වෛද්‍ය පර්යේෂකයන් දකින කොවිඩ් 19 වයිරසයේ හැඩරුව | Page 2 | සිළුමිණ

වෛද්‍ය පර්යේෂකයන් දකින කොවිඩ් 19 වයිරසයේ හැඩරුව

වයිරසය වේගයෙන්  අප අතර පැතිරෙන  රහස

පර්යේෂකයන්ගෙන් තරුණයන්ට පනිවිඩයක්

කොවිඩ් 19 මේ තරම් වේගයෙන් පැතිරෙන්නේ ඇයි ?

වසංගතය මෙල්ල කිරීමේ  හොඳම පියවර  සමාජයෙන් ඈත් වීමයි

එක් පුද්ගලයකුගෙන් 30කට 40කට බෝ වීමේ ඉඩකඩ‍

ලෝක සෞඛ්‍ය සංවිධානය මේ වනවිටත් නව කොරෝනා වයිරස වසංගතය අපේ කාලයේ බිහිසුණුම වසංගතය ලෙසින් නම් කර ඇත. චීනයේ වූහාන් පුදේශයෙන් මුලින්ම ආරම්භ වුවද චීනය තුළ එය මේ වනවිට බොහෝ දුරට මැඩ පවත්වා ඇතත් යුරෝපාකාරයේ මෙන්ම ලෝකයේ වෙනත් ප්‍රදේශවල අධි වේගයෙන් රෝගය පැතිරෙමින් පවතී. මේ තත්ත්වය තුළ රෝගයෙන් වැළකීම සඳහා අප පියවර ගන්නා අතරේ මෙම රෝගයේ පසුබිම සම්බන්ධයෙන්ද අවධානයෙන් පසුවීම වැදගත්ය.

 

කොරෝනා වයිරස කාණ්ඩය මුලින්ම හඳුනා ගැනෙන්නේ 1960 දශකයේදීය. මුලින්ම මෙම වයිරසය හඳුනා ගැනෙන්නේ සතුන් තුළය. සතුන්ගෙන් මිනිසාට බෝවිය හැකි, විශේෂයෙන් ශ්වසන පද්ධතිය ආශ්‍රිතව ආසාදනය කරවිය හැකි වයිරසයක් ලෙසින් මෙය ආරම්භ වුවද කෙමෙන් මෙය පසුකාලීනව මිනිසුන් අතරද පහසුවෙන් ව්‍යාප්ත වන වයිරස විශේෂයක් බව හෙළි විණි. සාර්ස් මෙන්ම මර්ස් නමැති වසංගතවලට හේතු වූ කොරෝනා වයිරස ආකාරය මුලින්ම හඳුනා ගැනුණේ වවුලන් තුළය.

එහෙත් පසුකාලීනව එය මිනිස් ශරීර තුළද හඳුනා ගැනිණි. බොහෝ වයිරස කාලයෙන් කාලයට තම ස්වරූප වෙනස් කර ගන්නා ස්වභාවයක් ඇත.

මේ ගතික ස්වභාවය කොරෝනා වයිරසවලටද තිබේ. මිනිසුන් හෝ සතුන් ලේඩ කරවන වයිරසවල අමානුෂික මුහුණුවරක් තිබුණද එය මාරාන්තික මුහුණුවරක් දක්වා වෙනස් වන බව විද්‍යාඥයන් අවබෝධ කර ගත්තේ 2003 වසරේ සාර්ස් හෙවත් දරුණු තීව්‍ර ශ්වසන පද්ධති සහලක්ෂණය (SARS- Sever Acute Respiratory Syndrome) නම් අපේ ශ්වසන පද්ධතිය දරුණු ලෙසින් ආසාදනය කරවන මාරාන්තික බලපෑම් ඇති කරවන කොරෝනා කාණ්ඩයේ වයිරසය පිළිබඳ කරුණු අනාවරණය කර ගැනීමත් සමඟය. මෙම වයිරස වර්ගයද 2003 වසරේ ව්‍යාප්ත වන්නට පටන් ගත්තේ චීනයෙනි. එයින් වසර දහයකට පමණ පසුව තවත් එවැනිම වයිරසයක් ආසියාකරයේ මාරාන්තික ආකාරයෙන් පැතිර ගියේය. ඒ මර්ස් (Middle East Respiratory Sydromme) වයිරසයයි. විශේෂයෙන් මැද පෙරදිග, තායිලන්තය, ඉන්දුනීසියාව වැනි රටවල් ආශ්‍රිතව මෙම රෝගය බරපතළ ලෙසින් ව්‍යාප්ත වූ අතර එය ද වළක්වා ගැනීමට ලෝක සෞඛ්‍ය අංශවලට දැඩි පරිශ්‍රමයක් දරන්නට සිදුවුවද වුණත් වැඩි බලපෑමකින් තොරව වළක්වා ගැනීමට හැකියාවක් ලැබුණේය.

