නාඩි නැව­තීම! | සිළුමිණ

නාඩි නැව­තීම!

එය වසර දාහ­ත­කට පෙර දව­සකි.   

වේලාව රාත්‍රි 1.00 ට පමණ විය.  

හිතු­ව­ක්කා­ර­යෙකු වූ මගේ සොහො­යුරා පවුලේ අය සමග වූ ආරා­වු­ලක් හේතු­කො­ට­ගෙන දිවි නසා ගනු පිණිස කොහේදෝ තිබූ බෙහෙත් පෙති අහු­රක්ම ගිල දැම්මේය.  

ඉතා කෙටි කාල­යක් තුළ සිහි­සුන්ව ගිය ඔහුව වෑන් රථ­යක දමා ගත් මමත් මස්සි­නාලා දෙදෙ­නාත් ඔහු ගම්පහ මූලික රෝහල වෙත රැගෙන ආවෙමු.   

සැණෙ­කින් රෝගියා ගම්පහ රෝහලේ හදිසි ප්‍රති­කාර ඒක­ක­යට ඇතු­ළත් කරනු ලැබූ අතර, එහි සිටි වෛද්‍ය නිල­ධා­රි­නි­යගේ නිග­ම­නය වූයේ මොහුව කිසි­සේත්ම ජීවත් කළ නොහැකි බවය. එන­මුත් අවශ්‍ය ප්‍රති­කාර විධි සකස් කර ඇය පිට­තින් එන්න­තක් ද ගෙන්වා ගෙන, එයද රෝගි­යාට ලබා දුන්නාය. නමුත් මොහුව කිසි­සේත් ම ජීවත් නොවන බවට වූ නිග­ම­නය වෙනස් කිරී­මට ඇය කිසි­සේත්ම සුදා­නම් වූයේ නැත.  

“ලෙඩා කොළ­ඹට අරන් ගියොත් ජීවත් කර­වන්න පුළුවන් වෙයිද ඩොක්ටර්?” මම විම­සු­වෙමි.  

“ඒක ඔය ගොල්ලන්ගේ කැමැ­ත්තක්. මම කිව්වේ වෛද්‍ය­ව­රි­යක් හැටි­යට මට දැනෙන දේ”  

තම නිග­ම­නය අව­ත­ක්සේ­රු­වට ලක් කරනු ලැබු­වා­යයි සිතුණු නිසා දෝ ඇති වූ නොරි­ස්ස­ම­කින් යුතුව ඇය පිළි­තුරු දුන්නාය.  

නොප­මාව රෝගි­යාගේ ටිකට් කප්පවා ගත් අපි ඔහු රැගෙන කොළඹ බලා පිටත් වූවෙමු. අප රැගත් කැර­වෑන් වර්ගයේ වෑන් රථයේ දොර අසල අසුනේ රෝගියා හරස් අතට නිදි කරවා තිබිණි. ඔහුගේ හිස ලොකු මස්සි­නාගේ ඔඩො­ක්කුව මතද දෙක­කුල් මගේ උකුළ මතද විය. පොඩි නංගීගේ සැමියා රිය පද­ව­මින් සිටි­යේය.   

දක්ෂ පළ­පු­රුදු රිය පද­ව­න්නකු වූ ඔහුගේ වේගය පිළි­බ­ඳ­වත්, රිය පැද­වීම ගැන­වත් අප තුල අල්ප­මාත්‍ර වූද සැක­යක් නොතිබූ නමුදු මේ මොහොත වන විට ඔහු පුරා දින දෙකක් හරි හැටි නිදි නොලබා සිටි බව නම් අප දැන සිටියේ නැත.   

රාත්‍රි 2.00 පමණ වන විට අපි කඩ­ව­තත් කිරි­බ­ත්ගො­ඩත් අතර වූයෙමු. වෑන් රථය පැයට කිලෝ මීටර් අසූ­වක පමණ වේග­යෙන් ගමන් කර­මින් තිබිණි.   

