වසංගත ව්‍යාප්තිය වැළැක්වීමේ නිවැරදිම ක්‍රමවේදය නිරෝධායනය | සිළුමිණ

වසංගත ව්‍යාප්තිය වැළැක්වීමේ නිවැරදිම ක්‍රමවේදය නිරෝධායනය

"දින 14 තුළදී රෝග ලක්ෂණ මතු නොවූයේ නම් පුද්ගලයා COVID 19 ආසාදිතයකු නොවන බවට තහවුරු කෙරේ."

‘කොරෝනා COVID 19’ වෛරසය වසංගතය ව්‍යාප්ත වීමත් සමඟ අපේ වාග් මාලාවට කල එළිබට ආගන්තුක වචනයකි. ඒ ‘නිරෝධායනය’ යන වචනයයි. ඉංග්‍රීසි භාෂාවෙන් Quarantine ලෙස හැඳින්වෙන මෙම වචනයේ අරුත වන්නේ ආසාදිත රෝගීන් සිටි පරිසරයකට නිරාවරණය වූ පිරිස් යම්කිසි කාල පරිච්ඡේදයක් පුරා හු‍ෙදකලා කර නිරීක්ෂණය කිරීමයි.

‘නිරෝධායනය’ යනු දීර්ඝ ඉතිහාසයක් හා බැඳුණු සංසිද්ධියකි. වසර 400කට පෙරාතුව යුරෝපාකරයේ සහ මධ්‍යධරණි ප්‍රදේශයේ ‘මහමාරියා’ නමැති වසංගත රෝගයක් පැතිරුණි. මේ රෝගය පිළිබඳවත්, මෙය වසංගයත් බවට පත්වීම පිළිබඳවත් කිසිඳු අවබෝධයක්, දැනුවත්කමක් එරට වැසියන්ට නොතිබුණු අතර මෙම රෝගයට ඖෂධ ප්‍රතිකාර නොතිබීමත් මහමාරියා වසංගතයක් බවට පත්වීමට තවත් හේතුවක් විය.

නෞකා මඟින් මෙම රටවලට බඩු බාහිරාදිය ගෙන එන පුද්ගලයන්ට ‘මහමාරියා’ වසංගතය වැලඳීමත් සමඟම තත්ත්වය දරුණු අතර හැරුණි. අවසානයේදී ඔවුන් තීරණය කළේ මෙම නෞකා වෙනත් රටවලට යෑම වළක්වා එක තැන රඳවා තැබීමය. ප්‍රතිකාර නොතිබෙන බැවින් වෙනත් රටකට රෝගය ව්‍යාප්ත වීම වැළැක්වීම පිණිස නාවිකයන් ඇතුළු පිරිස් දින 40ක කාලයක් වෙන්කර තබා තිබුණේ ගත යුතු ක්‍රියාමාර්ගයක් නොමැති හෙයිනි. මේ පිරිසේ යම් කිසි පුද්ගලයකුට මහමාරිය වැලඳුනහොත් ඒ සඳහා පියවර ගැනීමත් දින 40 තුළ රෝගය නොවැලඳුණහොත් ‍නිරෝගි පුද්ගලයන් සේ සලකා ඔවුන්ට යෑමට අවසර දීමත් සිදු විණි.

ඒ යුගයට සමගාමීව ඔවුන් දැනුවත්ව නොතිබුණ ද ඔවුන් විශ්වාස කළ එක්තරා මතයක් වූයේ යම්කිසි වයිරසයයක් ශරීරගතවී ආසාදිත තත්ත්වයට පත්වීමට යම්කිසි කාලයක් ගතවන බවයි. ඒ කාලය තුළ පුද්ගයාට රෝග ලක්ෂණ පහළ නොවුණහොත් ඔහු නිරෝගී පුද්ගලයකු ලෙස හැඳින්වියහැකි බවයි.

මේ සිද්ධියෙන් අනතුරුව යුරෝපාකරයේ තිබෙන සියලු රටවල් සම්මුතියකට එළඹී මෙම කාලසීමාවට නමක් යෝජනා කළේය. ඒ Quarantine යන නාමයයි. මෙය ලතින් භාෂාවෙන් ලියැවුණු නාමයකි.

