පළ­මුවැනි ප්‍රේක්ෂ­කයා පාන්දර 4.30ට! දැන් හවුස් ෆුල්! | සිළුමිණ

පළ­මුවැනි ප්‍රේක්ෂ­කයා පාන්දර 4.30ට! දැන් හවුස් ෆුල්!

චිත්‍ර­පට බැලීම මිනි­සුන්ට එපා වීමත් සමඟ එකී සංස්කෘ­ති­යට අයත් බොහෝ කාරණා ද සිනමා ශාලා වලින් අහෝසි විය. “හවුස් ෆුල්” යනු­වෙන් සඳ­හන් දැන්වීම් පුවරු මෙන්ම සිනමා ලෝලීන්ගේ පෝලිම ද ඒ අතර විය.

නමුත් මෑත භාගයේ එක්තරා දිනක මම චිත්‍ර­පට පෝලි­මක් දුටු­වෙමි. ඒ 2004 දී පමණ විය හැකිය. ඒ දෙම­ට­ගොඩ සමන්තා සිනමා හල අස­ලය. එය ජන­තා­වගේ අව­ධා­නය දිනා ගන්නා කරු­ණක්  වූයේ  කලා­තු­ර­කින්  දක්නට ලැබීම නිසා ම නොවේ. පෝලිම හැදෙ­න්නට පටන් ගෙන තිබුණේ  උදේ අට හමාරේ පටන් නිසාය. ඒ මා එව­කට සේවය කළ ලක්බිම කන්තෝ­රුවේ සේව­යට යන වේලාව විය. ඒ මොහො­ත­වන විටත් 10.30 දර්ශ­නය සඳහා වූ පෝලිම “සමන්තා” සින­මා­හල් මිඳු­ලෙන් ඔබ්බට විත් බේස්ල­යින් පාර අයි­නෙන් ඔරු­ගො­ඩ­වත්ත පැත්තට දිග් ගැස්සෙ­මින් තිබුණේ ය. චිත්‍ර­පට පෝලි­මත් සමඟ ඒ සංස්කෘ­ති­යට අයත්  රට­කජු,  කඩල වෙළෙන්දෝ ද, ඩොලැක්කි වය­මින් ගී ගය­න්නන් ද ආදී වශ­යෙන් වූ සෙසු පිරිස ද ඒ වටා ඒක­රාශි වෙමින් සිටි­යහ.

මෙම චිත්‍ර­ප­ටය වූයේ  රැජි­නි­කාන්ත් ප්‍රධාන චරි­තය රඟපෑ “සිවාජි” ය.

නොප­මාව “සිවාජි” බැලිමේ උණ මට ද බෝවූ අතර, ඒ පිළි­බ­ඳව සමන්තා සිනමා හලෙන්  විමසා බැලු­වෙමි. එහි තරුණ කළ­ම­නා­ක­රුවා පැව­සුවේ තමා මහා ජන ගංඟා­ව­කට කොටු වී සිටින බවත්, කෙසේ හෝ සෙනග උත­රින් තමා හමු­වී­මට පැමි­ණි­ය­හොත්  ඒ සඳහා අව­ස්ථාව ලබා දිය හැකි බවය. චිත්‍ර­පට සංස්ථා අව­සර පත්‍රය නිසා වුවද පෝලිම අභි­බවා ඒම අනික් ප්‍රේක්ෂ­ක­යින්  කෝප ගන්ව­න්නක් විය හැකි යයිද, පරි­ස්සම් වන ලෙස ද ඔහු පැව­සීය.

කෙසේ නමුත්  පසු දින සවස 2.30ට වන විට මම “සිවාජි” නැර­ඹීමේ අභි­ලා­ෂ­යෙන්  සමන්තා සිනමා ශාලාව  වෙත ළඟා වූයෙමි. එදින පෝලිම කලින් දින­යට වඩා දික් වූ අතර සිනමා ශාලාවේ  ඉඩ­කඩ සහිත මිදුල එකම හිස් ගොඩක් විය. 

පිටත සිටියෝ ඇතු­ළට පැන ගත්ත­වුන්ට  හූ කිය­මින් සිටි­යහ. උඩට නැග ගත්තෝ  ඒ හූවට ප්‍රති­චාර වශ­යෙන් අත තිබූ හිස් කොකා­කෝලා  බෝතල් වලින්  පහළ සිටි­ය­වුන්ට පහර දෙන්නට වූහ. මේ භයා­නක තත්ත්වය මධ්‍යයේ  කළ­ඹ­නා­කරු වෙත ළඟා වීමට අව­ස­ථා­වක් මට ලැබුණ ද ඒ වන විටත් ශාලාව “හවුස් ෆුල්” වී තිබිණි. අවශ්‍ය නම් බැල්ක­නියේ පැත්ත­කින් සිට­ගෙන චිත්‍ර­ප­ටය නර­ඹ­න්නට ඉඩ සලසා දිය හැකි යයි කළ­ම­ණා­කාර තැන පැව­සු­වද මම ආපසු පැමි­ණි­යෙමි.

චිත්‍ර­ප­ටය නැර­ඹී­මට නොලැ­බුණ ද මේ “ප්‍රති­හාර්ය” ගැන  සොයා බැලී­මට මම ඊළ­ඟට තීර­ණය කළෙමි.

