එල් සැල්වදෝරයට දින 30ක් ඇඳිරි නීතිය | සිළුමිණ

එල් සැල්වදෝරයට දින 30ක් ඇඳිරි නීතිය

නව කොරෝනා වෛරසය හෙවත් කොවිඩ්-19 පැතිරීම මැඬපැවැත්වීම සඳහා වූ රජයේ හදිසි නියෝගයේ කොටසක් ලෙස එල් සැල්වදෝරය දින 30ක රට පුරා ඇඳිරි නීතිය පැනවීමට තීරණය කර තිබේ.

එල් සැල්වදෝරයේ ජනාධිපති නයිබ් බුකෙල් නිවේදනය කළේ දින 30ක රට පුරා ඇඳිරි නීතිය වහාම ක්‍රියාත්මක වන බවයි.

කෙසේ වෙතත් මෙම කොරෝනා පාලන ඇඳිරි නීතිය තුළ සෑම පවුලකින්ම එක් පුද්ගලයෙකුට පිටතට යාමට අවසර දෙන බැවින් ඔවුන්ට තම නිවැසියන්ට ආහාර සහ ඖෂධ සැපයිය හැකි බව හෙතෙම පවසා සිටියේය.

මේ අතර අවන්හල්, පොදු ප්‍රවාහන, ඉන්ධන පිරවුම්හල්, ආරක්ෂක අංශ, පෞද්ගලික සායන, බැංකු හා මූල්‍ය ආයතන, රෝහල්, පශු වෛද්‍යවරුන් සහ මාධ්‍යවල සේවය කරන පුද්ගලයන්ට දිගටම රාජකාරී කිරීමට අවසර ලබාදී තිබේ. 

එමෙන්ම අධිකරණ පද්ධතියේ සේවය කරන අයට සහ හදිසි ප්‍රතිකාර සඳහා සෘජුවම සම්බන්ධ රජයේ සේවකයින්ටද සිය වෘත්තීන් සිදුකළ හැකිය.

පශු සම්පත් හා කෘෂිකාර්මික අංශවලටද අඛණ්ඩව ක්‍රියාත්මක වීමට අවස්ථාව ලබාදී ඇත්තේ ආහාර සුරක්ෂිතතාව සහතික කළ යුතු බැවින් යැයි ජනාධිපතිවරයා කීය.

 

Comments