දශක හත­ර­­කට පෙර ත්‍රස්ත­වා­දයේ මුල් ගිනි පුපුරු උතු­රෙන් මතු­වුණු හැටි | සිළුමිණ

දශක හත­ර­­කට පෙර ත්‍රස්ත­වා­දයේ මුල් ගිනි පුපුරු උතු­රෙන් මතු­වුණු හැටි

ඒ වසර 1978 ජන­වාරි 24දා ය. එව­කට පොතු­විල් මන්ත්‍රී සහ මඩ­ක­ලපු දිස්ත්‍රික් ඇමැති මයි­ල්වා­ග­නම් කන­ග­ර­ත්නම් මහ­තාගේ කොල්ලු­පි­ටියේ නි‍ෙව­සට පැමිණි සන්නද්ධ කල්ලි­යක් ඒ මහ­තාට පිට පිට වෙඩි­තබා ඔහුට බර­ප­තළ තුවාල සිදු කළහ. එයට හේතුව ඔහු ද්‍රවිඩ එක්සත් පෙර­මුණේ සාමා­ජි­ක­ත්ව­යෙන් ඉවත්ව 1977 වසරේ මහ මැති­ව­ර­ණ­යෙන් බල­යට පැමිණි එක්සත් ජාතික පක්ෂයේ සාමා­ජි­ක­ත්වය ලබා ගැනී­මය. මේ වෙඩි­තැ­බීම පිටු­පස උමා මහේ­ස්ව­රන් සහ වේලු­පිල්ලේ ප්‍රභා­ක­රන් සිටි බවට සැක කළ හැකි සාක්ෂි පොලි­සියට ලැබී තිබිණ. වෙඩිවලින් කන­ග­ර­ත්නම් මහතා ඒ මොහොතේ මිය නොගිය නමුත් ඉන් වසර දෙක­කට පමණ පසු, 1980 අප්‍රේල් 20 දා, එම තුවාල උත්සන්න වීමෙන් මිය­ගි­යේය.  

ඒ වෙඩි තැබීම සිදු­වුයේ යාපන නග­රා­ධි­පති ශ්‍රී ලංකා නිද­හස් පක්ෂයේ ඇල්ෆ්‍රඩ් දුරෙ­යි­අ­ප්පාගේ ඝාත­න­යෙන් තුන් වස­ර­කට පසු­වය. දුරෙ­යි­අප්පා උතුරේ ත්‍රස්ත­වා­දීන්ගේ පළමු­වැනි දේශ­පා­ලන බිල්ලය. ඒ කොටි ත්‍රස්ත­වා­දයේ කළු වළා­ව­ලින් දිව­යිනේ උතුර සහ නැගෙ­න­හිර වැසී යන්නට පටන් ගත් මුල් වක­වා­නු­වය.  

එය විභාග කිරීම සඳහා පොලිස් පරී­ක්ෂක ටී. එල්.බී. බැස්ටි­ය­න්පිල්ලේගේ ප්‍රධා­න­ත්ව­යෙන් රහස් පොලි­සියේ විශේෂ අංශ­යක් පිහි­ටු­වන ලදී. කන­ග­ර­ත්නම් මහ­තාට වෙඩි තැබීමේ සිද්ධිය විම­ර්ශ­නය කිරීම පැවරුණේ ද ඔහු­ටය. වසර 1976 කොළඹ පැවති නොබැඳි ජාතීන්ගේ සමු­ළු­වේද ආර­ක්ෂක කට­යුතු භාරව සිටි­ය­වුන්ගෙන් කෙනෙකු වූ බැස්ටි­ය­න්පිල්ලේ රහස් පොලි­සියේ දක්ෂ­තම නිල­ධා­රි­යෙකු ලෙස නමක් දිනා ගෙන සිටි­යේය. එහෙත් ඔහුගේ දැඩි හිංසා­කාරී විම­ර්ශන ක්‍රම නිසා ඔහු දෙමළ සට­න්කා­මීන් ලෙස සැක කරනු ලැබූ තරු­ණ­යන්ගේ සහ ඔවුන්ගේ නෑදෑ හිත­ව­තුන්ගේ තද­බල වෛර­යට පාත්‍ර විය.   

