අඩ සඳ | සිළුමිණ

 අඩ සඳ

මා වෙර­ළට පැමි­ණියේ කෙසේ දැයි මට මතක නැත. මා නි‍ෙව­සින් පාරට බැස්සේ අර­මු­ණ­කින් තොර­වය. එවේලේ පැමිණි බස­ය­කින් පැමිණි මා නග­ර­යෙන් බසිද්දී සිතෙහි වූයේ කාලය ගෙවා දැමීම සඳහා චිත්‍ර­ප­ට­යක් බැලිය යුතුය යන්නයි. එ‍හෙත් සිනමා ශාලාව පසු­කොට වෙරළ පාරේ එන­විට දී මට එය සිහි­පත් නොවුණේ ය.  

මා දැන් සිටින්නේ වෙරළ තීරයේ හු‍ෙද­ක­ලාව සක්මන් කර­මිනි.‍  

මුහු­දෙහි රළ බිඳෙන හඬ ශෝකා­කූල ඉකි­බි­ඳු­මක් වැනි ය. මළ හිරු සිති­ජ­යට සමු­දෙ­මින් තිබුණේ ය. වෙර­ළෙහි සැඳෑ සිරි නර­ඹ­මින් සිටි පිරිසේ අව­සන් පුද්ග­ලයා ද වෙරළ හැර­ය­මින් සිටියි. සිමෙන්ති බංකු පෙළ මුහුද දෙස බලා සිටින්නේ හුද­ක­ලාව දරා ගනු බැරි විල­සිනි.  

බංකු­ව­කට බර දී මුහුද දෙස බලා සිටි­ය­හොත් සිතට සැහැ­ල්ලු­වක් ලැබෙ­තැයි යන අද­හ­සින් මම බංකු­වක් වෙත පිය නගමි. ඒ මත කිසි­වක් ඇති බව මා දුටුවේ එහි හිඳ ගැනී­මට සැර­සෙන විට ය. සැදෑ ඇඳි­රිය මැද වුව ද එහි ඇති දේ හඳුනා ගන්නට අප­හසු නැත. මුදල් පසු­ම්බි­යක්, ජංගම දුර­ක­ථ­න­යක් හා අත් ඔර­ලෝ­සු­වක් බංකුව මත එක් කෙළ­ව­රක ඇත. සපත්තු යුග­ළක් බංකුව පාමු­ලය. මම වට පිට බලමි. අයි­ති­ක­රුවා මේ අස­ලම සිටිය යුතු ය. එහෙත් කිසි­වකු පෙනෙ­න්නට නැත.  

මම මුහුද දෙස හොඳින් විප­රම් කර බලමි. ඈත මුහුදු රළ අතර අඳු­රෙහි කිසි­වෙක් සිට ගෙන සිටියි.  

මුහුදේ හඬ උස්ව නැගෙයි. මම ඒ හඬ යට­පත් කර­මින් කෑ ගසමි.  

“මේ හලෝ! ඔහේට ඇහෙ­න­වද... අද මුහුද සැරයි. ආපසු එනවා. මේ හලෝ... මහ­ත්තයා ඔහේගෙ කන් ඇහෙ­න්නැද්ද...”  

මම ඔහුට තවත් ළංව කෑ ගසමි. ඒ හඬ ඇසී ඔහු මා දෙස හැරී බලයි. මම ඔහුට තවත් සමීප වෙමි.  

ඔහු සන්සුන්ව මුහුද දෙස බලා සිටියි. ඔහු ද මා මෙන් ම මැදි­වි­යට පා තබ­මින් සිටින පුද්ග­ල­යෙකි.‍  

ඔහුගේ හඬ දුර්ව­ලය. ඇසෙන නෑසෙන ගානය.  

“ඔ‍ෙහ් හිතුවෙ මං මැරෙන්න හද­නව කිය­ලද?”  

මගේ හඬ ද මුහුදු රළ සමඟ පොර බදියි.  

“දෙයි­යනේ. ඒක මොන මෝඩ­ක­මක් ද?”  

“මං ඒ තරම් දුර්වල මිනි­හෙක් නෙවෙයි.”  

