ඔලිම්පික් ක්‍රීඩා උ‍ෙලළ වසරකින් කල් යයි | සිළුමිණ

ඔලිම්පික් ක්‍රීඩා උ‍ෙලළ වසරකින් කල් යයි

කොවිඩ් - 19 මේ වන විට මුළු ලොව ම නතර කිරීමට සමත්ව තිබේ. මේ වන විට ලොව බහුතර රටවල් ප්‍රමාණයක් දිනෙන් දින ම කොවිඩ් - 19ට ගොදුරු වෙමින් පවතියි. මෑත ඉතිහාසයේ ඉතා දරුණු ලෙස ව්‍යාප්ත වූ සාර්ස් සහ ඉබෝලා වෛරස් රෝගයන් ලෝකවාසි ජන ජීවිතවලට මේ තරම් බලපෑමක් නොකළ නමුත් කොවිඩ් - 19 මේ වන විට ලෝකවාසි ජනතාවගේ ජන ජීවිත සම්පූර්ණයෙන් ම කණඵිට පෙරළීමට සමත්ව තිබේ. දෙවන ලෝක යුද්ධ කාලයේදි පවා ක්‍රීඩාංගණ ජනශුන්‍යව ගොස් ක්‍රීඩා තරග පැවැත්වීමට නොහැකි තත්ත්වයක් උදා නොවුන නමුත්, කොවිඩ් - 19 මේ සියල්ල නතර කර දැමීමට සමත්ව තිබේ.

 

මේ වසරේ ජූලි 24 වැනිදා ආරම්භ කිරීමට නියමිතව තිබූ ටෝකියෝ ඔලිම්පික් උළෙල, කොවිඩ් - 19 බලපෑම හේතුවෙන්, තවත් වසරකින් කල්දැමීමට අන්තර්ජාතික ඔලිම්පික් කමිටුව තීරණය කර තිබේ. එහෙත් එය ‘ටෝකියෝ 2020‘ යනුවෙන්ම හැඳින්වෙන බව ටෝකියෝ ආණ්ඩුකාරයා වන යුරිකෝ කොයිකි පැවැසීය.

අන්තර්ජාතික ඔලිම්පික් කමිටුවේ නිලධාරීන් සමඟ සාකච්ඡා කිරීමෙන් පසුව ටෝකියෝ ඔලිම්පික් උළෙල කල්දැමීමට තමන් එකඟ වූ බව ජපන් අගමැති ෂින්සෝ අබේ පැවැසීය. මෙම තීරණය ගැනීම දිගින් දිගටම ප්‍රමාද කිරීම සම්බන්ධයෙන් ලෝකය පුරා ක්‍රීඩක ක්‍රීඩිකාවෝත්, ඇමරිකා එක්සත් ජනපදයත් අන්තර්ජාතික ඔලිම්පික් කමිටුවට චෝදනා කරමින් සිටීයහ.

කොවිඩ් - 19 බලපෑම හේතුවෙන් කැනඩාව මෙන්ම ඕස්ට්‍රේලියාවද මේ වන විටත් ටෝකියෝ ඔලිම්පික් උළෙලින් ඉවත් වී සිටිති. එක්සත් ජනපද ඔලිම්පික් කමිටුව කියා සිටින්නේද ඔලිම්පික් උළෙල කල්දැමීම මේ වන විට තිබෙන හොඳම විකල්පය බවයි.

ඔලිම්පික් ක්‍රීඩා උළෙල කල්දැමීම “වඩාත් හොඳයි” යයි කියන පිරිස අතරට අන්තර්ජාතික මලල ක්‍රීඩා සම්මේලනය ඇතුළු ලෝකය පුරා තවත් අන්තර්ජාතික ක්‍රීඩා සම්මේලන එක්ව සිටිති.

