කුමාරතුංග මුනිදාසයන් විරිත් වැකියේ අපට පවසා තිබුණේ අලුත් අලුත් දේ නොතනන ජාතියකට ලොව ඉහළ යෑමේ හැකියාවක් නොමැති බවයි. නව නිපැයුම්වලට තැනක් ලබා නොදෙන්නේ නම් එසේත් නැත්නම් නව නිපැයුම් කරා අප යොමු නොවන්නේ නම් අපට ඉදිරි ගමනක් නොමැති බව එයින් ගම්‍ය වනවා පමණක් නොව ලෝකයේ නිෂ්පාදන මෙන්ම නව නිර්මාණ දෙස බැලූ විටද එය පැහැදිලිය.
නව නිපැයුම් කෙරෙහි ලෝකයාගේ ඇස යොමු වන්නේ රටක් ජනතාවක් ඉදිරියට යාමට අවශ්‍ය නිසාය. රොබෝ තාක්ෂණය මෙන්ම මිනිසුන් රහිත ගුවන් යානා ද මේ වන විට ලෝකයේ භාවිත කෙරේ. එමෙන්ම මේ වන විට රියැදුරු රහිත මෝටර් රථ පවා කල එළි බැස තිබේ.
සභාපති කැළුම් පෙරේරා |
ඒ සියල්ල අලුත් අලුත් දේ තැනීමේ ප්‍රතිඵලයන්ය. තාක්ෂණයට මිනිසා අභිභවා යාමට නොහැකිය. මන්ද තාක්ෂණය හසුරුවන්නේ මිනිසා විසින් වන හෙයිනි.
අප මේ කියන්නට යන කතාවද එවැනිම මිනිසකුගේ අපූර්ව නිර්මාණයක් ගැනය. ඒ නිර්මාණය කරන්නට ඔහුට හැකියාව ලැබී ඇත්තේ ද භාවිතයෙන් ඉවත දමන භූමියක් උපයෝගී කරගෙන වීම මෙහි විශේෂත්වයයි.
මැටි කර්මාන්තයට වළවල් කපා ඇති මහා පරිමාණ භූමි රැසක්ම කොච්චිකඩේට සමීප කටාන ප්‍රදේශයේ දක්නට ඇත. එවන් එක් ප්‍රදේශයක් අක්කර 200කට අධිකය. එයින් අක්කර 13.5ක මැටි කැපූ වළක් උපයෝගී කරගෙන එයින් සංචාරක හෝටලයක් තනා දෙන්නට මේ කතා නායකයා කටයුතු කෙළේය. ඒ හෝටලය හදන්නේද මැටි කපා ඉවත් කළ වළේ වතුර පුරවා දිය මතු පිට වීම මෙහි ඇති විශේෂත්වයයි. මේ දක්වා මැටි කපා ඉවත් කරන ලද එම භූමිවල කිසිදු ප්‍රයෝජනයක් ගෙන නැත. මැටි කපා අවසන් කිරීමෙන් පසුව එම අගාධයන් පුරවා දැමිය යුතු වුවත් එවැන්නක් පසුගිය කාලය පුරාම සිදු කර නොමැත.
ඒ කෙසේ වුවත් ඒ අක්කර සිය ගණනක භූමි භාගයෙන් සුළු ඉඩක් වෙන් කරගෙන මේ අපුරු නිර්මාණය කරන්නට අපේ කතා නායකයා කටයුතු කර තිබේ. ඔහු නමින් කැලුුම් පෙරේරාය. මේ නිර්මාණය ඔහුගේය. මීගමුව කොච්චිකඩේ සිට මඩම්පැල්ල පාරේ කිලෝමීටර් 9කට ආසන්න දුරක් ගෙවා මේ අපූරු ස්ථානයට ළඟා විය හැකිය. එය නම් කර ඇත්තේ ‘බෝලගල ෆ්ලෝටින් රිසෝට්‘ නමිනි. මේ නිර්මාණය ගැන අපි සභාපති කැළුම් පෙරේරාගෙන් විමසුවෙමු.
