සාම්ප්‍රදායික ජීවන රටාවෙන් කොරෝනා ජයගනිමු | Page 2 | සිළුමිණ

සාම්ප්‍රදායික ජීවන රටාවෙන් කොරෝනා ජයගනිමු

කොරෝනා වසංගතය අප සියලු දෙනාගේ ජීවිත

වසාගනිමින් සිටියි. ජීවිතයත් මරණයත් අතර

සටන්කරුවන් වී සිටින මොහොතක කොරෝනා හෙවත්

කොවිඩ්-19 යෙන් ආරක්ෂා වීම කෙරෙහි සියලු දෙනාගේ

අවධානය යොමු වී තිබේ.එහෙත් අපේ සාම්ප්‍රදායික ජීවන චර්යාව තුළ මෙකී සුරක්ෂිතභාවය නිරන්තරයෙන් පැවතුනි.එහෙත් එයින් අත්මිදෙන්නට පටන් ගත් හෙයින් කොරෝනා

පරාජය කිරීමට අපට වෙහෙසෙන්නට සිදු වී ඇත.

කැලණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය වසන්තා සුබසිංහ

මහත්මිය එකී සාම්ප්‍රදායික ජීවන රටාව තුළ ආරක්ෂාව සලසා ගන්නා ආකාරය අප සමඟ විග්‍රහ කළේ මෙලෙසිනි.

 

ලෝකයේ දියුණුම සංස්කෘතියක් හිමිව තිබු අද අපිට කතා කරන්න සිදුව තිබෙන්නේ බෝ වන රෝග වසංගත පිළිබදවය. අපට තිබු ස්වයං පෝෂිත අර්ථක්‍රමය මුළුමනින්ම ඉවත දමා බටහිරින් කන, බොන, අදින පළදින දේ පමණක් නොව සංකල්ප පවා ආනයනය කිරීම සිදුවුයේ අති ශිග්‍රයෙනි .බටහිර ජිවන රටාව පමණක් නොව අධ්‍යාපනය සහ නීතිය ද අපට නොගැළපෙන බව අප දැන්වත් අවබෝධ කර ගත යුතුය.

අපේ ජිවන රටාව වෙනස්වීම නිසාම අපේ ජිවිත කෙරෙහි ඇති වූ අවිනිශ්චිතතාවය හා අපේ දේ තුළින් අප ලබාගත් සියලු දේ වරතමානයේ අපට අහිමි වුයේ මන්ද යන ගැටලුවට පිළියම් අප තුළම පවතින බව වටහාගැනීම වැදගත්ය. ඉන් ප්‍රධාන වුයේ පෞද්ගලික ස්වස්තතාවයයි. දරුවෙකු කුඩා කල සිටම පුහුණු කරන ලද්දේ පිරිසිදු කායික සහ මානසික තත්වයක් ඇති කර ගැනීම සඳහාය.

අප ජිවත්වන අවට පරිසරය නිරෝගිතා ආරක්ෂාවන පරිදි සකස් කරගැනීමද වැදගත්ය. දැන් ඒ කෙරෙහි අප දක්වන අවම අවධානය වැඩි කල යුතු අවස්ථාව එළඹ ඇත. සතියකට වතාවක් කරන පවිත්‍රතා ක්‍රියාකාරකම් රාශියක් අප සතුවිය. සියලු දෙනාගේ සහයෙන් කොට්ට, මෙට්ට තද අව්වේ වේලා ගැනීම, ඇඳ ඇතිරිලි සහ පොරොන සෝදා පවිත්‍ර කර ගැනීම, සියලු දොර ජනෙල් හැර මකුළු දැල් කඩා නිවාස ඇතුළත හොඳින් පිරිසිදු කිරීම, කහ දියර ඉසීම, වත්ත පිටිය කසළ පුලුස්සා දැමීම හෝ නිසි ලෙස බැහැර කිරීම, දුම් ගැසීම සහ දුම් ඇල්ලීම ආදී පවිත්‍රතා කටයුතු සිදුවිය.

මේ සියලු කටයුතු හේතුවෙන් නිරෝධායනය අපේ සංස්කෘතියේ ප්‍රධාන සාධකයක් විය.එලෙසම එය අපට නුහුරු දෙයක් නොවේ. වර්තමානයේ අධිවේගී ජිවන රටාව නිසාම අමුතුවෙන් නිරෝධායනයට යොමුවීමට සිදු වී තිබේ. කාර්යබහුල ජිවන රටාව නිසාම සරල දේ මගහැරගත් අප කොරෝනා කෙරෙහි අලුතින් විසදුම් සෙවීමෙන් පලක් නැත.නිරෝධායනයට ලක්වීම නිරතුරුව අපේ ජීවන රටාව තුළින්ම එය ළඟා කර ගත හැකිය.

