චීන විප්ල­ව­යට අධ්‍යා­ත්මය දුන් මුනි­වර සාහිතකරුවා | සිළුමිණ

චීන විප්ල­ව­යට අධ්‍යා­ත්මය දුන් මුනි­වර සාහිතකරුවා

ප්‍රවීණ ලේඛක කමල් පෙරේරා විසින් පරි­ව­ර්තිත ශ්‍රේෂඨ චීන ලේඛක ලු ශුන් ආප­දා­නය පිළිබඳ රූප­වා­හිනී සංවා­ද­ය­කට සහ­භාගි වන්නට මට පසු­ගි­යදා අව­ස්ථාව සැල­සිණි. කමල් පෙරේරා විසින් එසේ පරි­ව­ර්ත­නය කරන ලද්දේ වැන් ෂිකිං විසින් චීන බසින් රචනා කරන ලදුව ඉංග්‍රි­සි­යට පෙර­ළන ලද ‘ලු ශුන්- අ බයො­ග්‍රැෆි’ නම් කෘති­යයි. එය අසං­ක්ෂිප්ත කෘති­යක් ලෙස පරි­ව­ර්ත­නය කිරීම සම්බ­න්ධ­යෙන් කමල් පෙරේ­රාට පළ­මුව අප කෘත­ඥ­තාව හිමි­විය යුතුය.   

ලු ශුන් සැල­කෙ­නුයේ චීන සාහි­ත්‍ය­යෙහි පුරෝ­ගා­මි­යකු වශ­යෙනි. විශේ­ෂ­යෙන්ම ඔහු වඩාත් ප්‍රකට වනුයේ චීන විප්ල­වයේ සාහි­ත්‍ය­ක­රුවා වශ­යෙනි. විප්ල­වය සමයේ මෙන්ම ඉන්ප­සු­වද මාඕ සේතුං ගේ ඉම­හත් ඇග­යු­මට පාත්‍ර වූවේ යයි සැල­කෙන ලු ශුන් චීන විප්ල­වය සියැ­සින් දැකී­මට සමත් වූවකු නොවේ. නමුදු 1881 වසරේ ඉපිද 1936 වසරේ මෙලො­වින් සමු­ගත් ඔහු සිය නිර්මාණ හරහා විප්ල­වීය චීනයේ බිහි­වී­මට දැවැන්ත බල­පෑ­මක් කළ නිර්මා­ණ­ක­රුවා සේ සැල­කෙයි. පූර්ව විප්ල­වීය රුසි­යාව සහ පශ්චාත් විප්ල­ව­වාදී සෝවි­යට් දේශය යන යුග දෙකෙ­හිම අත්දැ­කීම ලැබූ ගෝර්කි මෙන් පූර්ව විප්ල­ව­වාදී චීනය සහ සමා­ජ­වාදී චීනය අතර පාලම තැනී­මට ඔහුට පෞද්ග­ලි­ක­වම සහ­භා­ගි­වී­මට ලු ශුන් හට නොහැකි වුවද ඔහු විප්ල­වයේ පන්හිඳ සේ සැල­කෙ­නුයේ දැවැන්ත වෙන­සක් සඳහා සූදා­නම් වෙමින් පැවති සිය සමා­ජය නිවැ­ර­දිව විග්‍රහ කිරී­මට ඔහු තුළ වූ ශක්‍ය­තාව හේතු­වෙනි.   