‘කවුරුත් නොකරන නිර්මාණයක් කරන්නයි මට ඕන කෙරේ. මේ භූමිය සම්බන්ධව මම භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශයෙන් විමසා බැලූ අවස්ථාවේ ඔවුන් පැවසුවා මැටි කපා ඇති මේ අගාධයන්ට නව නිර්මාණයක් කරන්න හැකිනම් එය ඉදිරිපත් කරන්නැයි කියා. ඒ අනුව මම මගේ නිර්මාණය ඉදිරිපත් කළා. එයට අනුමැතිය ලැබුණා. ඒ විතරක් නෙමෙයි. ලෝක බැංකු ආධාර ව්‍යාපෘතියකටත් මම අයැදුම් කළා. ඒ සඳහා අයැදුම්පත් 7000ක් පමණ ඉදිරිපත් වුණත් 232ක් පමණයි තෝරා ගැනුණේ. එයිනුත් මට ප්‍රථම ස්ථානය ලැබුණා. මේ පාවෙන හෝටල් සංකීර්ණය හදන්න පටන් ගත්තේ එයින් පසුවයි. ඒත් ආරම්භ කළ දින පටන්ම විවිධාකාර ගැටලු ආවා. ඇත්තෙන්ම ප්‍රදේශවාසීන්ගේ මුවාවෙන් මේ වැඩ කරන්නේ පළාතේ ප්‍රබල දේශපාලකයකු විසින්. ගමට තියෙන වතුර ප්‍රශ්නයක් ගැන ඇතැම් අය කිව්වහම ලක්ෂ 25ක පෞද්ගලික වියදමින් මම වතුර ටැංකියක් හදලා දුන්නා. පිහිටි ගල විදලා වතුර අරගෙන දුන්නා. නමුත් මේ කටයුත්ත සඳහා විවිධ බාධාවන් එනවා. පුරා විද්‍යා බිමක් කියලා කිව්වා. අඩි 20ක් පමණ හාරපු සින්නක්කර ගත්ත ඉඩමක පුරා වස්තු කොහෙද? එයින් වැඩක් වුණේ නැති තැන මේ ලෙසින් විවිධාකාර බාධා ආවා. දැන් මේ ඉඩම් ඉඩමේ කොටසක් ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසමට අයිතියක් තියෙන බවක් කියනවා. ඒ කිසිවක් කියන්නෙ ඒ ආයතන නෙමෙයි. කොහොම වුණත් ජනාධිපතිවරයාත් අගමැතිවරයාත් මේ කාර්යය සම්බන්ධව ප්‍රශංසා කර තිබෙනවා. මම පුළුවන් තරම් උත්සාහ කරනවා මෙතැන මේ හෝටල් සංකීර්ණය ඉදි කර
ජලාශයේ ඉදි කර ඇති විසිත්ත කාමර |
න්නට නොහැකි වුණොත් ඒක මේ ප්රදේශවාසීන්ගේම අවාසනාවක් පමණයි. මොකද වතුරේ ඉදි කරන මේ හෝටල් සංකිර්ණය මෙතනින් ඉවත් කර ආණමඩුවේ විශේෂ ස්ථානයක ස්ථාපිත කරන්න පුළුවන්‘‘
අඩි 15ක් පමණ මේ වවන විට ජලයෙන් පිරී ඇති අතර එය ඉදිරියේදී අඩි 20ක් පමණ දක්වා ජලයෙන් පිරෙනු ඇති බව කැළුම් පෙරේරා මහතා පවසයි.
බෝලගල ඉදිවන මේ හෝටල් සංකීර්ණය ඇත්තෙන්ම පරිසර හිතකාමී බවින් යුක්තය. එසේ නොවන්නේ නම් ලෝක බැංකුවෙන් ආධාරයක් හිමි වන්නේද නැත. ලෝක බැංකුවෙන් මේ කාර්යය සඳහා රුපියල් කෝටි 7.5ක යළි නොගෙවිය යුතු ආධාර මුදලක් ලබා දී ඇත. එසේ රුපියල් කෝටි 7.5ක් ලබා දී ඇත්තේ මේ නිර්මාණයේ ඇති පරිසර හිතකාමී බව මෙන්ම එහි ඇති හරිතාගාර සංකල්පය නිසාය.
