ලස්සන තද රිදු­මෙනි බිහි වන්නේ | සිළුමිණ

ලස්සන තද රිදු­මෙනි බිහි වන්නේ

නක­ජිමා පවුල සිය පියාගේ සොහොන් බිම බල­න්නට තම­බොචි යන්නට දෙවෙ­න්දොරා සං ට ද කතා කරයි. ට්‍රෑම් රථ­යෙහි නැඟී විදුලි කෝච්චි පළට ගිය ඔවුහු එතැ­නින් විදුලි කෝච්චියේ ද අන­තු­රුව බසයේ ද නැඟ තම­බොචි සොහොන් බිමට පැමි­ණි­යහ. බස­යෙන් බැස සොහොන් බිම හරහා විනාඩි 10ක් පමණ ගිය ගමනේ දී මඟ දෙපස වූ සකුරා ගස්හි මල් ලක්ෂ සංඛ්‍යා­වක් පිපී තිබෙනු දුටු දෙවෙ­න්දොරා සං මෙසේ සිතයි. 

මේ තරම් දුරට අහ­සෙහි එළා තිබෙන දැලක් සේ එක දිගට පෙනෙන සකුරා මල් මා ‍කොහේදී­වත් දැක නැත. අනි­ත්‍යය සිහි කර­වීම සඳහා ද සොහොන් බිම්වල සකුරා ගස් වවන්නේ. නැත­හොත් මර­ණය ද ජීවි­තය මෙන් සුන්දර දෙයක් නිසා ද?

ජීවි­තය තරම් ම මර­ණය ද සුන්දර බව සැබෑව. එහෙත් මා මේ ඔබට කිය­න්නට හදන්නේ එය නම් නොවේ. 

දෙවෙ­න්දොරා සං, සකුරා මල් දැක්කේ ජපා­න­යේදී ය. එයත් පැය තුනක හත­රක කාල­යක් ගෙවා ගෙන ගොස් ය. සකුරා මල් පිපී තිබෙනු සේයා­රූ­ව­ලින් පම­ණක් දැක ඇති මට කියැවූ දේ නිසාදෝ මේ දින­වල මඟ දෙපස පිපී ඇති රොබ­රෝ­සියා මල් යාය දුටු­විට සිහි­යට නැ‍ඟෙන්නේ සකුරා මල් ය. ඔබ දුටුවා ද; ඔබ පසු­කර යන අත­ර­මඟ ළා දම් පැහැ­යට හුරු රෝස පැහැ­යෙන් පිරි රොබ­රෝ­සියා මල් යාය.

ගසේ එක පත්‍ර­යක් හෝ නොපෙ­න්නට තරම් සෑම අතු රිකි­ල්ලක් ම වසා­ගෙන මේ කාෂ්ටක කොන්ක්‍රීට් පුර­ව­රයේ ‍රොබරෝ­සියා මල් වික­සිත ව සිනා­සෙන දසුන මෙතෙක් නොදු­ටුවා නම් එය දකි­න්නට ඔබ තව­මත් ප්‍රමාද නැත. ගාලු‍ ­පාර අයිනේ පම­ණක් නොව නිට්ට­ඹුව තිහා­රිය මාර්ගය ද රොබ­රෝ­සියා මලින් වැසී ගොස් ඇති අයුරු ම සිත චම­ත්කා­ර­යෙන් පුර­වයි. වාහන තද­බ­ද­යට බනි­මින් සිත් නොප­හන් ව උදේ හවස දහ­ස­කුත් සිති­විලි සම­ඟින් පොර බද­මින් යන ඔබ ඉදි­රි­යට, එසේත් නැති­නම් ඔබේ වාහ­නයේ වින්ඩ්ස්ක්‍රී­නය මතට කී වාර­යක් නම් මේ මල් කැර­කැ­වෙ­මින්, නෙක රටා මව­මින් වැටී තිබේ ද? 

දෙවෙ­න්දොරා සං මළ­ගිය ඇත්තෝ නම් සර­ච්ච­න්ද්‍ර­යන්ගේ අපූරු ගද්‍ය කාව්‍යය ඔස්සේ ඔබ රැගෙන ගිය සකුරා මල් මාවත ම මේ දින­වල කොළඹ පුර­ව­රයේ දකිද්දී ඔබට සිතෙන්නේ මොනවා ද? 

මේ දුහු­ලු‍ ­මල අද වික­සිත ව හෙට දිනයේ මුකු­ලිත ව යනු ඇත. දෙවෙ­න්දොරා සං සකුරා මල් දකි­න්නාසේ මේ මල් දකින ඔබ මේ මලෙන් පව­සන ජීවන යථා­ර්ථය ගැන දැනු­ම්වත් ද? ම සිත කොඳු­රනු ඇසෙයි. අද සුන්දර ව සුව­ඳ­වත් ව බිඟු‍ ­කැලේ ආදර කැල් ම විඳ­ගත් ‍රොබ‍රෝසියා මල, හෙට දුර්ග­න්ධ­වත් ව තැළී පොඩි වී මැස්සන් ගේ රජ­ද­හ­නක් බවට පත් නොවන්නේ ද?

