කල් දැමීමේ තීරණය අතිශයින්ම සතුටට කරුණක් -ස්ටුවර්ට් බ්‍රෝඩ් | සිළුමිණ

කල් දැමීමේ තීරණය අතිශයින්ම සතුටට කරුණක් -ස්ටුවර්ට් බ්‍රෝඩ්

කොවිඩ් - 19 වසංගතයක් ලෙස පැතිර යෑමත් සමඟින් එංගලන්ත ශ්‍රී ලංකා සංචාරය කල් දැමීමට එංගලන්තය ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් ගනු ලැබූ “ඉතා දැඩි, නමුත් අත්‍යවශ්‍ය” තීරණය ගැන එංගලන්ත වේගපන්දු යවන ක්‍රීඩක ස්ටුවර්ට් බ්‍රෝඩ් සිය ප්‍රසාදය පලකර තිබේ.

 

මේ පිළිබඳ අදහස් දැක්වූ ස්ටුවර්ට් බ්‍රෝඩ්, ක්‍රීඩකයන්ට තරගාවලිය අවලංගු කිරීම කනගාටුවට කරුණක් වුවත් තම ක්‍රීඩකයන්ට සහ රසිකයින්ට මුල් තැන දීමට බලධාරීන් කළ ඉල්ලීමට තමා සහාය දුන් බව අවධාරණය කළේය. සිකුරාදා 13දා ජෝ රූට් ශ්‍රී ලංකා සංචාරය අවලංගු කළ බව අපිට දැන්වුවා. ඒ වෙලාවේ එය අතිශයින්ම සතුටට කරුණක් වුණා.එංගලන්තයේ සියලු දෙනා අපි ගැන කනස්සල්ලෙන් සිටි බව අපට දැනුණා.

ඇත්තටම අපට සමාජ මාධ්‍ය හරහා එංගලන්තයේ සිදුවෙමින් පවතින දේ ගැන දැනගන්න ලැබුණා. සුපිරි වෙළඳසැල්වල මිනිසුන් පොරකන ආකාරය ඇත්තෙන්ම අපිව පුදුමයට පත්කළා.

ශ්‍රී ලංකාවේ වායුගෝලය බෙහෙවින් හිතකරයි.ඒ කොවිඩ් - 19 රෝගීන් වැඩි ප්‍රමාණයක් නැති නිසා. ඒත් කණ්ඩායමක් වශයෙන් අපි අවශ්‍ය පරතරය තබාගෙන ඉතා පරිස්සමින් හිටියා. එදිනෙදා ජීවිතයේ කිසිදු වෙනසක් දැනුණේ නෑ

බ්‍රෝඩ් පැවසුවේ ක්‍රීඩකයන්ගේ පැත්තෙන් කුමක් සිදුවේවිද යන්න ගැන අවිනිශ්චිතභාවයක් තිබූ බවත්, තම කණ්ඩායමේ එක් සාමාජිකයෙකුට හෝ මෙම කොවිඩ් - 19 ආසාදනය වී ඇති බව තහවුරු වුවහොත් අනෙක් සියල්ලන්ටම සති දෙකක් ස්වයං හුදකලාව යාමට සිදු වනු ඇති බවට බියක් තිබූ බවත්ය.

පවුලේ සාමාජිකයකු නිවසේ දී අසනීප වී, අපි විදේශීයක නිරෝධායනයක යෙදී සිටියා නම් කුමක් වෙයි ද, කියලා අපට ගැටලුවක් තිබුණා. ප්‍රේක්ෂකයෙකුට මේ කොවිඩ් - 19 වැළඳී එය අනෙක් රසිකයන් අතර පැතිරෙන්නට පටන් ගත්තා නම් කුමක් වෙයිද, මෙම තරගාවලියට අපේ රටින් 3, 000ක් විතර එන්න හිටියා. ටොම් හැරිසන්, ඈෂ්ලි ජයිල්ස් හා එංගලන්ත ක්‍රිකට් ආයතනයේ ඉහළම නිලධාරින් මේ ක්‍රීඩකයන්ගේ හා ප්‍රේක්ෂකයන්ගේ ආරක්ෂාව උදෙසා ගත් මේ තීරණය ඉතා දැඩි හා අපහසු එකක්. ඒත් අත්‍යවශ්‍ය තීරණයක් ගැනීම ගැන ඔවුන්ට ගෞරව කරනවා.

