ගිනි­ගත් දහ­ව­ලක කොළඹ කොටු­වේදී චෙකොෆ් දුටු­වෙමි | සිළුමිණ

ගිනි­ගත් දහ­ව­ලක කොළඹ කොටු­වේදී චෙකොෆ් දුටු­වෙමි

ගහක කොළක සිසි­ලක් නැති කොළඹ මැද විහි­දුන බ්‍රිතාන්‍ය යුගයේ පුරාණ ගොඩ­නැගිලි පන්තිය අත­රින් වරාය පිවි­සුම දෙසට ගමන් කර­මින් සිටිමි. කොලෝනියල් යුගයේ බර­සාර සිහිවටන ලෙස ශේෂ වූ ගොඩ­නැගිලි පන්තිය කෙළ­වර වරාය පිවි­සුම  ඉදි­රියෙහි ඉති­හා­ස­ගත සැම­රුම් සහිත  හෝට­ල­යකි. දුම් නැවෙන් ලංකාවට යන­එන අතීත ඉංග්‍රීසි අධිරාජ්‍යයේ ප්‍රභූ­වරුන් අපේක්ෂා සහිතව රැඳී සිටි, එකල කොළඹ පිහිටි ­සු­ඛෝපභෝගී ග්‍රෑන්ඩ් ඔරි­ය­න්ටල් හෝට­ලය අසල මද­කට නැවතී බලා හිඳිමි. ඒ මහේ­ශාඛ්‍ය අතී­තයේ ශේෂ­යන් තව­මත් පෙනෙ­මින් තිබේ.   

අධි­රා­ජ්‍ය­යක් වෙනු­වෙන් රට කළ සුපිරි දේශ­පා­ල­ක­යන්, මේ බිමේ සාරය එංග­ල­න්ත­යට රැගෙන යන්නට පැමිණ මෙහි ගැව­සුන වතු සමා­ගම් හිමි­කාර කුවේ­ර­යන්, සංචා­රක ධන­ව­තුන් මතු නොව ලොව ප්‍රකට සාහි­ත්‍ය­ධ­ර­යන් ද මේ හෝට­ලය සිය තාව­කා­ලික ලැගු­ම්හල කර ගත් අතී­ත­යක් තිබිණි. දෙනෝ දාහක් බල­ව­තුන්, ධන­ව­තුන් කුල­ව­තුන් රැඳී සිට ගියද මේ හෝට­ලය රංජ­නය කරන්නේ එකම එක් සාහි­ත්‍ය­ධ­ර­යෙ­කුගේ ආග­ම­නයකි. ඔහු ඇන්ටන් චෙකොෆ් ය.    

මාර්ටින් වික්‍ර­ම­සිං­හ­යන් ‘චැකොෆ් හා ලංකාව’ කෘතියේ දක්වන්නේ වර්ෂ 1890 නොවැ­ම්බර් මස 12 දින චෙකොෆ් ලංකා­වට ළඟා වූ බවය. චෙකොෆ් ඔහු සමග ගමන් ගත් රද­ල­යෙකු හා ඔහුගේ පුතා ද සමග ගොඩ­බැස ග්‍රෑන්ඩ් ඔරි­ය­න්ටල් හෝට­ලයේ නවා­තැන් ගත් ආකා­ර­යත්, කොළඹ වීදි අතර හැසි­රුණු ආකා­ර­යත්, දුම්රි­යෙන් නුවර ගිය ආකා­ර­යත් වික්‍ර­ම­සිං­හයෝ දක්වති. චෙකොෆ් ලංකාවේ ගත කරන්නේ දින හයකි. ඔහු ගුසෙෆ් නැමති හද කකි­ය­වන කතාව ලියන්න පටන් ගන්නේ ලංකා­වේ­දීය. ඒ අතීත කතාවේ එකම ජීව­මාන සල­කුණ තව­මත් ශේෂව ඇත්තේ ග්‍රෑන්ඩ් ඔරි­ය­න්ටල් හෝට­ල­යේය.   

