අලියා වැටුණු වැව මේ හැම ලකුණු දනී | සිළුමිණ

අලියා වැටුණු වැව මේ හැම ලකුණු දනී

නුතන ප්‍රගතිශීලි කවියේ විශිෂ්ටතම සලකුණ ඔහු ය. ඔහුගේ ජය මෙන්ම පරාජය තේරුම් නොගෙන නුතන ප්‍රගතිශීලි සාහිත්‍යයට යුක්තිය ඉෂ්ට කළ නොහැකිය. 80 දශකයේ උපන් නව විචාරවාදය ඔහුව දුටුවේ එසේ ය. කොළඹ යුගයේ සහෝදරත්වය සමග පැවති, එමෙන්ම එම සහෝදරත්වය විසින් ඔහුට දක්වන ලද ගෞරවාදරය වැදගත් වුවද එය හුදෙක් භක්තිවන්ත ප්‍රතික්‍රියාවක් වීම මත ඔහුට නිසි තක්සේරුවක් ලබා දීමට ඒ කොළඹ යුගයේ සහෝදරත්වයට හැකියාවක් ලැබුණේ නැත. අනිත් අතින් ගත් කල ඇකඩමික් විචාරවාදයක් හරහා ඉදිරියට පැමිණි, විශේෂයෙන්ම විශ්ව විද්‍යාලය මුල් කොටගත් විදග්ධ කුලකයට අනුව ඔහු කොළඹ යුගයේ රොමැන්ටික් වර්ගීකරණයේ තවත් එක් උදාහරණයක්ම විය. පොදුවේ කොළඹ යුගය තුළ පොදුවේ දැකිය හැකි වූ මුලික අඩුපාඩුකම් සහිත සීමාවන් ඒ ආකාරයටම ඔහුටත් පැටෙවෙන ආකාරයට මේ කියන ඇකඩමික් විචාරකයෝ කටයුතු කළහ.

ඒ ඔහු විමලරත්න කුමාරගම ය. තමන් කොළඹ යුගයේ කවියෙකු වශයෙන් ගැනීමට අවශ්‍ය නිර්මාණ සම්පත් ඔහු විසින්මත් සපයනු ලැබ ඇත්තේ ය. කුමාරගමගේ මුල්ම කාව්‍යයන් අතර විශේෂයෙන්ම “හපුමලී” වැනි කාව්‍ය සංග්‍රහයක් ගත් කළ එය අර කී කාරණය සනාථ කරන්නේ කොන්දේසි විරහිතවය. නමුත් ඒ සෑම විටකම තමන්ට හිමි අනන්‍යතාවක් ඔහු ප්‍රකාශ කරමින් සිටි අයුරු ඔහුගේ “සංවේග දර්ශන” “සොහොනක් මත” වැනි මුල්ම කාව්‍ය නිර්මාණ විමසීමෙන් දත හැකිය. කුමාරගම සතුව පැවැතියේ හුදු මතුපිටවාදී බවින් යුත් මනුෂ්‍ය හෝ පාරිසරික විඳීමෙන් උපදවාගත් සංවේදීතාවක් නොවීම ඊට හේතුව විය. ඇත්ත වශයෙන්ම ඔහුගේ හද තුළ ඒ කියු සංවේදීතාවන් වෙනුවෙන් උපන් සිහින් ඉකි ගැසීමක් පැවතුණේ ය. ඔහුගේ කවිය තුළ එය පැහැදිලිවම අපට දැකිය හැකි වේ. කොළඹ යුගයේ කවීන් තුළ බොහෝ විට දකින්නට තිබූ හැගීම් ප්‍රකාශනයේලා මතුපිටවාදී අතිශයෝක්තිය එසේ නැත්නම් භාවාතීශය ඔහු තුළින් ප්‍රකාශ නොවුණේ ද මේ නිසාමය.