ඒ කාලයේ ප්‍රභා­ක­රන්, මහේ­ස්ව­රන්, කේ.පද්ම­නාභ, ශ්‍රී සභා­ර­ත්නම් ආදී දෙමළ සටන් කල්ලි නාය­ක­යන් සිටියේ එක­ටය. මුල් අව­ධි­යේදී ප්‍රභා­ක­රන්ගේ සංවි­ධා­නය හැඳි­න්වුනේ නව දෙමළ කොටි හෙවත් New Tamil Tigers යනු­වෙනි. මහේ­ස්ව­රන් කලක් මිනි­දෝ­රු­වෙකුව සිටි­යේය. (ප්‍රභා­ක­රන් තමා හැර මහේ­ස්ව­රන් ඇතුළු සෙසු නාය­ක­යන් මර්ද­නය කර ඒකා­ධි­ප­ති­යෙකු ලෙස මතු­වුවේ 1980න් පසු­වය).   

මහේ­ස්ව­රන් යාපන දිස්ත්‍රි­ක්කයේ මුරු­න්කන් පෙදෙසේ කැලෑ­බද ගොවි­ප­ළක සැඟවී සිටින බවට ලැබුනු ඔත්තු­වක් අනුව පොලිස් පරී­ක්ෂක බැස්ටි­ය­න්පිල්ලේ, උප පොලිස් පරී­ක්ෂක පෙර­ම්ප­ලම්, සැර­යන් බාල­සිං­හම් සහ කොස්තා­පල් සිරි­ව­ර්ධන (රියැ­දුරු) පොලිස් වාහ­න­ය­කින් 1978 අප්‍රේල් 7 දා අදාළ ස්ථාන­යට ගියහ.   

ඔවුන්ගේ ගම­නට ටික දින­කට පෙරා­තුව එව­කට ඔබ්ස­ර්වර් පුව­ත්පතේ වාර්ත­ක­රු­වෙ­කුව සිටි මේ ලියු­ම්ක­රුට බැස්ටි­ය­න්පිල්ලේ කොළඹ රහස් පොලිස් කාර්යා­ල­යේදී හමු­විය. ඔහු රාජ­කාරි ගම­නක් යන බවත් එසේ ගොස් ආවාට පසූ මටත් එව­කට ජනතා පුව­ත්පතේ මාණ්ඩ­ලික වාර්තා­ක­රු­වෙකු වූ මා මිත්‍ර ස්ටැන්ලි ප්‍රේම­ර­ත්න­ටත් වැද­ගත් තොර­තු­රක් ලබා­දිය හැකි බව පැව­සීය.   

එහෙත් ඉන්පසු එසේ ගිය පොලිස් පිරිස ගැන රහස් පොලි­සියේ ඉහළ නිල­ධා­රී­න්ට­වත් කිසිදු ආරංචියක් නැති­විය. හඳු­නා­ගත නොහැකි තර­මට කුණු වී ගිය මළ­සි­රුරු කිහි­ප­යක් මුරු­න්කන්හි පාළු ළිඳ­කින් හමුවූ බවට පුව­තක් ඉන් දින කිහි­ප­ය­කට පසු ජනතා සහ ඔබ්ස­ර්වර් පුව­ත්පත්වල මුල් පිටුවේ ලොකු අකු­රින් පළ­විය. ඒ මළ සිරුරු බැස්ටි­ය­න්පිල්ලේ ඇතුළු පොලිස් නිල­ධා­රීන් සතර දෙනාගේ බව හඳු­නා­ගැ­නී­මට පොලි­සි­යට නම් එත­රම් අප­හසු වුයේ නැත.   

පරී­ක්ෂණවලදී හෙළිවූ අන්ද­මට සිද්ධිය වී ඇත්තේ මෙසේය.   

