බයි­සි­කල් බත්කරුවෝ | සිළුමිණ

බයි­සි­කල් බත්කරුවෝ

 ලෝකය විවි­ධා­කා­රය. මේ මොහොත වන විටත් නව තාක්ෂ­ණය සමග අනා­ගත ලෝකය බිහි වෙමින් ඉදි­රි­යට ගමන් කළ ද බොහෝ දෙනෙක් නොසි­තන කරු­ණක් තිබේ. එනම් මේ සෑම සියලු දේ පිටු­ප­සම අතීත අත්දැ­කී­මක  සෙව­ණැලි ගමන් කරන බවය. බොහෝ විට වෙන­ස්කම් ඇත්තේ බාහිර හැඩ­යෙන් පමණි.

 

ඔබ මොහො­තක් සිතන්න. මේ මොහොත වන විට ලංකාවේ ඔබට රිසි සේ ආහා­ර­යට ගැනී­මට අවැසි ආහාර පාන ඔබ වෙත ළඟ­ටම ලබා­දෙන යතු­රු­පැ­දි­ක­රු­වන් කොප­මණ ප්‍රමා­ණ­යක් කොළඹ නග­රය තුළ සිටි­න­වාද කියා. මෙයින් නොනැ­වතී බැලූ කල්හි කොළ­ඹින් පිට තදා­සන්න ප්‍රදේ­ශ­යන්හි ද මෙම ක්‍රමය දැන් සීඝ්‍ර­යෙන් ව්‍යාප්ත ව පවතී. මේ මොහොතේ  තාරු­ණ්‍යයේ ජීවත් වන පිරි­සට නම් මෙය නව්‍ය­ක­ර­ණය  තුළ සිදු වූ අලූත්ම සිදු­වීම් ලෙස පෙනෙ­න්නට ඇති මුත්  මෙහි අතී­තය සොයා යන්නේ  නම්  හැට හැත්තෑව දශ­කය දක්වා අප පිය­මන් කළ යුතුය.

අද දවස වන විට යතු­රු­පැ­දි­යක නැගී තරු­ණ­යකු සම්පූර්ණ යුරෝ­පීය ඇඳු­මින් සැරසී ආහාර ගෙන පැමි­ණි­යද එදා කන්තෝ­රුවේ, කඩේ පිලේ ,වෙළෙ­ද­සැලේ රාජ­කාරි කර­න්නට සිටි සේව­ක­යන්ට කෑම පිඟාන ගෙන ආවේ සාමාන්‍ය මට්ටමේ පාපැ­දි­යක ලැගේ­ජයේ සවි­කර තිබූ උසැති පෙට්ටි­යක බහා ගෙනය. එම පෙට්ටිය ලී පටි මගින් නිර්මා­ණය කර තිබූ අතර ඔවු­නට නිශ්චිත ඇඳු­මක් නොවූ නමුත් බහු­තර දෙනා ඇඳ සිටි ඇඳුම වූයේ සුදු බැනි­ය­මය. බොහෝ දෙනා හඳු­න්වනු ලබන පප්පා බැනි­ය­මෙන් සැර­සුණු ඔවුන්  හඳු­න්ව­න්නට වූ යෙදුම වූයේ "බයි­සි­කල් බත් කරුවා"  යනු­වෙනි. ඔවු­න­ගෙන් යම් පිරි­සක් යටි­කය වසා සිටියේ සුදු සර­ම­කින් හෝ නැත­හොත් විවිධ පැහැ­යට අයත් සර­ම­කින්ය. යම් සුළු­තර පිරි­සක් කොට කලි­ස­ම­කින් ද සැරසී සිටි­යහ. කෙසේ වෙතත් වර්ත­මා­නයේ ආහාර අප හට රිසිසේ ගෙනැ­විත් දෙන තරු­ණයා සහ එද­වස "බයි­සි­කල් බත් කාරයා" අතර විශාල වෙන­සක් තිබේ. එනම් වත්ම­නයේ දී  අප ඇන­වුම් කරන ආහාර අප වෙතට ගෙන දුන්න ද එද­වස සිදු­වූයේ තම නිවසේ පිසින ආහාර උණු­සුම් ලෙසිනි නිව­සින් ලබා­ගෙන අදාළ පුද්ග­ලයා වෙත ලබා­දී­මය. ඔවු­නගේ වෙනස්  වීම සිදු­වන්නේ  එවැනි රේඛා­ව­කින් ය.