 අද ග්‍රෑන්ඩ් ඔරි­ය­න්ටල් හෝට­ලයේ ප්‍රධාන කළ­ම­ණා­කරු ලලීන් අධි­කා­රීය. ඔහු සමඟ යෙදෙන පිළි­ස­ඳර ඒ අතී­තයේ සජී­වීව කිමිද යෑමකි. ඔහු සමග යෙදෙන සංවා­දය අත­රම ඔහු මා චෙකොෆ් නවා­තැ­න්ගෙන සිටි කාම­රය වෙත ගෙන ගියේය. චෙකොෆ්ගේ විවිධ ඡයා­රූ­ප­ය­න්ගෙන් කාම­රය සැරසී ඇත. ඔහු සය­නය කළ වියන් ඇඳ, අල්මා­රිය, කණ්නාඩි මේසය, සෝපාව හා කැට­යම් කළ පෙට්ට­ගම තව­මත් ඒ අයු­රින්ම නඩත්තු කර­මින් පවතී. චෙකොෆ් සිය විශි­ෂ්ටම නිර්මා­ණ­යක් වූ ගුසෙෆ් ලිය­න්නට ඇත්තේ මේ මේසය මත නොවේ­දැයි සිතේ. කාම­රයේ වූ ජනෙල් කවු­ළුවෙන් ඔහු නෙත ගැටුණ අතීත වරාය පරි­ශ්‍රයේ චම­ත්කා­රය මන­සින් දකි­න්නට තැත් කළෙමි.   

 ශ්‍රේෂ්ඨ රුසි­යානු සාහි­ත්‍ය­ක­රු­වකු වූ ඇන්ටන් චොකොෆ් සිය ප්‍රථම විදෙස් සංචා­රය ආරම්භ කර­මින් 1890 පිටර්ස්බර්ග් නම් කොප්පරා ප්‍රවා­හ­නය කළ දුම් නැවක නැගී සක්හ­ලීන් බලා යාත්‍රා කළේය. මෙම දූපත ඉතා භයා­නක අප­රා­ධ­කා­ර­යන් රඳවා දඬු­වම් කිරී­මට රුසි­යාව විසින් යොදා­ගත් සිර­ක­ඳ­වු­රකි. වෙනත් කිසිදු ප්‍රවා­හන සේව­යක් නොවූ එකල ඒ තුළට ගමන් කළ යුතු වූයේ බොහෝ දුෂ්ක­ර­වය. සිර­ක­රු­වන්ට ලෙහෙ­සි­යෙන් පැන­යා­මට නොහැකි හෙයින් මෙම දූපත තෝරාගන්නට ඇතැයි අනු­මාන කළ හැකිය. මාස තුනක් පමණ දුෂ්කර ගම­නක යෙදුණු චෙකොෆ්; එය හැඳින්වූයේ ලොව ඇති භයා­න­කම අපාය ලෙසය.   

 මෙවන් දුෂ්කර ගම­න­කට ඔහු පෙලඹ වූයේ සිය උදා­සීන ලේඛන දිවිය හා සාර් පාල­න­යට විරු­ද්ධව සටන් කිරී­මට ඔහු තුළ වූ නොහැ­කි­යාව වන්නට ඇතැයි මහ­ග­ත්කරු මාර්ටින් වික්‍ර­ම­සිං­හයෝ ‘චැකොෆ් හා ලංකාව’ කෘති­යෙහි සඳ­හන් කරති.   

 චෙකොෆ්ගේ ජීවිත කතාව ලියන ඔහුගේ සොහො­යුරු මිඛා­යෙන් උපුටා දක්වන වික්‍ර­ම­සිං­හ­යන්ට අනුව චෙකොෆ් ලංකාව ගැන නිතර ස්මර­ණය කර­මින් කතා කර ඇත. ඔහු ලංකාව ගැන ලියූ ඇතැම් දේ තර­මක ශෘංගාර ප්‍රකා­ශ­ය­න්ගෙන් යුක්ත බව ඔහු පව­සයි. “මම අඳුරු පැහැති ඇස් ඇති ලංකාවේ කාන්තා­වන් සමඟ සඳ එළි­යෙන් බැබ­ළෙන පොල් රුප්පා­වක දී පෙම් කළෙමි.” හේ ලියා තැබු­වේය. ලංකාවේ නැවතී සිටි කෙටි කාලය තුළ ඔහු විසින් කරන විස්ත­ර­වල ලංකවේ සිත් ගන්නා සුලු කාල­ගු­ණය, ඇළ­දොළ, කඳු­වැටි හා පොල්රුප්පා අත­රින් සඳ පෙරී එන සැටි විස්තර කරයි. එසේම පාරා­දී­ස­යක අනි­වා­ර්යෙන් දැකිය යුතුම වූ කාන්තා­වන් ගැන හේ විශේ­ෂ­යෙන් සඳ­හ­නක් කරයි.   