මෙලෙස දැනට පර්යේෂකයන් හඳුනාගෙන ඇති ආකාරයට මානවයන්ට වින කරන කොරෝනා වයිරස ආකාර හතක් හඳුනාගෙන ඇත. එයින් හතරක් සුළු උණ සෙම්ප්‍රතිශ්‍යා ඇතුළු රෝග ලක්ෂණ ඇති කරවන අතර සාපෙක්ෂව අහිංසකය. එහෙත් සාර්ස්, මර්ස් සහ කොවිඩ් 19 ලෙසින් පසුගිය වසරේ අග භාගයේ සිට ව්‍යාප්ත වුණු නව කොරෝනා වයිරසය භයානක ආකාරයේ වයිරස ලෙසින් ඔවුහු හඳුන්වති.

පසුගිය වසරේ අන්තිමේදී චීනයේ වූහාන් පළාතෙන් මතු වූ මේ මරාන්තික කොරෝනා වයිරස ආකාරය දැන් ලෝකයම හොල්ලන තරමට වේගයෙන් පැතිරෙමින් පවතී. මුලින් නව කොරෝනා වයිරසය ලෙසින් නම් වූ එයට ‍ ලෝක සෞඛ්‍ය සංවිධානය ලබා දුන් නිල නාමය වන්නේ කොවිඩ් 19 (Covid 19) යන්නය.

මේ ප්‍රශ්නයටද පිළිතුරු සොයා ගෙන ඇත්තේ ද චීනයේ වුහාන් හි හුවාසොන්ග් විද්‍යා සහ තාක්ෂණ විශ්ව විද්‍යාලයයේ ව්‍යූහාත්මක ජෛව විද්‍යාඥ ලී හුවා ය. ලී ඇතුළු පර්යේෂකයන් තම පළාතේ වේගයෙන් පැතිරෙන මෙම කොරෝනා වයිරසයේ ජාන විශ්ලේෂණය කොට ඇත. එහිදී මෙම වයිරසයේ වේගවත් පැතිරීම සම්බන්ධයෙන් විශේෂිත කරුණක් අනාවරණය කරගෙන තිබේ. ඒ ගැන පර්යේෂකයා මෙසේ පැහැදිලි කරයි.

“සාමාන්‍යයෙන් කොරෝනා වයිරසවල පවතින විශේෂත්වයක් තමයි එහි මතුපිට උල් ආකාර ප්‍රෝටීන පැවතීම මෙම ප්‍රෝටීන අණු පහසුවෙන් මිනිස් සෛල පටල අල්ලා ගන්නවා. මිනිස් සෛල පටලවල පවතින එන්සයිම මෙම ක්‍රියාවට තවදුරටත් උදව් කරනවා. එය බොහෝ කොරෝනා වයිරසවල දැකිය හැකි තත්ත්වයක්. කො‍හොම වුණත් කොවිඩ් 19 වයිරසයේ විශේෂත්වය වන්නේ මිනිස් සෛලවල වැඩිපුර දැකිය හැකි ෆියුරින් නමැති එන්සයිමය මඟින් මෙම කොරෝනා වයිරස මිනිස් සෛල තුළට ඇතුළු කිරීම වේගවත් කිරීමයි. ෆියුරින් මිනිස් සිරුරේ වැදගත් අවයව වන පෙණහලු, අක්මාව, කුඩා බඩවැල වැනි අවයවළ පටකවල බහුලව පවතිනවා.

මේ නිසා එම අවයවවලට පහසුවෙන් ඇතුළු වීමට කොවිඩ් වයිරසයට හැකියාව තිබෙනවා. බොහෝ විට මෙම වේගවත් පැතිරීමට හේතුව වන්නේ වයිරසයේ පවතින උල් ආකාර පෝටීන අණුවලට මිනිස් සෛල තුළට ඇතුළු වීමට මේ ෆියුරින් නමැති අපේ සිරුරේ පවතින එන්සයිමය විශේෂයෙන් උදව් කිරීමයි.