“එහෙ­නම්”  

ඔහු පිළි­තුරු දීමට ඉක්මන් නොවන බව පැහැ­දි­ලිය. මම ඔහුට කල් වේලා ගැනී­මට ඉඩ සල­සමි. ඔහු මා පසු­ කර බංකුව දෙසට ඇවිද ගෙන යයි.  

මම ඔහුට බංකු­වෙහි හිඳ ගන්නා ලෙස අතින් සන් කරමි. ඔහු බංකුවේ හිඳ ගත්තේ මට ද හිඳ ගැනී­මට ඉඩ සල­ස­මිනි. මම ඔහුගේ දුර්වල හඬ අපේ­ක්ෂා­වෙන් ඔහු දෙස බලමි.  

“මට මගේ හිතේ ශක්තිය බලන්න හිතුණා.”  

“එත­කොට මේවා”  

මම ඔහුට බංකුව මත ඇති දේ පෙන්වමි.  

ඔහු‍ගේ සිත වෙහෙස‍ට පත්වී ඇත.  

“හිතට තීර­ණ­යක් ගන්න ඉඩ දුන්න‍.”  

මම තවත් ඔහු වෙහෙ­සට පත් නොක­රමි. සිදු­ව­න්නට ගිය දෙය පැහැ­දිලි ය.  

මම මාතෘ­කාව වෙන­ත­කට යොමු කර­වමි. එය මෙවැනි අව­ස්ථා­වක කොත­රම් උචිත දැයි නොතේරේ. එහෙත් ඔහු වෙහෙ­සට පත් නොකර මා පම­ණක් කතා කළ යුතුය යන අද­හස සිතෙහි ඇති වූවේ වෙන­දාට නැති උද්යෝ­ග­ය­කිනි. එය එක් අත­කින් මගේ සිත සැහැල්ලු කර­ගැ­නී­මට කරන ආත්මා­ර්ථ­කාමී උප­ක්‍ර­ම­යක් ද විය හැකි ය.  

“මම දීපාල් මං දන්නෑ ඔබ පොත් කිය­ව­නව ද කියල. මට මතක් වෙනව නිකො­ලායි ඔස්ත්‍රොව්ස්කි වානේ පන්න­රය නව කතා­වෙදි කියන දෙයක්.”  

“මිනි­සාගේ අති­උ­තුම් වස්තුව ජීවි­ත­යයි. එය ඔහුට ලැබෙන්නේ එක් වරක් පම­ණයි. ජීව­ත්වීම කොහෙත්ම බැරි තර­මට දුෂ්කර වූ විට පවා ජීව­ත්වී­මට ඉගෙන ගත යුතුයි. ජීවි­තය ප්‍රයෝ­ජ­න­වත් බවට පත්කර ගත යුතුයි. මුළු­ම­හත් ජීවි­ත­යත්, මුළු මහත් ශක්ති­යත් ලෝකයේ අති උදාර හා සුන්දර පර­මාර්ථ උදෙසා කැප කළ යුතුයි කියල.”  

 මට මේ කොටස පොතේ ඇති සැටි­යෙන් ම කිය­න්නට පුළු­වන් වූවේ එය මා නිතර මත­ක­යට නගන බැවිනි. පොත අතට ගත් සැණින් එම කොටස ඇති පිටුව පෙර­ළෙන්නේ නිතැ­තිනි. පිටුව පෙර­ළුණු විට අදාළ පාඨ­යට නෙත නිතැ­තින් ම යොමු වන්නේ ඒ යටින් ඉරි ඇද ඇති බැවිනි.  

මගේ කිය­වා­ගෙන යෑම ඔහුට කොතෙක් දුරට දරා ගත හැකිද?  

ඔහුට මගේ මාතෘ­කාව වෙත සමීප වීමට සෑහෙන කාල­යක් අවශ්‍ය බව පෙනෙයි. අඳුර ගලා ආවද තවම රෑ බෝවී නැත. ඈත වීදි පහන් දැල්වුණේ මේ දැන් ය. මට ද කාලය ගත වීම පිළි­බඳ ගැට­ලු­වක් නැත. ගැට­ලුව වූවේ කාලය ගෙවා ගැනීම ය.  

“මම ඒක කිය­වල නෑ. හැබැයි හැම මිනි­හෙක්ම හිතන්න ඕන එහෙම තමයි.”  