මුරු­න්කන් ගොවි­ප­ළට ගිය පොලිස් පිරිස සිය වාහ­න­යෙන් බැස ළිඳක් අසල සිට­ගෙන සිටි කම්ක­රු­වන් සේ පෙනුණු කිහිප දෙනෙකු වෙත ගොස් ඇත. ඔවු­න්ගෙන් එක් අයෙකු වුයේ කොටි ත්‍රස්ත­වා­දි­යෙකු වූ සෙල්ල­ක්කි­ලිය. ළිඳ අස­ලවූ ගසක උමා මහේ­ස්ව­රන් ඇතුළු සග­යන් සැඟවී සිටි බව පොලිස් පිරිස නොදත්හ. කම්ක­රු­වන් ගේ අන­න්‍ය­තා­වය ගැන බැස්ටි­ය­න්පිල්ලේ ඔවු­න්ගෙන් ප්‍රශ්න කල­විට කෙනෙක් ඔහුට බීමට වතුර දුන්නේය. සිය සබ්මැ­ෂින් තුව­ක්කුව පසෙ­කින් තැබූ බැස්ටි­ය­න්පිල්ලේ වතුර බීමට සැර­සෙන විටම සෙල්ල­ක්කිලි ඔහුගේ හිසට වැරෙන් පහ­රක් දී ක්ෂණ­ය­කින් තුව­ක්කුව පැහැ­ර­ගෙන පොලිස් පරී­ක්ෂ­ක­ව­ර­යා­ටත් සැර­යන් බාල­සිං­හ­ම්ටත් වෙඩි තබා දෙදෙ­නාම මරා දැමීය. උප පොලිස් පරී­ක්ෂක පෙර­ම්ප­ලම් සිය ගිනි අවි­යෙන් ත්‍රස්ත­වා­දි­යාට ප්‍රති­ප්‍ර­හාර දීමට තැත්කළ නමුත් ඊට පෙර වැදුණු වෙඩි­ල්ල­කින් තුවාල ලබා ලිඳට වැටු­නේය. කොස්තා­පල් සිරි­ව­ර්ධන පැන­ය­න්නට තැත් කළ නමුත් ඔහු­ටද වෙඩි තබා මරන ලදී. බැස්ටි­ය­න්පිල්ලේ ගේ මළ­සි­රුර ඇතුළු මිය­ගිය පොලිස් නිල­ධා­රීන් සතර දෙනාගේ සිරුරු ළිඳට දැමු ත්‍රස්ත­වා­දීහු ඔවුන්ගේ ගිනි අවි පැහැර ගත්හ. ඒ අතර වූ සබ්මැ­ෂින් තුව­ක්කුව ත්‍රස්ත කල්ලි­යට ලැබුණු එම වර්ගයේ පළමු අවි­යයි. ඉන් පසු ඔවුන් පොලිස් වාහ­නයේ ගුවන් විදුලි යන්ත්‍රය ගලවා ඉවත් කර රිය ඈතට පද­වා­ගෙන ගොස් ගිනි බත් කලහ. එය පසුව පොලි­සි­යට හමු­විය.  

මිය­ගිය පොලිස් නිල­ධා­රීන්ගේ මළ­සි­රුරු දරුණු ලෙස විකෘති කර තිබු බැවින් ඔවුන්ගේ පවු­ල්වල අයගේ අක­මැත්ත මැද්දේ වුවද මිනී­පෙට්ටි වලට මුද්‍රා තබා අව­ම­ගුල් පව­ත්ව­න්නට සිදු­විය.   

ඉතා සූක්ෂ්ම ලෙස සංවි­ධා­නය වෙමින් පැවති උතුරේ සන්නද්ධ බෙදුම් වාදය ඒ වන­වි­ටත් පිට­තට හරි හැටි නොපෙ­නුණු අළු­යට ගිනි පුපුරු මෙන් විය. එබැ­වින් බැස්ටි­ය­න්පිල්ලේ ප්‍රමුඛ පොලිස් කණ්ඩා­යම ත්‍රස්ත­වා­දීන්ගේ උගු­ල­කට අසු­වු­වාද නැති­නම් තත්වයේ බර­ප­ත­ළ­කම තේරුම් නොගෙන ක්‍රියා­ක­ර­න්නට යාමෙන් විපතේ වැටු­ණේද යන්න ප්‍රශ්න­යකි. එය මතු­ක­රන්නේ දැනට ඕස්ට්‍රේ­ලි­යාවේ පදිංචි විශ්‍රා­මික නියෝජ්‍ය පොලි­ස්පති ඩග්ලස් රන්මු­තු­ගල මහ­තාය. ඒ ඔහු සිය 23න් වස­රක පොලිස් ජීවි­තය අලළා ඉංග්‍රී­සි­යෙන් ලියු TALES OF THE BLUE ELEPHANT නම් පොතේය.   