කෙසේ වෙතත් වර්ත­මා­නය වන විට අඩි­යෙන් අඩිය ආහා­ර­පාන ලබා ගැනී­මට විවිධ ආකා­රයේ වෙළෙඳ සැල් පැව­ති­යද අතී­ත­යේදී මේ ආකා­රයේ ආහාර ලබා­ගැ­නී­මට ආප­න­ශාලා පැව­තියේ නැත. අත­රින් පතර එසේ පැව­තිය ද නොයෙ­කුත් තැන් හි සේවය කළ බොහෝ දෙනකු ආහාර ලබා ගත්තේ  නිව­සෙනි. එම නිසා ඔවුන් මේ ක්‍රමය හා සෘජු­වම බද්ධ විය

"බයි­සි­කල් බත් කාරයා" නමින් හඳු­න්වන ඔවුන්ගේ සේවා­දා­ය­ක­යන්ගේ රාජ­කා­රිය උදෑ­සන ආරම්භ වුවද තම රාජ­කා­රිය ඔවුන් ආරම්භ කරනු ලබන්නේ පෙර­වරු දහ­යට එකො­ල­හට පම­ණය. පිරි­සක් ඔවුන් තම සේවය මුද­ලාලි කෙනෙකු යටතේ ඉටු කරන අතර තවත් පිරි­සක් පෞද්ග­ලි­කව තනි තනිව මේ සේවයේ කට­යුතු කළහ.

නිවැ­සි­යන් ආහාර සක­ස්කර අව­සා­නයේ සිට අදාළ පුද්ග­ලයා වෙත ආහාර බඳුන ලැබීම දක්වා ම සිදු­වන්නේ  උයා දුන් ආහාර වල­ටත් වඩා මිහිරි ක්‍රියා­ව­ලි­යකි. සයි­කල් කරුවා අතට එදින ලැබුණේ අද දවසේ මෙන් "ලන්චි බොකස්' එකක්  නොව   එද­වස අති­ශය ජන­ප්‍රිය වූ බෙලෙක් පිඟා­න­කට දමා එය තවත් බෙලෙක් පිඟා­න­කින් වසා දැමූ බත් පිඟාන කි. 

ඉන්පසු එය වසා තැබී­මට තරම් ප්‍රමා­ණ­යක රෙදි කැබැ­ල්ලක තබා ඔතන එය ඉහ­ළින් ගැට­යක් දැමී­මෙනි. බොහෝ විට ඒ ඒ අයගේ හඳු­නා­ගැ­නීමේ පහ­සුව පිණිස විවිධ පැහැති රෙදි වර්ග ද ඔවුහු භාවිතා කලහ. මේ කොටස ඇත්තේ නිවැ­සි­යන් මතය. ඉන්පසු ක්‍රියා­ව­ලිය භාර වන්නේ අප කතා­ක­ර­මින් සිටින බයි­සි­කල් බත් කාරයා යනු­වෙන් හඳු­න්වනු ලැබූ එද­වස රාජ්‍ය ආය­ත­න­වල මෙන්ම පෞද්ග­ලික ආය­ත­න­යන්හි සේව­ක­යන්ගේ කුස­ගින්න නිවා දැමු මෙකී සුන්දර පුද්ග­ලයා මතය. නිසි ආකා­ර­යෙන් නිවැ­රදි පුද්ග­ල­යාට ආහාර බඳුන යොමු කිරීම ඔහුගේ මූලි­කම රාජ­කා­රි­යයි.