මේ වන විට තත්ත්වය එන්න එන්නම බැරෑරුම් වන හෙයින් ක්‍රීඩා උළෙල කල්දැමීම සහ තවත් තෝරාගත හැකි විකල්ප සම්බන්ධයෙන් අන්තර්ජාතික ඔලිම්පික් කමිටුව මේ වන විට සලකා බලමින් සිටීයි. එහෙත් අන්තර්ජාතික ඔලිම්පික් කමිටුව කියන්නේ ක්‍රීඩා උළෙල ආරම්භ වීමට තවත් මාස හතරක කාලයක් පමණ ඇති බැවින් ඒ සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට දැන්ම වේලාසන වැඩි බවයි.

අන්තර්ජාතික ඔලිම්පික් කමිටුවේ සභාපති තෝමස් බෙක් සහ ජපානයේ අගමැති ෂින්සෝ අබේ දෙදෙනාම නැවත නැවතත් කියා සිටින්නේ ඔලිම්පික් ක්‍රීඩා උලළේ ආරම්භ කිරීමේ ගිනිසිළුව නියමිත පරිදි ජූලි 24 වැනිදා දැල්විය යුතු බවයි.

එහෙත් මේ වන විට ලෝකය පුරාම ක්‍රීඩා තරගාවලි ගණනාවක් කල්දැමීමටත් අවලංගු කිරීමටත් පියවර ගෙන තිබෙන වාතාවරණයක ඔලිම්පික් ක්‍රීඩා උලළ පැවැත්වීම තවත් ව්‍යසනයක ආරම්භයක් විය හැකිබව ඒ ඒ ක්ෂේත්‍රයන්හි වගකිව යුත්තෝ පෙන්වා දෙති. ඩොලර් මිලියන ගණනක ආදායම් ගෙනෙන ඇමරිකානු ජාතික පැසිපන්දු ශූරතාවලිය, බ්‍රිතාන්‍යයේ ප්‍රධානතම පාපන්දු ලිග් තරගාවලිය, ඉන්දියාවේ අයි.පී.එල්. තරගාවලිය, ලෝක ගෘහස්ථ මලල ක්‍රීඩා ශූරතාුවලිය, පැරීසියේ සහ බාර්සිලෝනා මැරතන් තරග, 2022 ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ සුදුසුකම් තේරීමේ තරග මෙන්ම ඇමරිකාවේ දී පැවැත්වීමට නියමිත ඔලිම්පික් තේරීම් තරගද කල්දමා තිබේ. ජපානයේ ක්‍රීඩා සියල්ලද මේ වන විට ඇණහිට තිබේ.

අත්තම කියනවා නම්, ජපානය මේ ප්‍රශ්නයෙන් මිදුණා වුණත්, අපි සංචාරකයන් පිළිගන්න සූදානම් නෑ. මම හිතන්නේ මේ ඔලිම්පික් උලළ මේ වෙලාවේ නොතියනවා නම් හොඳයි අපේ මිනිසුන්ගේ ජීවිත මේ වෙනුවෙන් බිළි දෙන්න අපි සූදානම් වෙන්න ඕනනෑ යැයි ජපන් ජාතිකයකු වන කොකී මියුරා පවසයි.

ඔහු වැඩිදුරටත් කියන්නේ ක්‍රීඩා උලළ අවලංගු කරදැමීමට නොහැකි නම් අඩුතරමේ එය කල්දැමීමට වත් බලධාරීන් පියවර ගත යුතු බවයි.

ජපානයේ මහජන මතයද ඔලිම්පික් ක්‍රීඩා උළෙල පැවැත්වීමට එරෙහිව යන බවක් පෙනේ. ජපානයේ ජාතික රූපවාහිනිය වන එන්.එච්.කේ ආයතනය විසින් සතියකට පමණ ඉහත දී කරන ලද සමීක්‍ෂණයක දී හෙළිදරව් වී ඇත්තේ 45% ක් පමණ දෙනා තරගාවලිය පැවැත්වීමට අකමැති බවයි. 40%ක් පමණ දෙනා තරගාවලිය පැවැත්වීමට කැමැත්ත පළකර තිබේ. එහෙත් සඳුදා නිකුත් කරන ලද නවතම සමීක්‍ෂණ වාර්තාවකින් කියැවුණේ නියමිත පරිදි ඔලිම්පික් ක්‍රීඩා උළෙල පැවැත්වීමට ජපානය අපොහොසත් වනු ඇතැයි ජපන් ජාතිකයක් 69.9%ක් පමණ දෙනා විශ්වාස කරන බවයි.