ඝාතන සිදු­කළේ කොටි ත්‍රස්ත­වා­දීන් බව කවු­රුත් දැන සිටි­යත් ඒ කිසි­වෙ­කුත් නීතියේ රැහැ­නට හසු­වුනේ නැත. යුද නාවික සහ ගුවන් හමු­දා­වන් ඉලක්ක කර­න්නට පළමු කොටි ත්‍රස්‌ත­යින්ගේ අර­මුණ වුයේ උතුරේ පොලිසි අඩ­පණ කිරී­මය.   

ඔවුන්ගේ ඊළඟ ගොදුර වුයේ කලින් කොළඹ පොලිස් ක්ෂේත්‍ර බලකා මුලස්ථානයේ සේවය කළ කොස්තා­පල් කරු­ණා­ර­ත්නය. ඔහු මරා දැමු ත්‍රස්තයෝ මළ­සි­රුර මුහු­දට වීසි කලහ. මිය­යන විට කරු­ණා­රත්න පේදුරුතුඩුව පොලිස් ස්ථානයේ සේවය කර­මින් සිටි­යේය. මළ­සි­රුර ගුවන් හමු­දාව සහ නාවික හමුදා කිමි­දුම්කරු­වෙකු යොදා සෙවු­වද හමු නොවූ නමුත් ටික දින­කට පසු එය දිය මතු­පි­ටට පා වී ආවේය.   

ඊළ­ඟට ත්‍රස්‌ත­යින් අතින් මිය­ගියේ යාප­නයේ පදිං­චිව සිටි යාපන මූල­ස්ථාන පොලිස් පරී­ක්ෂක පද්ම­නා­දන්ය. එක් රැයක ඔහුගේ නිව­සට පැමිණි තරු­ණ­යෝ දෙදෙ­නෙක් ගෙයි දොර­ක­ඩ­දීම ඔහුට ස්වයංක්‍රීය පිස්තෝ­ල­ය­කින් වෙඩි තැබූහ. උණ්ඩ කිහි­ප­යක් ඔහුගේ පපු­වට වැදුණු නමුත් මගදී ඇද වැටෙන තුරු ඔහු ඒ දෙදෙනා පසු­පස එළ­වා­ගෙන ගියේය. එව­කට යාපන පොලිස් අධි­කා­රීව සිටි රන්මු­තු­ගල මහතා වහා එත­නට පැමිණ තුවා­ල­කරු රෝහ­ලට ගෙන­ගිය නමුත් ඔහුගේ ජීවි­තය බේරා ගැනී­මට නොහැකි විය.  

විශ්‍රා­මික පොලිස් පරී­ක්ෂක කුමාරු ත්‍රස්ත­වා­දීන් ගේ ඊළඟ ඉල­ක්කය විය. ඔහු විශ්‍රා­මි­ක­යකු වුවද රජ­යට තිබු දැඩි පක්ෂ­පා­ති­ත්වය හේතු­වෙන් ඔහුට ජීවිත තර්ජන එල්ල වී තිබිණි. විශ්‍රාම යන්නට පළ­මුව ඔහු යාපන පොලිස් අධි­කාරීවර­යාගේ පෞද්ග­ලික සහා­යක විය. ජීවිත තර්ජන නිසා විශ්‍රාම ගියද ආත්මා­ර­ක්ෂාව පිණිස ගිනි අවි­යක් පාවිච්චි කිරී­මට රජ­යෙන් කුමා­රුට අව­සර දී තිබිණ. එහෙත් එයින් ඔහුට සිය ජීවි­තය බේරා­ගැ­නී­මට නොහැකි විය. දිනක් ඔහුට මහ දවාලේ එලි­පිට වෙඩි තබා මරා මළ­සි­රුර මහ­මග කානු­ව­කට අද දමා තිබුණි. එහෙත් ත්‍රස්‌ත­යින්ට ඇති බිය නිසා කිසි­වෙක් සාක්කි දීමට ඉදි­රි­පත් නොවුහ. මුලු කඩ වීදි­යම වසා පාර­වල් පාලු­වට ගොස් තිබුණි.   