“සක්හ­ලින් මට අපා­යකි. ඉන්පසු ගිය ලංකාව යනු වච­නයේ පරි­ස­මා­ප්තා­ර්ථ­යෙන් ම පාරා­දී­ස­යකි. පාරා­දී­සය ගැන මා කියන ප්‍රකා­ශය ආදම් ගේ ප්‍රකා­ශය හා සමාන විය හැකිය. ලංකාවේ තාල වර්ගයේ ගස් අත­රින් පෙරී එන මළ හිරුගේ දර්ශ­න­යෙන් අත්‍ය­න්ත­යෙන්ම මා මහත් සතු­ටට පත් වීමි.” පොල්රුප්පා අත­රින් සඳ එළිය වැටී තිබූ වෙරළ තීරයේ සඳ එළියේ නැහැ­වෙ­මින් කාල­වර්ණ ලියන් හා සම­හන් සුව විඳි­බව සඳ­හන් කරන හෙතෙම ඉන් එක් ස්ත්‍රිය­කට හෝ දරු­වකු ලැබු­ණ­හොත් ඇය ඉන් ආඩ­ම්බර විය යුතු බව හෙතෙම සඳ­හන් කරයි.   

 ග්‍රෑන්ඩ් ඔරි­ය­න්ටල් හෝට­ලයේ නතර වී කොළඹ හා නුවර සංචා­රය කළ කාලය තුළ ලැබූ අත්දැ­කීම් පිළි­බ­ඳව චෙකොෆ් ලියුම් දොළ­හක පමණ ලියා ඇත. ඔහු ඒවා ලියා ඇත්තේ ලංකාව පිළි­බ­ඳව අම­න්දා­න­න්ද­යෙන් යුතුව වීම විශේ­ෂය. මේ පිළි­බඳ රසා­ලිප්ත සට­හ­නක් වික්‍ර­ම­සිං­හ­යන් ස්වකීය චොකොෆ් හා ලංකාව කෘතියේ බහා­ලයි.   

 චෙකොෆ් කොළඹ වීථි දිගේ ඇවි­දි­න්න යන්නේ නග­රයේ තොර­තුරු සොයා දැන ගැනී­ම­ටය. ඒ ගම­නේදී චෙකොෆ්ට නයි­න­ට­ව­න්නකු හමු විය. නයි නට­වන්නා නළාව පිඹි­මින් නයා සිටි පෙට්ටියේ පියන ඉවත් කර නයා එළි­යට ගත්තේය. අන­තු­රුව නයා මුග­ටි­යකු හා පොර­යට දැම්මේය. මේ නයි මුගටි පොර­යෙන් නයා මෙල්ල කළ මුග­ටියා ඔහුගේ සිත් ගත්තේය. මුග­ටි­යෙකු සොයා එකල කුඩා සත්වො­ද්‍යා­න­යක් වූ දෙහි­වල සත්වෝ­ද්‍යා­න­යට හෙතෙම පැමිණි යේය. එහෙත් ඔහුට මුග­ටි­යකු හමු නොවීය. ඔහු එහි සිටි පසු වෛද්‍ය­ව­රුන් විමසා මුග­ටි­යන් දෙදෙ­නකු සොයා­ග­ත්තේය.   

 චෙකොෆ් මේ මුග­ටි­යන් ද රැගෙන රුසි­යාව බලා පිටත් විය. මුග­ටි­යන් සැම­වි­ටම තමාට විනෝ­දය සැපයූ බව හෙතෙම තම මිත්‍ර­යන්ට පැවසූ වේය. ලංකාවේ මුග­ටි­යන් එසේ පැමිණි සිය අමු­ත්තන්ද පුදු­ම­යට පත් කළ හරි අපූරු සත්ව වර්ග­ය­කැයි ද හේ පැව­සීය.   

