඉතාලි ජාතිකයන්ට සංචාරක මාර්ගෝපදේශනය සැපයීමේ කාර්යයට යොමු විය. සංචාරක මග පෙන්වන්නකු ලෙස ඔහුට වසර 20ක පළපුරුදුදක් තිබේ. ඔහු වැනි පළපුරුදු සංචාරක මාර්ගෝපදේශකයන් අප රටට අවැසිය.

රණසිංහ පවසන ආකාරයට ශ්‍රී ලංකාවට වඩා ඉතා දියුණු සෞඛ්‍ය පහසුකම් ඉතාලිය රජයට තිබේ. එහෙත් තවමත් කොවිඩ්-19 පාලනය කර ගැනීමට ඔවුන්ට නොහැකිය.

මෙරට ජනාධිපතිවරයා ඇතුළු රජයේ නිසි කළමනාකාරිත්වයත්, දූරදර්ශී ක්‍රියාපිළිවෙතත්, මිහිපිට දෙවියන් බඳු වෛද්‍යවරුන් හා හෙද හෙදියන්ගේ, ආරක්ෂක අංශ සහ අදාළ බලධාරින්ගේ කැපවීමත් රෝගය මේ ආකාරයෙන් පාලනය කිරීමට හේතු වී ඇති බව මින් මනාව ඔප්පු වේ.

“අයිඩීඑච් රෝහලේ කාර්යමණ්ඩලය මට ලබා දුන් සේවයයි, කරුණාවයි පුද්ගලික රෝහලක මා කවදාවත් අත් විඳ නැහැ. දවසට දෙපාරක් මා සිටි කාමරයේ විෂබීජ හරණය කරනවා. කෑමබීම, අතුරුපස හොඳටම ලැබුණා. මට කන්න බැරි වුණ වෙලාවේ විශේෂඥ වෛද්‍ය එරංග නාරංගොඩ මහතා සෑම උදයකම ගෙදරින් කැඳ හදාගෙන ඇවිත් මට දුන්නා. ”

රෝගය තවදුරටත් පැතිරීම වළක්වා ගැනීමට හා රෝගීන්ගේ ජීවිත බේරා ගැනීම සඳහා සමාජයෙන් ඉල්ලීමක් කිරීමට මෙහිදී ජයන්ත රණසිංහ අමතක නොකළේය.

“මගේ ජීවිතය බේරගන්න රජය ලක්ෂ ගාණක් වැය කළා. ඔබත් වෛද්‍ය උපදෙස් ලබාගන්න පමා වුණොත් ඔබේ ජීවිතය අනතුරේ වැටෙනවා වගේම විශාල මුදලක් ඊට වැය වෙනවා. අපේ රටේ සෞඛ්‍ය සේවය ගැන කියන්න මට වචන නෑ. ලෙඩා හඳුනා ගන්නකොටම සේරම සම්බන්ධීකරණය වෙලා. සෞඛ්‍ය නිලධාරීන්, ආරක්ෂක අංශ මගේ බිරියට කතා කරලා ඒ අයගේ ජංගම දුරකථන අංක පවා ලබාදුන්නා.

අපේ ගෙදරටම ඇවිත් ඒ මොහොතේම හොයලා බැලුවා. විශේෂයෙන් අපේ ආරක්ෂාව ගැනත් කටයුතු කරා. මට ඔබට කියන්න තිබෙන්නේ මෙපමණයි, මේ දක්වා මාධ්‍ය මඟින් දැනුවත් කර ඇති ආකාරයේ රෝග ලක්ෂණ ඇත්නම් නොපමාව වෛද්‍ය උපදෙස් ලබාගන්න, කිසිවකට ඔබ අනිසි ලෙස බිය විය යුතු නැහැ.

මේ රෝගය සුව කරගත හැකියි. ඒ සඳහා නිසි ප්‍රතිකාර හා වෛද්‍ය උපදෙස් පිළිපැදීම පමණයි අවශ්‍ය වන්නේ. මේ රෝග ලක්ෂණ ඇත් නම් සමාජමය දුරස්ථභාවය පවත්වාගැනීම ඉතා වැදගත්, ඒ සඳහා අවධානය යොමුකරන්න. අපේ රට ඉක්මනින් මේ කෝවිඩ් -19 මාරයාගෙන් ගලවාගත හැකියි.”

Comments