කර­දිය වහ වී අන­තු­රක මුව­විට වැල­පෙන බුන්දල | සිළුමිණ

කර­දිය වහ වී අන­තු­රක මුව­විට වැල­පෙන බුන්දල

 අන්තර්ජාතික වටි­නා­ක­මක් හිමි­ක­ර­ගත් තෙත්බි­මක් වූ බුන්දල ජාතික උද්‍යා­නය රැම්සා ලේඛ­නයේ වටි­නාම තෙත්බිම ලෙස නම්කර ඇති තෙත්බි­මකි. නමුත් 1984 ලුණු­ග­ම්වෙ­හෙර ව්‍යාපා­රය ඇති­වී­මත් සමග දකුණු ඉවුර ඇළ මාර්ග­යෙන් පෝෂ­ණය වන ගොවි­බිම්වලින් ඉවත් කරනු ලබන කෘෂි රසා­යන අඩංගු අති­රික්ත ජලය කලපු පද්ධ­ති­යට එක්වීම නිසා ලවන තාවය අඩුවී කර­දිය ආශ්‍රිත ජෛව ප්‍රජා­වට බල­පෑම් එල්ල වීමෙන් හා තවත් පරි­සර පද්ධ­තිය තුළ සිදු­වන වෙන­ස්කම් රාශි­යක්         හේතු­කො­ට­ගෙන බුන්දල ජාතික වනෝ­ද්‍යා­නය රැම්සා සම්මු­තියේ ලක්ෂණ යන්ගෙන් ඉව­ත්වීමේ අව­දා­න­මක් පවතී.  

1969 දෙසැ­ම්බර් මස 12 වන දින වන­ජීවී සංර­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව විසින් ගැසට් අංක 14887 යටතේ බුන්දල අභය භූමි­යක් ලෙස ප්‍රකාශ කරන ලදී. එමෙන්ම මෙහි ආර­ක්ෂාව වඩාත් තහ­වරු කරනු වස් 1992 දෙසැ­ම්බර් 31 දින බුන්දල ජාතික වනෝ­ද්‍යා­න­යක් බවට ප්‍රකාශ කළේය.  

1996 දී ශ්‍රිලං­කාවේ ප්‍රථම වරට අන්තර් ජාතික වටි­නා­ක­මක් හිමි­ක­ර­ගත් තෙත්බි­මක් වූ බුන්දල ජාතික වනෝ­ද්‍යා­නය ජාත්‍ය­න්තර ලේඛ­න­යට ගොනු කරනු ලැබූ රැම්සා ලේඛ­නයේ වටි­නාම තෙත්බිම ලෙස එක්ක­රනු ලැබිය .   

බුන්දල රැම්සා තෙත්බි­මක් ලෙස නිර්දේශ වීමට හේතු 

මේ අයු­රින් බුන්දල ජාතික වනෝ­ද්‍යා­නය රැම්සා තෙත්බි­මක් ලෙස නිර්දේශ වීම සඳහා බල­පානු ලැබූ ප්‍රධාන සාධක වනුයේ උත්ත­ර­ධ්‍රැ­වයේ සිට දක‍ෂිණ ධ්‍රැවය දක්වා පරි­ය­ඨ­නය කරන පක‍ෂීන්ගේ අව­සන් නවා­තැන් පොළ වීම, වර්ෂය පුරා පරි­ය­ඨ­නය පක‍්ෂීන් 20,000 කට අධික ප්‍රමා­ණ­යක් ආහාර හා වාස­ස්ථාන සොයා පැමි­නීම, ගංගා මෝය හා ලවණ හැල් සහිත තෙත් බිම් පරි­සර පද්ධති පිහි­ටීම, පරි­ය­ඨන පක‍ෂීන්ගේ දුලබ ආහා­ර­යක් වන ආටි­මියා ප්ලවාංග හා කඩො­ලාන විශේෂ සහිත පරි­සර පද්ධති හා ආහාර බිම් පිහි­ටීම යන කාරණා හේතු­කොට ගෙනය .  