ශ්වසන පද්ධතිය ආශ්‍රිත රෝග ප්‍රභේදයක් වූ ඉන්ෆ්ලුවන්සා කාණ්ඩයේ වෛරස් රෝගවලට ප්‍රති වෛරස ඖෂධ ලෙස ‘tamiflu’ ඖෂධය සොයා ගත් අතර ඉන්ෆ්ලුවන්සා ප්‍රභේදයේ වෛරස් කාණ්ඩවලට වර්තමානයේ ප්‍රතිකාර ඇත. නමුත් කො‍රෝනා පවුලේ වයිරස් වර්ගවලට මේ වන තෙක් ප්‍රති වයිරස් ඖෂධ සොයාගෙන නොමැති බැවින් මෙය වසංගත තත්ත්වයට පත්වීමට එය ද එක් හේතුවක් විය.

COVID 19 ආසාදිත වූවන් ප්‍රතිකාර සඳහා රෝහල්ගත කරන අතර ආසාදිතයන් සිටින ප්‍රදේශවලට නිරාවරණය වූවන්ට යම් හෙයකින් වයිරසය ශරීරගතවී තිබේදැයි හඳුනා ගැනීමට නිරෝධායනට යොමු කෙරේ. ආසාධිතයන් ඇසුරු කිරීම, ඔවුන්ගේ බඩු භාණ්ඩ පරිහරණය, සමීපම ඇසුර, එකට ජීවත්වීම, එකට ගමන් බිමන් යාම පිළිබඳ විශේෂ අවධානයක් යොමු කරනුයේ ඔවුන්ට ද වෛරසය ශරීරගතවී ඇත්ද යන්න සැක සහිත බැවිනි. වසංගත තත්ත්වයක් ව්‍යාප්තවීම වළක්වාලීමට හොඳම ක්‍රමවේදය ‘නිරෝධායනයයි.’

COVID 19 වෛරසය සති 2ක් ඇතුළත සිරුර තුළ ක්‍රියාකර රෝග ලක්ෂණ පෙන්නුම් කරයි. සති 2 කින් පසුව රෝග ලක්ෂණ පෙන්නුම් නොකෙරේ නම් එයින් අදහස් කෙරෙනුයේ වයිරසය ශරීරගත වී නොමැති බවයි. තමා නිරෝගීද, ආසාදිත ද යන්න හඳුනාගත හැකි සාර්ථකම ක්‍රමවේදය ‘නීරෝධායනයයි’.

 

නිරෝධායනය සිදු කරන ආකාරය

 

නීරෝධායනයේදී හැකි පමණ පුද්ගලයන් වෙන්කර තැබීමක් සිදු කරන අතර සාමාන්‍ය පුද්ගලයන් සේ ජීවන කටයුතු සිදුවේ. පුද්ගලයා හු‍ෙදකලාගත කිරීමත් මෙහිදී සිදුවන අතර වටපිට සබඳතා ඉවත් කරනු ඇත. නිරෝධායනය භාරව ශ්‍රී ලංකාවේ කාර්ය භාරය ඉටු කරනුයේ යුද හමුදාවයි. නිරෝධායනයේදී මෙම පිරිස් පිළිබඳ විශේෂ වෛද්‍ය අවධානයක් යොමු කෙරේ. දිනකට දෙතුන් වතාවක් වෛද්‍යවරුන් පැමිණ මේ පුද්ගලයන්ගේ උණ පරීක්ෂා කර බලන අතර ශ්වසන ආශ්‍රිත රෝගී තත්ත්වයන් වෙතොත් IDH රෝහලට (බෝවන රෝග පිළිබඳ විද්‍යායතනය) රෝගීන් ගිලන් රථ මඟින් යවනු ඇත.

 

නිරෝධායනයෙන් ලැබෙන යහපත් ප්‍රතිඵල

 

ශ්‍රී ලංකාවේ පමණක් නොව කොරෝනා ආසාදිතයන් සිටින හැම රටකම නිරෝධායනය සිදු කෙරේ. නිරෝධායනයෙන් ආසාදිත රෝගීන් සහ කොරෝනා ආසාදනය නොවූ නිරෝගී පුද්ගලයන් වෙන් කර හඳුනාගත හැකි අතර ආසාදිතයන්ට කඩිනම් ප්‍රතිකාර සඳහා යොමු කෙරේ. නිරෝධායනය සිදු නොකළහොත් ආසාදිත පුද්ගලයාගෙන් තම පවුලට, දූ දරුවන්ට, සමාජයට මෙන්ම රටට ද මෙය පැතිර යාම වළක්වනු නොහැකිවේ.

