මුහුණු ආවරණය නිවැරදිව පලඳිමු කොරෝනා පතුරන මිත්‍යා මත | Page 2 | සිළුමිණ

මුහුණු ආවරණය නිවැරදිව පලඳිමු කොරෝනා පතුරන මිත්‍යා මත

මුහුණු ආවරණයක් යනු රෝග කාරක විෂබීජ පැතිරී යාම වැළැක්වීම සඳහා භාවිත කරන මෙවලමයි. මුඛය හා නාසය ආශ්‍රිත ප්‍රදේශය ලිහිල්ව ආවරණය කරන මෙය විවිධ වෙළෙඳ නාමවලින් හා විවිධ වර්ණවලින් පැවතුණ ද සෞඛ්‍යාරක්ෂිත ප්‍රමිතියෙන් උසස් මුහුණු ආවරණ භාවිත කිරීම වැදගත් වේ. ඔබ නිවසින් බැහැරව මඟතොට ගමන් කිරීමේදී මුහුණු ආවරණයක් භාවිත කිරීම අතිශයින්ම වැදගත්ය. එකිනෙකා සමඟ කතාබහ කරන විට පොදු ප්‍රවාහන සේවා භාවිත කරන විට මෙන්ම නගරාශ්‍රිත රැකියා සඳහා යන්නේ නම් මුහුණු ආවරණය අනිවාර්යයෙන්ම පැලඳිය යුතුය.

 

නිවැරදිව මුහුණු ආවරණයක් පලඳින ආකාරය

1. මුහුණු ආවරණය පැලඳීමට පෙර ඔබේ දෑත් හොඳින් සෝදාගන්න.

2. මුහුණු ආවරණය ඇසුරුමෙන් ඉවතට ගෙන එහි සිදුරු හෝ එවැනි කිසිඳු හානියක් නොවූ මුහුණු ආවරණයක් දැයි හොඳින් පරීක්ෂා කරන්න.

3. ඔබ මුහුණු ආවරණය පලඳින විට මුහුණ ස්පර්ශ වන පැත්ත සහ පිටතට නිරාවරණය වන පැත්ත නිවැරදිව තෝරා ගත යුතුය.

4. මුහුණු ආවරණයෙහි සුදු පැහැති පැත්ත මුහුණ හා ස්පර්ශ වන අතර වර්ණ සහිත පැත්ත මුහුණු ආවරණයෙහි ඉදිරිපස වේ.

5. මුහුණු ආවරණය පැලඳීමේදී කන් වළලු සහිත මුහුණු ආවරණ, පටි සහිත මුහුණු ආවරණ පවතින අතර කන් වළලු සහිත මුහුණු ආවරණ කන වටා රැඳවිය හැකිය. පටි සහිත මුහුණු ආවරණ නිවැරදිව නාසය හා මුඛය ආවරණය කර හිසෙහි පිටුපසට වන්නට රැඳවිය හැකිය.

6. මුහුණු ආවරණය පැලඳීමෙන් පසුව එය නිවැරදිව රැඳවී තිබෙන්නේ දැයි පරීක්ෂා කරන්න.

7. මුහුණු ආවරණය ඉවත් කිරීමට පෙරද හොඳින් දෑත් සෝදා එය ඉවත් කිරීම.

8. කන් වළලු සහිත මුහුණු ආවරණ ඉවත් කිරීමේදී එකවර කන් වළලු දෙකම අල්ලා සෙමින් ඔසවා ඉවත් කරන්න.

9. පටි සහිත මුහුණු ආවරණය ඉවත් කිරීමේදි ගැටගසන ලද පටිවලින් සෙමින් මුහුණු ආවරණය ඉවත් කරන්න.

10. භාවිතයෙන් පසු මුහුණු ආවරණය කසළ බඳුනකට දමා සබන් හා ජලය හෝ සනීපාරක්ෂක ද්‍රව්‍යයකින් දෑත් සෝදා ගන්න.

 

කොරෝනා වයිරසය පිළිබඳ විවිධ දුර්මත සමාජය පුරා පැතිර යන්නේ වයිරසයටත් වැඩි වේගයෙනි. එනිසා වයිරසය වළක්වා ගැනීමට නම් මේ දුර්මත පිළිබඳ ඔබ අවධානය යොමු කළ යුතුය.