මෙම බඳුන සකස් කළ පසු එය ලැබිය යුත්තා ගෙ නම එහි සඳ­හන් වන අතර නම රැඳී කොළ කැබැල්ල රඳවා ඇත්තේ රෙදි කැබැල්ලේ ය. එතැන් සිට බත් කරූ ආහාර මුල බෙදී­මට ඇති පිළි­වෙ­ලට තම බයි­සි­කල් ලැගේ­ජයේ සවි­කර ඇති පෙට්ටියේ කෑම පිඟාන් බහා­ලයි. එතැන් සිට අදාළ පුද්ග­ලයා වෙත ආහාර භාජ­නය නොව­ර­ද­වාම ලබා­දෙන තැන දක්වා යම් මුදල් ප්‍රමා­ණ­යක් ලබා ගනියි.  එද­වස තිබූ මිල ගණන් අනුව කෑම බඳුන නිවසේ සිට  අදාළ ස්ථාන­ය­ටත් එතැන් සිට නිව­ස­ටත්  ප්‍රවා­හ­නය කිරී­මට රුපි­යල් පහක පමණ මුදල් ප්‍රමා­ණ­යක් වශ­යෙනි. මොවුන්ගේ මේ මෙහෙ­වර නිසා රැකියා ස්ථාන­වල සිටි­ය­වුන්ට නිවසේ සිටම ආහාර ගන්නාක් මෙන් උණු­සුම් ආහාර වේලක් ලබා ගැනීමේ වරම හිමි වී තිබිණි. ඔවුන් කරන මේ කට­යු­ත්තට නිසා ඔවු­නට යම් කාර්යා­ල­වල පිළි­ගැ­නී­මක් ඇති­ව­න්නට විය.නම් ඔවුන් කාර්යා­ලය තුළට ගොස් අදාළ පුද්ග­ල­යාගේ කෑම තබන ස්ථානය වෙත­ටම ගොස් කෑම පිඟාන ලබා­දීමේ අව­ස්ථා­වයි.

මෙය කව­රා­කාර සාමූ­හික ආකා­ර­යෙන් සිදු වීද යත් ඔවුන් අතර කෑම පිඟන් හුව­මාරු කිරීමේ ක්‍රම­යක්ද පැව­තුණි. එනම් දුරින් දුරට කෑම පිගාන තනි පුද්ග­ල­යෙකු ගෙන යන්නේ නැතිව මගින් මගට එය මාරු කිරීමේ ක්‍රම­යයි. මෙසේ බයි­සි­කල් බත් කරු­වන් එකි­නෙ­කාගේ කෑම පිඟන් හුව­මාරු කිරී­මට යොදා ගත් ස්ථාන­යක් වන්නේ තර්ස්ටන් පාරේ විශ්ව­වි­ද්‍යා­ලය අසල ඇති භූමි­යයි. මේ ස්ථාන­යට පැමි­ණෙන සයි­කල් කරු­වන් අදාල ලෙස තම තමන් ගෙන යන කෑම පිඟන් හුව­මාරු කර­ගනී. කෙසේ හෝ කෑම වෙලා­වට නිය­මිත පුද්ග­ල­යාගේ කෑම ලබා­දෙන ඔවුන් නැවත ආහාර පිඟාන ලබාදී පැය කිහි­ප­ය­කට පසුව පැමිණ  භාජන රැගෙන ඒවා නැවත කෑම පිඟාන ලබා­ගත් අයි­ති­ක­රු­වාගේ නිව­සට රැගෙන යයි.