ලු ශූන් ගේ ජීවි­ත­යම පිරී පැව­තියේ විවිධ ප්‍රති­වි­රෝ­ධ­තා­ව­න්ගෙනි. ස්වකීය පවුලේ අග­හි­ඟ­කම් මැද මහත් අසීරු දිවි­ය­කට මුහුණ දෙන්නට සිදුවූ ඔහු වෛද්‍ය­ව­ර­යකු වීමේ අර­මු­ණින් ජපා­නය බලා ගිය ගමන හමාර කර­නුයේ ලේඛ­ක­යකු බවට පත්වී­මෙනි. ජපා­නය තුළ චීන වැසි­යන්ට ලැබෙනා දෙවන පෙළ සැල­කිලි හමුවේ ඔහු පළ­මු­වෙන්ම වටහා ගන්නා කරුණ වනුයේ චීනය දියුණු රටක් බවට පත් කිරීමේ දැවෙන අව­ශ්‍ය­තා­ව­යයි. ඔහු එහිදී පුද්ග­ල­යන් වශ­යෙන් රෝගීන් සුව­පත් කිරීමේ මාර්ගය වෙනු­වට තෝරා ගන්නේ සාහි­ත­යයි. ඒ සාහිත්‍ය මගින් සමා­ජ­යම සුව­පත් කිරී­මට, සමා­ජ­යට දැක්මක් ලබා­දී­මට හැකිය යන දෘඩ­තර විශ්වා­සය පෙර­දැ­රි­වය. ලු ශුන් ගේ මේ තෝරා ගැනීම යම් පුද්ග­ල­යකු සිය ජීවන අර­මුණ තීර­ණය කිරී­මේදී එය සමා­ජ­යට වඩාත්ම වැද­ගත් කාර්යය බවට පත්ක­ර­ගත හැක්කේ කෙසේද යන්නට මනා ආද­ර්ශ­යකි. ආර්ථික වාසි වැඩි වෛද්‍ය වෘත්තිය වෙනු­වට පන්හිඳ තෝරා ගැනීම යනු මිනි­සකු හට සිය ජීවි­ත­යෙහි ගැනී­මට සිදු­වන අසී­රු­තම තීර­ණ­යකි. ඒ තීර­ණය නොපැ­කිළ ගැනීම මගින් ලු ශූන් කළ සමාජ මෙහෙ­ව­රෙහි අව­සන් ඵලය චීන විප්ල­ව­යට පද­න­මක් සැප­යී­මට හැකි­වී­මය.   

ලු ශුන් යනු නවී­න­ත්වය විශ්වාස කළ ලේඛ­ක­යෙකි. ස්වකීය සාහි­ත්‍යය පෝෂ­ණය කිරී­මට බට­හිර සාහිත්‍ය යේ දායා­ද­යන් තම රටට ගෙන ආයු­තුය යන විශ්වා­ස­යෙන් සාහිත්‍ය පරි­ව­ර්ත­ක­යකු බව­ටද පත්වන ඔහු ඒ අත­රම තම රටෙහි ජන­තා­වගේ දැක්ම නිවැ­රදි කිරීම උදෙසා පන්හිඳ මෙහෙ­ය­වයි. සාම්ප්‍ර­දා­යික ආගම් සහ විශ්වා­ස­ය­න්ගෙන් බරව පැවති සමා­ජය වෙත ප්‍රවේ­ශ­වී­මේදී ඩාවින්ගේ පරි­ණා­ම­වා­ද­යෙන් අරඹා ඔහු සිය චින්ත­නය සරු කිරීම පිණිස වාමාං­ශික මත­වා­ද­යන්ට යොමු වනුයේ මාක්ස්වාදී දේශ­පා­ලන දර්ශ­න­යට සමීප වෙමිනි. එහෙත් ඔහු වෙතැති විශේ­ෂ­ත්වය වන්නේ කිසිම දිනෙක කොමි­යු­නිස්ට් පක්ෂයේ සාමා­ජි­ක­ත්වය ලබා ගැනී­මට හෙතෙම කට­යුතු නොකි­රී­මයි. මේ හරහා ඔහු පළ කර සිටි­න්නේද ලේඛ­ක­යකු වශ­යෙන් තමන් තුළ වන අදී­න­ත්වය හැර අන් යමක් නොවේ.   

