දේශපාලනය, සාහිත්‍යය සහ ඔහුගේ සැකය | සිළුමිණ

දේශපාලනය, සාහිත්‍යය සහ ඔහුගේ සැකය

“අපි නන්නත්තාර වී සිටින්නෙමු”යි සදාකාලිකයාණෝ වදාළහ. අපට සෙන්තාවුරයන්, හාපිස්ලා, දේව දූතයන් අවශ්‍ය මොන ඉලව්වකටද? අප සලකා බැලිය යුත්තේ පෙන්ග්විනයන් පිලිබඳවය.

“දෙවියන් වහන්ස, ඔබ හරියටම ‍පොයින්ට් එකට කතා කළ සේක්ය.” එසේ කීවේ දොස්තරවරු පනස් දෙනාගේ ප්‍රධානියා ය. ඔවුහු ඔවුන්ගේ ලෞකික භාවයේ දී අලෙක්සන්ද්‍රියාවේ කන්‍යාව විසින් වල්මත් කරනු ලැබුවාහු වෙති. දැන් ස්වර්ගය කලඹමින් තිබෙන මේ මහා අලකලංචිය අවසානයකට ගෙන ඒම උදෙසා, අපව වල්මත් කළා වු ශාන්ත කැතරිනාතුමිය යෝජනා කළ පරිදි මහළු මායෙල්ගේ පෙන්ග්විනයන්හට මිනිස් සිරුරෙන් අඩකුත්, ඊට සමානුපාතික වූ සදාකාලික ආත්මයකුත් දිය යුතු යැයි මම නිර්භයවම ප්‍රකාශ කර සිටිනවා.”

මාර්ටින් වික්‍රමසිංහ නිතර කී සදය උපහාසය යනු මෙයද?. නැතහොත් ඊටත් එහා ගිය ජුගුප්සාජනක උපහාසයක් මෙහි වේද?. ඔහු උපන්නේ ප්‍රංශයේ පැරිස් නගරයේ දීය. කාලය වශයෙන් ගතහොත් ප්‍රංශ විප්ලවය සිදු වී අටසිය වසකට පසුවය. ෂන් ෂාක් රූසෝ, වෝල්තෙයාර් වැනි මිනිස් නිදහස දර්ශනවාදයක් ලෙසින් දුටු ලේඛකයින් උපන්නේ ද මේ භූමියේමය. තවද රැබලේ නැමති පූජකයෙකු පැවැති ආගමික සංස්ථාපිතය “ගාගන්තුවා සහ පන්තාගෲවෙල්” කෘතියෙන් කොතරම් උපහාසයට ලක් කළේද යත් එය ජුගුප්සාජනක යැයි පැවසීමට පවා ඇතැම්හු පසුබට නොවුහ.

ෂක් ඕන්ත්වාන් අනතෝල් තිබෝ උපත ලබන්නේ එවැනි නර්මාලාප උපහාසයෙන් සාම්ප්‍රදායික සමාජ දේශපාලන ආධිපත්‍යයට පහර දුන් සාහිත්‍යයික පසුබිමකය. නමුත් ඔබ තවමත් මේ සාහිත්‍යකරුවාව නොහඳුණන බව මම දනිමි. ඒ නිසා මම ඔහුට ඇනටෝල් ෆ්‍රාන්ස් යැයි කියමි. ඔහු සාහිත්‍යකරුවෙකු වශයෙන් ප්‍රකට වන්නේ ඒ නමිනි.

ඉහතින් ඔබ කියැවුයේ ඔහුගේ “පෙන්ග්වින් දිවයින” නම් කෘතියෙන් ගත් උද්ධෘතයකි. එය ටි. අන්ද්‍රාදි විසින් සිංහලට නගා තිබේ. එම කෘතිය ලිවීමේදි ෆ්‍රාන්ස් දක්වා ඇති නිර්භීත බව ගැන මක්සීම් ගෝර්කි ද සිය විමතිය පළ කොට තිබේ. කෙසේ වුව ඔහුගේ ඒ එඩිතර බව හුදෙක් ඔහුගේ ගුණයක් ලෙසින් ගන්නවාට වඩා අර මුලින් කී ඵෙතිහාසික ජීව ගුණයත් සමගින් බැඳුණක් ලෙසින් ගැනීම තර්කානුකූල යැයි සිතමි.

කෙසේ වුව එසේ වැඩී ආ ඇනටෝල් ෆ්‍රාන්ස්ගේ සාහිත්‍යය ඔහු හැත්තෑ වියට එළඹෙන විට ආපසු සිය ළමා කාලය සොයා යන රොමැන්ටික් සුන්දරත්වයක් කරා පිය නගනු දැකිය හැකිය. ඒ අනුව යන කෘති කිහිපයක්ම ඔහු අතින් ලියවෙන අතර, ඔහුගේ එකම දියණියගේ වියෝවත් දෙවැනි ලෝක යුද්ධය හමවේ යුරෝපාකරය මුහුණ පා තිබූ මානූෂීය ව්‍යසනයත් මීට හේතු වී යැයි පෙන්වා දී තිබේ.

ෆ්‍රාන්ස් දේශපාලනික වශයෙන් සමාජවාදී අදහස් මත සිටියද මතවාදී වශයෙන් ඊට අදාළව ස්ථීරත්වයක් නොපෙන්වී යැයි ද හඳුනාගෙන තිබේ. ඔහු නිතරම දේශපාලනික වශයෙන් සංශයවාදී වුණේ යැයි ද ඔහුගේ විශිෂ්ට කෘතියක් වන පෙන්ග්වින් දිවයින අවසානයේදී ද ඒ සංශයවාදීබව දැකිය හැකි වී යැයි පෙන්වා දී තිබේ.

කෙසේ වෙතත් දේශපාලන ක්‍රියාකාරීකයෙකු වශයෙන් ද කටයුතු කළ හෙතෙම ඒ නිසාම සිය කෘතීන් තුළින් දේශපාලන අක්‍රමිකතාවන්ට විරෝධය පළ කළා වූ තැනකට පමණක් සීමා නොවුයේය.

ඔහුගේ වැදගත් කෘති දෙකක් වශයෙන් ගැනෙන “පිපාසයෙන් සිටින දෙවිවරු” මෙන්ම “සුර දූතයන්ගේ විප්ලවය” බලය සහ ප්‍රචණ්ඩත්වය සම්බන්ධයෙන් කළ සලකා බැලීමක් යැයි පෙන්වා දී තිබේ. ඇතැම් පෙන්වා දීමකට අනුව ඒ වනාහි පළමුවන ලෝක යුද්ධයේ කළු වලාකුළු අතරේ නැගි ආ මිනිසාගේ සමාජවාදී අනාගතය ගැන සැක ඉපිද වු මානසික තත්ත්ව විදාරණයක් වේ.

1921 දී ඔහු සාහිත්‍යය සම්බන්ධයෙන් නොබෙල් සම්මානය ලබයි. අවාසනාවකට මෙන් ඉන් වසර තුනකට පසුව ඔහු මිය යයි.

Comments