මීට පෙර සඳ­හන් කළ පරි­ද්දෙන් කාර්යාල වලට කෑම  පිඟාන තැබී­මට හැකි වූ කාර්යාල අතු­රින් පැර­ණි­තම ස්ථාන­යක් වන්නේ පත්තර මහ ගෙදර ලෙසින් හඳු­න්වන ලේක්හ­වුස් ආය­ත­න­යයි. නමුත් සම්පූර්ණ වශ­යෙන්ම බත් කරු­ව­නට කාර්යා­ලය තුළ­ටම පැමි­ණී­මට අව­ස්ථාව නොලැ­බුණු අතර කාර්යා­ලය පිටු­ප­සට ඔවුන් පැමිණි පසු කාර්යාල සේව­ක­යන් දෙදෙ­නෙක් ඔවුන් වෙතින් අදාල අයගේ කෑම භාජන ලබා­ගෙන කෑම කාම­ර­යෙහි ඇති රාක්ක මත තැබීම සිදු කරයි . මේ කාලය  වන විට ලේක්හ­වුස් ආය­ත­නය ආප­න­ශා­ලාවේ කෑම මිල ශත පන­හක් පමණ වූ බව මීට කල­කට පෙර සඳ­හන් කර ඇත්තේ සෝම­වීර සේනා­නා­ය­ක­යන්ය.

ලංකාවේ බත් කරු­වන් පිළි­බඳ මෙසේ සඳ­හන් කරන ලද මුත් ඉන්දි­යාවේ දී වර්ත­මා­නයේ පවා මෙවැනි බත් ප්‍රවා­හ­නය කර­න්නන් සිටින බව කිව­යු­තුය.  ඔවුන් හඳු­න්වන්නේ දබ්බ වාලා යනු­වෙනි. ඔවුන් ආහාර ගෙන යාමේ කට­යුත්ත සිදු කරනු ලබන්නේ බයි­සි­කල් මගින් හෝ කද මගිනි . වර්ත­මා­න­යේදී අප නැවත නැව­තත් අතීත සිදු­වීම් ස්මර­ණය කරන මොහො­ත­කදී  බත් කරු­වන් පිළි­බඳ ආව­ර්ජ­න­යක් සිදු කළ ද මීට දශක කීප­ය­කට පෙර ඒ ආශ්‍රි­තව සිංහල චිත්‍ර­ප­ට­යක් ද නිර්මා­ණය කෙරු­ණේය. එය නම් කොට ඇත්තේ බයි­සි­කල් හොරා යනු­වෙනි. මෙතැ­නදි වැද­ගත් වන්නේ චිත්‍ර­ප­ටයේ ප්‍රධාන නළුවා, නිළිය කවුද හෝ එය සම්මාන කොප­මණ ලබා ගත්තාද යන්න නොව, චිත්‍ර­ප­ට­ය­කට එම චරිත ඇතු­ළත් කොට එය නිර්මා­ණය කිරී­මට තරම් තරම් වැද­ග­ත්ක­මක් එද­වස "බයි­සි­කල් බත් කාරයා යනු­වෙන් හඳු­න්වනු ලැබූ පුද්ග­ලයා සතුව තිබූ බවයි.

කරුණු කාරණා කෙසේ වෙතත් මේ වන විට "බයි­සි­කල් බත් කාරයා "යනු­වෙන් හඳු­න්වන ලබන චරි­තය මේ සමා­ජ­යෙන් වියැකී ගොස් අව­සන්ය. අපට ඇත්තේ ඔවුන් සිදු­කළ ක්‍රියා දාම­යන් හා එහි ඇති රස­වත් විස්තර කතා­බහ කොට සිහි ගැන්වීම පමණි. 60-70 දශ­ක­වල මෙකී චරි­තය ඉතා සක්‍රිය ලෙස කොළඹ නග­රය පුරා ව්‍යාප්තව තිබුණු අතර  බොහෝ දෙන­කුගේ බඩ­ගින්න නිවු ඔවු­නට බඩේ පාර වදි­න්නට ඇත්තේද විවෘත ආර්ථික ක්‍රමය නිසා විය­හැ­කිය. කෙසේ වෙතත් එද­වස බයි­සි­ක­ලෙන් කෑම පිගන් බෙදු "බයි­සි­කල් බත් කරුවා" මේ වන විට අතී­ත­යට අයත් නාම­යක්ව ගොස් අව­සන්ය.

 

Comments