සමාජ විචා­රයේ ලා ලු ශුන් සතුව පැවති සියුම් කුස­ල­තාව වටහා ගැනී­මට යමකු කළ යුත්තේ ඔහුගේ නිර්මාණ පරි­ස්සම් සහ­ග­තව විමසා බැලී­මයි. ඔහු විසින් රචිත නිර්මාණ බොහො­ම­යක් පසු කලෙක බීජිං හී විදෙස් භාෂා මුද්‍ර­ණා­ලය විසින් පළ කරනු ලැබූ අතර ඔහුගේ වැද­ගත් යයි සැල­කෙන බොහෝ නිර්මාණ ඒ සංග්‍ර­හ­යන් තුළ අඩං­ගුය. ඔහුගේ නිර්මා­ණ­යන්හී දක්නට ලැබෙන තියුණු උප­හා­සය එකල චීන සමා­ජ­යෙහි පැවති අග­තීන්ට එල්ල කරන ලද සාහි­ත්‍ය­මය පොකුරු වෙඩි ප්‍රහා­ර­යන් වැනිය. ලු ශුන් වඩාත්ම පිළිකුල් කළ එක් දෙයක් වූයේ සිදු­වන සියලු අක­ට­යු­තු­කම් ඉවසා ඒ දෙස බලා සිටිනා අලස සහ­ගත, නින්දිත කීකරු මානව හැසි­රීම්ය. සමා­ජ­යක් ප්‍රග­ම­නය කරා යාමට නම් මිනිසා එහි සක්‍රීය කොට­ස්ක­රු­වකු විය යුතු යයි ඉඳු­රාම විශ්වාස කළ ඔහු ඒ කොට­ස්ක­රුවා බවට මිනිසා පත් කිරීම උදෙසා කළේ නිර්දය ලෙස සිය පන්හි­ඳෙන් සමාජ අග­තීන්ට පමර දීමය. ඔහු විසින් රචිත පලි­ගැ­නීම නම්වූ කෙටි නිර්මා­ණ­යක් මේ සඳහා කදිම උදා­හ­ර­ණ­යකි. ඔහු ඊට පද­නම් කර­ගන්නේ ජේසු ස්වාමි­ද­රු­වා­ණන් කුරු­ස­ගත කිරීම පිණිස වධ බන්ධ­න­යන් මැද ගෙන යනු ලබන අව­ස්ථාවේ අක­ර්මණ්‍යව බලා සිටිනා මිනි­සුන්ගේ හැසි­රී­මය. ඔහු පසු කලෙක මේ නිර්මා­ණය ගැන සඳ­හන් කළේ තමන් සමා­ජ­යෙහි හුදු නර­ඹ­න්නන් බවට පත්ව සිටිනා මිනි­සුන් කෙරේ වූ පිළි­කුල දරා­ගත නොහැ­කිව එය රචනා කළ බවයි.   