උතුරේ ත්‍රස්ත­වා­දය පට­න්ගත් මුල් අව­ධියේ පොලි­සි­යට සහ ආර­ක්ෂක හමු­දා­වන්ට දැඩි අභි­යෝ­ග­යක් වූයේ ඔවුන් හඳු­නා­ගැ­නී­මය. සිවිල් පුද්ග­ල­යන් ලෙස සාමාන්‍ය ජන­තාව අතරේ ගැව­සීම නිසා ත්‍රස්ත­වා­දියා කවුද සාමාන්‍ය පුර­වැ­සියා කවුද යන්න හඳු­නා­ගැ­නීම දුෂ්ක­ර ­විය. බොහෝ විට මේ කැරලි කරුවෝ සිය දෙමා­පි­යන් සමග ජීවත් වුහ. උතුරේ දෙමළ සමා­ජයේ ඇතැ­මුන් ඔවුන්ට පක්ෂ­පාති වීමත් අනෙක් අය ඔවුන්ට බිය­වී­මත් නිසා ඔවුන් ගැන ඔත්තු ලබා­ගැ­නී­මද ඉතා අප­හසු විය. යම් දෙමළ තරු­ණ­යෙකු ආර­ක්ෂක හමු­දා­වෙන් හෝ පොලි­සි­යෙන් හෝ සැක පිට ප්‍රශ්න කිරීම සඳහා අත්අ­ඩ­න්ගු­වට ගනු ලැබු­වොත් එය දෙමළ තරු­ණ­යන්ට වධ­හිංසා කිරී­මක් ලෙස හුවා දක්ව­න්නට දෙමළ දේශ­පා­ල­න­ඥයෝ පසු­බට නොවුහ. කැර­ලි­ක­රුවා මාළු­වකු නම් ජන­තාව ඔහු පිහි­නන මුහු­දය යන කිය­මන ඔවුහු සනාථ කලහ. මේ නිසා වෙස්ව­ලා­ගත් කොටි ත්‍රස්ත­යින්ට සිය අභි­ම­තය පරිදි ක්‍රියා­කි­රී­මට හැකි විය.   

ඒ දින­වල උතුරේ පළකළ කොළ­ඹද ඇතැ­මුන් අතර බෙදා හරිනු ලැබූ එක් දෙමළ පුව­ත්ප­තක මෙරට ආර­ක්ෂක හමු­දා­වන් හැඳි­න්වුයේ "අස­ල්වැසි ශ්‍රී ලංකාවේ" සිට "දෙමළ ඊළා­ම­යට පැමිණි ආක්‍ර­ම­ණික හමු­දා­වක්" ලෙසිනි. කොළඹ සම­හර ඉංග්‍රීසි උගත් මධ්‍යම පන්තික දෙමළ ජනයා පවා යම් සැඟ­වුණු සාඩ­ම්බර කම­කින් මේ රාජ්‍ය-විරෝධී කැර­ලි­ක­රු­වන් හැඳි­න්වුයේ බෙදු­ම්වාදී ගරි­ල්ලන් ලෙස නොව "කොල්ලන්" (boys) ලෙසිනි. මේ තත්වය යටතේ උතුරේ පරි­පා­ල­නය අක­ර්මණ්‍ය වීමට වැඩි කලක් ගියේ නැත.   

ආර­ක්ෂක හමු­දා­වල ඇතැ­මුන්ගේ විනය විරෝධී සහ නොමනා ක්‍රියා ඇතුළු වෙනත් හේතුන් නිසා එව­කට පැවති එක්සත් ජාතික පක්ෂ රජය සාමය ගොඩ­නැ­ගී­මට ගත් මන්දෝ­ත්සාහි පිය­වර අසා­ර්ථක විය. ඊට ප්‍රති­චාර වශ­යෙන් ද්‍රවිඩ එක්සත් පෙර­මුණ කැර­ලි­ක­රු­වෝ "උතුරේ තරුණ හඬ" ලෙස පිලි­ගෙන ඔවුන්ට සහාය දක්ව­න්නට පට­න්ග­ත්හ. තමන් මේ කිරි­පො­වන්නේ යම් දිනෙක තම­න්වත් ගොදුරු කර­ගන්නා විෂ­ඝෝර සර්පය­කුට බවට අමි­ර්ත­ලිං­ගම් ආදී ද්‍රවිඩ එක්සත් පෙර­මුණු නාය­ක­යන්ට අව­බෝධ නොවීය. එමෙන්ම මෙරට එක්සත් ජාතික පක්ෂ රජ­යත් සමග වූ මත ගැටීම් නිසාත් තමි­ල්නාඩු දේශ­පා­ල­ක­යන් සතුටු කිරී­ම­ටත් උතුරේ කැරලිකරු­වන්ට මුලදී සහය දුන් ඉන්දි­යා­ව­ටද එය අනා­ග­ත­යේදී තමන්ට පාරා­ව­ළ­ල්ලක් විය හැකි බව නොවැ­ට­හිනි.   