මීට මොහො­ත­කට පෙර අයාලේ යමින් තිබූ ඔහුගේ සිත එවැනි අද­හ­ස­කට යොමු වීම පුදු­ම­යකි.  

“ඒක අපිට දුරයි වගේ පෙනු­ණට, අපි ඒකට ළංවෙන්න උත්සාහ ගන්න ඕන. ඔබ සන්සුන් බව පෙන්නන්න හැදු­වත් ඔබ නොස­න්සුන් පාටයි. ඔබට වෙහෙස පාටයි” මම ඔහුගේ ඉරි­යව් නිරී­ක්ෂ­ණ­යෙන් බැස ගත් නිග­ම­නය එයයි.  

“ඔබ අක­මැති නැත්නම් මට කියන්න ඔබ කවුද? ඇයි මෙහෙම නොස­න්සුන් වෙලා.”‍  

ඔහු­ගෙන් පිළි­තු­රක් නැත. ඔහු මුදල් පසු­ම්බිය ගෙන එහි ඇති හැඳු­නු­ම්පත් දෙක මා වෙත දිගු කරයි. ඒවා එක­වර අතට ගැනී­මට මගේ සිත ඉඩ නොදෙයි. ඔහු හැඳු­නු­ම්පත් මගේ අත මත තබයි.  

“නම... පදිං­චිය... උපන් දිනය... රැකි­යාව... ඒ ඇති.”  

ඔහු විපුල. පදිං­චිය දෙහි­වල. වයස අවු­රුදු තිස් අටයි. පෞද්ග­ලික ආය­ත­න­යක විධා­යක නිල­ධා­රි­යෙක්.  

දැන් මම ඔහු හඳු­නමි.  

ඔහු තව­මත් මුහුද දෙස බලා සිටියි.  

“ඔබට හිතට එක­ඟව කියන්න පුළු­වන් ද ඔබ මොනම හරි තීර­ණ­යක් අ‍රගෙන ආවෙ නෑ කියල”  

“ඔබට ඕන මොන වගේ උත්ත­ර­යක් ද? මං මේ ජීවි­ත­යෙන් පැනල යනව වගේ උත්ත­ර­යක්”  

“නෑ කොහෙත්ම නෑ. මොනම හරි තීර­ණ­යක්.”  

“මේ මොහො­තෙදි ගන්න තීර­ණ­යක් ඊළඟ මොහො­තෙදි වෙනස් වෙන්න බැරිද?”  

“හිත දුර්වල නම්”‍  

“නෑ හිත සංවේදී නම්”  

අප දෙදෙනා වෙනස් මග දෙක­කින් එකම තැන­කට පැමිණ ඇතැයි මට සිතෙයි. ඔහුගේ කතාව ඇසීමේ කුහුල මා සිතෙහි නැගෙන්නේ මගේ කතාව ඔහුට කීමේ වුව­ම­නාව යට­පත් කර­ගෙන ය.  

“ඔබේ හිත කිය­නව නම් ඔබේ කතාව කියන්න කියල, මම කැමැ­තියි ඒ කතාව අහ­ගෙන ඉන්න.”  

විපුල නිහ­ඬ­වම ඔහුගේ ජංගම දුර­ක­ථ­නයේ ඇති කෙටි පණි­වි­ඩය මා වෙත පෙන්වයි. එය කිය­වී­මට ඇති සදා­චා­රා­ත්මක බව ගැන දැන් මම ප්‍රශ්න නොක­රමි. එහෙත් මම මොහො­තක් ඔහුගේ මුහුණ දෙස බලා සිටිමි. ඔහු එය තේරුම් ගත් බවක් පෙනේ.  

“ඔබ එය කිය­වන්න.”  

ඉන් ලද අව­ස‍ර­යෙන් මම එය කිය­වමි. සිතක ගොඩ­ගැ­සෙන කෝපය වච­න­ව­ලට පෙරළා ඇති එම පණි­වු­ඩය ලැබෙන තැනැ­ත්ති­යගේ ප්‍රති­චා­රය කෙබඳු ද යන්න මට සිතා ගත නොහැ­කිය. ක්ෂණි­ක­වම කෙනෙ­කුගේ මුහු­ණ­ටම කියන වචන හා හිතා මතා ලියන වචන අතර වෙනස තේරුම් ගැනී­මට ඔහුගේ පණි­වු­ඩය ප්‍රමා­ණ­වත් ය.  