ටෝකියෝ නගරාධිපති යුරිකෝ කොයිකේ පවසන්නේ ටෝකියෝ ක්‍රීඩා උළෙල අවලංගු කිරීම සම්බන්ධයෙන් හිතන්නටවත් බැරි, බවයි. එහෙත් ඒ සම්බන්ධයෙන් අවසන් තීරණය පවතින්නේ අන්තර්ජාතික ඔලිම්පික් කමිටුව සතුවයි.

අන්තර්ජාතික ඔලිම්පික් කමිටුවද ඒ සම්බන්ධයෙන් අන්තර්ජාතික ක්‍රීඩා සම්මේලන සමඟ සාකච්ඡා කිරීමට සූදානමින් සිටීයි. ඊට අමතරව ඔලිම්පික් උළෙල කල්දැමීම සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශ සම්බන්ධයෙන්ද අන්තර්ජාතික ඔලිම්පික් උළෙල උනන්දුවෙන් සිටින බව ද වාර්තාවේ. අන්තර්ජාතික ඔලිම්පික් කමිටුවේ සභාපතිරයා වන තෝමස් බෙක් පවසන්නේ ද ඔලිම්පික් උළෙල වෙනුවෙන් පැවැති තේරීම් තරග කල්දැමීම බරපතළ ප්‍රශ්නයක් වන බවයි.

මේ අතර අන්තර්ජාතික ඔලිම්පික් කමිටුවෙන් ‘ටෝකියෝ 2020’ (ඔලිම්පික් උළෙල) සඳහා නම්කරන ලද ප්‍රධානියා වන ජෝන් කෝට්ස් යුරෝපයේ සිට මෙල්බර්න් නුවරට පැමිණි පසුව අනිවාර්යයෙන්ම දින 14 ක් හුදෙකළාව සිටිය යුතු බව ඕස්ට්‍රේලියානු රජය නිවේදනය කර තිබේ. මෙය ඕස්ට්‍රේලියානු අගමැති ස්කොට් මොරිසන් විසින්, විදෙස් ගමන්වල යෙදෙන සියලුම ඕස්ට්‍රේලියානු ජාතිකයන්ට බලපාන පරිදි පනවන ලද, තදබල නියෝගයකි.

ටෝකියෝ 2020 ඔලිම්පික් උලළ සම්බන්ධීකරණ නිලධාරියා වන ජෝන් කෝට්ස් අන්තර්ජාතික ඔලිම්පික් කමිටුවේ මූලස්ථානය පිහිටි ස්විට්සර්ලන්තයේ ලුසෑන් නුවර සිට මෙල්බර්න් නුවරට පැමිණීමට නියමිතය.

ඕස්ට්‍රේලියානු ඔලිම්පික් කමිටුවේ සභාපතිවරයා වුවද ජෝන් කෝට්ස් ට මෙම අනිවාර්ය නිරෝධායන කාලසීමාවට මුහුණ දීමට සිදුවන බවත් කිසිසේත්ම එය මඟහැරිය නොහැකි බවත් ඕස්ට්‍රේලියානු ඔලිම්පික් කමිටුවේ ප්‍රකාශකයෙක් පැවැසීය.

ජපාන අගමැති ෂින්සෝ අබේ පසුගියදා කියා සිටියේ කෝවිඩ් -19 පැතිරීම පාලනය කරගැනීමට ජපානය සමත්වන බවත්, “කිසිම ප්‍රශ්නයක් නැතිව, සැලසුම් කළ පරිදිම” ඔලිම්පික් උලළ පැවැත්වීමට ජපානයට හැකියාව ඇති බවයි.

Comments