මේ වන විට උතුරේ ත්‍රස්ත­වා­දීන් සැඟවී කළ පහ­ර­දීම් තාව­කා­ලි­කව නත­රවී තිබූ හෙයින් කොටි කල්ලිය සිය ශක්තිය ගොඩ­න­ග­මින් සන්නද්ධ වීම දිග­ටම කර­ගෙන ගියේය. ඒ පසුව සාම්ප්‍ර­දා­යික හමු­දා­වක් ලෙස නිල ඇඳුම්, ධජ­යක්, යාන වාහන, කාල­තු­වක්කු සහ අධි­වේගී මුහුදු යාත්‍රා යනා­දි­යෙන් යුක්තව සංවි­ධා­නය වීම සඳ­හාය.   

ඒ වක­වා­නුවේ උතු­රට ගොස් යම් සාධ­නීය වැඩ­පි­ළි­වෙ­ළ­කට මුල­පිරූ රජයේ දේශ­පා­ල­න­ඥයා වුයේ වෙළෙඳ සහ නාවික කට­යුතු පිලි­බඳ ඇමති ලලිත් ඇතු­ළ­ත්මු­දලි මහතා පමණි. සිංහ­ල­යකු වුවද යාප­නයේ හැදී වැඩුණු ඔහුට උතුර ගැන හොඳ අව­බෝ­ධ­යක් තිබිණි. උතු­රට ගිය දකුණේ අනෙක් රජයේ දේශ­පා­ල­න­ඥ­යින් කතා පැවැ­ත්වුවා විනා කළ වැඩක් නැත. සියලු දුර්ව­ල­කම් මැද වුවද ඒ.ජා.ප. රජය තවත් එක් වැද­ගත් පිය­ව­රක් තැබීය. ඒ දක්ෂ පරි­පා­ලන නිල­ධා­රි­යෙකු වූ ලය­නල් ප්‍රනාන්දු මහතා (පසු කලෙක උතුරේ ආණ්ඩු­කාර සහ ප්‍රංශයේ ශ්‍රී ලංකා තානා­පති) යාපන දිසා­පති ලෙස පත්කි­රී­මය. නිල­ධා­රි­වා­ද­යට පිටුපෑ ඔහු තමාගේ ධුර කාලය තුළ යාපන වැසි­යන්ගේ එදි­නෙදා ප්‍රශ්න­ව­ලට ප්‍රයෝ­ගික විස­ඳුම් යෙදීය. සෑම තරා­ති­ර­කම ජනයා සම­ගම කිට්ටු සම්බ­න්ධ­කම් පැවැත්වූ ඔහු වැඩි දිනක් යන්නට පෙර යාප­නයේ ඉතා­මත්ම ජන­ප්‍රිය දිසා­ප­ති­ව­රයා බවට පත්විය. එහෙත් පසුව ඒ මහ­තාට ගැටලු මතු­වුයේ සම­හර අව­ස්ථා­වාදී දේශ­පා­ල­න­ඥ­යින් ඔහුගේ ඍජු පිළි­වෙ­තට අකුල් හෙළුෑ බැවිණි.   

ඇතු­ළ­ත්මු­දලි සහ ලය­නල් ප්‍රනාන්දු වැනි තනි පුද්ග­ල­යන්ගේ උත්සා­හ­යන් නිසා පම­ණක් උතු­රෙන් රටට එල්ල­වෙ­මින් පැවති දෙමළ බෙදුම්වාදී තර්ජ­නය වැළැ­ක්විය නොහැකි විය. බැස්ටි­ය­න්පිල්ලේ ඇතුළු පොලිස් පිරිස ඝාත­නය වූ වස­රේම, එනම් 1978 සැප්තැ­ම්බර් 7 දා, ලංකා ගුවන් සේවයේ (Air Ceylon) ගුවන් යාන­යක් රත්ම­ලාන ගුවන් තොටු­පළේ නවතා තිබි­යදී බෝම්බ­ය­කට ගොදුරු විය.   