මගේ නිග­ම­නය නිවැ­රැදි නම් මේ පණි­වු­ඩය ඔහු ඇයට නොය­ව­න්නට ඇත.  

“ඔබ මේක අවශ්‍ය කෙනාට යැව්වේ නෑ”  

 “නෑ”‍  

“ඇයි”  

“හිත මට ඉඩ දුන්නේ නෑ”  

“ඒක හොඳයි. අපි ආවේ­ග­ශීලී වෙලා­වට කියන කරන දේවල් තර්කා­නු­කූල නෑ. දරු­ණුයි. අපි ඒ ගැන හිතන්න ඕන විවේක ඇතුව.”  

“මම මෙතෙන්ට ඇවිත් පැයක් දෙකක් තිස්සේ කල්පනා කළෙත් ඒ නිසයි. මං හිතන්නෙ දැන් මට හිත නිර­වුල්ව තියා­ගෙන ඒ කතාව කියන්න පුළු­වන් කියල.”  

විපුල මගේ ඉල්ලී­මට අනුව ඔහුගේ කතාව කියන්න ආරම්භ කළේ ය. අත­ර­මඟ මගේ පැහැ­දිලි කර­ගැ­නීම් ඔහුට බාධා­වක් වූවා වන්නට ඇත. මේක ජීවිතේ එක් අඩක කතාව විත­රක් වෙන්න පුළු­වන්. ඉතිරි කොටස නැතුව මේ කතාව සම්පූර්ණ වෙන්නේ නැත.  

“ආද­ර­යෙන් ඇති වෙච්ච විවා­හය ඉක්ම­න­ටම දෙද­රල ගියා. දුවත් එක්ක එයා අස­රණ කරන්න මට සිද්ධ වුණා. ඒ තීර­ණය ගන්න හේතු ගොඩක් තිබුණා. නීතිය ඒව පිළි අ‍රගෙන අපිට වෙන් වෙන්න ඉඩ දුන්නත්, මිනිස්සු ඒව පිළි­ගන්න සූදා­නම් වුණේ නෑ. මිනිස්සු වරද මගේ පිටම පැටෙව්ව. අලුත් බැඳී­මක් නිසා මේ දේ සිද්ධ වුණා කියල කියන එක මට වාව ගන්න බෑ.  

ඔහු පින්සල් පහ­ර­වල් කිහි­ප­ය­කින් සිතු­වම නිම කිරී­මට සැර­සෙන බව පෙනෙයි. සිතු­වම මට සිතින් නිම කිරී­මට සිදු­වනු ඇත.  

“ඒත් ඇත්ත කටු­කයි. ඔබ ඒ සැකය තහ­වුරු කරල ඉතා ඉක්ම­නින් විවාහ වුණා” මෙවැනි කතා­වක ඊළඟ සිදු­වීම මම අනු­මාන කළා.  

“ඔබට හිතේවි මේ වගේ හැම කතා­වක් ම සිද්ධ වෙන්නෙ ඒ විදි­ය­ටම කියල.”  

“අහ­සින් යට අලුත් දෙයක් නෑ කියල කිය­න­වනෙ”  

“ටික දව­සක් යන­කොට දුව ගැන මගේ හිත වද දෙන්න පටන් ගත්ත. ඒත් මම දුව ගැන හිතල කට­යුතු කරන කොට ගැටලු ඇති වෙන්න පටන් ගත්ත.”  

ඔහුගේ කතාව මේ විදි­යට ලඝු කරල හිත හදාගන්න පුළු­වන්ද? ඒක හරි­යට සරල සමී­ක­ර­ණ­යක් වගේ යැයි මට සිතෙයි. එහෙත් ඇයි අප අපේ ජීවිතේ මේ වගේ සිදු­වීම් සැහැල්ලු ලෙස සල­කන්න පුරු­දුව සිටින්නේ. සම­හර විට එය කෙනෙ­කුට එක් දෙයක් වුව ද තව‍ ­කෙ­නෙ­කුට මුළු ජීවි­ත­යම විය හැකි ය.  