මෙවැනි සංචාරයක සියලු මූල්‍ය අංශ සමඟ සලකන විට එවැනි තීරණ ගන්න එක පහසු නෑ. අවසානයේ දී අපට අවශ්‍ය වන්නේ එංගලන්තය වෙනුවෙන් ක්‍රිකට් ක්‍රීඩා කිරීමටයි. ඒ නිසා අප පිටත්ව යෑම කනගාටුවට කරුණක්. බලාපොරොත්තු සුන්වීම නොතකා නිවැරදි තීරණයක් ඔවුන් ගෙන තිබෙනවා. අපි සියලු දෙනාම නැවත පැමිණ මෙම තරගාවලිය සම්පූර්ණ කිරීමට බලාපොරොත්තු වෙනවා.

අනාගත සංචාර පිළිබඳ සැලකීමේ දී මෙම තරගාවලි නැවත සංවිධානය කිරීම ඉතා අපහසු වනු ඇති බව බ්‍රෝඩ් පිළිගෙන ඇත. කෙසේ වෙතත් මෙම ටෙස්ට් තරග දෙකක තරගාවලිය 2021 මුල් භාගයේ දී එංගලන්ත කණ්ඩායමේ ඉන්දිය සංචාරය අවසානයේ ක්‍රීඩා කළ හැකි බව බ්‍රෝඩ් පවසයි.

ක්‍රිකට් කාලසටහන් මේ වන විට තරගාවලිවලින් පිරී තිබෙනවා. මේ තරගාවලිය කොතැනක හෝ පැවැත්වීම පහසු නෑ. අපි මේ අවස්ථාවේ සැලසුම් කළ පරිදි ටෙස්ට් තරග දෙකටම ගැලපෙන පරිදි මාසයක් පුරා නැවත ශ්‍රී ලංකාවට පැමිණීමට සමහරවිට නොහැකි වෙයි. ඒත් 2021 මුල් භාගයේ ඉන්දියානු සංචාරයේ අවසානයට මේ තරගාවලිය එක් කළ හැකියැයි බ්‍රෝඩ් කියයි

න්‍යායාත්මකව ගත් කල, ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් අදියර සඳහා මේ තරග ලබන වසරේ මේ කාලය වන විට අවසන් කළ යුතුව තියෙනවා. එහි අවසන් තරගය ජුනි මාසයේ දී පැවැත්වීමට නියමිතයි. අපට නැවත පැමිණ ක්‍රීඩා කිරීමට හැකියි. ඒ අනුව 2021 ආරම්භයේ දී එංගලන්තයට දැවැන්ත ටෙස්ට් තරග 7කට සහාභාගි වෙන්න තියෙනවා. අපි ආපසු එංගලන්තයට පියාසර කරන්නේ ක්‍රීඩාවෙන් තොර ජීවිතය කෙබඳු දැයි ඉක්මනින් වටහා ගත හැකි කාලයකට යැයි ඔහු පවසා ඇත. එය සති කිහිපයකට ඉතා අමුතු දෙයක් වේවි. එය බොහෝ දෙනෙකුට බලපාන නමුත් ක්‍රීඩාවට වඩා සමහර දේවල් වැදගත් වෙනවා. මෙය ලොව පුරා පැතිර වසංගතයක් වන නිසා එයට ඉතා ඉක්මණින් ක්‍රියාත්මක වෙන්න ඕනේ.

Comments