වයිරසය සම්ප්‍රේෂණය වන දේශගුණය

බොහෝ අය සිතන්නේ උණුසුම් දේශගුණයක් සහිත ප්‍රදේශවල වයිරසය ව්‍යාප්ත නොවන බවය. එය මෙතෙක් විද්‍යානුකූලව සනාථ කර නැත. වයිරසය ව්‍යාප්ත වීමට බලපෑම් කරන්නේ උණුසුම් හෝ සීතල කාලගුණය නොව ඔබේ ක්‍රියාකාරීත්වය ය. දේශගුණය කුමක් වුවත් ඔබ, ඔබේ ආරක්ෂාව තහවරු කර ගත යුතුව ඇත. උණුසුම් ජලය ස්නානය නිසා අනිවාර්යයෙන් වයිරසය විනාශ වේ යැයි බලාපොරොත්තු වීම සුබදායක නැත. ඒ සඳහා දෑත් නිරන්තර පිරිසුදු කර ගැනීම වැදගත් වේ. එමෙන්ම මුඛය, දෑත් හා ඇස් ස්පර්ෂ කිරීමෙන් වැළැකීම අත්‍යවශ්‍ය වේ.

 

මදුරුවන් හෝ වෙනත් කෘමීන් මඟින් සම්ප්‍රේෂණය වේද?

මේ වන තෙක් මදුරුවන් හෝ වෙනත් කෘමීන් නිසා වයිරසය බෝ වේ යැයි කිසිදු තොරතුරක් හෝ සාක්ෂියක් ලැබී නැත. කොරෝනා වයිරසය බෝ වන්නේ ආසාධිත පුද්ගලයකු විසින් කැස්ස හෝ කිවිසුම් යෑම නිසා පිටතට විසි වන කෙල බිඳිති හරහා හෝ ලවණ හෝ විසර්ජන බිංදු නිසාය. එනිසා එවැනි අයකු සමඟ සමීප සම්බන්ධතා නොපැත්වීම ආරක්ෂාකාරීය.

කොරෝනා වයිරසය වැලඳුණ අය තාප ස්කෑනර් යන්ත්‍රයෙන් හඳුනාගැනීමට හැකිද?

ශරීර උෂ්ණත්වයට වඩා වැඩි උෂ්ණත්වයක් හඳුනා ගැනීමට තාප ස්කෑනර් යන්ත්‍ර ප්‍රමාණවත් වුව ද කොරෝනා හඳුනාගැනීමට එය ප්‍රමාණවත් නොවේ. අාසාදිත පුද්ගලයන් වයිරසය වැලඳී ශරීර උෂ්ණත්වය වැඩිවීමට දින 2ත් 14ත් අතර දින ප්‍රමාණයක් ගත වේ. ඒ අතර ආසාදිතයන් හඳුනාගැනීමට තාප ස්කෑනර් යන්ත්‍රයට හැකියාවක් නැත.

 

ඇල්කොහොල් හෝ ක්ලෝරීන් ශරීරයට ඉසීම

ශරීරය පුරා ඇල්කොහොල් හෝ ක්ලෝරීන් ඉසීමෙන් දැනටමත් ආසාදිත වී ඇත්නම් ඒ වයිරසය විනාශ නොවේ. එවැනි ද්‍රව්‍ය ඉසීමෙන් ඇස් හෝ මුඛයට හානි වීමක් සිදු වී වෙනත් ගැටලු මතු විය හැකිය. විෂබීජ හරණයට මේ සියල්ල ප්‍රයෝජනවත් වුවත් ඒවා සුදුසු නිර්දේශ අනුව යොදා ගත යුතුය.

 

සුදුලූනු හෝ වෙනත් දෑ ආහාරයට ගැනීම

සුදුලූනු, රතුලූනු, කරපිංචා ඇතැම් කුළුබඩු වර්ග ආදිය ශරීරයේ නිරෝගී බව වැඩි කිරීමට, කොලෙස්ටරෝල්, දියවැඩියාව පාලනය ආදී බෝ නොවන රෝග පාලනයට වෛද්‍ය විද්‍යාත්මකව වාසියක් සිදුවන නමුත් ප්‍රතිශක්තිකරණය පමණක් එමඟින් දියුණු වන බව පර්යේෂණවලින් තහවුරු වී නැත. එබැවින් ස්වයං නිරෝධායන මාර්ග අනුගමනය කිරීම අත්‍යවශ්‍යය ය.

වයිරසය වැළදෙන්නේ වැඩිහිටි පුද්ගලයන්ට පමණද?