රෝගි­යාගේ හිස උකුල මත තබා­ගෙන සිටි ලොකු නංගීගේ සැමියා මගේ අතට තට්ටු කළේ මහත් කළ­බ­ල­යෙනි.  

“පල්ස් නැව­තුණා....!”ඔහු පැව­සීය.   

රෝගි­යාගේ පපු­වට අත තැබූ මටද වැට­හුණේ ඔහුගේ හෘද ස්පන්ද­නය නැවතී ඇති බවය. තත්වය පැහැ­දිලි කරනු වස් මම, ඒ වන විටත් වේග­යෙන් රිය පද­ව­මින් සිටි පොඩි මස්සි­නාගේ උර­හි­සට තට්ටු කළෙමි.  

විදුලි සැර­යක් වැදුණු කලෙක මෙන් එක් වරම ගැස්සුණු ඔහු ඒ වන විටත් මුහු­ණට මුහු­ණලා පැමි­ණෙ­මින් තිබූ ශීඝ්‍ර­ගාමී බස් රථ­යක ගෑවී නොගෑවී තම වෑන් රථය අයි­න­කට කර නැවැ­ත්වීය.  

වික්ෂිප්ත වූ මුහු­ණින් යුතුව තවත් තත්පර කිහි­ප­යක් අප දෙස බලා සිටි ඔහු වතුර බෝත­ල­යක් ගෙන හිස මතට හලා ගත්තේය.  

මා ඔහුගේ උර හිසට තට්ටු කරන මොහොත වන විට ඔහු රිය පදවා ඇත්තේ නින්දෙනි. සොහො­යු­රාගේ හුස්ම නැව­තුණ බව සන්නි­වේ­ද­නය නොව­න්නට - මගේ අද­හස නම් අප හතර දෙනා­ගේම නාඩි නැවතී මේ වන විට දශක එක හමා­රක් පමණ විය හැකි බවය.  

මේ කතා­වට අව­සන් පරි­ච්ඡේ­ද­යක්ද ඇත. ඉන් කිය­වෙන්නේ කොළඹ මහ රෝහලේ හදිසි ප්‍රති­කාර ඒක­ක­යට ඇතුළු කරනු ලැබූ රෝගි­යාගේ ජීවි­තය ගොඩට ඇද දෙන්නට එහි සිටි වෛද්‍ය­ව­රිය ගත් අප්‍ර­ති­හත උත්සා­හ­යයි.  

ඇයගේ අද­හස වූයේද “ලෙඩා කන්ඩෙම්’‘ බවය. “එත් අයි­සීයූ එකට දා ගත්තොත් ජීවත් කර ගන්න පුළු­වන් වෙයි. ප්‍රශ්නෙ­කට තියෙන්නේ කොළඹ අයි­සීයූ එකේ ඇඳන් ඔක්කොම පිරිලා”  

මෙසේ පැව­සු­වද ඇය නිකම්ම සිටියේ නැත. ලංකාවේ හතර දිග් භාග­ය­ටම කතා­කොට අන්ති­මේදී හලා­වත රෝහලේ අයි. සීයූ. එකේ ඇඳක් ඇති බව සොයා ගත්තාය. ඒ වන විට කොළඔ හදිසි අන­තුරු වාට්ටුවේ හෙදි­ය­කව සිටි රංජනී අක්කාද ඇතුළු පිරි­සක් බාරයේ රෝගියා හලා­ව­තට යවා ඔහුගේ ජීවි­තය ගලවා දෙන්නට ඒ උදාර වෛද්‍ය­ව­රිය සමත් වූවාය.   

මෙය ප්‍රාති­හා­ර්ය­යක් වූවා හෝ නැතුවා හෝ එසේ හඳු­න්ව­න්නට අප මැළි වන්නේ ඇයි? මෙය ප්‍රාති­හා­ර්ය­යකි! 

Comments