දෙවියන් බඳු මිනිසුන් අතින් ලියැවුණු මියැසි වදන් | සිළුමිණ

දෙවියන් බඳු මිනිසුන් අතින් ලියැවුණු මියැසි වදන්

ලෝකයේ දයාර්ද්‍ර සිත් ඇත්තෝ සිටිති. ඔවුහු අනෙකාට උදව් උපකාර කරමින් සතුටින් කල් ගෙවති. අප ජීවිත කාලයේ ඇසුරු කළ ධර්මසිරි ගමගේ යනු එවැනි මහා මිනිසෙකි. ළතෙත් හදින් අනෙකාට කතා කළ, සුහදබවින් සිනාසී නිතර සමාජයේ විවිධ කටයුතු කළ එතුමෝ රටට, දැයට තමන් ගේ යුතුකම මැනවින් ඉටු කළහ. තම ජීවිතයේ වැඩි කොටස පොදුජන සමාජය වෙනුවෙන් ම කැප කරමින් මිනිසුන් රස ගැන් වූ හ. ජනමාධ්‍යවේදියෙකු, පරිසරවේදියෙකු, ගී පද රචකයෙකු, සිනමා අධ්‍යක්ෂවරයෙකු, ග්‍රන්ථ කර්තෘවරයෙකු ආදි වශයෙන් විවිධ භූමිකාවල නිරත වූහ.

අතිශය නිහතමානි පුද්ගලයෙකු වන ගමගේ මහතා ‘යොවුන් ජනතා’ පුවත්පතේ සේවය කරමින් සිටින අතරතුර සංවිධානය කළ ‘පහන්වැට’ නිර්මාණ වැඩමු`ඵවක මෙරට තරුණ ප්‍රජාව කෙරෙහි ඉමහත් බලපෑම් ඇති කළේ ය. අද වන විට මැදිවියේ පසුවන බොහෝ නිර්මාණකරුවන් ස්වකීය නිර්මාණ ජීවිතවල මුල් ම අත්පොත කියවන ලද්දේ ‘පහන්වැට’ නිර්මාණ වැඩමු`ඵවට සහභාගි වෙමිනි. එපමණ තරුණ ප්‍රජාවක් නිර්මාණකරණයට එක්වර පිවිසි සාර්ථක වැඩමු`ඵවක් මෙරටේ එදා මෙදාතුර පැවැත්වී නැති බව පැහැදිලි ය.

ඒ අනුව ජාතික මට්ටමට ආ කවියන්, කෙටිකතාකරුවන්, නවකතාකරුවන් ඇතුළු විවිධ සාහිත්‍යකරුවන් අදටත් ඒ ඒ ක්ෂේත්‍රවල සාර්ථක ව නිර්මාණකරණයේ යෙදෙති. ධර්මසිරි ගමගේ නිර්මාණ ජීවිතයේ සුවිශේෂ අවස්ථාවක් වන්නේ 1966 වර්ෂයේදී තිරගත කෙරුණු ‘සැනසුම කොතැනද’ සිනමා කෘතිය ය. එය අධ්‍යක්ෂණය කරන ලද්දේ කේ.ඒ.ඩබ්. පෙරේරා විසිනි. එහි සංගීතය නිර්මාණය කරන ලද්දේ ප්‍රේමසිරි කේමදාස විසිනි. ‘සංසාරේ ගමනේ’, ‘සුළං කුරුල්ලෝ’, ‘ආදරයේ රන්විමනේ’ වැනි ගීත නිර්මාණ අන්තර්ගත වුණු ‘සැනසුම කොතැනද’ සිනමා නිර්මාණය අදටත් ආදරණීය මතකයක් ලෙස ප්‍රේක්ෂක විචාරක සම්භාවනාවට පාත්‍ර වෙමින් තිබේ. එලෙස සිනමා කලාවට පිවිසුණු ධර්මසිරි ගමගේ පසුව තිරනාටකයෙකු, අධ්‍යක්ෂවරයෙකු ලෙසින් ද නමක් දිනා ගත්තේ ය. ඒ අනුව ‘ආදරවන්තයෝ’, ‘සිරිපාල හා රන්මැණිකා’, ‘එයා දැන් ලොකු ළමයෙක්’, ‘සරුංගලේ’ වැනි සිනමා කෘතිවලට ද දායක වූයේ ය. ‘යසඉසුරු’, ‘පූජා’ වැනි සිනමා කෘති අධ්‍යක්ෂණය කළ ඔහු පසුව සිනමා අධ්‍යක්ෂවරයෙකු ලෙසින් ප්‍රකට විණි. මේ අතරින් ‘සිරිපාල හා රන්මැණිකා’ සිනමා කෘතිය බිහිවන්නේ ගවේෂණශීලි පුවත්පත් කලාවේදියෙකු ලෙස සිදු කරන ලද ඉමහත් මෙහෙවරක අග්‍රඵලයක් වශයෙනි.