ශ්‍රී ලංකාව ජෛව විවි­ධ­ත්වය සම්බ­න්ධ­යෙන් ලොව ප්‍රමුඛ පෙ‍ළේ රට­වල් අත­රට අයත් රටකි. එය ලෝක ව්‍යාප්ත ජෛව විවි­ධත්ව ස්ථාන පිළි­බ­ඳව කළ පර්යේ­ෂණ ඇසු­රින් නම් කරන ලද ස්ථාන 25 අත­ර­ටද ලංකාව අයත් වීමෙන් තහ­වුරු වේ. මේ සඳහා ප්‍රමුඛ බල­පෑ­මක් බූන්දල ජාතික වනෝ­ද්‍යා­න­යෙන් සිදු‍වේ. හෙක්ට­යාර් 6200 ක භුමි වප­ස­රි­ය­කින් සම­න්විත බුන්දල ජාතික උද්‍යා­නය භූගෝ­ලීය වශ­යෙන් කලාප තුනක් දැකිය හැකි වේ.  

1. වෙරළ තීරය හා වැලි කඳු සහිත ප්‍රදේශ.  

2. කලපු හා බාහිර වෙරළ තැනි­තලා කලා­පය.  

3. අභ්‍ය­න්තර වෙරළ කලා­පය.   

 එමෙන්ම මෙහි ඇති කලපු අතර  

1. මහ­ලේ­වාය කල­පුව.  

2. කොහො­ල­න්කල කල­පුව.  

3. මලල කල­පුව.  

4. ඇඹි­ලි­කල කල­පුව.  

5. බූන්දල ලේවාය කල­පුව. වේ   

බූන්දල වනෝ­ද්‍යා­නයේ සිදු­කර ඇති අධ්‍ය­යන අනුව පවුල් 47 කට අයත් ශාක විශේෂ 90 ක් වාර්තා වෙයි. මේ අතර කාෂ්ඨිය ගස් වර්ග 16 ක්, පැළෑටි වර්ග 37 ක්, ආරෝ­ගක පැළ­වර්ග 16 ක් හා පඳුරු ශාක වර්ග 21 ක් ආදි ලෙස දැකිය හැක. එවැනි කාශ්ඨිය ගස් අතර පලු, ගස් සූරියා, බුරුත, දිවුල්, ආදී ගස් ද පැළෑටි වර්ග ලෙස නීර­මු­ල්ලිය, මුඩු­ම­හන, මදු­රු­තලා, හෙල­මල් ආදිය ද වැල් වර්ග අත­රින් ආරෝ­හණ, හාත­වා­රිය ආදිය ද ප්‍රධාන වේ. මෙහි දැකිය හැකි ප්‍රමුඛ ශාක කාණ්ඩය වන්නේ පඳුරු ශාක­යන්ය. ඒ අත­රින්ද වියළි බව‍ට ඔරොත්තු දෙන ශාක බහු­ලව පවතී.  

බූන්දල වඩාත් ප්‍රච­ලි­තව ඇත්තේ කුරුලු පාරා­දී­ස­යක් ලෙසය. ලංකාවේ වෙසෙන නේවා­සික ජලජ පක්ෂීන් සිය­ල්ලම පාහේ දැකිය හැකි මෙම භූමි භාගය තුළ නිර­තු­රු­වම පක්ෂින් 20000 කට වැඩි ප්‍රමා­ණ­යක් නිරී­ක්ෂ­ණය කළ හැක. මෙහි දැනට කර ඇති පර්යේ­ෂණ අනුව පවුල් 150 කට අයත් කුළ 53 ක‍ට ගැනෙන පක්ෂි විශේෂ 53 ක් වාර්තා වී ඇත. මේ අත­රින් සංචා­රක පක්ෂි විශේෂ 50 ක් පමණ දැක­ගත හැකි අතර ඉන් විශේෂ 08 ක් දුර්ලභ වේ. බුන්දල වනෝ­ද්‍යා­නය තුළ දැකිය හැකි එකම ආවේ­ණික පක්ෂියා වන්නේ වළි­කු­කු­ළාය. මීට අම­ත­රව ජාත්‍ය­න්තර වශ­යෙන්ද වඳවී යාමේ තර්ජ­න­යට ලක්ව ඇති පැස්තු­ඩුවා, දම් සිලු‍ටු දෑ තුඩුවා ද දැකිය හැක. ලංකාවේ විශා­ලම පක්ෂියා වන බහුරු මානාවා හා ඉතා දුර්ලභ පක්ෂියා වන අලි­මා­නාවා ආදි පක්ෂි විශේෂ දැක­ගත හැක. බූන්දල වෙනත් රට­ව­ලින් පැමි­ණෙන නෙක විදියේ පක්ෂීන්ගේ ද, දේශිය පක්ෂීන්ගේ ද පෝෂක බිමක්, ලැගුම් බිමක්, ආර­ක්ෂක බිමක් මෙන්ම අභි­ජ­නන බිමක් ලෙසින් ද වැද­ග­ත්ක­මක් උසු­ලයි  