චීන පර්යේෂකයන්ගේ මෙම අනාවරණය ඇමෙරිකාව ඇතුළු ලෝකයේ තවත් විද්‍යාගාර කිහිපයකදීම සිදු කෙරුණු පර්යේෂණවලදී මේ වනවිට තහවුරු කරගෙන ඇත. මෙම පර්යේෂකයා මෙම අනාවරණය මත මෙම ක්‍රියාවලිය අවහිර කළ හැකි ඖෂධයක් පිළිබඳව පර්යේෂණ සිදු කිරීමට සැලසුම් කරගෙන ඇතත් මේ වනවිට පවතින වසංගත තත්ත්වය ඔහුට බාධාවක් වී ඇත. වුහාන්හි ඔහුගේ විශ්වවිද්‍යාලය වසා දමා ඇති අතර ඔහුට සරසවි පරිශ්‍රය භාවිත කළ හැති වුවද ඔහුගේ සහයවට කිසිවක් නොමැති බව ලී සඳහන් කර තිබුණි.

මේ වන විට කොවිඩ් 19 වයිරසය මට්ටු කළ හැකි ඖෂධ සම්බන්ධයෙන් විවිධ පර්යේෂණ සිදු වෙමින් ඇත. එසේ වුවද එම ඖෂධ භාවිතයට ගත හැකි ආකාරයට පත් කරන්නට අවම වශයෙන් ගත වන කාලය මාස 18ක් වත් වන බව සෞඛ්‍ය විශේෂඥයන්ගේ මතයයි. එතෙක් අපට බලා සිටිය නොහැකිය. කළ යුතු හොඳම දේ සියල්ල හැකි ඉක්මනින් කළ යුතු බව මේ සම්බන්ධයෙන් අවධානය යොමු කරන මෙරට මෙනම් ලෝකයේ ප්‍රධාන පෙළේ වසංගතවේද වෛද්‍යවරුන්ගේ අදහසයි.

වසංගතය උත්සන්න වෙද්දී ඇමෙරිකාවේ ස්ටැන්ෆර්ඩ් වෛද්‍ය විද්‍යාලයයේ වයිරසවේදය පිළිබඳ පර්යේෂකවරියක වන මිචෙල් කැස්පි ටාල් මෙම වසංගතය පිළිබඳව කළ අධ්‍යයනයකින් අනතුරුව ඒ පිළිබඳව වෛද්‍යවරුන් වෙත පැයක පමණ දේශනයක් කර ඇත. එහිදී ඇය අවධාරණය කළ කරුණක් වන්නේ මෙම කොවිඩ් 19 වයිරසය එක් පුද්ගලයකුට වලඳුණහොත් ඔහුගෙන් හෝ ඇයගෙන් තවත් පුද්ගලයන් 30 දෙනකු හෝ 40 දෙනකුට පමණ බෝ වීමේ ඉඩක් පවතින බවය.

එයට එක් හේතුවක් ලෙස ඇය සඳහන් කරන්නේ වයිරසය ආසාදිතයකුගේ ශරීරය තුළ දින 14ක පමණ කාලයක් පැවතීම සහ අප මුලින් කී පරිදි එම වයිරසය අපේ මිනිස් සෛල සමඟ ඉක්මනින් මුසු වීමේ පවතින ජානමය හැකියාව නිසාය. ඇය පවසන්නේ අප අතර පොදු සෙසු වයිරස රෝග මේ තරම් විශාල ව්‍යාප්තියක් නොපෙන්වන බවය.

අයට ඇමෙරිකානු ජනතාව පදනම් කරගෙන කළ අධ්‍යයනයට අනුව කම්මුල් ගාය රෝගය බෝවන්නේ සාමාන්‍යයෙන් එක් පුද්ගලයකුගෙන් 10 දෙනකුට පමණි. සරම්ප බෝවන්නේ එක් පුද්ගලයකුගෙන් 18 දෙනකුටය. කෝරෝනා වයිරස ආකාරයකින්ම සෑදුණු සාර්ස් ආසාදනය වීමේ හැකියාව ඇත්තේ එක් ආසාදිතයකුගෙන් සිව් දෙනකුට පමණි. එහෙත් කොවිඩ් 19 ඉතා විශාල පිරිසකට බෝවීමේ ඉඩ පවතී. දැනට වයිරසය පැතිරෙද වේගය පාලනය කර ගත නොහැකි වුවහොත් ඇය අනතුරු අඟවන්නේ ඇමෙරිකාවේ පමණක් රෝගීන් මිලියන දෙකක්වත් රෝහල්ගත කිරීමට සිදුවිය හැකි බවය.