 

නිරෝධායනය ප්‍රතික්ෂේප කිරීම.

 

නිරෝධායනය ප්‍රතික්ෂේප කිරීම හෝ නිරෝධායනයට යොමු නොවී පැන යන්නට උත්සාහ කිරීම ආදිය පිළිබඳ වාර්තා විය. මෙවැන්නක් සිදු කිරීම දණ්ඩ නීති සංග්‍රහය යටතේ මාස 6ක සිර දඬුවමක් ලැබිය යුතු වරදක් බව පොලිස් දෙපාර්ත‍මේන්තුව පවසයි. තවද කො‍රෝනා ආසාදිතයන් හා සමීපව ඇසුරු කළ පුද්ගලයන්, විශේෂයෙන් විදෙස් රටවලින් පැමිණෙන ශ්‍රී ලාංකිකයන් නිරෝධායනයට ලක් නොවී පැන ගියහොත් ඔවුන් වහාම අත්අඩංගුවට ගැනීමට ද පොලිසියට බලය ඇත. ස්වෙච්ඡාවෙන් නිරෝධායනයට යාම සිදු කළ යුතු අතර කට්ටි පැනීම හෝ එය ප්‍රතික්ෂේප කිරීම බරපතළ වරදක් බව විදෙස් රටවල සිට ශ්‍රී ලංකාවට පැමිණෙන ශ්‍රී ලාංකිකයන් හොඳින් සිහි තබා ගත යුතුය. දින 14කට පසු කොරෝනා ආසාදිතයකු නොවූයේ නම් ඒ බව තහවුරු කිරීමෙන් අනතුරුව ඔවුන්ට නි‍ෙවසට යා හැක.

 

නි‍ෙවසේදී නිරෝධායනය කරන අන්දම

 

නිවසේදී කොරෝනා ආසාදිතයෙකු යැයි සැක කරන පුද්ගලයකු සිටී නම් ඔහු වෙනම කාමරයක වෙන් කර තැබිය යුතුය. ඔහු පරිහරණය කරන භාණ්ඩ සියල්ල වෙන් කර තැබිය යුතු අතර පොදු භාවිතයට ඉඩ නොදිය යුතුවේ. මුඛ ආවරණය පැලඳ සිටිය යුතුය. ආසාදිත යැයි සැක කරන පුද්ගලයා සමඟ සබඳකම් නොපැවැත්වීම, නිතරම දෑත් සෝදා පවිත්‍ර වීම, සබන් හෝ විෂ බීජ නාශක ද්‍රව්‍ය යොදා නිවස පිරිසිදු කිරීම, දෑත් සහ රෝගියා විසින් ස්පර්ශ කරන ලද බඩු බාහිරාදිය පවිත්‍ර කිරීම යනාදිය අනිවාර්ය වේ.

කිවිසුම් යෑමේදි වැලමිට ඇතුළුපැත්ත භාවිත කිරීම හෝ ලේන්සුවක්, ටිෂූ කඩදාසියක් භාවිතා කිරීම කළ යුතුය. දෑතින් මුහුණ, ඇස්, මුඛය, නාසය ස්පර්ශ කිරීමෙන් වැළකිය යුතුය. සැක කටයුතු පුද්ගලයාට රෝග ලක්ෂණ මතු වූයේ නම් වෛද්‍යවරයකු මුණගැසී රෝගියාට ප්‍රතිකාර සඳහා IDH රෝහලට යොමුවිය යුතුවේ. එම නිවාස ජීවානුහරණය කරනු ලැබේ.

COVID 19 වසංගතය ශ්‍රී ලංකාවෙන් තුරන් කිරීමටත්, ව්‍යාප්ත වීම වළක්වා ගැනීමටත් සියලු ශ්‍රී ලාංකික පුරවැසියන් ආත්මාර්ථකාමී නොවී එකසේ එක්සත් වී මේ වයිරස් ආසාදනය වළක්වා ගැනීමට අවධානයෙන්, සැලකිලිමත්ව කටයුතු කළ යුතුවේ. ඒ සඳහා නිරෝධායනය ප්‍රධාන භූමිකාවක් ඉටු කරන බවද පැවසිය යුතුය.

 

 

 

Comments