ඔහුගේ කතාව මගේ සිතට තර­මක සැන­සි­ල්ලක් ගෙන ආවේ ය. අප දෙදෙ­නාම එකම බෝට්ටු­වක ගමන් කරන බවකි ‍මට දැනෙන්නේ‍.  

ගැහැ­නිය හා පිරි­මියා එක කාල­යක එකම ශරී­ර­යක ජීවත් වී පසුව වෙන් වී ගිය බව මා කියවා ඇත. අප ජීවිත කාලය තුළ කරන්නේ අපෙන් පෙන්වූ ඉතිරි අඩ සොයා ගැනී­මට වෙහෙස වෙන බවකි. එහෙත් එය අප අපේ සිත සනසා ගන්නට ගොතපු ලස්සන කතා­වක් පම­ණක් විය නොහැකි ද?  

විපු­ලට හෝ මට අපේ ජීවිතේ නියම ඉතිරි අඩ හමුවී නැතිද?  

ඊට පිළි­තුරු සප­ය­නවා වෙනු­වට විපුල මට මගේ වාරය ලබා­දී­මට සැර­සෙන බව පෙනෙයි.  

“ඔබට ඔබේ ඉතිරි අඩ තවම හමුවී නැති ද, නැත්නම් අහිමි වෙලාද?”  

මම මගේ කතාව ඔහුට කියමි.  

“දෙනෝ දාහක් සෙනඟ අතරේ මහා තනි­යක් මට දැනේ කියන මහ­ග­ම­සේ­ක­රගෙ කවිය හිතට තදින් ම දැනුන කාල­යක් මට තිබුණා. කිසි කෙනෙක් එක්ක කතා නොක­රපු, හිනා නොවුණ, හුද­ක­ලාව ජීව­ත්වුණු කාල­යක් මට තිබුණා. මම මහ රෑ නැගි­ටල තනි­යම ඇඬුව. නොතේ­රෙන වයසෙ හිටිය මගේ පුතා විත­රයි මගේ ළඟ හිටියෙ. මේ සේරම වුණේ පුතාගෙ අම්ම හදි­සියෙ අපෙන් වෙන්වු­ණාට පස්සෙ.”  

විපුල මගේ කතාව අසා­ගෙන මුහුද දෙස බලා සිටියි.  

“ජීවිතේ වස­න්තය නිමයි කියල හිතපු මම තවත් තාලෙ­කට පස්සෙ දෙවැනි පෙම ලිය­ලන්න පටන් ගත්ත. අඩ සඳක් වෙච්ච මගේ ජීවිතේ පුර සඳක් වෙන­කන් මං හීන දැක්ක. ඒ හීනෙ සැබෑ වුණා.”  

මගේ කතා­වට බාධා කර­න්නට අව­ස්ථා­ව­කට ඉඩ නොත­බාම මට කතා කර­න්නට හැකි­වීම මගේ හැකි­යා­වද, නැති­නම් ඔහුගේ ලැදි­යා­වද? සම­හර විට මෙය මගේ සිතෙහි කතාව විය හැකි ය. ඉන් කොප­මණ ප්‍රමා­ණ­යක් ඔහුගේ සිතට කාන්දු වුණා දැයි මම නොද­නිමි.  

අඩ­සඳ අහ­සට පැමිණ ඇත්තේ අප මෙතැන සිටි­යදී විය යුතු ය. සඳ කිසි­වෙ­කුගේ සිතට බරක් නොවී පායන හැටි පුදු­ම­යකි! සඳ බැස යන්නේ ද එලෙ­ස­මය.  

මා දෙඅ­තට වග­කීම් දෙකක් රැගෙන කම්බි­යක් දිගේ අසීරු ගම­නක් යන බව මට වැට­හෙයි. එය යුක්ති ගරුක නැති ද යන පැණය ඉති­රිව ඇත. ජීවිතේ සම­බර කර ගන්නට මම බොහෝ වෙහෙස වුණෙමි. අතු‍රේ සම­බ­රව යන ගමන අසීරු ය. අව­දා­නම් ය. වර පට කැඩී ගිය­හොත් සිදු­වන්නේ ජීවිත අන­තු­රකි,  

අප විසින් කළ නොකළ දේ පිළි­බඳ විනි­ශ්චය වැරදි නිවැ­රැදි දේ පිළි­බඳ විනි­ශ්චය අප බාර දිය යුත්තේ අපගේ හෘදය සාක්ෂි­යට නොවේද?  