එසේ වන හෙයින් ඇය අවධාරණය කරන්නේ වඩාත් සුදුසු වන්නේ හැකි තරම් වයිරසය බෝ වීම අවම කිරීමේ ක්‍රියාමාර්ගවලට යා යුතු බවය. ලෝක සෞඛ්‍ය සංවිධානයේ විශේෂඥයන්ද එහිදී පවසන්නේ සමාජයෙන් ඈත් වී සිටීම වඩාත්ම හිතකර පියවර බවය. පොදු රැස්වීම්, සාකච්ඡා, සම්මන්ත්‍රණ, රැස්වීම්, චිත්‍රපට ප්‍රදර්ශන, සාද, මංගල උත්සව වැනි පොදු ඉසව්වලින් බැහැර වීම හා ගුවන්, නැව් සවාරි සේම ගොඩබිම ගමන් බිමන් ද හැකිතරම් සීමා කිරීම මෙහිදී අප හිතනවාට වඩා ප්‍රතිඵලදායක බව මෙම විශේෂඥයන්ගේ අදහසයි. හැකි තාක් නි‍ෙවසේ සිට රාජකාරී කටුතුවල නිරත වීමෙන් හා හැකි තාක් බාහිර සමාජයෙන් වෙන් වී සිටීමෙන් රෝගය ව්‍යාප්ත වීම බොහෝ දුරට පාලනය කළ හැකි බවය. මේ වනවිටත් ලෝකයේ බොහෝ ආයතන තම සේවකයන්ට රාජකාරී කටයුතු නි‍ෙවසේ සිට සිදු කළ හැකි පරිසරයක් නිර්මාණය කොට ඇති අතර විශේෂ අත්‍යවශ්‍ය සම්මන්ත්‍රණ සාකච්ඡා සහ රැස්වීම් වීඩියෝ සම්මන්ත්‍රණ මාර්ගයෙන් පැවැත්වීමට අදාළ පියර ගෙන ඇත.

බොහෝ දෙනකු මේ පිළිබඳව විවිධ මත දැරුවද ලෝකයේ බොහෝ වසංගත පාලනයේදී වසංගත වේද විද්‍යාඥයින් අවධාරණය කරන ප්‍රමුඛ පෙළේ කාරණය වන්නේ මෙසේ සමාජගත වීමෙන් ඇත් වී හු‍ෙදකලා වීම එයට සාර්ථක පිළියමක් බවය. 1918 දී ලෝකය පුරා ඉන්ෆ්ලුවෙන්සා වසංගතයක් පැතිරී ඇති අතර මේ කාලයේ ඇමෙරිකාවේ ඇතැම් ප්‍රාන්ත තම සමාජ ක්‍රියාකාරකම් නවත්වා ඇත. හදිසි අත්‍යවශ්‍ය සේවා පමණක් ක්‍රියාත්මක කොට සමාජයේ සෙසු ක්‍රියාකාරකම් සියල්ල නැවැත්වීමෙන් ජනතාව එකිනෙකා සම්බන්ධ වීම පාලනය වූ අතර එයින් මෙම ඉන්ෆ්ලුවෙන්සාව මෙල්ල කර ගැනීමට සමත් වී ඇත. කොවිඩ් 19 වයිරසය පැතිරීමට බිම සැලසූ චීනයේ වූහාන් හි ජනතාව අතර වේගයෙන් රෝගය පැතිරෙද්දී චීන සෞඛ්‍ය බලධාරීන්ද මූලික වශයෙන් සිදු කොට ඇත්තේ මෙසේ සමාජ ක්‍රියාකාරකම් සියල්ල අක්‍රිය කරවීමට ඇතැම් නගර හා පළාත් අගුළු දැමීමය.

මේ පිළිබඳව පැහැදිලි කරන චීනයේ ෂීජියැන්ග් සරසවියේ මහජන සෞඛ්‍යය පිළිබඳ අධ්‍යයන අංශයේ පීඨාධිපති මහාචාර්ය ෂිනේග් වූ පවසන්නේ අප ඕනෑවටත් වඩා වැඩියෙන් ප්‍රතිචාර දැක්වුවහොත් පමණක් මෙම වසංගතයෙන් වැළකිය හැකි බවය. ඔහු පවසන්නේ මුලදී අධි වේයෙන් චීනය තුළ ව්‍යාප්ත වූ මෙම කොවිඩ් 19 වසංගතය මේ තරම් දුරකට චීනය තුළ මෙල්ල කර ගත හැකි වූයේ “එසේ ඕනෑවටත් වැඩියෙන් “ ක්‍රියාත්මක වීමෙන් බවය.