සාම්ප්‍රදායික ආහාර චර්යාවන්හි ඇති වැදගත්කම අපට වැටහෙන්නේ මෙවැනි අවස්ථාවකය. වස විස නැති ආහාර රටාවක වැදගත්කම කෙරෙහිද අවධානය යොමු කළ යුතුය. එහිදී පියාගේ සහ මවගේ මුලිකත්වයෙන් ඉතා ඕනෑකමින් සෞඛ්‍ය සම්පන්න ගෙවත්තක් නිර්මාණය කර ගැනීමට අපට හැකි විය. සුළු ඉඩක වුවද සෑම නිවසකම දැකිය හැකි වූ ගසක් වුයේ කොහොඹ ගසයි. ඊට අමතරව, කොස්, දෙල්, අඹ, ගස්ලබු, මුරුංගා, පොල් හැකි අයුරින් සිටුවා ගැනීමට ඔවුන් උත්සුක විය. ඖෂධීය ගුණයෙන් යුත් දෙළුම්, මදුරුතලා, පෙනෙල, මොනරකුඩුම්බිය, කුප්පමේනියා, හාතවාරිය, රණවරා වැනි කුඩා ඖෂධ පැල සෑම ගෙවත්තකම දැකගත හැකිවිය. නිවසේ සාමාජිකයින්ගේ එදිනෙදා ආහාරය සඳහා ගොටුකොල, නිවිති, වැල්දොඩම්, කතුරුමුරුංගා සාරන, රම්පෙ, කරපිංචා, සේර වැනි දේ සිටුවීම මහා රාජකාරියක් සේ නොසලකන ලද අතර එය සිදු කරන ලද්දේ මහත් සතුටිනි.

අපේ ආහාර රටාව ඉතාම සරල වූ අතර විවිධත්වයෙන් යුක්ත විය. අප අද මෙන් බත් සහ පාන් පමණක් ආහාර ගත් අය නොවේ. අපේ උදේ ආහාරය අල, බතල, මයියොක්කා, කොස්, දෙල්, කුරහන්, තල, මෙනේරි, කව්පි, කඩල, මුං ඇට හෝ ඕලු බත්වලින් සමන්විත විය. කරවල, මාළු, බිත්තර සහ එළවළු සහ පලාවර්ග වැඩිපුරත් මස් කෑම අඩුවෙනුත් තුන් වේලක් පමණක් අහාර ගැනීම අපේ සිරිතයි. හොඳින් මිරිස් තුනපහ යොදා ගනිමින් නිවසේම මෙය සාදා ගත් අතර සෑම කෑමවේලකම අවශ්යත පමණට සුදුලුනු, රතුලූනු, කුරුදුපොතු, කරදමුංගු, ගම්මිරිස් සහ රම්පෙ කරපිංචා ආදිය අඩංගු විය.

පසුගිය දශක කිහිපයේ සාදික්කා, වසාවාසි, කරදමුංගු සහ කුරුදුපොතු ආදි වටිනා විෂ නාශක ආහාර ද්‍රව්‍ය අපනයනය සඳහා පමණක් යොදා ගන්න බවක් දක්නට ලැබිණි. ඒවායේ මිල සාපේක්ෂ වශයෙන් වැඩිවූ අතර ඒවා භාවිත කිරීමේ පුරුද්දත් අප අතරින් නැති වී ගියේය.අපි උදේ හවස තේ හෝ පිටිකිරි පානය කළ ජාතියක් නොවේ. මාරුවෙන් මාරුවට, බෙලි මල් තැම්බූ වතුර, රණවරා මල්, නෙල්ලි, රසකිද, කොත්තමල්ලි වතුර සහ වෙනිවැල්ගැට තැම්බූ වතුර මෙන්ම කුරක්කන් කැඳ, කිතුල් පිටි කැඳ, කොළ කැඳ මෙන්ම සව් සහ බාර්ලි අපේ ගෙවල්වල නිරන්තරයෙන් ආහාරයට ගත දේවල්ය. 'හැමදාම එකම දේ කන්න බැරිය' යන අද ඇසෙන මැසිවිල්ල එදා ඇසුණේ නැත. 'උයන්න බැහැ' කියා අම්මා කෑ ගැසුවේ ද නැත. නිතර රෝහලට ගියේද නැත.

දැන් අපි රටක් වශයෙන් ආපසු හැරීබැලිය යුතු හෝරාවට පැමිණ තිබේ. අතින් බත් කෑම අත හැර හැඳි ගෑරුප්පුවට යෑමත් දෑත් එකතුකොට 'ආයූ බොහෝ වේවා' කියා සුබ පැතීම වෙනුවට සිප වැලඳ ගැනීමටත් අප ඉක්මන් වැඩි වුවා නොවේද?

නිරෝගී ජිවිතයක් යනු කායික සහ මානසික සමතුලිත බව රැකි ජිවන රටාවක් තිබීමය. එය අපට අපේ සාම්ප්‍රදායික ජිවන රටාවට නැවත හුරුවීමෙන් යළි ළඟා කර ගත හැකිය. ප්‍රදර්ශනකාමි ජිවනරටාව පසෙක ලා සරල සෞභාග්‍යමත් රටක යථාර්ථවාදී, බුද්ධිමත් නිරෝගී පුරවැසියන් බිහි කිරීමට අප අද අදම ක්‍රියා කළ යුතුය.

 

Comments