Covid_19 - විදෙස් වාර්තා | සිළුමිණ

Covid_19 - විදෙස් වාර්තා

කොරෝනා මරණවලින් ඉතාලිය චීනයත් පසුකරයි

එක් දිනක දී නව ආසාදිතයන් 5560ක් ඉතාලියේ Covid-19 ආසාදිතයින් සංඛ්‍යාව ඊයේ (22) වන විට 59138 දක්වා ඉහළ ගොස් ඇති අතර ඊයේ දිනයේ දී පමණක් නව ආසාදිතයින් 5560 දෙනකු හඳුනා ගෙන තිබේ.

වාර්තා වන මරණ සංඛ්‍යාව 5476 කි. එය චීනයෙන් වාර්තා වූ මරණ සංඛ්‍යාවට වඩා වැඩිය . මේ අතර චීනයෙන් ඉරිදා දිනයේ දී හඳුනා ගෙන ඇත්තේ නව ආසාදිතයින් 39 දෙනකු පමණි.

එය සෙනසුරාදා දිනයේ දී 46ක් විය. ස්පාඤ්ඤයේ මරණ 1772ක් ද ඉරානයෙන් 1785ක් සහ ප්‍රංශයෙන් 674ක් ද වශයෙන් මරණ වාර්තා වී තිබේ.

ඒ අනුව ලොව පුරා Covid-19 ආසාදිතයින් 15000කට ආසන්න පිරිසක් මියගොස් ඇත.

පසුගිය සිකුරාදා වන විට ඉතාලියේ වෛද්‍යවරුන් 13 දෙනකු මියගොස් ඇති අතර ඉන් දෙදෙනකු රජයේ ඉල්ලීම මත මෙම රෝගය පාලනයට නැවත සේවයට එක් වූ විශ්‍රාමික වෛද්‍යවරුන්ය.

ඉතාලියේ වෛද්‍ය සේවයේ 2600කට පමණ Covid-19 ආසාදනය වී ඇත. ලොව පුරා රටවල් 192ක Covid-19 ආසාදිතයින් මේ වන විට වාර්තා වේ.

ඉන්දියාවේ නගර 80ක් වැසෙයි

ඉන්දියාවේ නව දිල්ලිය, මුම්බායි, කල්කටා, චෙන්නායි, බැංගලෝර් ඇතුළු නගර 80ක් මාර්තු 31 වෙනිදා දක්වා සම්පූර්ණයෙන් වසා දැමේ.

මේ අතර Covid-19 ව්‍යාප්තිය පාලනයට දරන උත්සාහය අගය කිරීම සදහා විනාඩි 10ක ශබ්ද උපහාරයක් සිදු කරන ලෙස ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි කළ ඉල්ලීමට අනුව ඉන්දියාව පුරා මිලියන ගනණක ජනතාව වළං පිඟන් මඟින් ශබ්ද නගමින් සහය දුන් බව වාර්තා වේ.

ජර්මනියේ චාන්ස්ලර්වරිය ස්වයං නිරෝධායනයට

ජර්මනියේ චාන්සලර් ඇන්ජෙලා මර්කල් ස්වයං නිරෝධායනයට ලක්ව සිටින බව ඇගේ කාර්යාලය නිවේදනය කරයි.

ඒ පසුගිය සිකුරාදා ඇයට එන්නතක් ලබා දුන් වෛද්‍යවරයා Covid-19 ආසාදිතයකු ලෙස හදුනා ගැනීමෙන් පසුවයි.

ස්වයං නිරෝධායනයට ලක්වීමට පෙර ඇය ප්‍රකාශ කළේ Covid-19 පාලනයට වඩාත්ම හැකියාව ඇත්තේ තම තමන්ගේ චර්යාවන්ට බවය.

එසේම ජර්මනිය තුළ දෙදෙනකු ට වඩා රැස්වීම ද තහනම් කර තිබේ.

ඔස්ට්‍රේලියාවේ අත්‍යවශ්‍ය නොවන සියලු සේවාවන් වැසෙයි

ඔස්ට්‍රේලියාවේ අත්‍යවශ්‍යය නොවන සියලු සේවාවන් වසා දමන ලදී.

ඒ අනුව ඊයේ (23) සිට පූජනීය ස්ථාන ඇතුළු අත්‍යවශ්‍ය නොවන සේවා සපයන බොහෝ ආයතන වසා දැමුණු අතර අවන්හල් විවෘත කිරීමට අවසර ඇත්තේ ආහාර පිටත ගෙන යෑමේ පදනම මත පමණි.

ඊට අමතරව ඉන්ධන පිරවුම්හල්, සුපිරි වෙළදසැල්, ෆාමසි හා බෙදා හැරීමේ සේවා අඛණ්ඩව ක්‍රියාත්මක වේ.

(ක්‍රිසන්ති විතාරණ)

Comments