 වික්‍ර­ම­සිං­හ­යන්ගේ කෘති­යට අනුව චෙකොෆ් සොහො­යුරු මිඛ­ලායි කියන පරිදි මේ මුග­ටි­යන් හැම දෙයක් විනාශ කරන්ට, බිඳි­න්නට, සියලු ද් නැති කර­න්නට උපන් හපන් සතුන් ය. ඔහුගේ ගම්බද නිව­සට ගිය මිතු­ර­න්ගෙන් මේ තොර­තුරු විමසා දැන­ගත් රුසි­යානු මහා සංගී­තඥ චයි­කොව්ස්කි ද උන් නැර­ඹීම පිණිස මොස්කව් සිට චෙකොෆ්ගේ ගම්බද නිවස බලා පැමිණ ඇත. වරක් එක් මුග­ටි­ය­කුට සෙම්ප්‍ර­ති­ශ්‍යාව වැළඳී මර­නා­සන්න විය. ඌ සුව­පත් කළ චෙ‍කොෆ් ඉන් මහත් සතු­ටට පත් විය. එහෙත් වූ සුව­පත් වූ විගස සුපු­රුදු ලෙසම පිඟන් කෝප්ප බිඳි­න්න­ටත් කල­බල කර­න්න­ටත් පටන් ගත්තේය. මුග­ටි­යන්ගේ බේරී­මට නොහැකි වූ හෙතෙම ඔවුන් රුසි­යාවේ සත්ව උද්‍යා­න­යට පරි­ත්‍යාග කිරී­මට පිය­වර ගත්තේය.   

චෙකොෆ් සක්හ­ලින් දූපතේ කළ සංචා­ර­යෙන් ඇති වූ පීඩාව සිංග­ප්පූරු ගම­නින් පසු තවත් අධික වී තිබුණි. එහෙත් ලංකා­වට පැමිණ සංචා­රය කිරී­මත් සමඟ ඔහුගේ ඒ පීඩාව තුරන් වී තිබුණි. මෙනිසා තමන් “පාරා­දී­ස­ය­කට පැමි­ණි­යේය” යන හැඟීම ඔහු තුළ විය. එය ඔහු සුවො­රින් නම් පුව­ත්පත් කතු­ව­රයා ලියා යවා තිබිණි.   

“මා ඊයේ ලංකා­වට පැමි­ණියා. ඇත්තේ­මන්ම මෙය පාරා­දී­ස­යක්. දකුණු ආසි­යාවේ පාරා­දී­ස­යක් බඳු දූප­තක් පිළි­බ­ඳව ඇතැම් ග්‍රීක ප්‍රබන්ධ කතා­වල සඳ­හ­න්වන බවත්, මීට ශත­ව­ර්ෂ­ය­කට පමණ පෙර මෙහි පැමිණි ඇතුම් සංචා­ර­ක­යින් පවා එය විස්වාස කළ බවත් ඔබ දැන සිටියේ ද?” චෙකොෆ් සුවො­රි­න්ගෙන් ප්‍රශ්න කරයි.   

මෙම ගම­නින් අන­ත­රුව ඔහුගේ ජීවන දෘෂ්ටිය වෙනස් මඟ­කට යොමු වී තිබිණි. මේ සංචා­ර­යෙන් පසුව ඔහු කළ නිර්මාණ ඊට සාක්ෂිය.   

“චැකොෆ් හා ලංකාව” කෘතියේ මාර්ටින් වික්‍ර­ම­සිං­හත් චෙකොෆ් මහ­නු­ව­රට ගිය ගම­නක් ගැනද විස්තර කර ඇත.   

“නුවර වැව වටේ ඇවි­දි­න්නට ගිය චොකොෆ්ට ගැල­වීමේ හමු­දාවේ පෙර­හ­රක් හමු විය. හින්දු සාය හැඳ ගත් ගෑනු බෙරය, ඇකෝ­ඩි­නය හා ගිටා­රය ගත්තෝ ද, කළු තරු­ණයෝ හා රතු හැට්ට­යක් හැඳ ගත් කාපි­රි­යෙක් ඒ පෙර­හ­රෙහි වූහ යි” චෙකෝෆ් ලියා තැබීය.   

Comments