සොදුපත් කියවන්නෙකු ලෙස පුවත්පත් මාධ්‍යකරණයට බැඳුණු ඔහු ’සිංහල බෞද්ධයා’, ‘ලංකාදීප’, ‘සිළුමිණ’ වැනි ජාතික පුවත්පත්වල සේවය කරමින් සැබෑ පාඨක ප්‍රජාවකට ආමන්ත්‍රණය කළේ ය. ඔහුගේ පරිසර වර්ණනා සහිත ලිපිවලට එකල මෙරට පුවත්පත් පාඨකයෝ අපමණ පෙම් බැන්දහ. අවසානයේ එතුමෝ ‘සිළුමිණ’ පුවත්පතේ ‘රසඳුන’ විශේෂ අතිරේකය ද සංස්කරණය කළහ.

ගී පද රචනයෙන් ධර්මසිරි ගමගේ මහතා රචනා කළ ගීත බෙහෙවින් ජනප්‍රිය විණි. පණ්ඩිත් අමරදේවයන්ට ‘සිහින නෙළුම් මල’ ගී පද රචනය කළ ඔහු එච්.ආර්. ජෝතිපාලට ‘ගෙදර හිටිය රෝස කැකුළ’ ගී පදවැල ද රචනා කළේ ය.

‘ආදර චාරිකා’, ‘පුංචි පුතා මගෙ ඉස්කෝලේ ගිය’, ‘කුඩාගමේ මද්දහනේ’, ‘රෑන ගිරා ජෝඩුවයි’, ‘අම්මාවරුනේ’, ‘රිදීකුමාරි’, ‘චන්දන ඇල්ලෙන් නාලා’, ‘අඬන්නේ ඇයි සුදු මැණිකේ’, ‘නීල දෑස පුරා’, ‘එපා එන්න කියලා’ වැනි ගීත රැසකට ගී පද රචනයෙන් දායක වී තිබෙන ධර්මසිරි ගමගේ සුවිශේෂ ආරකින් භාෂාව භාවිත කළ ප්‍රාමාණිකයෙකි.

මිනිසත්කමින් අනූන චරිතාදර්ශයක් සහිත ව සමාජයේ සැරුසැරූ එතුමා පවුල් සංස්කෘතිය තුළ ආදරණීය සැමියෙකු, පියෙකු, සහෝදරයෙකු, වැඩිහිටියෙකු ලෙස කටයුතු කළ බව ප්‍රකට ය. ඔහුගෙන් සමාජයට ද ලැබුණේ ඊට වඩා නො අඩු ආදරයක් නො වේ. සියල්ලන්ට ම එතුමන් ගෙන් හිමි වූයේ එක සමාන ආදරයකි.

ධර්මසිරි ගමගේ ලියූ ගී පදවැල්වලින් ද වහනය වූයේ ඒ මිනිසත්කමින් අනූන ආදරය ම ය.

‘හුලවාලි’ චිත්‍රපටය උදෙසා ඔහු විසින් රචනා කරන ලද ‘කුඩාගමේ මද්දහනේ’ ගී පදවැල මෙරට ගී පද සාහිත්‍යයේ විශිෂ්ට නිදර්ශනයක් වැන්න.

කුඩාගමේ මද්දහනේ අව් රස්නේ නිවා
හුරී කඳුපෙතේ දඩමං දිගේ ගියා මෙමා
එවන් ගමන් මා නම් ගියෙ සෙනෙහස ගැන සිතා
නුඹේ කරට රිදීපොටක් පළඳන්නයි සුබා..

මගේ පැලට නුඹ කැන්දන් පැමිණි දොහේ එදා
මල්ගෝමර පිපුණු ළමැද වසා ගනින් කියා
මගේ අතින් දුන් සළුවෙන් ළමැද වසා ගියා
රිදීපොටක් කර ලන්නට වරම් නැතුව ගියා..

ආලවඩන අකුරුපහේ තේරවිල්ල සකී
රෑට නිදන තනිපැදුරේ නැති සිහිනෙකි සකී
ආලෙ බිඳුණු දා කුමකට කඳුළු සලනු සකී
ආලවඩන යන තේරුම බෝසත්කම සකී...

උක්ත චිත්‍රපටියේ හුලවාලියා හෙවත් රැහේ නායකයා වූ ධාරා මුහුණ දෙන අතිශය ඛේදජනක අවස්ථාවක් භාෂාත්මක පරිසරයක් තුළ කදිමට චිත්‍රණය කළ ධර්මසිරි ගමගේ නිදර්ශනය කරනු ලබන්නේ ඔහු තුළ ම පැවැති අප්‍රමාණ ආදරයේ ගැඹුර ය. තෙතමනයක් නැති හදවතකින් ආදරයක් හටගන්නේ නැත. ආදරයක් නැති හදවතකින් මෙවැනි ගී පද රචනයක් ලියැවෙන්නේ නැත.

සමාජය මිනිසත්කමින් පුරවන්නට වැර දැරූ ධර්මසිරි ගමගේ සූරීහු 2004 සැප්තැම්බර් 19 වැනි දා මෙලොවින් වියෝ වූහ. එවැනි විශිෂ්ට මිනිසුන්ගේ අඩුව එදාටත් වඩා දැනෙන්නේ අද ය.

Comments