එදින යාප­නයේ සිට රත්ම­ලා­නට පැමිණි ලංකා ගුවන් සේවයේ ඇව්රෝ (Avro Hawker Siddeley 748) යානය රත්ම­ලා­නෙන් කටු­නා­යක බණ්ඩා­ර­නා­යක ජාත්‍ය­න්තර ගුවන් තොටු­ප­ළට ගොස් එහි සිට මාල­දි­ව­යිනේ මාලේ අග­නු­වර බලා යාමට නිය­මි­තව තිබින. ඒ ගමන යෑමේ කාර්ය බාර වූ කපි­තාන් රොනී පෙරේරා සහ පළමු නිල­ධාරී (First Officer) රංජිත් පේද්‍රිස් යානය නැවත ගුව­න්ගත වීමට පෙර කළ­යුතු සුපු­රුදු පරී­ක්ෂා­වන් කිරී­මට සුදා­නම් වුහ. කපි­තන් පෙරේ­රාගේ නිය­මය පරිදි ගුවන් තොටු­පළ සේව­ක­යෙකු විසින් අපි­රි­සි­දුව තිබු යානයේ නියමු කුටි­යද පිරි­සිදු කිරීමේ නියැළී සිටි­යේය. එනිසා යානය ගුවන් ගත­වීම ප්‍රමාද විය. ඒ අත­ර­තුරේ හදි­සි­යේම එහි කොට­සක පිපි­රී­මක් ඇති විය. නියමු කුටියේ සිටි කපි­තන්වර­යාත් සේව­ක­යත් පිටු­පස දොර­කින් වහා එළියට පැන දිවි බේරා­ගත්හ. ගුවන් තොටු­පල පාලක මැදි­රිය එවෙ­ලේම හදිසි ආපදා සේවා­ව­ලට මෙය දැන්වූ නමුත් ඔවුන් සතු උප­ක­රණ සීමා වීම නිසා යානය ගිනි­ගෙන සමු­ලින්ම විනාශ වීම වළ­ක්වා­ගත නොහැකි විය.  

ඒ සම­ගම ගුව­න්තො­ටු­පලේ පිට­වීමේ දොරටු අව­හිර කරන ලදුව යාප­නයේ සිට පැමිණි සියලු මගීන් සෝදි­සි­ය­කට ලක් කරන ලදී. යානය යාප­න­යෙන් පිටත් වීමට පෙර ඒ තුළ දෙදෙ­නෙකු ගැව­සෙනු රත්ම­ලා­නට යානය පද­වා­ගෙන ආ කපි­තාන් එරල් ක්‍රාමර් දැක ඇත. පසුව කෙරුණු පරී­ක්ෂණවලදී ඒ දෙදෙනා යානයේ ආස­න­යක් යට බෝම්බ­යක් තබා යාන­යෙන් බැස­ගිය කොටි ත්‍රස්ත­යින් දෙදෙ­නෙකු බවට ඔප්පු විය. ඔවුන්ගේ අර­මුණ වී තිබී ඇත්තේ යානය මගීන් රැගෙන කටු­නා­යක බලා යද්දී උඩු ගුව­නේදී එය පුපු­රවා හැරී­මය. යානය පිටත් වීම රත්ම­ලා­නේදී ප්‍රමාද නොවුවා නම් එහි ගමන් කළ සියලු දෙනාම මිය­යනු නිසැ­කය.   

ඒ සිද්ධි­යත් සමග යාපන - කොළඹ ගුවන් සම්බ­න්ධතා බිඳ වැටින. එය රට දෙකට බෙදී­මට කොටින් දැරූ උත්සා­හයේ එක් සංකේ­ත­යක් විය. වසර 1980 මැද භාගය වන විට යාප­නයේ රාජ්‍ය පරි­පා­ල­නය කඩා­වැටී මුළු යාපන අර්ධ­ද්වී­ප­යම පාහේ එල්.ටී.ටී. පාල­න­යට යටත් වුයේ තිස් අවු­රුදු යුද්ධ­ය­කට මුල­පු­ර­මිනි.   

Comments