බුන්දල තෙත් බිමට ඇතිවු බල­පෑම

1984 ඇති­කළ ලූණු­ග­ම්වෙ­හෙර ව්‍යාපා­ර­යෙන් පෝෂ­ණය වෙන ගොවි බිම්ව­ලින් ඉවත් කරන කෘෂි රසා­යන අඩංගු අති­රික්ත ජලය කලපු පද්ධ­ති­යට එකතු වීමෙන් ලව­න­තා­වය අඩුවී කර­දිය ආශ්‍ර­තව ජෛව ප්‍රජා­වට බල­පෑම් එල්ල­වීම මෙන්ම මළල කල­පුවේ සිට මුහුද දක්වා ඇළ මාර්ග­යක් ඉදි කිරීම නිසා කලපු මෝය මුහු­දට නිරා­ව­ර­ණය නොවීම , මිරි­දියේ වැඩෙන ජලජ පැළැටි ව්‍යාප්ති­වීම, උද්‍යා­නයේ මායිමේ ඇති තෙත් බිම් ගොඩ කිරීම හා සංව­ර්ධ­නය, අවි­ධි­මත් ධීවර කර්මා­න්තය, උද්‍යා­නය තුළ ඇති ලේවා­යන් වැඩි­දු­ර­ටත් සංව­ර්ධ­නය කිරීම මෙන්ම කලපු අන්දර වැනි ආක්‍ර­ම­ණ­ශීලී ශාක සීඝ්‍ර­ය­යෙන් ව්‍යාප්ත­වීම ආදී කරුණු රාශි­යක් මත බුන්දල තෙත්බි­මට බල­පෑම් එල්ලවේ. මෙනිසා කුරුළු පාරා­දී­ස­යක් බවට ප්‍රසිද්ධ බුන්දල ජාතික උද්‍යා­නය වෙත පැමි­ණෙන කුරු­ල්ලන්ගේ ද අඩු­වක් පවතී.  

'' කිරි­ඳි­ඔය ව්‍යාපා­රයෙ දී ලුණු­ග­ම්වෙ­හෙරේ සිට එන වාරි ජලය වැඩි ප්‍රමා­ණ­යක් මුහු­දට බහින්නේ බුන්දල කල­පු­ව­ලට ඇවිත්. කල­පුව හරහා. ඒ නිසා මේ කල­පු­වල තිබෙන ලවන ගතිය අඩුවී තිබෙ­නවා. මේ හේතු­වෙන් ලවන ගතිය තිබෙන විට හැදෙන කුනිස්සෝ වැනි කුඩා මත්ස්‍යන් හැදීම අඩු­වෙ­නවා. මේ තත්වය රජ සිය­ක්ක­රයා ( Great Flamingo 's ) ලට බෙහෙ­වින් බල­පා­නවා. ඒව­ගේම මේ තත්වය සංචා­රක කුරු­ල්ලන්ට හුඟක් බල­පා­නවා. කුරු­ල්ලන්ගේ අවශ්‍ය කෑම අඩු­වෙන නිසා එයාල ඒ තැන්ව­ලට පැමි­ණීම අඩු­වෙ­නවා. මෙහිදී දේශීය කුරු­ල්ලන් එනවා. විශේ­ෂ­යෙන් එන සංචා­රක කුරු­ල්ලන් අඩු­වෙ­නවා.” ඒ බව වන­ජීවී සංර­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුවේ නිල­ධා­රීහු පෙන්වා දෙති.  