ඒ අනුව මම පසු­දි­නම  මෙම චිත්‍ර­ප­ටය මුලින් ම ප්‍රද­ර්ශ­නය කළ දෙහි­වල “කොන්කෝඩ්” සිනමා හල කරා ගියෙමි. එය පිහිටා ඇත්තේ  ගාලු පාරේ සිට සෑහෙන දුරක්  ඇතු­ළට වන ආකා­ර­යෙනි. උදෑ­සන අටට පමණ මම එහි යන විටත් පෝලිම  ශාලා භූමි­යෙන්  පිට­තට ද පැතිරී ගාලු පාර අයිනේ  කොළඹ දෙසට දිග් ගැස්සෙ­මින් තිබිණි. 

මෙහි කළ­ම­නා­කාර මහතා පැව­සුවේ චිත්‍ර­ප­ටය ආරම්භ කළ දවසේ  පළ­මු­වෙනි ප්‍රේක්ෂ­කයා පැමි­ණියේ  පාන්දර  හතර හමා­රට බවත්, උදේ 7.30 ට පළමු දර්ශ­නය ආරම්භ කිරී­මට හැකි වූ බවත් ය. එතැන් සිට එක දිග­ටම චිත්‍ර­පට ප්‍රද­ර්ශ­නය කෙරෙන බවත් ඒ සඳහා  වේලා­වක් අවේ­ලා­වක් නැති බවත් පැව­සීය.

ඉක්බිති මා ගියේ එක්වර චිත්‍ර­පට හත­රක් ප්‍රද­ර්ශ­නය කරන මර­දානේ “සිනෙ­සිටි” සිනමා හල වෙතය. චිත්‍ර­පට නිෂ්පා­ද­ක­ව­ර­යෙකු වූ බුද්ධි කීර්ති­සේන මහ­තාට අයත් මෙහි කට­යුතු සිදු­වුණේ ද ශාලා හතර පිරුණේ කොයි මොහොතේ ද ප්‍රද­ර්ශ­නය ආරම්භ කර­මින. 

එහිදි මා දුටු විශේෂ අත් දැකීම වූයේ ඉහළ මාලයේ එකි­නෙ­කට  සමා­න්ත­රව පිහිටි ශාලා දෙකක එකම රීල් එකක් භාවිත කර­මින් “සිවාජී“ ප්‍රද­ර්ශ­නය කළ අකා­ර­යය.

මෙහි එක ශාලා­ව­කට අයත් ප්‍රක්ෂේ­පණ යන්ත්‍ර­යක හරස් අතට සවි කළ තැටි­යක් මත මුල් චිත්‍ර­ප­ටය  අසුරා තිබුණි. 

එය මෙම ප්‍රොජෙ­ක්ට­රය හරහා ගමන් කර­මින් එම ශාලාවේ අයට චිත්‍ර­ප­ටය ප්‍රද­ර්ශ­නය කෙරෙන අත­රේම බිත්තියේ සවි­කළ නූල් පන්දු වැනි  රෝද ගණ­නා­වක් හරහා ගමන් කොට, ඊළඟ ප්‍රොජෙ­ක්ට­ර­යට ඇතුළු වේ. මේ අනුව ඒ ප්‍රොජෙ­ක්ට­ර­යෙන් ද චිත්‍ර­ප­ටය ප්‍රද­ර්ශ­නය වන අතර පෙර පරි­දිම සකස් කරන ලද එහි වූ තැටි­යක චිත්‍ර­ප­ටිය එතෙ­න්නට පටන් ගනී.

 මෙවැනි උප­ක්‍රම යොදා ගනි­මින් හැකි­තාක් කාල වේලාව ඉතිරි කර ගනි­මින් මෙම චිත්‍ර­ප­ටය  ප්‍රද­ර්ශ­නයේ යෙදුනු සිනෙ­සිටි පාල­ක­යින්ට ද සිනමා ලෝලීන්ගේ  “සිවාජි” පිපා­සය සංසිඳු වීම සඳහා තවත් සති­යක් දෙකක් ගත වූ බව මම දනිමි.

කන්තෝ­රුවේ අනි­කුත් වැඩ කට­යුතු ද හේතු කොට ගෙන“සිවාජි” නැර­ඹීමේ ව්‍යාපෘ­තිය අත්හි­ට­වී­මට මා හට සිදු­විය. ජීවි­තයේ ප්‍රථම වරට චිත්‍ර­ප­ට­යක් නොබලා චිත්‍ර­ප­ට­යක් බල­න්නට යාමේ කට­යුත්ත පම­ණක් ලියා හිත සනසා ගැනී­මට සිදු වුයේ එබැ­විනි.

පසු දිනක මේ ගැන කතා කළ කැලුම් පාලිත මහී­රත්න පැව­සුවේ ඉන්දි­යාවේ “සිවාජි” ප්‍රද­ර්ශ­නය ආරම්භ කළ මොහොතේ සිටම ප්‍රේක්ෂ­ක­යින් වේදි­කා­වට ගොඩ වී තිරයේ පතිත වූ රැජි­නි­කාන්ත්ගේ රූපය අත ගාන්නට වූ බවය. 

කැලුම් ඒ ගැන තමා අසල සිටි­යෙ­කු­ගෙන් ඇසු විට ඔහු පවසා ඇත්තේ “ඇයි? උඹ­ලගේ රටේ එහෙම කරන්නේ නැද්ද”? කියාය.

Comments