විමලරත්න කුමාරගමගේ කාව්‍ය නිර්මාණ එක්රැස් කරමින් ඊට පෙරවදනක් සපයන සුසිල් සිරිවර්ධන හා එස්. විජේසුරිය ඔහු බහු ජනතාව වෙනුවෙන් බහු ජනතාව සඳහා කවි ලියුවේ යැයි පැවසීම ව්‍යාජයක්ම වේ. තවද ගැඹුරක් නැති දේශපාලන නර්මාලාපයකට ද අසමාන නොවන්නේ ය. උඩරට ප්‍රදේශයේ නාරම්පනාව නම් කඳුකර ගම්මානයෙහි උපත ලබා සිංහල බෞද්ධ පුනරුදයෙන් උපන් මහනුවර ධර්මරාජ විද්‍යාලයෙන් ශික්ෂණය ලැබ වෘත්තීය වෙනුවෙන් වන්නි පළාතේ සේවයට ගොස් ඒ මිනිසුන්ගේ අසරණකමත්, දරිද්‍රතාවත් හමුවේ ව්‍යාජ සුසුම් පද වලින් තොරව මුලින් ද කී ආකාරයට සැබෑ මනුෂ්‍ය සංවේදීතාවෙන් යුතුව එකී අත්දැකීම් කවියට නැගූ කුමාරගම ඒ අනුව ඔහුටම අනන්‍ය බවක් ප්‍රකාශ කළේය. කොළඹ යුගයේ නියෝජනයක් වශයෙන් වුව සංවේදී ප්‍රතිභාවෙන් වඩාත් වැඩි දුරක් ගමන් කළ කවියෙකු බවට කුමාරගම පත් වන්නේ එවැනි පසුබිමක ය. එතැනදී කවියෙකු වශයෙන් පොදු රසිකත්වයෙන් ප්‍රතික්ෂේප නොවීම ඔහු ලද වරප්‍රසාදයක් වූ තරමටම බුද්ධි බරවය නිසා කුරෝලු නොවීම ඔහු ලද වාසනා ගුණයක් වූයේය. ඊට හොඳ නිදර්ශනයක් බවට ඔහුගේ “අයියනායක” නම් කාව්‍ය පන්තිය පත් වේ.

වනපෙත දැවෙන විට වැද මළ හිරුගෙ රත
ගනඳුර වසන විට ආලෝකයෙහි නෙත
සඳරැස් ගලන විට තෙරපී සෙවන මත
එක දෙවියෙක් නොවේ දාහක් එතැන ඇත

ඉතා පැහැදිලිවම මේ වනාහි ඔහු හද පත්ලෙහි වූ මනුෂ්‍ය සංවේදීතාව මිස ජනතාවාදි යන ව්‍යාජය නම් නොවේ.

කුමාරගමගේ කවියේ පසුබිම් සමාජ විස්තරය වන්නේ යටත්විජිත සමයේ වෙනස් වෙමින් පැවැති සමාජාර්ථිකය යි. එමෙන්ම ඒ හමුවේ එක්වනම ඊට අනුවර්තනය වීම කළ නොහැකිව අසරණකමත්, දරිද්‍රතාවත් හමුවේ වේදනා විඳිමින් සිටි ගැමි සංස්කෘතියයි. එතැනදී ලෙනාඩ් වුල්ෆ් මෙන්ම කුමාරගම ද ඒ ගම්මාන හමුවේ පෙනී සිටියේ ඒ නව පරිපාලනයේ නියෝජිතයන් හැටියටය. නමුත් වුල්ෆ් ඒ වෙනුවෙන් මෙරටට ආ බටහිර සමාජ සංස්කෘතියේ නිලධාරියෙකු වු අතර ඒ නිසාම ඔහු මෙරට ගම්මානයන්හි අත්දැකීම් වින්දේ පිටස්තර නිරීක්ෂකයෙකු වශයෙනි. එ නිසාම එතැන යම් දුරස්ථකමක් ද තිබුණි. ඒත් කුමාරගම යැයි කියන්නේ මෙරට ගැමි සමාජීය සංවේදීතාවන්ට සමීපතමයෙකු වෙමින් ඒ දුකත්, අසරණකමත් හමුවේ සිය හද ගැබ තුළින් මතු වූ සියුම් ඉකියක් සමග උපන් හැඟීමෙන් ඔවුන්ගේම එකෙකු හැටියට ඒ ජීවන අත්දැකීම් විඳ ගත්තෙකි.

එහිදී ඔහුට හමු වෙන්නේ අප උපන් භූමියේම විසූ එහෙත් යළි කිසිදාක අපට හමුවෙතැයි සිතිය නොහැකි මිනිසුන් ය. එක්වනම අපට නොදැනෙන ඒ මිනිසන්ව ඔහු මේ තරම් පහසුවෙන් හඳුනාගන්නේ කෙසේදැයි යන විමසීම හමුවේ දිය හැකි පිළිතුර වන්නේ ද අර කලින් කී ඔහු තුළ වූ මානුෂීය සංවේදීතාවම විනා අනෙකක් නොවේ. ඒ ආකාරයට ඔහු හඳුනාගත් ඒ වන්නි වනාන්තරයටම අනුවර්තනය වූ හැඩිදැඩි මෙන්ම වෙනස් මිනිසෙකුගේ අවසානය ඔහු සිය කවියෙන් සිතියම්ගත කොට තිබුණේ මේ ආකාරයෙනි.

