“අවසානයේ කළා නොකළා වැනි තැනකින් කටයුතු අවසන් වේ නම්...” | සිළුමිණ

“අවසානයේ කළා නොකළා වැනි තැනකින් කටයුතු අවසන් වේ නම්...”

“පියසේන වික්‍රමගේ අයත් වන්නේ හැට, හැත්තෑව දශකයේ පුනරුද යුගයේ තරුණ පරපුරට. සිනමා සාහිත්‍ය කලා පොතපත නිරතුරුව කියවීමෙන්, ජාත්‍යන්තර චිත්‍රපට උලෙළ නරඹමින් ඒ පිළිබඳව සංවාද සම්මන්ත්‍රණ ආදිය සිදු කළ නව පරපුරකට” යැයි ජ්‍යෙෂ්ඨ පුවත්පත් කලාවේදී රෝහණ වෙත්තසිංහ පවසයි. ඔහු එසේ පවසන්නේ පියසේන වික්‍රමගේ විසින්ම ලියන ලද “සිනමාවේ 50 වසරක්” නම් කෘතියට වුවද කතුවරයා තමන් මෑතදී පළකරන්නට යෙදුණ “මධුර වසන්තේ” කෘතියේ ද එය උපුටා දක්වා ඇත්තේ එහි ඇති සර්වකාලීනත්වය නිසා බව පැහැදිලිය.

ඒ හා සමානවම කතුවරයා සිය පුද්ගල පසුබිම සම්බන්ධයෙන් ඉදිරිපත් කරන්නා වූ විස්තරය ද ඔහුගේ කාර්යය සම්බන්ධයෙන් පාඨකයා විෂයයෙහි අවබෝධයක් ලබා දෙන්නක් යැයි සිතේ.

“විශ්වවිද්‍යාල අධ්‍යාපනය හමාර කර සිටි අපට. වෘත්තිකත්වය පිළිබඳ ගැඹුරින් සිතන්නට මේ විශිෂ්ටයින්ගේ ඇසුර අවිධිමත් අධ්‍යාපනයක් ලැබීමක් වූයේය.” තමන් විසින් සිනමාව මෙන්ම සාහිත්‍ය කලා විෂයයික උගතුන් හා පවත්වන ලද පුවත්පත් සම්මුඛ සාකච්ඡා එක්කොට කරන ලද්දා වූ ඒ සංගෘහිතය එක් කාල වකවානුවකට අයත් විශේෂයෙන්ම සිනමාව සම්බන්ධයෙන් වෙසෙස් හඳුනාගැනීමකට දක්වන සහාය විද්‍යාර්ථීන්ට මෙන්ම ඒ පිළිබඳව උනන්දුවක් දක්වන්නවුන්ටද වැදගත් වන්නක්මය. සිනමාව කලාවක් හැටියට කොයි ආකාරයෙන් මෙරට තහවුරු වූයේද යන්න පුළුල් වශයෙන් අධ්‍යයනයකට ප්‍රමාණවත් නොවුණත් ඇතැම් විට ඊට අවශ්‍ය විරල ගනයේ තොරතුරු සපයා ගැනීමට මේ කෘතියෙන් ලැබෙන පිටුවහල අගය කළ යුත්තකි.

නිදසුනක් ලෙස පහත දැක්වෙන්නේ 1946 සරසවිය පුවත්පතෙහි පළ වූ බී. ඒ. ඩබ්ලිව්. ජයමාන්න සිනමාව සම්බන්ධයෙන් සිදු කළා වු ප්‍රකාශයකි.

“මගේ කතාව ජයග්‍රහණයේ කතාවක් නොවෙයි. එය කිසිසේත් පරාජයේ කතාවක්ද නොවෙයි. එය මෙරට සිනමා කලාවට, සිනමා කර්මාන්තයට අත තැබුවකු එහි රස නීරස මේ දක්වා විඳින්නෙකුගේ කතාවක් පමණකි.”

එසේ ගත් කල සිනමාව මෙරට වැඩීම පොදු ප්‍රේක්ෂකයා විෂයයෙහි විනෝද මාධ්‍යයක් වූ තරමටම නිර්මාණකරුවන්ගේ ද ආත්ම තෘප්තිය වෙනුවෙන් යැයි සිතිය හැකි බවක් ඉන් ගම්‍ය වේ. ඊට දශකයකට පමණ පසු වසන්ත ඔබේසේකර නම් සිනමාකරුවා ද චිත්‍රපටයක් නිර්මාණය කිරීමේ ලා බොහෝ අරමුණු තිබිය හැකි වුවද ආත්ම තෘප්තිය ඉන් මුල් තැන ගන්නේ යැයි පැවසීමෙන් තවදුරටත් එය තහවුරු වන්නේ ය.

කෙසේ වෙතත් කලා මාධ්‍යයක් හැටියට සිනමාව සම්බන්ධයෙන් ඇති දුෂ්කරතා මෙන්ම වාණිජ්‍යමය බලපෑම් ගැන අදහස් පළ කොට ඇති ටයිටස් තොටවත්ත අප උපුටා දක්වන්නේ එහි ඇති යථාවාදී වටිනාකම සලකාය.

“චිත්‍රපටය කලා මාධ්‍යයක් හැටියට සලකා කතා කරනවා නම් එය අධ්‍යක්ෂවරයාගේ කලා මාධ්‍යක් බව කොයි කවුරුත් පිළිගන්නා සත්‍යයක්. එවැනි මාධ්‍යයක් හුදෙක් ලාබ විනෝද මාධ්‍යයක් හැටියට භාවිතා කරන පිරිස මා දකිනන්නේ ප්‍රබල මාධ්‍යයක් නිකරුණේ අපතේ යවන පිරිසක් ලෙසය.

එය හරියට ලියන්නට දන්නා කෙනෙකුට වඩාත් උපයෝගිතාවෙන් යුතු කඩදාසියක් හය හතර නොතේරෙන කුඩා දරුවන් විසින් පැන්සලයකින් කුරුටු ගා විනාශ කරනවා වැනියි. කලාව කලාව සඳහා වෙනුවෙන් යැයි කෑ මොර දෙන පිරිස අවසානයේදී කළා නොකළා වැනි තත්ත්වයකින් කටයුතු අවසාන කරන්නේත් මේ නිසාමයි.”

එවැනි සංවාදශීලි පරිසරයක් අද අප හමුවේ නැතත් ඒ කියවීම වර්තමානයට කොතරම් දුරට අවශ්‍ය දැයි දැනගැනීමට මෙවැනි එක්රැස් කිරීම් අවශ්‍ය වේ.

Comments