තෙත් බිම රුක ගැනී­මට ගත යුතු ක්‍රියා­මාර්ග

තෙත්බිම රැක­ගැ­නීම උදෙසා සංව­ර්ධන යෝජනා ක්‍රියා­ත්මක කිරී­මේදී බල­ධා­රීන් විසින් අත්ත‍නෝ­ම­ති­කව ගන්නා ක්‍රියා පිළි­වෙත් නතර කළ යුතුවේ. කෙසේ නමුත් බුන්දල තෙත්බි­මට අද අත්ව ඇති ඉර­ණම තුළ එය විනාස වීම වල­ක්වා­ග­නි­ම­ට­නම් වාරි යෝජනා ක්‍රම ක්‍රියා­ත්මක කිරී­මේදී, තෙත් බිම් වලට හානි­යක් නොවන ලෙස සැල­සුම් කිරීම, ඇඹි­ලි­කල කල­පු­වට එක­තු­වන කෘෂි රසා­යන අඩංගු ජලය ඇළ මාර්ග­යක් ඔස්සේ විල්මැන්න අභය භූමිය හරහා කිරි­ඳි­ඔ­යට නිද­හස් කිරීම, උද්‍යා­නය ප්‍රේරක කලා­පයේ සංව­ර්ධන හා සංර­ක‍ෂණ කට­යුතු අන්ත­ර­ජා­තික ප්‍රති­ප­ත්තීන්ට අනු­කූ­ලව විධි­මත්ව සැල­සුම් මගින් දිගු­කා­ලී­නව ක්‍රියා­ත්මක කිරීම, ආක්‍ර­ම­ණ­ශීලී ශාක සැල­සුම් සහ­ග­තව ගලවා ඉවත් කිරීම, ධීවර සමිති විධි­මත් කිරීම, අන­ව­සර ලෙස තෙත් බිම් ගොඩ කරන පුද්ග­ල­යන්ට නීති­මය ක්‍රීයා මාර්ග ගැනීම ආදී කාරණා ගැන බල­ධා­රීන්ගේ අව­ධා­නය යොමු­විය යුතුය  

පිට­තින් පැමි­ණෙන ජලය කල­පු­වට එක්වී­මට ඉඩ නොදී කෙලින්ම මුහු­දට ගලා යාමට ක්‍රම­වේ­ද­යක් ඇති­කි­රී­මට කට­යුතු කරන්න හැකි­නම් නැවත එය ප්‍රකෘති තත්ව­යට පත් කළ හැකි බව පරි­සර වේදීහු පෙන්වා දෙති.   

කෙසේ නමුත් ලූණු­ග­ම්වෙ­හෙර ව්‍යාපා­ර­යෙන් පෝෂ­ණය වෙන ගොවි බිම් වලින් ඉවත් කරන කෘෂි රසා­යන අඩංගු අති­රික්ත ජලය ඇඹි­ලි­කල කලපු පද්ධ­ති­යට එකතු වීමෙන් ලව­න­තා­වය අඩුවී කර­දිය ආශ්‍රිත ජෛව ප්‍රජා­වට බල­පෑම් එල්ලව, ජලජ හා භෞමික පරි­සර පද්ධ­තීන් වල ආක්‍ර­ම­ණ­ශීලී ශාක ව්‍යාප්තිය සිඝ්‍ර ලෙස වැඩි වීමෙන් තෙත් බිම් පරි­සර පද්ධ­තියේ වෙසෙන සත්ව ප්‍රජා­වගේ වාස­ස්ථාන හා ආහාර බිම් අහිමි වීම ආදී කාරණා සම්බ­න්ධ­යෙන් බල­ධා­රීන් ගේ අව­ධා­නය යොමු නොක­ර­න්නේ­නම් ඉදිරි වර්ෂ කීප­ය­කදී බුන්දල ජාතික උද්‍යා­නය රැම්සා සම්මු­තියේ ලක්ෂණ යන්ගෙන් ඉව­ත්වීමේ අව­දා­න­මක් පවතී.

  

Comments