සියලුම වයස් කාණ්ඩවල පුද්ගලයන්ට වයිරසය වැළඳීමේ අවධානමක් ඇත. ස්වසන ආබාධ ඇති අයට වයිරසය වැළඳීමේ වැඩි ඉඩකඩක් ඇත. එමෙන්ම ඇදුම, දියවැඩියාව, හෘදය රෝග තියෙන අය පරිස්සම් විය යුතුය.

 

වයිරසය මැඬ පැවැත්වීමට අත්වියලුම් යන්ත්‍ර ප්‍රමාණවත් ද?

වයිසරසය මැඬ පැවැත්වීමට අත්වියලුම් යන්ත්‍රය පමණක් ප්‍රමාණවත් නොවේ. වයිරසයෙන් ඈත් වීමට ඇල්කොහොල් සහිත දියරයකින් අත් සේදීම අනිවාර්යය වේ. දෑත පිරිසුදු කරගත් පසුව කඩදාසි හෝ තුවා ආශ්‍රයෙන් දෑත වියළා ගත යුතු වේ.

 

කොරෝනා වැළැක්වීමට ප්‍රතිජීවක ප්‍රතිඵලදායීද?

ප්‍රතිජීවක වයිරස්වලට එරෙහිව ක්‍රියා නොකරයි. එනිසා ප්‍රතිජීවක භාවිත නොකළ යුතුය. බැක්ටීරියා ආසාදනයක් වී ඇත්නම් පමණක් ප්‍රතිජීවක ලබා ගත යුතුය.

 

නියුමෝනියාවට එරෙහි එන්නත්වලින් කොරෝනා වයිරසයෙන් මිදෙන්නට හැකිද?

නියුමෝනියාවට එරෙහි එන්නත් වන නියුමොකොකල් එන්නත සහ හීමොෆිලස් ඉන්ෆුවන්සා වර්ගයේ බී හිබි එන්නත කොරෝනා වයිරසයෙන් ආරක්ෂා වීමට අවශ්‍ය ප්‍රතිකර්මය සකසන්නේ නැත. පර්යේෂකයන් කෝවිඩ් 19 වලින් ආරක්ෂා වීමට තවමත් එන්නතක් සොයා ගෙන නැත.

 

මත්පැන්

මත්පැන් පානය කිරීම නිසා කොරෝනා වයිරසය විනාශ වන බව මේ වන විට බොහෝ දෙනා තුළ ඇති වී ඇති මිථ්‍යා මතයකි. මත්පැන්වල යම් ඇල්කොහොල් ප්‍රතිශතක් අඩංගුයි. 91%ක් වන විශේෂිත ඇල්කොහොල් ප්‍රතිශතයක් අඩංගු රසායන ද්‍රව්‍යයක් මිශ්‍ර කර අත් පා සේදුම්කාරක Wet Tessues මෙන්ම තවත් පිරිසුදු කාරක නිපදවනු ලැබේ. ඇල්කොහොල් අඩංගු කර සාදන අත් පා සේදුම් කාරක Tessues ආදිය ශරීරයේ බාහිර පිරිසුදු කාරක ලෙස යොදා ගත්තත් ඇල්කොහොල් අඩංගු යැයි කියා මත්පැන් පානය කිරීමෙන් පලක් වන්නේ නැත. එසේ කළා යැයි ශරීරයේ ප්‍රතිශක්තිකරණය වර්ධනය නොවේ. එමඟින් සිදුවන්නේ ශරීරයේ පරිවෘත්තීය ක්‍රියාවලිය දුර්වලවී ප්‍රතිශක්තිකරණ හැකියාව හීන වීමයි.

 

ලිංගික ක්‍රියාවල වැඩි වශයෙන් නිරත වීමෙන් කොරෝනා වයිරසය විනාශ වේද?

ශරීරයේ රුධිර ධාවන පද්ධතිය, හෘදය ආශ්‍රිත ශිරා, ධමනි ක්‍රියාකාරිත්වයට ශ්වසන පද්ධතිය ශක්තිමත් වීමට මෙවැනි ක්‍රියාවලින් වාසියක් ලැබේ. හෝමෝන ශක්තිය වර්ධනය වීමද සිදුවන නමුත් ප්‍රතිශක්තිකරණ ශක්තිය වර්ධනය වීමක් මෙමඟින් සිදු වන්නේ නැත. එම නිසා උත්තේජන ඖෂධ වර්ග භාවිතය හෝ ලිංගික ක්‍රියාවලීන්වල නිරත වීමෙන් මෙය මර්දනය වනවා යැයි කීමට විද්‍යාත්මක පදනමක් නැත.

Comments