ලස්සන ළඟ කවි­යෙකි ගොළු වන්නේ

ලස්සන ළඟ­දියි කඳු­ළුත් එන්නේ

ලස්සන ගැන මොන මිනි­හද දන්නේ

ලස්සන තද රිදු­මෙනි බිහි වන්නේ

විම­ල­රත්න කුමා­ර­ගම; අපේ අති­සං­වේදී මානව හිත­වාදී කවියා පව­සන්නේ ලස්සන බිහි­වෙන්නේ තද රිදු­මෙන් බවයි. 

ලස්සන! කුමක් ද ලස්සන කියන්නේ. අපි ලස්සන ගැන දන්නේ මොනවා ද? ලස්සන බිහි­වෙන්නේ කෙලෙස ද? කුමා­ර­ගම කවියා මේ ස්පර්ශ කරන්නේ හද­වතේ ඉසි­යුම් ම තැන ය. මතු­පි­ටින් අප දකින ලස්සන බිහි­වෙන්නේ කවර නම් වේද­නා­වන්ගේ ඵල­යක් වශ­යෙන් ද? වැඩි­දුර යා යුතු නැත. හැරෙන්න ඔබේ ජීවි­තය, ඔබේ නිර්මාණ ඔබේ සින­හව දෙස. එවිට ඔබට දැනේවි, ලස්සන බිහි­වී­මට හේතු වන වේද­නාව ගැන. 

කියවා බලන්න මදු­ර­සිංහ ගුණ­ති­ලක නම් කවි­යාගේ මේ කවිය. මලෙන් ජීවි­තය සෙවූ කවි­යක්!

කටු ඇන ගන්නේත්

මල් නෙළ­න්නේත්

එකෙකි

මල් පල­ඳින්නේ

අනෙ­කකි 

ජීවි­තයේ හැටි එහෙම ය. කටු ඇන­ග­නි­මින් නෙළන මල් මතු නොව, පස පෙරළා බීජ වපුරා අස්ව­ද්දන මහ පොළොවේ අස්වැන්න කපන්නේ ද අස්වැන්න අයි­ති­වන්නේ ද තව­ක­කුට ය. මතු­පි­ටින් ලස්ස­නට පෙනෙන බොහෝ දේහි ඇතු­ළා­න්තය දුක්ඛ­යකි. ශෝකා­න්ත­යකි. එහෙත් ඒ ශෝකා­න්තයේ සියුම් බව දකින්නේ, දැනෙන්නේ කීයෙන් කී දෙනාට ද? අනෙක් අතට ඒ සියුම් බව නිසා ම විඳ­වන්නෝ කොතෙක් ද? ම සිත විම­සයි.

එහෙත් වඩාත් වැද­ගත් වන්නේ මල් පිපෙ­න්නට ගස් සිටු­වීම නොවේ ද? සියල්ලෝ මල් නෙළී­මට පම­ණක් සැර­සෙන්නේ නම් මේ ලොව මෙත­රම් හැඩ­වන්නේ නැත. නෙළ­න්නට මල් පිපෙ­න්නට නම් ගස් වැවිය යුතු පිරි­සක් ද සිටිය යුතුම ය. 

බොහෝ අය සිතන්නේ මල් පිපෙන්නේ ආක­ස්මි­කව බව ය. ඒ මල් ‍පිපෙන්නට මහ පොළොව දැරූ වෙහෙස ගැන මෙන් ම ඒ ගස් වැවූ­වන්ට ද අප හිස නමා ආචාර කළ යුතු බව දන්නේ කීයෙන් කී දෙනා ද? 

අද මේ සුන්ද­රව වික­සිත වෙන මල හෙට පරවී දුර්ග­න්ධ­වත් වෙන්නේ අප ජීවි­තය හා සේම බැව් වට­හා­ගන්නේ කීයෙන් කී දෙනා ද?

කල්පනා ලෝකය බිඳි­මින් රවු­මට කැර­කැ­වෙ­මින් අපූර්ව රටා­වක් මැවූ රොබ­රෝ­සියා මලක් මා ඉදි­රි­පිට වැටුණි. මම ඒ මල පරෙ­ස්ස­මින් අහුලා ගතිමි. ඇඟිලි තුඩු අතර සිරවී පොඩිවී යා නොදී එහි සුග­න්ධය විඳී­මට නම් මා මල පොඩි නොකළ යුතු නොවේද? 

ලේඛ­නයේ රන්සුනු කියන්නේ මේ පරි­ස්ස­මින් ඔප­ම­ට්ටම් කරනා සිති­වි­ල්ලට ය.  

Comments