ලොවම භීතියට පත් කළ වයිරස් වසංගත | Page 2 | සිළුමිණ

ලොවම භීතියට පත් කළ වයිරස් වසංගත

කොවිඩ් 19 හෙවත් නව කොරෝනා වයිරසය අද මුළු ලොවම බිය ගැන්වූ ගෝලීය වසංගතයක් බවට පත් වී අවසන්ය. පියවි ඇසට නොපෙනෙන බැක්ටීරියාවලටත් වඩා ඉතා කුඩා රෝගකාරක ක්ෂුද්‍ර ජීවීන් විශේෂය වයිරස ලෙස හඳුන්වන අතර, එවැනි කුඩා වයිරස් කලින් කලට ඉතා දරුණු ලෙස ලෝකය බිලි ගෙන තිබේ.

 

ක්‍රි.ව 3 වැනි සහ 5 වැනි සියවසේදී චීනයේ ජින් අධිරාජ්‍ය සමයේදී කෘමීන් නිසා පැතිර ගිය උණ වසංගතයක් පිළිබඳ ඉතිහාස පුවත්වල වාර්තා වේ. එම උණ වසංගතය ඩෙංගු විය හැකි බවටද මතයක් වේ. ඩෙංගු රෝගයේ ආරම්භය අප්‍රිකාව ලෙස සැලකෙන අතර 15 වැනි සහ 19 වැනි සියවසේදී වහල් වෙළෙඳාමත් සමඟ එය පැතිර යන්නට ඇතැයි සැලකේ.

කෙසේ වෙතත් ඩෙංගු මදුරුවකු මඟින් ආසාදනය වෙනවා යැයි සොයාගනු ලබන්නේ 1906දීය. පළමු වරට ඩෙංගු රක්තපාත තත්ත්වයක් වාර්තා වී ඇත්තේ 1953 වසරේදී පිලිපීනයෙන්ය. 1981 වසරේ කියුබාවෙන් ද ඩෙංගු වසංගතයක් වාර්තා වී ඇති අතර ඒ හේතුවෙන් ලක්ෂ 3කට වැඩි පිරිසක් රෝගී වූහ. 200කට වැඩි සංඛ්‍යාවක් මියගියේය. එම වසංගතයට හේතු වූයේ ඩෙංගු 2 වයිරසයයි.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ වාර්තා අනුව මේ වන විට රටවල් 110කට වැඩි ප්‍රමාණයක ඩෙංගු වසංගතය සුලබ වන අතර සෑම වසරකම මිලියන 390කට ඩෙංගු ආසාදනය වන බව වාර්තා වේ. ඩෙංගු වසංගතය හේතුවෙන් වසරකට ලෝක ආර්ථිකයට වන බලපෑම ඇමරිකන් ඩොලර් බිලියන 9ක් බව ද පැවසේ.

ඩෙංගු වසංගතයේ බලපෑම කොතෙක්ද කිව හොත් 1960 වසරේ සිට 2019 වන විට ඩෙංගු ප්‍රවණතාව සියයට 30කින් වැඩිවී තිබේ. නාගරීකරණය, ජනගහනය වැඩිවීම සහ ගෝලීය උණුසුම වැඩි වීම ආදී කරුණු එම වැඩ­ිවීමට හේතු වී ඇත.

14 වැනි සියවසේ මිනිසුන් බිලි ගත් අනෙක් විශාලතම වසංගතය වන්නේ මහාමාරියයි. යුරෝපයේ සහ ආසියාවේ මිලියන ගණනක් එයින් මියගිය අතර මහාමාරිය රෝගයෙන් පෙළෙන මීයන්ගේ සිරුරුව සිටින මැක්කන් මිනිසුන්ට දෂ්ට කිරීමෙන් රෝගය පැතිර ගිය බව පැවසේ. මධ්‍යතන යුගයේ වෛද්‍ය විද්‍යාව දියුණු තත්ත්වයක නොතිබූ බැවින් එම රෝගයෙන් යුරෝපයේ මිලියන 20ක් පමණ මියගිය බවද වාර්තා වේ.

1892 වසරෙන් පසුව මේ වන විට හඳුනාගෙන ඇති වයිරස් සංඛ්‍යාව 5000කට අධිකය. ඊට අමතරව හඳුනා නොගත් වයිරස විශේෂ මිලියන ගණනාවක් තිබේ. මිනිසා බිලි ගන්නා මෙවැනි වයිරස් වසංගත පිළිබඳ මුලින්ම තොරතුරු අනාවරණය වීමට පටන් ගෙන ඇත්තේ පළමු ලෝක යුද්ධය පැවති 1914 සිට 1918 දක්වා කාලයේදීය. යුද්ධය අවසන් කාලයේදී මාරක වසංගත තත්ත්වයක් ලොව පුරා පැතිරෙන්නට ගත් අතර එය නම් කෙරුණේ ස්පාඤ්ඤ උණ ලෙසිනි.

ලෝක ඉතිහාසයේ දරුණුම වයිරස් වසංගත ලෙස සැලකෙන එය 1918 සිට 1920 තෙක් පැවති අතර එය ඉන්ෆ්ලූවෙන්සා අධි වසංගතයක් ලෙස සැලකිණි. ඒ හේතුවෙන් ලොව පුරා මිලියන 500ක් රෝගි වී ඇති අතර මිලියන 50ක් මියගොස් තිබේ.

එම වසංගතයට පසුව ගෝලීය වසංගතයක් බවට පත්වූයේ 1957 සිට 1958 කාලයේ පැතිර ගිය ආසියානු ඉන්ෆ්ලූවෙන්සාවයි. එයින් ලොව පුරා මිලියන 2ක් මියගොස් තිබේ. 2002 වසරේදී සාර්ස් වයිරසය පැතිරුණේද චීනයෙනි.

එය කොරෝනා වයිරසයටත් වඩා බරපතළ වයිරසයක් වුවත් කෙටි කලක් ඇතුළත එය පිටුදැකීමට චීනය සමත් විය. ඉන්පසුව 1968-1969 කාලයේ පැතිර ගිය හොංකොං ඉන්ෆ්ලූවෙන්සාවෙන් පසුව නැවත ඉන්ෆ්ලූවෙන්සාවක් වාර්තා වී ඇත්තේ 2009 වසරේදීය. 2009 ජුනි මාසයේ සිට 2010 දක්වා පැතිර ගිය එම සූකර ඉන්ෆ්ලූවෙන්සාවෙන් ලක්ෂ 4කට ආසන්න පිරිසක් මියගිය බව ලෝක සෞඛ්‍ය සංවිධානය වාර්තා කළේය.

Comments