කොරෝනා පාලනයට විශේෂ අරමුදලක් | Page 2 | සිළුමිණ

කොරෝනා පාලනයට විශේෂ අරමුදලක්

කොරෝනා වෛරසය රට තුළ ව්‍යාප්තිය පාලනය සහ ඒ හා සමගාමී සමාජ සුබසාධන කාර්යයන් පහසු කරනු පිණිස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විශේෂ අරමුදලක් ස්ථාපනය කර තිබේ.

එය නම් කර ඇත්තේ, “COVID-19 සෞඛ්‍ය හා සමාජ සංරක්ෂණ අරමුදල” ලෙසිනි.

ජනාධිපතිවරයාගේ නියමයෙන් ජනාධිපති අරමුදල ඒ සඳහා රුපියල් මිලියන 100ක මුදලක් ප්‍රදානය කර තිබේ.

ඒ අනුව දේශීය, විදේශීය පරිත්‍යාගශීලීන්ට, සෞඛ්‍ය හා සමාජ සංරක්ෂණ අරමුදලට මුදලින් දායකවීමට අවස්ථාව හිමිවනු ඇත.

නිත්‍යානුකූල ගිණුම් මගින් අරමුදලට කෙරෙන පරිත්‍යාග මුදල් බදු සහ විදේශ විනිමය රෙගුලාසිවලින් නිදහස් කෙරෙන අතර චෙක්පත් හෝ ටෙලි ග්‍රාෆ් සම්ප්‍රේෂණ මගින් මුදල් තැන්පත් කිරීමට හැකිය.

ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ “සෞඛ්‍ය සහ සමාජ සංරක්ෂණ අරමුදල” කළමනාකරණය පරිපාලන, මූල්‍ය සහ බැංකු ක්ෂේත්‍රයේ ඉහළම නිපුණතාවක් සහිත වෘත්තිකයන්ගෙන් සමන්විත මණ්ඩලයක් මගින් සිදුකරන අතර අමාත්‍යංශ ලේකම්වරු, සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්, විගණන විශේෂඥයන් සහ බැංකු ප්‍රධානීන් කළමනාකරණ මණ්ඩලයට පත් කර ඇති බවයි.

මේ අතර ජාතිය මුහුණ පා සිටින වත්මන් අභියෝගය හමුවේ මානුෂවාදී හැඟීමෙන් සහ සහෝදරත්වයෙන් එකට එක්ව ක්‍රියා කරන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉල්ලා සිටීයි.

ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ විදේශ රාජ්‍යයන්, ජාත්‍යන්තර මූල්‍ය ආයතන, ශ්‍රී ලංකාවේ ප්‍රධාන පෙළේ දේශීය හා විදේශීය සමාගම් මෙහි පුරෝගාමීත්වය ගනු අතැයි රජය අපේක්ෂා කෙරෙන බවයි.

2004 සුනාමි ව්‍යසනයේ දී මෙන්ම 2009 මානුෂික මෙහෙයුම් අවසානයේ දී අපේ රටේ සමස්ථ ජනතාව ඒවාට එරෙහිව නැගී සිටියේ මෙවැනිම අයුරින් බව රජය පවසයි.

 

 

Comments