තහවුරු නළා කෙවිටක් තිබු සැකය හිත
ලේ බිඳු කදුරු පැළ වැලි තණ පඳුරු මත
හිස් කබලක්ය එහි මස් කළඳකුදු නැත
ළඟ පලු ගහක මූනිස්සන් ලකුණු ඇත

(හරක් හොරා)

ඒත් සමගම රොමැන්ටික් යුගයක් ලෙසින් ගත් කොළඹ යුගයේ පළ වූ දේදුන්න නම් කාව්‍ය සඟරාවට ඔහු ලියු “වන්නියේ දොස්තර” කවි සඟරාවේ නාමය පවා උත්ප්‍රාසයට නො නගන්නේ දැයි සිතා බලනු වටී.

ඔහුගේ සිරස අඩි පහකට වැඩිය නැත
ඉල ඇට තල් ඉරටු මෙන් උඩ මතුව ඇත
ඇස් දෙක ගිලී යට පොවනා තරම අත
වානරයකු ද මේ මිනිහද කවුද කැත

එසේ වුවත් ඔහු සිය කොළඹ යුගයේ රොමැන්ටික් කවි සමයේ ඒ සැහැල්ලු ආස්වාදය විඳීමට අමතක නොකරමින් “වන්නියේ මල්” ලියන අතරම තමන්ගේ පාදක ගැමි නිවස්නයක් වූ අලියා වැටුණු වැව හි විසු නව පරිපාලන ව්‍යුහයට අයත් අහිංසක ගැමියන් හමුවේ සූරා කන්නෙකු ලෙසින් විනා අන් ලෙසකින් ගත නොහැකි අනිත් අතට කූඨ සංචාරක වෙළෙඳුන් වු මුස්ලිම් ජාතිකයන් හමුවේ දෙකට නැමුණු “ආරච්චිරාළ” ගැන ලියන්නේ සියලු ආකාරයේ රොමැන්ටික් කාව්‍ය සබඳතා වෙතින් ඉවත් වෙමිනි. නමුත් “හේරත්හාමි” යනු වෙනස්ම හඳුනා ගැනීමකි.

විමලරත්න කුමාරගම සිය උපන් සමය වු කොළඹ යුගය ඉක්මවා යෑම සටහන් කළ ඔහුගේ ඊළඟ අවස්ථාව වන්නේ නිදහස් කවිය අනුව යන කාව්‍ය රීතියක් අත්හදා බැලිමට ඔහු ගත් උත්සාහයයි.

“දවසක් මම
පාරේ යනකොට
බල්ලෙක් වලිගය වැනුවා
බල්ලෙක්
පාරේ යනකොට මම වලිගය වැනුවා.”

(වලිගය)

කුමාරගමගේ සෙසු කවි සමග සසඳන කළ මේ වනාහි මුළුමනින්ම වෙනස්ම තැනකට විතැන් වීමක් වේ. එය අත්හදා බැලීමක් වශයෙන් හඳුනා ගැනීමට කිසිදු අපහසුවක් නැත.

ඉනුත් නොනැවතී ඔහු ලියූ “මහ පාර” නම් කාව්‍ය සංග්‍රහයේ එන කවි ද නිදහස් ආරම විනා අනෙකක් සිහි නොකරයි.

1962 දෙසැම්බර් 30 දා මිය ගිය කුමාරගමගේ ගුණානුස්මරණය අවුරුද්ද අවසානයට යෙදෙද්දී නිදහස් කවිය වෙනස්ම ආරකින් සංවර්ධනය කළ මහගම සේකරගේ ගුණානුස්මරණය ජනවාරි මස 1 දාට යෙදීම පුදුම සහගත පිහිටීමකි. එය වඩාත් විස්ම සහගත වන්නේ කුමාරගම සිය කාව්‍ය විලාසය අවසන් කළ ආකාරයත් මහගම සේකර සිය කාව්‍ය විලාසය ආරම්භ කළ ආකාරයත් සසඳා බලන කල්හි ය.

Comments