ඔහු විසින් රචිත තවත් අපූර්ව කතා­වක් වනුයේ නුව­ණ­ක්කා­රයා, වහලා සහ මෝඩයා යන නිර්මා­ණ­යයි. ඒ කතා­වට අනුව එක් වහ­ලකු කරන්නේ තම හාම්පු­තා­ගෙන් තමාට ඇති­වන පීඩා­වන් ගැන මැසි­විලි නැගී­මයි. ඔහු තමන්ට හමු­ව­න්නන් ඉදි­රියේ දිගින් දිග­ටම තම දුක කියයි. තමන්ට ආලෝ­කය පවා නැති අඳුරු කුටි­යක් හාම්පුතා විසින් සපයා ඇතැ­යිද තමන්ට කන්න අඳින්න පවා නැතැ­යිද එහෙ­යින් තමන් ඉතා අස­රණ තත්ත්ව­යට පත්ව සිටින්නේ යයිද ඔහු පව­සයි. මේ අසනා එක් නුව­ණැ­ත්තෙකු ඔහුට දෙන උප­දෙස වන්නේ සියල්ල ඉවසා සිටින ලෙස­ටය. එවිට අනා­ග­ත­යේදී තත්වය යහ­පත් අතට හැරෙන බව ඔහු කියයි. වහලා හිස නමා එය පිළි­ග­නියි. නමුදු ඔහු නොනැ­වතී තම දුක්ගැ­න­විල්ල තවත් අයට ඉදි­රි­පත් කරයි. ඒ අනුව ඔහුට සවන් දෙන තවත් අයෙක්- හේ මෝඩ­යෙකි- හාම්පුතා ඉතා අසා­ධා­රණ බවත් ඊට එරෙහි විය යුතු බවත් කියයි. ඉන් නොනැ­ව­තෙන ඔහු ඊළ­ඟට කර­නුයේ වහ­ලා­ගෙන් අල­වං­ගු­වක් ඉල්ලා සිටී­මය.‘ ඒ මොක­ටද?’ විය­වු­ලට පත්වන වහලා අසයි. එහෙත් ඔහුට සවන් නොදෙන මෝඩයා අල­වං­ගු­වක් ගෙන වහ­ලාගේ කුටි­යට වැදී එහි බිත්ති­යක් බිඳි­න්නට සැර­සෙයි. වහලා භ්‍රාන්තව මේ බලා සිටින අතර මෝඩයා බිත්තිය බිඳි­න්නට අල­වංගු පහර එල්ල කරන්නා හා සම­ගම නි‍ෙව­සින් එළි­යට පැන තම කුටි­යට හොරෙක් වැදී ඇතැයි බෙරි­හන්දී මිනිස්සු එහි කැඳ­වයි. ඒ අනුව එහි පැමි­ණෙන මිනිස්සු අර ‘මෝඩ­යාට‘ පහර දෙති. තමන් මහත් ව්‍යස­න­ය­කින් ගැල­වුණේ යයි වහලා සැන­සුම් සුසුම් හෙළයි.   

ලු ශුන් ගේ මේ කෙටි නිර්මා­ණය දේශ­පා­ලන අරු­තින් ඉතා ප්‍රබල කතා­වක් පව­සයි. එය එදා චීන­යට මෙන්ම නූතන යයි සැල­කෙන වර්ත­මාන සමා­ජයේ ඡන්ද හිමි­යා­ටද එකසේ අදා­ළය. එහෙ­යින්ම එහි ඇත්තේ සර්ව­කා­ලීන අග­යකි. මේ නිර්මා­ණය යල්පිනූ එකක් බව­යට පත් කළ හැක්කේ එකම එක ක්‍රියා­මා­ර්ග­ය­කින් පමණි. ඒ තමන් විච­ක්ෂ­ණ­ශීලී මිනි­සකු බව ඡන්ද­දා­ය­කයා විසින්ම ඔප්පු කරනු ලැබී­මෙන් පමණි. ලු ශූන් සිය වදන් නැමති කස­යෙන් තල­මින් ඇති කරන පෙල­ඹ­වීම එයයි.   

නිර්මා­ණ­යක් කිය­වීම යනු මතු­පි­ටින් එහි වදන් පෙළ රස­වි­ඳී­මම නොවන බව වටහා ගැනී­මට ලු ශූන්ගේ නිර්මාණ මනා අභ්‍යා­ස­යකි. ලු ශුන්ගේ ජීවන චරි­ත­යෙහි සිංහල පරි­ව­ර්ත­නය මගින් කමල් පෙරේරා අප පාඨ­ක­ය­නට ලු ශූන් කිය­වීම පිණිස හොඳ උත්තේ­ජ­න­යක් සපයා තිබේ. කොරෝනා වසං­ග­තය සම්බ­න්ධ­යෙන් කල­බ­ලව, චීන­යට දොස් පව­ර­මින් ලෝක­යම වාද විවාද කර­ගෙන, අව­සන විසඳුම් සොය­න්නට ලහි ලහියේ සැර­සෙන මෙස­ම­යෙහි ලු ශුන් කියව­න්නට හැකි නම් එය අපට අසී­රු­තම සම­යක ජීව­ත­යෙහි මංමුළා නොවී සිටීම ගැන වටනා පාඩ­මක් වනු ඇත.   

Comments