අපි ඉදිවෙමින් පවතින හෝටල් සංකීර්ණයට ගියෙමු. එය අලංකාර විසිත්ත කාමර 50කින් සමන්විත සංකීර්ණයකි. එයින් කාමර 10ක් ජලාශයේ වෙන් වශයෙන් ස්ථාපිත කෙරෙන අතර ඒවා ජලාශයේ එක් කෙළවරක සිට අනෙක් කෙළවරට ජී.පී.එස්. තාක්ෂණය ඔස්සේ යා හැකිය. අනෙක් කාමර 40 සහිත සංකීර්ණය හරිතාගාරයක් තුළ ස්ථාපිතය. එම සංකීර්ණය පුරාම කාබනික පොහොර යොදා රෝපණය කෙරන මෙරට එළවුළු හා පලතුරුය. එමෙන්ම ජලාශයේ මේ වන විටත් මසුන් ලක්ෂ 4ක් බෝකිරීම සඳහා කටයුතු කර ඇති අතර ඉස්සන් ලක්ෂ 3ක්ද යොදා ඇත. එමෙන්ම හෝටල් සංකීර්ණයට විදුලිය ලබා ගන්නේ සූර්ය බලයෙනි. සූර්ය බලයෙන් කිලෝවොට් 600ක විදුලිය උත්පාදනය කිරීමට කටයුතු කෙරෙන අතර එයින් හෝටල් සංකීර්ණයට අවශ්‍ය වන්නේ කිලෝවොට් 200ක් පමණක් වන අතර ඉතිරි විදුලිය, විදුලිය බල මණ්ඩලයට සැපයීමට කටයුතු කෙරේ.
මෙහි ව්‍යාපෘති ඉංජිනේරු අරුණ පෙරේරා පවසන්නේ ජලාශයේ යට කිරිමැටි ඇති හෙයින් ජලය අඩු නොවී පවතින බවයි. විශේෂයෙන්ම මාස 8ක් පුරා එහි ජලය අඩු නොවී පවතින බවද ඔහු පවසයි. ජලය අඩු වුවද පුරවා ගබඩා කර ගැනීමට අනෙක් පස මැටි කැපූ විශාල භූමියක් උපයෝගී කර ගන්නා බවයි. එමෙන්ම වැසි වතුරෙන්ද මේ ජලාශය පිරවීමට බලාපොරොත්තු වන බවද ඔහු පෙන්වා දෙයි.
හෝටල සංකීර්ණය ඉදි කිරීම නැරඹීමට පැමිණි පිරිසක් |
ජලාශයේ ඉදි කර ඇති හෝටල් කාමර ඉදි කර ඇත්තේ මාලුවකුගේ ආකෘතියෙනි. කාමරයක ඉදිරි පෙනුම මාලුවකුගේ ඉදිරිපස හා මාලුවාගේ ඇහැක් ලෙසින් ඉදි කර ඇති අතර පසුපස වරල් ආකාරයෙන් ඉදි කර ඇත.
මෙරට ඉදි කරනු ලබන ප්‍රථම පාවෙන හෝටල් සංකීර්ණය වන බෝලගල ෆ්ලෝටින් රිසෝට් හෝටලයේ දේශීය ආයෝජකයින් 12 දෙනකු සිටින අතර ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩක තිලකරත්න ඩිල්ෂාන්ද එක් ආයෝජකයෙකි.
පාවෙන පිහිනුම් තටාකයක්ද මේ වන විටත් ඉදි කර ඇත. එමෙන්ම වතුර යට ඉදිවන සම්භාහන මධ්‍යස්ථානයක්ද මේ හෝටල් සංකීර්ණයට එක් වනු ඇත. එම සම්භාහන මධ්‍යස්ථානය වීදුරුවලින් වටකර ඇති නිසා ජලාශයේ සිටින මත්ස්‍යයින් ජලාශ පැළෑටි වීදුරුවෙන් ඇතුළේ සිට නැරැඹිය හැකිය. සියලු කාමරද වායු සමනයෙන් යුක්තය.
දැනට ශ්‍රී ලංකාවේ මෙවන් කිසිදු හෝටලයක් නොමැති අතර ආසන්නයේම ඇති රටවල් වනුයේ මාල දිවයින හා ඉන්දුනීසියාවයි.
එසේ හෙයින් මේ හෝටල් කාමරයක් එක් දිනකට ඇමරිකන් ඩොලර් 400ක් (රුපියල් 73000.00ක් පමණ) වනු ඇත. මේ වසරේ ජූලි මාසයේ මේ හෝටල් සංකීර්ණය විවෘත වනු ඇත. දේශීය සංචාරකයන්ට සංචාරක කාල සීමාවන් නොවන කාලයන්හිදී අඩකට පමණ ලබා දීමටද සභාපතිවරයා බලාපොරොත්තු වේ.
සේයාරූ - සමන් ශ්‍රී වෙදගේ