මම මා කළ කී දේ ගැන ආපසු හැරී බලමි. සියලු දේ සම්පූර්ණ කිරී­මෙන් පම­ණක් මා මගේ වග­කීම ඉටු කළ බවක් හැඟ­වේද?  

“මම එහෙම හිතල හිත හදා­ගන්න බැලුව. දෙම­වු­පියො දරු­වන්ට යුතු කමක් ඉෂ්ට කර­නව නෙවෙයි. වග­කී­ම­කුත් නෙවෙයි. ඒ සම්බන‍්ධෙ මොන වගේ දෙයක් ද කොහො­මද විස්තර කරන්නෙ කියල මම දන්නෙ නෑ. ඒක ගනු දෙනු­වක් නෙවෙයි.”‍  

‘හිතට එක­ඟව ගත්තත් ඒ හැම තීර­ණ­යක් ම හරිද?”  

‘තීර­ණා­ත්මක හරි වැරැද්ද ලකුණු වෙන්නෙ ඒක මිනි­ස්සුන්ට බල­පාන විදි­යෙන්.”  

අප වෙනු­වෙන් කාලය නැවතී බලා නොසි­ටියි. අපේ සංවා­ද­යට නැව­තීමේ තිත තබ­න්නට කාලය පැමිණ ඇති බව හැඟෙයි.  

“රෑ වුණා.”  

විපුල බංකුව මත ඇති දේ රැගෙන පාව­හන් පැලඳ වෙරළ මාවත දෙසට හැරී සිටියි. ඔහු ඉක්ම­නින් ම මෙත­නින් සමු­ගෙන යනු ඇත.  

මම මා සතු දේ බංකුව මත තබා, සෙරෙප්පු දෙක ගලවා මුහුද දෙසට ගමන් කර­න්නෙමි‍.  

මගෙන් පිළි­තු­රක් නොලැ­බෙන කල, විපුල මා දෙස හැරී බලයි. මා ඒ වන­විට මුහුදු රළ අත­රය.  

“දීපාල්, අද මුහුද හරි සැරයි. ආපසු එනවා.”  

ඔහු නොස­න්සුන් වී ඇත. මම සන්සුන්ව ඔහුට පිළි­තුරු දෙමි.  

“ඔබ හිතු­වද මං මැරෙන්න හද­නවා කියල.”  

මා ඔහු අනු­ක­ර­ණය කරන අයු­රින්, ඔහු ද මා අනු­ක­ර­ණය කිරී­මට පෙලඹී ඇත.  

“දෙයි­යනේ. ඒක මොන මෝඩ­ක­මක්ද?”  

“මං ඒ තරම් දුර්වල මිනි­හෙක් නෙවෙයි.”  

“එහෙ­නම්”  

මට මගේ හිතේ ශක්තිය බලන්න හිතුණ.”  

“එත­කොට ‍මේවා”  

ඔහු මට බංකුව මත ඇති දේ පෙන්වයි.  

“මම හිතට නිද­හසේ තීර­ණ­යක් ගන්න ඉඩ දුන්න”  

“මම මතක් කරන්න ඕන ද අර නව කතාවෙ කියපු දේ ගැන”  

“හැම කෙනෙක් එහෙම හිතන්න ඕනද?”  

“එහෙ­නම් කොහො­මද මිනිස්සු හිතන්න ඕන?”  

“නිද­හස්ව”‍  

“ඔබට පේන­වද අර අහස?”  

“අඳුර”  

“නෑ අඩ සඳ”‍  

“පුර­ප­සට මෝරන අඩ­සඳ”  

“අව­ප­සට දිය­වෙන අඩ­සඳ”  

මේ මා සමු­ග­නිද්දී සිතෙහි ලියවී තිබූ කතා­වයි. විපු­ලගේ සිතෙහි ලිය­වුණු කතාව කෙබඳු දැයි මම නොද­නිමි. එය දැන ගන්න ඔහු නැවත මට මුණගැසුණේ ද නැත.  

Comments