ඔහු පවසන්නේ වුහාන් පළාතේ මස් සහ මත්ස්‍ය වෙළෙඳපොළකට ගිය පුද්ගලයන් කිහිප දෙනකුට මුලින්ම උණ සහිත ව මෙම රෝගයේ රෝග ලක්ෂණ පහළ වූ බවය. මේ නිසා මෙය සතුන්ගෙන් පැතිරෙන රෝගයක් ලෙස වටහාගෙන මුලින්ම ඊට අදාළ පියවර ගැනිණි. කෙසේ වුවද චීන වෛද්‍යවරුන්ට මෙය ඉතා වේගයෙන් මිනිසුන් අතරද පැතිරෙන වයිරසයක් බව අවබෝධ කර ගන්නට වැඩිකලක් ගියේ නැත.

එතෙක් නන්නාඳුනන වයිරසයක් ලෙසින් හැසිරුණු මෙම වයිරසය සතියක් ඇතුළත නිසි ලෙස හඳුනා ගන්නට ඔවුහු සමත් වූහ. එහි ජාන සංයුතිය පවා නිසි ලෙස හඳුනාගෙන අදාළ විස්තර ලෝක සෞඛ්‍ය සංවිධානය වෙතද ලබා දුන් චීන සෞඛ්‍ය අංශ ඊළඟට කළේ මෙම රෝගය වේගයෙන් ව්‍යාප්ත වීම වළක්වා ගැනීමට අදාළ පියවර ගැනීමය. එහිදී රජයේ සෞඛ්‍ය බලධාරීන් සායනික පර්යේෂණ පිළිබඳ තොරතුරු හැකිතාක් හුවමාරු කර ගත් අතර එම තොරතුරු සෙසු ලෝකයටද ලබා දීමට කටයුතු කරනු ලැබීය.

වෛද්‍ය ෂීනෙග් වූ පවසන ආකාරයට චීනයේ ආසාදනයට ලක් වූ පුද්ගලයන් 80,000ක් පමණ දෙනා අතුරින් රෝහල්ගත කොට ප්‍රතිකාර ගැනීමට සිදුව ඇත්තේ සියයට 20ක පමණ ප්‍රතිශතයකටය. සෙසු පිරිස පාලනය කළ තත්ත්ව මත නිවාසවලම රැඳෙන්නට සැලැස්වීම මඟින් ඔවුන් රෝගය පැතිරීම පාලනය කිරීමට පියවර ගෙන ඇත. එහිදීද ඔවුන් විශේෂයෙන්ම සිදු කොට ඇත්තේ මෙම ආසාදිත රෝගීන් සෙසු ජනතාව සමඟ ගැටීම වැළැක්වීමට අදාල උපරිම පියවර ගැනීමය.

ඇතැම් නගර‍ ඇතුළු අවදානම් ප්‍රදේශ සම්පූර්ණයෙන්ම වසා දැමීම, එක් එක් පුද්ගලයාගේ සිට නිවාස, මහල් නිවාස සංකීර්ණ විවිධ ප්‍රජාවන් සම්බන්ධයෙන් පූර්ණ අධීක්ෂණයකට ලක් කිරීමේ සංකීර්ණ මෙන්ම ශක්තිමත් ක්‍රමවේදයක් නිර්මාණය කිරීම මෙන්ම ජනතාවට රෝග වසංගත පිළිබඳ දැනුවත් කිරීමේ මධ්‍යගත සන්නිවේදන ක්‍රමවේදයක් සකස් කිරීම ආදිය එහි මූලික පියවර ලෙසින් ඔවුන් ක්‍රියාත්මක කර ඇත. මෙම රෝගයෙන් වැඩිම අවදානමක් ඇත්තේ වැඩිහිටියන්ට සහ විවිධ රෝගවලින් පෙළෙන පුද්ගලයන්ටය. විශේෂයෙන් වයස අවුරුදු 70 ඉක්මවූ පුද්ගලයන්ට මෙම රෝගය වැලඳීමේ ඇති ඉඩකඩ නිසා ඔවුන් විශේෂයෙන් සමාජගත වීමෙන් වළකින ලෙස වෙද්‍යවරු ඉල්ලති. එසේම තරුණ පිරිසට මෙම රෝගයෙන් මාරාන්තික තත්ත්ව ඇති නොකළද ඔවුන් ඕනෑවට වඩා සමාජගත වීමෙන් රෝග වාහකයන් එනම් රෝගය ගෙන යන්නන් බවට පත් වීමේ හැකියාවක් පවතින බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි. ඔවුන්ට රෝග ලක්ෂණ මතු නොවී පවා ආසාදන තත්ත්වයක් ඇති විය හැකි අතර මේ නිසා තරුණ තරුණියන් ද උපරිම වශයෙන් සමාජ ක්‍රියාකාරකම්වලින් ඈත්ව සිටිය යුතු බව වෛද්‍යවරු පෙන්වා දෙති.

 

Comments